අසෙනි වර්ෂා –

“අසෙනිව විතරක් නෙවෙයි ආන්ටි,අපි තාරුකීවත් මනෝ වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන්න ඕන.දෙන්නම ඉන්නේ උහුලගන්න බැරි වේදනාවක.ඒ වේදනාව එක්ක දෙන්නට දෙන්න ගැටෙන එක හරිම භයානකයි.”

තත්ත්වය යම් තරමකට සාමකාමී වූ පසු ජයවර්ධන මහත්මියට එසේ කියන්නට භාග්‍යා තීරණය කළා ය.අසෙනි වසර කිහිපයකට පෙර තමන් හර්ෂගේ මනාලිය වී නිවසට එනතුරු ඇඟිලි ගැන්නාක්මෙන් තාරුකී අසෙනි පිළිගන්නට මඟ බැලුවේ නැත.

අයියාව උදුරා ගන්නට ඇති සැතිරියකගේ  තැන අසෙනිට දීමට ඇය නොපැකිලුණා ය.

“අසෙනිගෙ කේන්දරේ තිබ්බ දේවල් නිසා නෙමෙයි තාරු එයාට අකමැති.ඉස්කෝලෙ යන කාලේ ඉඳන් ලොකු අයියගෙ හැම අෆෙයා එකම කඩල බිඳල දාන්න තාරුකීට පුදුම උවමනාවක්නෙ තිබුණේ.ලොකු අයිය එයාගෙ දේපලක් කියලමයි තාරුකී හිතුවේ.අනේ මට තේරෙන් නෑ අක්කේ.”

යුවතියකගේ සිහින් හඬ භාග්‍යාගේ කන වැකුණේ ඒ මොහොතේ ය. මේ දෙනෙත්ගේ ළඟම ඥාති යුවතියකදැයි ඇය සිහි කළා ය.නමුත් ඇයට එවැන්නක් සිහිපත් නොවේ.ඇය දුටු බවක්වත් මතකයේ නොවේ.අත් රහිත සුදු ගවොමකින් සැරසී සිටින ඇය මළ ගෙදරදි දකින්නේද මුල්ම වතාවේ බව භාග්‍යාට සිතේ.

“මෙච්චර අලුත් කාලෙ වෙලා  මොකටද කේන්දර විශ්වාස කරන්නේ අක්කේ.කේන්දරවල තිබ්බ දේවල් උනා නම් අපේ ජීවිතවලට මෙහෙම වෙයිද?”

ඇගේ කටහඬ ශෝකාකූල ය.භාග්‍යා ඇය දෙස බැලුවේ පුදුමයෙනි.ඒ සමඟම ඇයට දෙනෙත්ගේ සහ අසෙනිගේ කේන්දර ගැලපූ දෛවඥයාගේ කියුම් කෙරුම් සිහියට ආයේ ය.

“මේ දෙන්නට එක මඟකවත් යන්න තියන්න හොඳ නෑ.පිරිමි දරුවට සෑහෙන්න අපලයි.අනිවාර්යයෙන් මරණයක් සිද්ධ වෙනව.ඒකාන්තයි.මාස හය හතක්වත් එකට ඉන්නෙ නෑ.”

එය හදවත් හෙල්ලී ගිය අනාවැකියකි.ප්‍රේම සම්බන්ධයක් නිසා මේ විවාහය වෙනුවෙන් කේන්දර ගැලපීම යුතු නැති බව පැවසූ දෙනෙත් කේන්දරයේ තිබූ අනාවැකි බොහෝ කෝප ගත්තේ ය.නමුත් අසෙනි ඒ අසා සසල වී ඔහු මඟ හරින්නට නොයෙක් වර උත්සාහ ගත් අන්දම භාග්‍යාට අමතක වී නොයයි.

“මේ හලෝ.ඔයා අපේ අයියගෙන් ඈත් වෙනව.අයියට මොනවහරි උනොත් මම තමුසෙට හොඳ වැඩක් කරනව.”

අසෙනිට එවැනි දුරකථන පණිවිඩයක් ලබා දෙද්දී තාරුකී සිටියේ සාමාන්‍ය පෙළ පන්තියේ ය.අනාවැකියෙන් හොඳටෝම හෙල්ලී ගිය සිතක් ඇතිව සිටි අසෙනි ඒ තර්ජනය පවා භාරගන්නා තරමට දුර්වල වී සිටියා ය.කේන්දරය තවත් තැන් කිහිපයකින් පරීක්ෂා කරගත හැකි බව කියමින් භාග්‍යා අසෙනිගේ හිත හදන්නට උත්සාහ ගත්තද අසෙනි සිටියේ පෑරී ගිය සිතකිනි.තවත් තැනක අනාවැකිය මීටත් වඩා දරුණු වීමට නොහැකි දැයි ඇය සිතුවා ය.එනිසාම එදවස ඇයට තීරණයක් විය.

ඒ දෙනෙත්ගෙන් ඈත් වීම ය!

දෙනෙත් අසෙනිට කරුණු පැහැදිලි කර දෙමින් ඇය විවාහයට නම්මා ගන්නට බොහෝ උත්සාහ ගත් අන්දම භාග්‍යාට මේ මොහොතේ ද සිහිපත් කළ හැකි ය.අසෙනි දැඩි තීරණයක හිඳිමින් ඔහු හමුවීම පවා ප්‍රතික්ෂේප කරද්දී  දෙනෙත් ළාබාල පෙම්වතෙකු කරන තර්ජනයකින් ඇය බියපත් කර ගන්නට සමත් වූයේ ය.

“ඔය අනාවැකිය හැටියට කසාද බැන්දොත් මම මාස හය හතක් හරි ඉන්නව.හැබැයි ඔයා ඔය අනාවැකි විශ්වාස කරගෙන මං එපා කියනවනම් මම ජීවත් වෙන්නේ තව පැය කීපයක් විතරයි.”

අවසානයේ අසෙනි ඒ තර්ජනයට මෙල්ල වූවා ය.ජයවර්ධන යුවල පවා කසාදයට හිත හදා ගනිද්දී අයියා බිලි ගන්නට ආ යක්ෂණියකගේ ස්වරූපයකින් තාරුකී අසෙනි දෙස බැලූ අන්දම කාටත් වඩා හොඳින් දැන සිටියෙ භාග්‍යා ය.

“පොඩි එකී පොඩි කමට නෙමෙයි අක්කා සමහර කතා කියන්නේ.ඕව අප්පච්චිට ඇහුනොත් එයාට ගුටි කන්න වෙන නිසා මම බොහොම ඉවසීමෙන් ජීවත් වෙනව.”

දරාගන්නට බැරි ඇතැම් කතන්දර අසෙනි භාග්‍යා සමඟ බෙදා ගන්නට වූවා ය.ඇයට මාතෲ ප්‍රේමයකින් සලකන ජයවර්ධන මහත්මිය සාම්ප්‍රදායික නැන්දම්මා කෙනෙක් නොවන තැන ඇය අතැර දමා කුලී නිවසකට යන්නට ද අසෙනිට උවමනා වූයේ නැත.නමුත් ඇය තාරුකීගේ දහසක් වෙනස්කම් දරා ගත්තා ය.

“අක්කා ඉන්නේ ලොකු කල්පනාවක.මං කතා කරලා අක්කට ඩිස්ටර්බ් කරාද මන්දා.”

නාඳුනන යුවතියගේ හඬ භාග්‍යා නැවතත් පියවි සිහියට රැගෙන ආවේ ය.ඇය අසීරු හිනාවක් තොල් මතට ගත්තා ය.

“අක්කට මතකත් ඇති.දෙනෙත් අයියලගෙ වෙඩින් එකට මාස කීපයක් තියෙනකොට තමයි දෙනෙත් අයියාගෙ ලොකු අප්පච්චිගෙ පුතා බඳින්න හිටිය ගෑනු ළමය නැති වුණේ.එයා නැති වුණු නිසා තමයි ඔය කේන්දර වල තියෙන කතා ලොකුවට ඔලුවට ගන්න ඕනි නෑ කියලා සීතා පුංචියි බාප්පයි වුණත් හිතන්න ඇත්තෙ.ඇත්තටම කේන්දරවල ඇති දෙයක් නෑ අක්කේ.මේ සේරම වෙන්න තිබ්බ දේවල්.නැත්තං ඒ කේන්දරවලට කියපු දේ වැරදිලා දෙනෙත් අයියට කියපු කතාව හරියන්න විදියක් නෑනෙ.දෙගොල්ලන්ගෙම කේන්දර බැලුවේ ඔය බණ්ඩාර අංකල් තමයි.”

ඒ කේන්දරයේ තිබූ කතාව දැනගන්නට භාග්‍යාට මහත් කුතුහලයක් ඇති විය.ඇය යුවතියගේ දිගු කතාබහට සවන් යොමු කළා ය.

“ඒවගේ කේන්දරයක් මීට කලින් දැකලා වත් නෑ කියලයි කියලා තිබුණේ.පුදුම තරම් ගැළපෙනවා,දෙන්නා රන් රස වගේ ඉඳියි,වාසනාවන්ත දරුවෝ ගොඩක් බාලයි වගේ මාර කතා ගොඩක් කියලා තිබුණා.ඒත් වෙඩින් එකට සතියයි කියල කහ ඉර උඩදි ඒ වර්ෂා අක්කව හප්පගෙන ගිහින් තිබුණා.එතනමයි.”

අනාවැකිය පැවසුණේ දෙනෙත් විවාහයෙන් අනතුරුව මාස හය හතක් ජීවත්වෙන බව වුවත් ඔහු දෙවසරක් තිස්සේ කිසිම රෝගාබාධයකින් තොරව අපූරු ජීවිතයක් ගෙවී ය.මුල් මාස කිහිපය පුරාම ඔහුට ඉක්කාවක් වැටුණ ද තාරුකී මහත් බියපත්ව විවිධ විකාර කළ අන්දම ගැන අසෙනි ඉඳහිට පැවසූ කතන්දර භාග්‍යාට මතක ය.නමුත් ඇගේ කියවීම පවා කාලය විසින් පාලනය කරමින් තිබිණ.

“හොඳ ඩොක්ට කෙනෙක් හොයා ගමු අක්කේ.සහස් අයියත් ඩොක්ට කෙනෙක්නෙ.මට අසෙනි අක්කා ගැන හරිම දුකයි. වර්ෂා අක්කා නැතිවෙලා දැන් අවුරුදු තුනකටත් කිට්ටුයි.සහස් අයියත් කිසිම දවසක කසාදයක් බඳින්නෙ නෑ කියලයි කියන්නේ.කාටවත් ඉතින් බල කරන්න බෑනෙ.සහස් අයියට එහෙම වුනානම් අසෙනි අක්කට මේක කොහොමටවත් දරාගන්න බෑ කියලා මට නම් හොඳටම තේරෙනවා.”

මේ යුවතියගේ සුදුමැලිව ගිය මුහුණ පවසන අන්දමට දෙනෙත්ගේ ලොකු අප්පච්චිගේ පුතු වූ සහස්ට තවමත් ඒ අනතුර දරාගැනීමට සහ ඔහුගේ ප්‍රේමියගේ වියෝව දරා ගැනීමට තරම් මානසික ශක්තියක් ලැබී නැත.මේ සහස්ගේ නැගණිය වන්නට ඇතැයි භාග්‍යා සිතුවා ය.සහස් ඉඳහිටක දැක ඇති බව මතකයේ තිබුණ ද මේ යුවතිය දැක පුරුදු නොවන්නේ දෙනෙත්ගේ ඥාතීන් සමග ළඟින් ඇසුරු කරන්නට තරම් කාලයක්වත් නැගණියට සහ තම පවුලට නොලැබුණු හෙයින් බව භාග්‍යා සිතුවේ ශෝකයෙනි.

“සහස් අයියා එනවා.”

මෝටර් රථයක් මිදුලේ නවතින හඬින්ම නාඳුනන යුවතිය ඒ හඬ වටහා ගත්තා ය.කාලයකට පසු නිවසට ආ සහස්ට මුලින්ම කතා කළේ ජයවර්ධන මහත්මිය ය.

“පුතේ,ඔයා ඊයේ පෙරේදා ඇවිල්ලත් එළියට වෙලා ඉඳලා ගියා කියලා මට ආරංචි.කොහොමටත් පුතා මළ ගෙවල් වල නොඑන නිසා මල්ලිගෙ මළගම කියලවත් ඒකෙ වෙනසක් වෙන්නේ නෑ කියලා මම දන්නව.දැන්වත් ආව එක ලොකු දෙයක්.”

එතනින් එහාට කතා කරන්නෙ කඳුළු හෙයින් ජයවර්ධන මහත්මිය වැළපෙන්නට ගත්තා ය.සහස් ඇයව වැළඳ ගන්නා ආකාරය භාග්‍යා බලා සිටියා ය.ඔහුගේ මුහුණින් තවමත් පලා නොගිය ශෝකයක් වේ.ඒ ශෝකය දිනහතර පහකට පෙර මියගිය තම ඥාති සහෝදරයා වෙනුවෙන් ද  නැත්නම් තෙවසරකට ඉහත දී මියගිය ආදරිය වෙනුවෙන් දැයි භාග්‍යාට තෝරා ගන්නට අසීරු ය.නමුත් ඇය ඔහු දෙසම බලා හුන්නා ය.

“මට අසෙනි නංගිට කතා කරන්නම බැරි වුණා.නංගිවත් බලන්න එක්ක මම ආවේ.”

ඔහු ඒ වචන පැවසූයේ ජයවර්ධන මහත්මියට ය.ඒ වචන දහය දොළහ හන්දා හදවතේ මෝදු වන්නට වූ නව බලාපොරොත්තුව ගැන භාග්‍යාට තමන් සමගම කෝපයක් ඇති විය.නමුත් ඒ බලාපොරොත්තුවට රහසේ පිපෙන්නට දෙන්නට ඇය ඇලුම් කළා ය.ඇය හිස හරවා බැලුවේ සහස්ගේ නැගණිය දකින්නට ය.නමුත් ඇය කොහෙවත්ම පෙනෙන්නට නොසිටියා ය.

More Stories

Don't Miss


Latest Articles