සඳැල්ලට ලා සඳ රැස් වැටී තඹ පාටට දිළිසෙමින් තිබිණ. පුරපසට පිරෙමින් ඇති චන්ද්‍රයා, පුන් සඳක් ගැන කතාවක් මුමුණා කියයි. චන්ද්‍ර කාන්තියෙහි වන්නේ බලාපොරොත්තු සහගත බවකි. සඳ පිරෙනවාට යසස්වි කැමති ය. පුර පෝයට පන්සලේ සිල් ඇත්තන්ට ගිලන්පස පූජාව තුසිතයෙන් බැවිනි. සූරියබණ්ඩාර යුවළ හා සනුක සමගින් අස්විද ද ඒ ගමනට එක් වන්නේ ය. කැමති ම මිනිසුන් කිහිප දෙනා ඇසුරේ ජීවත් වෙන එක ලොව සැනසුම්සහගත ම හැඟීම වේ. සඳ පිරෙන්නට කී දවසක් ගත වනු ඇත්දැයි යසස්වි සිතින් ගණන් බැලුවා ය.
සනුකත් යසස්විත් මේ සඳැල්ලට වී බලා හිඳිනුයේ උල්කාපාත වර්ෂාවක් ගැන ඉඟි කොට තිබූ පුවතක් නිසාවෙනි.
‘හඳ එළිය නිසා වැඩිය පේන්නැති වෙයි’
යනුවෙන් සනුක පෙර ඇඟවීමක් කළ ද යසස්වි මෙහෙම බලා ඉන්නට ආශා වූවා ය. හදවත ආශා හා බලාපොරොත්තු වලින් පිරී ගොස් තිබේ. එතකොට ජීවිතය වූ කලී දිව්‍යමය තිළිණයක් සේ දැනෙන්නට ගනී. හැම මොහොතක ම ජීවත් වෙන්නට, හැම හුස්මක් ම විඳගන්නට ඕනෑ වේ.
හැන්දෑවේ අස්විද වජිරා සමගින් ඔවුන් අතර ඇතිව තිබෙන ප්‍රේම සම්බන්ධය ගැන දැනුම් දෙනු ඇතැයි යසස්වි සැබවින් ම බිය වූවා ය. මේ හදිසියේ මුළු තුසිතය ම ඒ ගැන දැනගන්නේ නැතිනම් හොඳ ය. තවමත් හදවත ඊට සූදානම් නැති බවක් ඇයට දැනේ. මේ ගන්ධබ්බ සමය රහසක් සේ තව ටික දිනක් පවතිනවා නම් යෙහෙකි.
‘තාම එයා ඉන්නෙ හිතේ අම්මෙ. තව ටික දවසක් දෙන්නකො මට… ලේලිව පෙන්නන්න’
කියා අස්විද කී විටය යසස්වි ට හුස්මක් වැටුණේ. වජිරා ගේ මුහුණේ ද මනරම් සිනහවක් ඇඳිණි. චූටි පුතා මීට පෙර ඒ වාගේ බලාපොරොත්තුවක් අම්මා ට දී නැත!
‘තාම එකක්වත් පෙනුන්නෑනෙ යසස්වි’
සනුක දැන්ම ම කන්කෙඳිරි ගාන්නට පටන් ගත්තේ ය. යසස්වි ඔහු ගේ හිත හැදුවා ය.
‘අයියෝ… ඔහොම බෑ ඉතිං. මන්නං අද එක තරුවක්හරි කඩං වැටෙනව දකින්නැතුව නිදියන්න යන්නෑ’
‘දැං ඔය කඩං වැටෙන තරු අල්ලගන්නද දෙන්නත් එක්ක ප්ලෑන් කරන්නෙ…’
කියා අසාගෙන සඳැල්ලට ගොඩ වූයේ අස්විදයි. යසස්වි ගේ ඇස් වල නිවී නිවී දැල්වෙන තාරකාමය කාන්තිය උද්දීපනය විය. යටිතොල සපාගෙන, සිනහව මුහුණෙන් පිටාර ගලන්නට හැර, බබළනා දෑසින් ඇය ඔහු දෙස බලා සිටියා ය.
‘මූන්ලයිට් එක නිසා මීටියර්ස් හොඳට පේන එකක් නෑ නේද බාප්පෙ…’
‘ක්ලියර් නැතිවෙයි එච්චර. ඇත්තට උඹලට වෙන වැඩ නැද්ද බං… කටවල් ඇරගෙන අහස දිහා බලං ඉන්නෙ…’
‘මට නෙවෙයි… මේ යසස්විටනෙ ඕන කියන්නෙ’
එවර අස්විද ගේ දෑස් ඈ මත පතිත විය. ඇය දඟකාර කුඩා දැරියක සේ සිනහ වූවා ය.
‘තරුවක් කඩාවැටෙනකොට විශ් එකක් කළාම ඒක ඉෂ්ට වෙනවලු’
‘කොහෙන්ද බං සනුක මෙයා ඇවිත් තියෙන්නෙ…’
‘කෙල්ලො කියන්නෙ හෙණ ඇණයක් බාප්පෙ’
‘ආ… මං ඔයාට ඇණයක් වුණේ කොහොමද මැට්ටො…’
යසස්වි සනුක ගේ කනෙන් අල්වා ඇද්දා ය.
‘අන්න තරුවක් වැටුණ’
සනුක ගේ බොරුවට යසස්වි කලබල වී බැලුවා ය. ඔහු හඬනගා හිනැහිණ.
‘මෝඩය’
‘තේ එකක් බිව්වනං මරු නේද ඕයි…’
‘ඒකනං හොඳ අදහස සනුකය. තරුවක් කඩා වැටෙනව බලාගෙන මට කරන්න තියන විශ් එකනං දැං ඒක’
‘මේ බාප්පයි පුතානං… යං එහෙනං හදන්න’
‘නෑ නෑ මං වතුර ළිපේ තියන්නං. ඔයා තව ටිකකින් එන්න තේ හදන්න’
කියාගෙන සනුක නික්ම ගියේ යසස්වි ට අස්විද සමගින් මොහොතකට තනි වීමේ අවස්ථාවක් සලසා දෙමිනි. අස්විද දෑස් කුඩා කොට ඔහු යන දෙස බැලුවේ ය.
‘ඒ මොකද ඒ… සනුකයගෙ විදිහ මට ඇල්ලුවෙ නෑ’
‘සනුක දන්නව ඉතිං… මට කියන්න වුණා. කමන්නෑ මගෙ යාළුවනෙ’
‘ඇයි දිල්නුක යාළුව නෙවෙයිද…’
අස්විද යටැසින් බැලුවේ ය. යසස්වි ඔහු වෙතට නෝක්කාඩු බැල්මක් හෙළාගෙන ගරාදි වැටට බරවූවා ය. තුන් සිත පිරීතිරී යන හැඟීම හුස්මකින් වුව අපතේ යා නොදී ඇතුළාන්තයෙහි හිර කරගන්නට ඇයට සිතෙයි.
‘දැං ඔය… මීටියර් එකක් දිහා බලං කරන්න තියන විශ් එක මොකද්ද…’
එවර ඇය යන්තම් නිකට එසවෙන සේ දෑස් හරවා ඔහු දෙස බැලුවේ හුරතලයෙනි. අස්විද ඇස් පිරෙන්නට ඇදෙස බලාසිටියේ ය.
‘මේ මොහොතෙ මට දැනෙන මේ හැමදේම… හැමදාම මගෙ ළඟ තියෙන්නෝනෙ කියල’
‘මං හිතුව මාවවත්ද කියල’
‘ඔයා කියන්නෙ දැනටමත් මට ලැබිල තියන ප්‍රාර්ථනයක්. ඔයා කියන්නෙ මේ වෙලාවෙ මාව පිරිල තියන හැඟීම. මැරෙන මොහොත වෙනකල් මට මං ළඟින්ම තියාගන්න ඕන හැඟීම’
අන්තිම ටික කියාගෙන යත්දී යසස්වි ගේ හඬ බිඳී ගියේ ය. ඉකි බිඳ බිඳ හඬන්නට තරම් ස්නේහ හැඟීමක් ඒ තඹ පාට සඳපානේ මුහුව හමා ආවේ ය. අස්විද එක අතක් ඇගේ බඳ වටා යවා ඇයව ඔහු වෙතට ලං කොට ගත්තේ ය. එහෙව් ස්පර්ශයක් පතාගෙන සිටියා සේ ඕ ඒ පපුතුර බදාගත්තා ය. අස්විද ගේ දිගු දෑත් ඉතා තදින් ඈ සිය පපුවේ තද කරගත්තේ දෙවරක් සිතන්නේ නැතිවයි.
යසස්වි සිටියේ දෑස් පියාගෙන ය. එහෙම හෝරා ගණනක් වුව සැනසිල්ලේ සිටිත හැකි බව යටි හිත කොඳුරා කීවේ ය. නමුත් මේ එහෙව් ආලිංගනයකට තරම් වන තැනක් නොවන බව හිතේ තවත් පැත්තක් රහසින් කියයි. ඕ වහා ඒ උණුහුම් ග්‍රහණය ලිහිල් කළා ය.
‘වතුර උතුරනව ඇති’
රතදර අතරේ ආශාවේ මඳහසක් විය. අස්විද එක නිමේශයකට ඒ වත මලක් සේ දෝතින් ගෙන නෙළුම් පෙති ලවන් සිපගත්තේ ය. ඇය ඉක්මන් කොට ඔහු වෙතින් මිදී පියගැට පෙළ බැස්සේ, කුළුඳුළේ ම සිපගැනුණු තොල් පෙති වල සීතලෙන් හිරිවැටීගෙනයි! හදවත ගැස්ම ඒ තරම් වැඩි වී ඇත්තේ මන්ද කියාත් ඇයට තේරුම්ගත නො හැකි විය.
තුසිතය නිහඬ ව නිසල ව තිබිණ. පහළ මහළෙහි ඇත්තන්ගේ වූයේ නිදන්නට සූදානමකි. යසස්වි නිලූකාටත් තේ දෙන්නට විමසුවා ය. ඒ යෝජනාවෙන් ඇය අහේතුක ව උදහස් වූවා ය.
‘මේ රෑ ජාමෙ මොන ජවුසමක් නටන්නද ඒ ගමන… සනුක… ගිහිං නිදාගනිං… ආයෙ මෙතන එක එකාලගෙං කතන්දර අහගෙන එන්නැතුව’
ඇය ඒ පිට කරගත්තේ යසස්වි කෙරේ වන කේන්තියකි.
‘හරි හරි මං නිදාගන්නං මට ඕන වෙලාවට’
කියමින් සනුක යසස්වි සමගින් තේ රැගෙන මතු මහළට නැගුණේ ය.
නින්දකට පිවිසෙමින් සිටි වජිරා හා විජිත ව ද තේ පාණය වෙනුවෙන් අවදි කරවාගැනුණි. ඒ අතරේ චේතිය ද හෙමි හෙමිහිට මතු මහළට අවතීර්ණ වෙමින් සිටියේ ය. පුංචි සඳැල්ලෙහි තේ පාණෝත්සවය සූදානම් විය.
‘මීට අවුරුදු බර ගාණකට කලින් උල්කාපාත වැස්සක් බලන්න අපි පාන්දර යාමයක් වෙනකල් ඇහැරල හිටිය’
විජිත පරණ මතකයක් අවදි කළේ යසස්වි දිගු කළ සේවරි බිස්කට් ටින් එක අතට ගනිමිනි.
‘හ්ම්. මතකද… අපි කඩල එහෙම තම්බගෙන… අභිමාන් ෆිල්ම් එකේ වීඩියෝ එකකුත් ගෙනත් බල බල තමයි නිදිමැරුවෙ…’
‘එතකොට අපි බැඳපු අලුත… අවුරුදු ගාණකට එහෙම උල්කාපාත වර්ෂාවක් දකින්න හම්බෙන්නෑ කියලයි කිව්වෙ…’
‘වර්ෂාවක් මන්දා මන්නං එක උල්කාවක්වත් දැක්කෙ නෑ මං හිතන්නෙ’
ඒ කතා බහ ඒ රාත්‍රියේ සිහිලට උණුහුම දැනවූයේ ය. කඩා වැටෙන තරු නොව අස්විද දුටුවේ ම යසස්වි ගේ දෑස් හි තරු කැල්මයි. මේ උල්කාපාත වර්ෂාවත් එදා එක වාගේම යයි කියමින් වජිරා සිනහ වූවා ය.
‘උල්කාපාත නො දැක්කත් ඒ මතකය අදටත් අපිත් එක්ක තියනවනෙ. සමහර විට එදා අපි හිතන්න නැතුව ඇති මේ තරං කාලෙකට පස්සෙ ආයෙ මෙහෙම දවසක අපි මෙහෙම හුස්ම ගනීද කියලත්. ජීවිතේ කියන්නෙ ඕකට තමයි ළමයිනෙ. ජීවත් වෙද්දි අපිට කරන්න පුළුවන් හොඳ ම දේ තමයි ලස්සන මතක එකතු කරන එක’
විජිත කතා කළේ මඳහසකින්, ඈත අතීතයේ සිට සේ ය. හදිසියේ ම ඔහු සිය සිනහවත් බැල්මත් යසස්වි වෙත යොමුකළේ ය.
‘මේ දැරිවිත් කොහේදෝ ඉඳල මෙහෙට ආවනෙ අපිත් එක්ක අලුතෙන් මතක එකතුකරන්න. සංසාරෙ මීට කලිනුත් අපි මෙහෙම එකට ඉඳල ඇති. ඒ හුරු පුරුද්දට තමයි මෙහෙම ළෙංගතු කමක් තමන්ගෙ කමක් දැනෙන්නෙ’
හෙතෙම යසස්වි ගේ හිස මතින් සිය අතක් තබා කතා කළේ ය. ඒ බැල්මෙහි දැඩි හෘදයාංගම බවක් විය. ඇය මන්දස්මිතයකින් බිම බලාගෙන සිටියා ය. අරුත් පසිඳගන්නට ඇය ම නො දන්නා හැඟුම් සමුදායකින් ඇගේ ඇතුළාන්තය පිරී, හිර වී, පුපුරා යන්නට ඔන්න මෙන්න ව සේ දැනිණ. දෑස් වලට තෙතමනයක් දැනෙමින් තිබිණ. හැම නෙතක් ම යොමු වී තිබුණේ ඇය වෙතටයි. අස්විද ගේ ඇස් මත ආඩම්බරයේත් සතුටේත් සම්මිශ්‍රණයක් විය. දෑස් වලින් ඔහු සිය ප්‍රේමිය තමන් තුළට අවශෝෂණය කරගත්තා සේ ය.
වෙනදා නම් මෙවැනි මොහොතක කියන්නට ඕනෑ තරම් වදන් යසස්වි ගේ මුවට එනු ඇත. නමුත් මේ මොහොතේ ඇය ගොළු ය. උගුර අවහිර වී ය.
‘අපි මෙයාව මෙහෙම තියාගමු සීයා. ආයෙ අනුරාධපුරේ යවන්නැතුව’
සනුක කීවේ ය. විජිත හඬ නගා සිනහ වූයේ ය. යසස්වි ගේ මුහුණේ සෛල පුපුරන්නට ඔන්න මෙන්න වී තිබිණි.
‘ඒක යස වැඩේ’
අහසේ දීප්තිමත් රේඛාවක සලකුණක් අඳිමින්, එවන් මතකයක් පමණක් ඉතිරිකොට තබා කඩාවැටෙන තරුවක් දෙකක් දැකගත හැකි විය. ‘දැන්නං මට නිදිමතයි ළමයිනේ’ කියමින් විජිත නැගී සිටියදී වජිරා ද ඔහු සමගින් කාමරයට ගියා ය. චේතිය ද සනුක ද ඊලඟට නැගී සිටියේ පහළ කාමර වලට යන්නටයි. තාත්තාත් පුතාත් අඩියක් ඉස්සර වූහ. අස්විද මඳක් පමා වූයේ ය. යසස්වි ගේ යටිපතුල් වල සිට ම ඇය සීතලෙන් සීත වෙමින් සිටියා ය. මේ රැය පහන් වන තුරාවට අස්විද ගේ ඇස් වල උණුහුමේ තුරුලු වී ඉන්නට තිබුණා නම් යන සීතල සිතිවිල්ල රුධිර බින්දු තුළ දිය වී සිරුරෙහි කරක් ගැසුවේ ය. හදවත හිම මෙන් මිදී හිම කැටියක් ව තිබිණි. ඒ දෑස් මඬලෙහි වූයේ ද සඳ එළිය වන් සිසිලසකි.
‘රූම් එකට ගිහිං දොර වහගන්න’
අස්විද හෙමිහිට මිමිණුවේ ය. යසස්වි යන්තමින් හිස සැළුවා ය.
‘ගුඩ් නයිට්’
ඇය දෑතින් ඔහු තදින් බදා මොහොතක් සන්සුන් ව හිඳ කාමරයට දිව ගියා ය. අස්විද පියගැට පෙළ බැස්සේ කිලෝ ගණනක බරක් පැටවුණු හදකින් යුතුව, දෙපා අද්ද අද්දා ය.