සුහදිනී – 31

සකී,සිහිනය අතර කිමිදෙමින් හුන්නා ය.ඇය සිටියේ සූරිය වර්ණයෙන් බබළන සූරියකාන්ත මල් යායේ කෙළවරක ය.රූස්ස ගස්වලින් ගහන ඝන කැලයට අහස් ඇය අතැර පිවිසෙමින් සිටියේ ය.ඔහු අර අනන්තය නොපෙනෙන සැඟවුණු උගුල වෙත ළඟා වෙමින් හිඳියි.සකී පුරුදු පරිදිම වෙර යොදා කෑගැසුවා ය.වෙනදා ඇය කෑගසද්දී හඬ නොපිටවේ.ඔහුට ඇගේ වචනයක්වත් නොඇසේ.නමුත් අද ඔහු හැරී බැලී ය.ඈ වහා අත දිගු කළේ ය.ඔහු වහා ඈ වෙත ආවේ ය.ඉකිලමින් හඬන යුවතියගේ නළල මත ඔහු මුදු හාදුවක් තැවරී ය.

“සකී!! හීනෙන් බය වුණාද? සකී”

සිහිනය සැබෑවට පැමිණ තිබේ.නිම්නා හිම මෙන් සීතල අතකින් කම්මුලක් පිරිමදින බව දැනිණ.දහදිය ගලන සිරුරෙන් සකී යහන මත ඉද්ද ගැසුවාක් මෙන් හිඳ ගත්තා ය.

“එක හිතක් නැති ගෑනුන්ට ජීවිතේ අමාරුයි කියලා කියන්නේ ඔන්න ඕකට තමයි.කොල්ලෙක් හොයා ගත්තා කියලා ලොකු සීන් එක දැම්මට ඔළුවේ තවමත් ඉන්නේ අර ළං කරගන්න බැරි වෙච්ච තරුව.මේ මහ රෑ බෝලයක් දාගන්න බැරි ගොන් තඩියගෙ නම කියලා බෙරිහන් දෙනව.”

රන්මිණි තවත් බොහෝ දෑ කියවා ගෙන යනු ඇත.නිම්නා එක ඇස් බැල්මකින් ඇයව නවතාලූවා ය.මිතුරියගේ දෑසේ රැඳී ඇති නපුරු බැල්ම නිසා රන්මිණි කියන්නට ආ කතාවට වැට බැඳ ගත්තා ය.

“පහුගිය කාලේ ගිය ගොසිප් වල ඔයාව හයිලයිට් වුණේ නැහැ.ඒවා ඔයාගේ අෆෙයා එකට බාධාවක් වෙයි කියලා බය වෙන්න එපා.”

නිම්නා එසේ පැවසුවේ මුදු ලෙස සකීගේ හිස පිරිමදිමිනි.සකී ජීවිතය ඉදිරියට ගෙන යන්නට ප්‍රේමවන්තයෙකු තෝරා ගත්ත ද අහස් ලබා ගැනීමට නොහැකි දුකින් කම්පිතව හිඳින බව විස්වාස කරන්නට නිම්නා අකමැති ය.ඒ හන්දාම සකීගේ විශ්මයාර්ථ බැල්මට ඇය මුදු පිළිතුරක් ලබා දුන්නා ය.

“ඔයා එකපාරටම අහස් කියලා හීනෙන් කෑගැහුවා.අපි දෙන්නා නෙවෙයි එහා රූම් එකේ ළමයිත් ඇහැරෙන තරමේ සද්දෙකින් කෑ ගැහුවෙනම්.පහුගිය කාලේ පැතිරිච්ච ගොසිප් වලට ඔයා අවුලෙන් ඉන්නවා ඇත්තේ.ඒව ගැන එච්චර හිතන්න එපා.ඔයාට ඇත්තටම සෑහෙන්න හිත අවුල්නම් අයියට කෝල් එකක් දෙන්න.”

නිම්නා පවසන්නේ කා ගැනදැයි සිතන්නට නොහැකි තරමට සකී කලබල වී සිටියා ය.

“අපේ අලුත් මස්සිනා ගැන කිව්වේ.අයියෙක් වෙන්නැතිනෙ?”

නිම්නා යළිත් වරක් අසද්දී යාන්තමට හිස සලන තරමට සකී පියවි ලෝකයට පැමිණියේ මන්දගාමීව ය.නිම්නා වතුර බෝතලයක් සකී අත තබා මඳ වෙලාවකට පසු විදුලි ආලෝකය නිවා දමද්දී පවා රන්මිණි නම් සිටියේ හොඳ මුහුණකි නොවේ.සකී මහලොකු ප්‍රේමවන්තයකු ගැන පැවසූ දවසේම ඇගේ සිහිනමය ප්‍රේමය වෙනුවෙන් මරහඬ තැලීම ගැන රන්මිණිට දැනෙන්නේ තෝරා ගැනීමේ තෝරාගැනීමට අසීරු හැඟීම් සමුදායකි.  

සකී දුරකථනය අතට ගත්තේ අහස්ට කෙටි පණිවිඩයක් හෝ තබන උවමනාවෙනි.එහෙත් ඔහු ඉස්සර වී සිටියේ ය.

“හැමදාම දකින නරක හීනෙ මම අදත් දැක්ක.හැබැයි ඒ හීනෙ හිටපු ලස්සන කොණ්ඩයක් තියෙන ගෑනු ළමයා අද මට ඇහෙන්න කතා කළා.මගේ අතින් අල්ලා ගත්තා.ඒ ගෑනු ළමයව ආදරය කරන්න තෝරාගත්තු එකට තවත් හේතු තියෙන්න ඕනෙද?”

අහස් ඔහුට වඩාත් සමීප ඉංග්‍රීසි භාෂාවෙන් ලියා එවා තිබිණ.සකී අන්තර්ජාලයෙන් සූරියකාන්ත මලට වඩාත් ප්‍රිය කරන මිනිසුන්ගේ ගතිගුණ ගැන විමසුවා ය.ඇයට පැය කිහිපයකට පෙර ඔහු පැවසූ කාරණාවක් සිහියට පැමිණේ.

You are also fiercely loyal to the people you love and will go to any lengths to ensure that they are okay. You live by the saying ‘when going gets tough, the tough get going’”

ඔහු පැවසූ කාරණා ද මේ කාරණාවට බොහෝ සමාන බව සකී නැවත සිතුවා ය.අන්තර්ජාලයේ ඇති පොදු පිළිතුරු ජීවිතයට ඕනෑවට වඩා ළං කර ගත යුතු නොවුණ ද ඇයට මේවා බැහැර කරන්නට සිත් දෙන්නේ නැත.එක්ව දකින සිහිනය සහ සමාන ආශාවන් හැරුණු විට තමන්ගේ ජීවිතය තවත් මොන තරමට අහස්ට සමානදැයි සකී තවම නොදනී.නමුත් ඇය එක් කාරණාවක් හොඳින් දැන සිටියා ය.

ඇය ඔහුගේ වන්නට ඉපදී තිබේ!

අහස්ට කුමන මොහොතක හෝ කරදරයක් වෙතැයි නපුරු සිහිනය දකින රාත්‍රියට පසුදා බියට පත්වීම සකීගේ සාමාන්‍ය සිරිත ය.නමුත් ඇය අද බියෙන් ගත නොකරන්නට සිතට ගත්තා ය.ඇගේ ආදරය ඔහු වටා පවුරක්ව නැඟෙන බව ඇයට දැනේ.ඔහු ඒ ආදරයෙන්ම සුරක්ෂිත ය.

නිස්කලංක දවසක් අවසානයේ සකී නවාතැනට ආවේ සැනසුම් හදවතකිනි.අහස්ට ඇයව දවස පුරා අමතන්නට නොහැකි වුවද ඔහු සමඟ ගෙවන ජීවිතය එබඳු එකක් බව ඇය තේරුම් ගනිමින් සිටියා ය.ඔහුට තිස්සේම ඇය ළඟ දැවටෙන්නට ඉඩ නො ලැබෙනවා පමණක් නොවේ,ඇයව අත්හැර නිරන්තර විදෙස් සංචාරයන් වල නිරත වන්නට පවා සිදු වේ.ඒ සියල්ල දරා ගනිමින් ඔහු වැන්නෙකුට ප්‍රේම කිරීම පහසු නොවන බව සකී දන්නී ය.අපහසුතාවයන් මැද පවා කිරීම ප්‍රේමය මිස අන් කවරක් වත් නොවන වග සිතන්නට ඇය කැමැති වූවා ය.

ඇණවුම් නොකළ පාර්සලයක් සකී නමට ලැබුණේ සවස් යාමයේ ය.ඇය එය විවර කළේ පුදුමයෙනි.දෙමිතුරියන් වෙනුවෙන් ඉල්ලූ කුඩා සාදය වෙනුවෙන් සකීගේ පෙම්වතාගෙන් බව එහි සඳහනක් විය.කේක් පෙට්ටිය විවෘත වෙද්දී කෑගෑවේ නිම්නා ය.ඒ මිලාධික කේක් වර්ගයකි.ජනප්‍රිය තරු අවන්හලක පිස තිබූ ඒ වර්ගයේ කේක් එකක් ලැබීම ම නිම්නාට සතුටකි.ඈ හිතවත්කම වෙනුවෙන් ඉල්ලා සිටියේ මෙවැනි මිලාධික දෙයක් නොවේ.

“බුදු අම්මෝ! රස්සාවක් කරන කාලෙට ෆස්ට් සැලරි එකෙන් බඩයි හිතයි පිරෙන්න කන්න හිටපු කේක් එක.”

එසේ පැවසූ නිම්නා යළිත් සකී දෙස බැලුවේ දුක්මුසු දෑසකිනි.සංග්‍රහය කාගේ වුව ද ඒ තරමට මුදල් නාස්ති කිරීම ගැන ඇයට සතුටක් නොවේ.

“ඒ වුණාට සකී ෆැබ් එකෙන් ගන්න තිබ්බ කේක් එකනෙ.අනේ බොරු වියදමක්.”

මේ අහස්ට සාමාන්‍ය වියදමක් බව දන්නී සකී ය.ඔහු දක්ෂතාවය හන්දා ධනවතෙකු වෙමින් හිඳින තරුණයෙකි.තාත්තාගේ ව්‍යාපාර තිබුණ ද නොතිබුණ ද ආසා කරන සෑම දෙයක්ම පාහේ මිලට ගන්නට හැකි වෙන පරිදි ඔහු තමන්ගේ ජීවිතය ගොඩ නඟාගෙන අහවර ය.නමුත් මේ සංග්‍රහය මිතුරියන් කෙසේ දරා ගනීවිදැයි ඇයට සැක සහිත විය.

“මෙච්චර කාලයක් කිසිම කොල්ලෙකුට හා කියන්නෙ නැතුව හිටියේ මොකෙක් හරි බර අත්තක් අල්ලාගන්න තමයි.මට අර අලුත් ලෙක්චර කාරයව තමයි සැක.මිනිහා ෆස්ට් මැරේජ් එකෙන් ඩිවෝස් කතාවක් ඉමානි කිව්වා.”

සකී එහෙ මෙහෙ වෙද්දී රන්මිණි තමන්ගේ සැකය මුදා හැරියා ය.බලා සැනසෙන මිලාධික ඇඳුම් ඉදිරියේදී සකීට සිහිනයක් පමණක් නොවන බව සිතද්දී රන්මිණිට තමන්ගේ ඊර්ෂ්‍යාව දරා ගැනීමට අපහසු ය.

“යාළුවන්ට හරි සතුටුයි ට්‍රීට් එකට.ඒත් ඇත්තටම අපිට ඒ වගේ ලොකු දේවල් එපා අයියෙ.”

සකී ඇත්තම කියන්නට සිතුවා ය.එහෙත් අහස් ඒවා පිළි නොගන්නා බව ඇය දනියි.ඔහුට ඒවා “ලොකු දේවල්” නොවන බව ඇයට නොසිතා ඉන්නට ද නොහැකි ය.

“හොඳ ආරංචියක් තියෙනව.ඔයාට කේක් එකක් කාලා මදි වෙයි ඒක ඇහුවම”

නපුරු සිහින දුටු දවසක හොඳ ආරංචි පැමිණීම පුදුමසහගත ය.සකීට එය අසන තුරු ඉවසුම් නැති විණ.

(හොඳ ආරංචිය අනුමාන කරන්න බලන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles