සන්තාන සුසුම් සර – 36

0
5750

සාවිත්‍රි වෙහෙරගොඩ, දියණිය දකින්නට කොළඹ පැමිණියා ය. ඇය ඒ පැමිණියේත් සැමියා සමගින් අරගලයක් කිරීමෙන් පසුවයි. සැබවින් ඒ ඇය සිය යුග දිවියෙහි ඔහු සමගින් අරගලයක් කළ හා ඉන් ජයගත් ප්‍රථම වතාව යයි පැවසිය හැකි තරමි. මීට පෙර ඔහු කියනා ඕනෑ ම දේකට එකඟ වෙන්නට ඇයට සිදු විය. හදවතේ එකඟතාවයක් නැති දේකදී වුණත්, වෙහෙරගොඩ මුදලාලි ගේ අඩි පොළොවේ හැප්පීම් හමුවේ කර බා ගන්නට ඇයට සිදු විය. උදාර ගැන යෝජනාවට යසස්වි ගේ වන නො කැමැත්ත ගැන ඔහු සමගින් කතා කරන්නට ගිය අවස්ථා ගණනාවකදී සිදු වූයේත් එයමයි. වෙහෙරගොඩ මැදුර ඇතුළේ දී ඇයට හිමි තැන ගැන දැනගෙන නිහඬ වන්නට ඇයට සිදු විය. එබැවින් ගෙදරින් පිට වී යසස්වි මේ විදිහට සිය නිදහස වෙනුවෙන් සටන් කිරීම ගැන, අම්මා වශයෙන් ඇගේ හදවත ආඩම්බරයෙන් පිම්බී තිබේ.

යසස්වි අම්මා වැළඳගෙන බෝ වෙලාවක් ඇයට තුරුලු වී සිටියා ය. ඒ අතරේ ඇහෙන් කඳුළක් දෙකක් නො වැටුණා නොවේ. තාත්තා වූ කලී හැමදාමත් ඇයට දුරින් සිටි කෙනෙකි. දුවලා වැඩියෙන් ආදරේ තාත්තලා ට කීවාට, දුවලා ගේ ජීවිතේ ප්‍රථම හා ලොකු ම වීරයා තාත්තා යයි කීවාට, යසස්වි ට තාත්තා ඈත අහසේ තරුවක් සේ දුරින් දැනිණි. පොඩි කාලේ ඇයට ඔහු ළඟින් ඉන්නට ඕනෑ නොවුණා නොවේ. වෙනත් දැරියන් සේ තාත්තා ගේ උකුලට වී ඉන්නට, ඔහු ගේ ගෙල බදාගෙන මුහුණ සිපගන්නට, අතින් අල්වාගෙන පාරේ යන්නට ඕනෑ නො වුණා නොවේ. නමුත් වෙහෙරගොඩ මුදලාලි දියණිය කෙරේ එහෙම ආදරයක් පෙන්වන්නට දැන සිටියේ නැත. ඈ යුවතියක වත්දීත්, ඉල්ලනා දෙයක් ගන්නට මුදල් යහමින් දුන්නාට, දූගෙ ලෝකේ වීරයා වී ඔහු ඈ හිත ළඟින් සිටියේ නැත. ඊටත් පස්සේ සිය ව්‍යාපාර ජීවිතයේ වාසි තකා උදාරව යසස්වි ට තීන්දු කරත්දීත් ඔහු ඇගේ කැමැත්ත විමසූයේ නැත. සිය දියණිය යනු ඔහු ගේ කැමැත්ත හා අවශ්‍යතාවය පරිදි ඔහුගේ තීරණ වලට එකඟ ව කටයුතු කළ යුතු බෝනික්කියක සේ ඔහු ඇය ගැන සිතුවේ ය. වැඩවසම් සමයේ ස්ත්‍රීන්ට සේ ම ඔහු ගේ ජීවිතයේ ගැහැනුන්ට ද සිතීමේ හෝ තීරණ ගැනීමේ අයිතියක් නොවිණි. ඔහු ගේ ප්‍රවේණියේ බිරිඳ හා දියණිය යනු වෙහෙරගොඩ මුදලාලිගේ අතේ නැටැවෙන රූකඩ විය යුතුව තිබිණි. යසස්වි සිය නිදහස හා ජීවිතය සොයාගෙන ගෙදරින් පිටතට පිය තැබුවේ උදාරට බිලිවීමට පෙරයි. ඒ සාවිත්‍රි වෙහෙරගොඩ ගේ ආශිර්වාදය අතිවයි.

‘දෙයියංගෙ නාමෙට ඔයා බේරුණ මගෙ දුවේ’

සිය දිවි හිමියෙන් දියණියගේ නිදහස ප්‍රාර්ථනා කළ මවක වශයෙන් ඇයට එහෙම නො කියා බැරි විය.

‘මං දන්නව… තාත්තටයි අයියටයි හොඳටම කරදරයි. ඉස්රහට බිස්නස් කරන්න ලේසි වෙන එකක් නෑ. පණ්ඩිතරත්න මුදලාලිලට මැර බලේ වැඩියි. දේශපාලන බලයකුත් තියනව. ඒක නිසා ගොවියො උන්දැට මර බයයි. උන්දැගෙ කීමට පිටින් තාත්තට වී දෙන්න ගොවියො කීයෙන් කීයෙන් කැමති වෙයිද දන්නෑ. ඒත් ඒකට කමක්නෑ. ඔයා ඒ හිර ගනුදෙනුවෙන් නිදහස් වුණ එක ලොකු දෙයක්’

‘උදාර මේ ටිකේ ඔහොම සද්ද නැතුව හිටියට මොනා කරයිද කියල මටත් බය නැතුව නෙවෙයි අම්මෙ. ඔය යකා පොලීසියට බය ඇති එකෙක් නෙවෙයි කියල කොහොමත් මං දන්නව’

‘මං හිතන්නෑ ඔයාට කරදර කරන්න මෙහෙට එයි කියල. මොකද ඔයාට ආදරේකට ඔයාව බඳින්න ගියා නෙවෙයිනෙ. අනික උදාර කියන්නෙ එක කෙල්ලෙක් ගැන බලං ඉන්න මිනිහෙක් කියල මං හිතන්නෑ. හැබැයි වෙච්චි අවනම්බුවට තාත්තගෙන් පලිගනී’

‘මට තාත්ත ගැන දුකයි අම්මෙ… බයයි’

‘එයාල ඒව බේරගනී. ඔයා ආයෙ ඒ ගිනිගොඩට පනින්නෙපා. මෙහෙට වෙලා ඉන්න’

අම්මා කෙනෙකු වශයෙන් දියණිය වෙනුවෙන් කරන්නට වෙන යමක් වන බව සාවිත්‍රි ට පෙනෙන්නට තිබුණේ නැත. අනිත් අතට යසස්වි තුසිතයෙහි සිටිනා ප්‍රීතිමත් බව, ගෙදරදීවත් ඇය දැක තිබුණේ නැත.

‘එයාට මෙහෙ ගෙදර වගේ ඉන්න දුන්නට පින් අක්කෙ’

ඈ වජිරා ට එසේ කීවේ නෙත කඳුළු පුරවාගෙන හදවතින් ම ය.

‘අපි කිසිම දෙයක් කළේ නෑ නංගි. යසස්වි තමයි අපි හැමෝම එයාගෙම අය කරගෙන මෙහෙම ආදරේ බෙදුවෙ’

‘එයාට එයාගෙ අය වගේ දැනෙන්න තරං ආදරේ කළේ ඕගොල්ලොනෙ. මගෙ කෙල්ල සතුටෙන් සැනසිල්ලෙන් ඉන්නවනෙ කියල හිතන්න පුළුවන් එකම මට ඇති’

‘නංගිත් කැමති නැත්තං ඔය උදාර කියන එකා මේ ගෙදරට ආවත් දරුවට අතක් තියන්න අපේ මහත්තය ඉඩ දෙන එකක් නෑ. මේ ගෙදර කොල්ලො ඒකාගෙ අත පය කඩයි’

සාවිත්‍රි උඩ බලා දෙවියන්ට පින් දුන්නා ය. දැන් ඇයට හෙට පාන්දර බස් එකේ සැනසිල්ලේ ගෙදර යන්නට පිළිවන.

අස්විද හැන්දෑවේ ගෙදර පැමිණි ගමන් කළේ වළං විවර කර බලනා එකයි.

‘අම්මට කන්න දෙන්න මේව මදි නේද… ඕඩර් කරල මොනාහරි ගෙන්නමු’

ඔහු යසස්වි ට කීවේ ය. ඇය එපා කියමින් පෙරැත්ත කළ ද ඔහු ඊට කන් දුන්නේ නැත. වජිරා රාත්‍රී ආහාර පිසින්නට සැරසුණ ද ඔහු ඊට ඉඩ දුන්නේත් නැත.

‘අම්ම දවල්ටත් ඉව්වනෙ. ආයෙ මහන්සි වෙන්න ඕන්නෑ. අපි මොනාහරි ගේමු’

කෑම ඇනවුම් කළේ ඔහු ම ය. සාවිත්‍රි ට කිසිදු අඩුපාඩුවක් නොවන බව යසස්විගෙන් කිහිප වර විමසමින් සැක හැර දැනගත්තේ ය. රාත්‍රී භෝජනයෙන් පසු මතු මහලේ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටියදී, සාවිත්‍රි ට තව දින කිහිපයක් කොළඹ නතර වී යන ලෙස ද යළි යළිත් කීවේ ය. ඔහු  ව යසස්වි ට පෙනුණේ ආදරයේ ප්‍රතිමූර්තිය සේ ය. ඒ වෙනුවෙන් අප්‍රමාණ කෘතඥ බව ද ආදරය ද ඇගේ දෑස් හි ලියවී තිබිණ.

‘ඉතිං මාත් කිව්වනෙ. ඒත් අම්ම බෑ කියනවනෙ’

‘අනේ බෑ පුතා. මං මෙහෙමවත් ආවෙ නොවඳිනා වැඳුං වැඳල. දවසක් නෙවෙයි පැයක් ප්‍රමාද වුණොත් ඇති. ආයෙ මෙයාගෙ තාත්ත මට දොට්ට බහින්න දෙන එකක් නෑ. උදෙන්ම පිටත්වෙන්නයි මං හිතං ඉන්නෙ’

‘ඉතිං පුතාට පුළුවන්නෙ මේ අම්මව උදේට බස් එකට දාන්න’

ඒ යෝජනාව විජිත ගෙනි.

‘අනේ එපා එපා. පුතාගෙ වැඩ වලට යන්න. මට පුළුවං දුවත් එක්ක ටැක්සියක් දාගෙන යන්න’

සාවිත්‍රි ආචාරශීලී ලෙස ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේ අස්විද ට කරදර කරන්නට ඇති අකමැත්තටයි. නමුත් ඔහු ඒ ප්‍රතික්ෂේපය වගකට ගත්තේ නැත.

‘නෑ මං දාන්නං. එහෙනං අම්මට නිදියන්න ලෑස්ති කරල දෙන්න යසස්වි. ගමන් මහන්සියත් ඇතිනෙ’

ඔවුන් නිදන්නට කාමර වලට ගියේ රෑ බෝ වූ පසුවයි. යසස්වි ස්නේහයෙන් ද ප්‍රේමයෙන් ද ස්තූතියෙන් ද හදවත බර කරගෙන සිටියා ය. ඒ සියල්ල සම අනුපාත වලින් පත අට එකට සිඳුවා දෑස් වල තියා අස්විද ට පුද දුන්නා ය.

‘මගෙ බෑණා අස්විදද…’

සාවිත්‍රි එසේ විචාලේ, දියණියත් සමග එක ඇඳකට වැටී නිදන්නට සූදානම් වූවාටත් පස්සේ ය. ඇගේ දෑස් හි වූයේ විමසුම් බැල්මකි. නමුත් දෙතොල් මත්තෙහි ආදරබර සිනහවකි.

‘අම්ම කොහොමද… එහෙම හිතුවෙ…’

අම්මා ලෙස නොව සොයුරියක හෝ මිතුරියක සේ ඇය සැහැල්ලුවෙන් සිනහ වූවා ය.

‘ඔයා එයාගෙ ඇප උපස්ථාන ටික කරනව දැක්කහම හිතුන එහෙමද කියල. පිඟාන අතට දීපු විදිහ… වතුර එක ළඟට දීපු විදිහ… ඔය කාල ඉවරද කියල අහපු විදිහ… ඒක අහන ගමන් බලපු විදිහ…එතකොට එයා කන එක නවත්තන්න ගිහිල්ලත් බොරුවට වගේ ආයෙත් අතගගා හිටිය හැටි… එයා ඔයාට මං ගැන දේවල් බලන්න කියපු හැටි… මට පුළුවං තරං සලකන්න බලපු හැටි… ඔය ඔක්කොම දැක්කහම මට හිතුණ එහෙම. ඔය දෙන්න අතරෙ හරී ගැඹුරු තේරුංනීමක් තියනව වගේ…’

යසස්වි වඩාත් බිම බැලුවා ය. සාවිත්‍රි ඇගේ උරහිස මතින් අතක් තබා කතාකළා ය.

‘එයා ඔයාට ආදරෙයි. මට හරි සතුටුයි පුතේ. තාත්ත එච්චර කැමති නැතුව වුණත් අද මේ ගමන ආපු එක ගැන මට හරි සතුටුයි. එයා ඔයාව හොඳට බලාගනී. මේ ගෙදරට හැමදාම පහනක් වෙලා ඉන්න. ගෙදර ගිනිතියන්න නෙවෙයි… ගෙදර එළිය කරන්න පහනක් වෙන්න’

‘අම්ම’

‘අස්විදගෙ අම්මයි තාත්තයි දන්නවද මේ ගැන…’

‘තාම නෑ. එයානං කියන්න කැමතියි. ඒත් මට බයයි. මං කිව්ව තව ටිකක් ඉඳල කියමු කියල. අම්මටත් එතකොට කියන්නයි හිතං හිටියෙ’  

‘පරිස්සමෙං… ඒ දෙමව්පියන්ගෙ හිත් අසතුටු වෙන්නැති වෙන්න… අපේ ගෞරවයත් රැකෙන විදිහට ඉස්සරහට වැඩ කරන්න’

‘තාත්ත මට මොනා කරයිද අම්ම…’

සාවිත්‍රි ලොකු සුසුමක් හෙළුවා ය.

‘ඔයා දැන් පොඩි දරුවෙක් නෙවෙයිනෙ. වැඩිහිටියෙක්. ඔයාට අයිතියක් තියනව ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ගන්න. මොන හේතුවක් නිසා හරි අසරණ වෙලා තමුන්ට ඕන නැති නො ගැලපෙන කෙනෙක් බැඳගන්නවයි කියන්නෙ ජීවිතේම විඳවීමක් තමයි පුතේ. ඔයාට පේනව ඇතිනෙ මං ගෙවන ජීවිතේ. ඒත් ඔයා එහෙම වෙන්න ඕන නෑ. පවුල් ජීවිතයක් නිස්කලංක වෙන තරමට… සාමකාමී වෙන තරමට… ඊට වැඩිය සැනසීමක් නෑ පුතේ. මං දැං ඔයාගෙං දකින්නෙ එහෙම සැනසිල්ලක්. මොන හේතුව නිසාවත් ඔයා ඒක නැති කරගන්නෙපා. උදාරයට තියා  තාත්තටයි අයියටයි වුණත් බිස්නස් වලට ඔයාව හිලව් කරගන්න මං ඉඩ දෙන්නෑ. මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් මං මගෙ ජීවිතෙං වුණත් වන්දි ගෙවන්න ලෑස්තියි. ඒත් ඔයා ඔයාගෙ තීරණේ වෙනස් කරන්න එපා. තේරුණා නේද…’

‘අනේ අම්ම’

කාලයකට පස්සේ යසස්වි අම්මා ගේ සුවඳට තුරුලු ව නින්දට වැටුණා ය. ඇය යළි අවදි වූයේ දරුවන් ගැන අවබෝධයක් ඇති අම්මා කෙනෙකු විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ සැනසීමෙනි.

සාවිත්‍රි උදයෙන් ම පිටත් වීමට සූදානම් වූවා ය. යසස්වි රහසින් කඳුළක් පිසුවා ය.

‘මගෙ දුවව නංගිට බාරයි. එයා නරක දරුවෙක් නෙවෙයි. නොදැනුවත්කමට හරි එයා අතිං වරදක් වුණොත් සමාවෙන්න’

සමුගනිත්දී සාවිත්‍රි වජිරාගෙන් ඉල්ලා සිටියා ය. යසස්වි ට ඉකිබිඳිණි. අස්විද බලා සිටියේ අසරණව මෙනි. විජිත ඇයව ඔහු වෙතට ලං කොටගත්තේ ය.

‘මොනා කියනවද නංගි. දුව මට කියල තියෙන්නෙ ඔය ගෙදර ප්‍රශ්න. හැම දේම හොඳම විදිහට විසඳෙයි කියල අපි හිතමු’

යසස්වි අම්මා ව අනුරාධපුර බසයට ගොඩ කළේ හිතේ      බරින් යුතුවයි. යළි මෝටර් රථයට ගොඩ වී ඇය කඳුළක් පිසගත්තා ය.

‘අම්ම ඔයා ගැන ඇහුව. එයාට දැනිල අපි ගැන’

අස්විද සන්සුන් ව ඈ දෙස බැලුවේ ය.

‘ඉතිං…’

‘මට කියන්න වුණා ඉතිං…’

‘අම්ම මොකද කියන්නෙ…’

‘එයා කැමතියි මං ඔයා ළඟ ඉන්නවට. මටත් දැන් ඒ කුණාටු මුහුදෙ දඟලල ඇති වෙලා තියෙන්නෙ. මට ඔයා දැනෙන්නෙ සන්සුන් වෙරළක් වගෙයි අයිය.  ජීවිතේ ඉතුරු මුළු කාලෙම නිසංසලේ ඉන්නයි ඕනෙ’  

යසස්වි අස්විද වෙතට නැඹුරු වී ඔහු ගේ අත් බාහුවක මුහුණ සැතපූවා ය. ඔහු ඒ හිස් මුදුනෙහි ඉක්මන් හාදුවක් තැබුවේ ය. දීර්ඝ වූ ශීතල තනිකඩ ගමනක කෙළවර ඔහු ට ද උණුහුම් ප්‍රේමාලිංගනයක අවශ්‍යතාව තදින් දැනෙමින් තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here