සුහදිනි -28

“මෙයා හොල්මනක් දැකලද?”

දිවා කාලය පුරා අතුරුදහන් වී සිටි මිතුරිය බෝඩින් කාමරයේ දී දුටු නිම්නා ඇසුවේ අමනාපයෙනි.සකීට පෙම්වතෙකු නැති නිසාම ඇයට හොර ගමන් නොවේ.නමුත් ඇය දිවා කාලයේ අතුරුදහන් වූයේ කොහේදැයි දැන ගන්නට නිම්නාට ඕනෑ විය.

“බෙහෙත් වගයක් කුරියර් කරන්න තිබ්බ.”

සකී කෙටි ඉක්මන් පිළිතුරක් ලබා දුන්නා ය.බොහෝ දේ බෙදා ගත් මිතුරියන්ට බොරු කිරීමේ යහපතක් නැති බව ඇය දන්නී ය.නමුත් අද දහවල ගෙවී ගියේ අහස් අසල බව කියන්නට ඇයට කිසිම ධෛර්යයක් නූපදිණ.

“කාලයක අයාලේ පාවී ගිය සිත

ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක

ආදරය තරම් සුවයක් මිහි මත නැත

කියා ගයයි දුර ඉඳන් ලිහිණියක.”

අහස්ගේ ඒ වට්ස් ඇප් පණිවිඩය සකී බොහෝ වෙලාවක් බලා සිටියා ය.ඔහු පැවසූ “කොහෙටවත් නැති සම්බන්ධතා”කතාව කොහොමටත් ඇගේ සිත අමතක කරන්නට කැමති වූයේ නැත.මේ ඇගේ ප්‍රථම ප්‍රේමය ය.නමුත් ඇය ඔහුගේ කීවැනි ප්‍රේමයදැයි සොයා අන්තර්ජාලය පිරික්සන තරම් ආවේගයක් සකීට ඇති වේ.

“ඔය ගොසිප් කාරයො කියන සමහර කෙල්ලො එක්ක නම් මම යාලුයි කියලා මං දැන ගත්තෙත් උන්ගෙන්.කොතනක හරි පාටි එකක ප්‍රෝග්‍රෑම් එකක හිටියොත් අනේ ඒ ආදරේ කියලා ගොසිප් ගහන්නෙ උන්ගෙ චැනල්වලින්ම කරන ගොසිප් පේජ් වලින් තමයි.”

කොහෙටවත් නැති සම්බන්ධතා ගැන සකී විමසුවේ ඔහු ඇයව හැරලන්නට එන ගමනේදී ය.එය අසන්නේ ඉරිසියාකාර කුඩා කෙල්ලක බව වැටහුණු අහස් උස් හඬින් හිනැහුණු අන්දම සකීට මතක ය.ඇගේ කෙහෙරැළි අවුස්සා හිනැහුණා මිසක ඔහු පැරණි පෙම්වතියන් සංඛ්‍යාව හෙළි නොකළේ ය.

“ඔය සින්දුවක්.දයාන් විතාරණ කියන්නෙ.මට කවි ලියන්න බෑ.”

අහස්ගේ ඊළඟ පණිවිඩය එනතුරුම සකී සිටියේ අහස්ගේ අතීතය කෙබඳු වන්නට ඇතිදැයි සිතමිනි.ඔහු ජනප්‍රියත්වය අයාලේ යන්නට ඉඩ හරින්නෙකු බවට සමාජ ජාලාවල පැතිරී ගිය මත සහ සංවාද සකීට සිහිව එයි.ඇයට දැන් හදවතට දැනෙන්නේ බියකි,මහා බරකි.

ජීවිතය සම්බන්ධයෙන් ගත් තීරණය නිවැරදිදැයි ඇයට ඇයගෙන්ම අසන්නට ඕනෑ වූවා ය.නමුත් එවැනි අඳුරු සිතුවිලි පෙර කිහිපයකින් හදවතින් පලායන අන්දම ගැන ඇයට සැබෑවටම වැටහීමක් තිබුණේ නැත.එහෙත් ඇයට එක් දෙයක් පැහැදිලි ය.ඔහු ගැන වැරදි අවබෝධයකින් හෝ විශ්වාසයකින් තත්පර හැටකට වඩා ගෙවන්නට ඇයට නොහැකි ය.ඔහු අසමත් වේ යැයි සිතෙන තැනකදී තමන් කම්පනයට පත් වූයේ ඔහු ගැන කිසිම අයිතියක් නොමැතිව යැයි සකී සිහි කළා ය.

“සින්දුවක් නම් කියල එවන්න.ඔයා ප්‍රෝග්‍රෑම්වලට ගිහින් සින්දු කියන්නෙ”

සකී අභියෝගයක් කළා ය.ඔහු වැඩසටහන්වල ගී ගයන අන්දම ඇය බොහෝ වාරයක් දැක තිබේ.

“මේ යකාට සින්දු කියන්නත් බෑ.බොරුවට රඟනව.”

එවැනි වීඩියෝ පට යූ ටියුබ් හරහා සොයා ගනිමින් අහස්ට බැන වැදීම රන්මිණිට නම් විනෝදාංශයක් වූ තරම් ය.ඔහු දෙස ඕනෑතරමක් වෙලා බලා සිටින්නට කැමැති සකී ඒවා මඟ නොහැර නැරඹුවා ය.

“අනේ මේ බබෝ! ඔය චැනල් කාරයො උන්ගෙ චැනල් ප්‍රමෝට් කරගන්න අපි ලව්ව බැරි වැඩ කරාට මාව බයිට් කරන්න ඔයාට බෑ.”

ජනප්‍රිය වූ පසු පාවිච්චි වීම නවතා ගැනීම ඔහුට පවා අසීරු බව සකී ඒ වාක්‍ය තුළින් ඉගෙන ගත්තා ය.නමුත් මේ පාවිච්චි වීම ද අහස්ගේ ජීවිතයට ඇදවැටී ඇති කළු සෙවනැල්ලක් බව ඇයට සිතෙන්නට විය.ඒ සියල්ල ගැන එක දවසකින් ඔහු සමග කතා කරන්නට නොහැකි ය.

“අපි ඔය හීනෙ හෙමින් සීරුවෙ තෝරා ගමු.”

සකී සිහිනය ගැන ලතැවුණු මොහොතේ අහස් අවසාන තීන්දුව දුන්නේ එයට වැදගත්ම කතාවක් එක් කරමින් ය.

“අපට ඔය හැම දෙයක්ම තෝරගන්න ජීවිත කාලයක්ම තියෙනවා සකී.ඒ නිසා හදිසි වෙන්න එපා.”

ජීවිත කාලයම ගැන සිහින දැකීම අපූරු මිහිරියාවක බව ඇයට සිතෙන්නේ අද මද්දහනේ පටන් ය.සෑම මොහොතකම නෙළා ගත නොහැකි තාරකාවක ගැන සිහිනයක් ඇය කැළඹීමට පත් කරද්දී දිනයක විවාහයකට එළඹෙන්නේ කෙසේදැයි ඇය සිය දහස් වර සිතා තිබේ.හදවත එක තැනක තබා සිරුර තවත් තැනකට ගෙන යාම ප්‍රායෝගික නොවන බව සකී දැන සිටියා ය.නමුත් එය කරන්නට වන බව සිතමින් ඇය අනාගතය ගැන බොහෝ කම්පා වූ දවස් තිබේ.

“පිටරටවල ඕනෑතරම් සූරියකාන්ත මල් වතු තියනවා.මං මොනතරම් සූරියකාන්ත මල් හීනෙන් දැක්කත් කවදාවත් යන්න උත්සාහ කරලානම් නෑ.”

අහස් එවර අලුත් කතාවක් සොයාගෙන තිබිණ සිහිනයෙන් දකින ස්ථානය කොහේ හෝ ඇතැයි සිතුණ ද ලෝකය පුරා එතැන සොයන්නට දැන් සකීට උවමනාවක් නොමැත.තවමත් පිළිගන්නට නොහැකි තරම් වුව ද සිහිනයේ සරන්නා දැන් ඇගේ ය.

“ලෝකෙ ලස්සනම සූරියකාන්ත මල් යායක් ඉතාලිවල තියෙනව කියල මං අහලා තියනවා.ඒ වගේම තමයි ඇමරිකාවලත්”

කවදා හෝ පශ්චාත් උපාධිය හදාරන්නට ඇමරිකාවේ යන සිහිනයක ගිලී සිටි යුවතිය ප්‍රේමවන්තයාට පැවසී ය.පශ්චාත් උපාධියත් හැකිනම් ඉන් ඔබ්බටත් අධ්‍යාපනය හදාරන සිහිනය ඇය තවම අහස් සමඟ බෙදා ගත්තේ නැත.ඔහු එයට එකඟ නොවේදැයි ඇයට ලා සැකයක් මතු වේ.ඔහුගේ වෘත්තියේ හැටියට ඔහු ප්‍රිය කරන්නේ රැකියාවක් නොකරන බිරිඳකට වන්නට ද ඉඩ තිබේ.

“අපි නිතරම යැවෙන රටක්නෙ ඕස්ට්‍රේලියාව.ඕස්ට්‍රේලියාවේ ජනවාරි ඉඳන් මාර්තු වෙනකම් සූරියකාන්ත මල් මාරම ලස්සනට පිපෙනව.”

බොහෝ වෙලාවක් මන්මන්ව එදෙස බලා සිටිය ද මල් යායක ඇවිදීමේ ආශාව සඟවා ගත් අන්දම අහස්ට සිහි වේ.

“කවදහරි කසාද බඳින කෙල්ල එක්ක තමා මෙතනටනම් එන්නේ”

සවුත්වේල්ස් ප්‍රාන්තයේ ලිවර්පූල් ප්ලේන්ස් හි සූරියකාන්ත මල් යායකට මෙපිටින් හිඳ කණ්ඩායම් සගයෙකුට එසේ කී අන්දම අහස්ට මතක ය.සාරණ්‍යා කියන්නේ විවාහයෙන් කෙළවර නොවන සබඳතාවයදැයි මිතුරා ඇසුවේ සරදමට ය.නමුත් ඇය තමන්ගේ පතිනිය නොවන බව අහස් දැන සිටියේ ය.

“ඔයා ලෝකෙ පුරා ඇවිදල තියනවනෙ.මං තාම ලංකාව පුරාමවත් ගිහින් නෑ.”

ආත්මීය සහකරුවන්ගේ ආශා සහ හැසිරීම් සමාන බව කොහෙන්දෝ කියවූ අන්දම සකීට මතක ය.නමුත් අහස් ලෝකයේ බොහෝ සුන්දර තැන් නරඹා තිබුණ ද සකී තවම යාපනයට යන්නට පවා සිහින දකින්නී ය.බදුලු කෝච්චියෙන් යාම පවා සරසවි මිතුරියන්ට පිං සිදු වන්නට ඉටු වූ සිහිනයකි.

“මං ඔයාව ලෝකෙ වටේ නැතත් පුලුවන් හැමතැනම එක්ක යන්නම්කො.ඒකට නම් අපිට ඉක්මනින් බඳින්න වෙනව.”

සකී ඒ අස ගල් ගැසුණා ය.ඇයට කොහොමටත් දැන්මම විවාහ වීමේ උවමනාවක් නොවේ.අනෙක් අතට පෙම්වතා අහස් ඉලංගසිංහ බව කියද්දී අම්මාත් තාත්තාත් එය ප්‍රතික්ෂේප කරන ඉඩද ඉතා ඉහළ ය.ඉතින් විවාහයක් කියන්නේම සිහිනයකි.අනෙක් අතට ප්‍රේම සම්බන්ධතාවය පැය විසි හතරක කාලයක්වත් පසු නොකර තිබියදී විවාහයක් ගැන කතා කිරීම ම විහිළුවකි.

“මොනවද අනේ මෙයා ආපු වෙලාවෙ ඉඳල ෆෝන් එක බදන් කරන්නේ?”

නිම්නාගේ කටහඬට උඩගොස් බිම වැටෙන තුරුම සකී කළේ සවුත් වේල්සයේ ඇතැයි කියන සූරියකාන්ත මල් වතු අන්තර්ජාලයේ පරීක්ෂා කිරීම ය.කුමක්දෝ හේතුවක් හන්දා අහස් ඕස්ට්‍රේලියාවට වැඩිපුර ප්‍රිය කරන බවක් ඇයට දැනේ.ඇමරිකාවට පසු ඇය ද ඉගෙනීම වෙනුවෙන් යන්නට වඩාත් ප්‍රිය කරන රට ඕස්ට්‍රේලියාව ය.අහස් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ප්‍රිය කරන්නේදැයි අසන්නට සකීට සිතිණ.එහෙන් මෙහෙන් අහුලා ගත් ඕපාදූප මිසක සකී ඔහුගේ ක්‍රිකට් ජීවිතය ගැන කිසිවක්ම අසා තිබුණේ ද නැත.

“අපිට හොරෙන් කොල්ලෙක් හොයාගෙනද මන්දා”

නිම්නාගේ ඒ කතාවට පිළිතුරු දෙන්නට සකීට හදිසියේ ම සිතිණ.ඇය මිතුරියට සෘජු බැල්මක් හෙළුවා ය.

(සකී ගැන ඔබේ හැඟුම් ලියා යන්න.ඔබේ හැම කමෙන්ට් එකක්ම මට ධෛර්යයකි.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles