විහඟ පියාපත් 27

0
4341

ශයිනි පෙරළා පියවි ලොවට පිවිසියේය මැසෙන්ජර් පණිවිඩයක් පැමිණි හඬිනි.

” මං කවුරු වුනත් , මෙවෙලේ වැදගත්ම දේ තමා මම ඔයාගේ පැත්තේ… ඔයත් එක්ක ඉන්නවා …”

ඕ  යහනේ පෙරලුණාය. අමයුරු දිසානායක ; ඔහු පහසුවෙන් අත් හරින අයෙකු නොවන හැඩය.

 ඔහු කවුරුන්දැයි වැදගත් නොවන වග ඔහු පවසන්නේ කෙලෙසද. ? ඔහු රැක ගත්තේ තමා ජීවිත කාලය පුරාම වෙහෙසී තනා ගත් මොණරවිල හොටෙල්ස් නාමයය. ඇතැම් විට නඩු පැවරීමකින් පවා මේ සියල්ල කෙලවර වන්නට තිබුණි.

 එවන් යමක් වූවා නම් යළි හිස එසවීමට තරම් ආත්ම විශ්වාසයක්  තමා සතු නොවන්නේ යැයි ශයිනි කල්පනා කලාය. ඔහු මෙතරම් සැඟවෙන්නට උත්සාහ කරන්නේ මන්දැයි සිතා ගන්නට නොහැක. කවුරුන් වුවද , මුහුණ දී කතා කරන්නට නොහැකි වීම පසුපස සිතා ගත නොහැකි අභිරහසක් පැවතිය හැක.

එහෙත්, ඔහු ප්‍රසිද්ධ පුවත්පතක ලිපි සම්පාදකයෙකි. එවිට ඒ පුවත්පතෙහි සංස්කාරකවරයා හෝ ඔහු කවුරුන්දැයි දැන සිටිනවා විය යුතුයමය. එසේ නොවන්නට ඔහු විසින් සම්පාදනය කරන්නට යෙදුණු ආකාරයේ ලිපි වගකීමක් නොගෙන පල කරන්නේ නැත. එනිසා ඔහු අභිරහසක්ම නොවේ. ඔහු පිළිබඳව දන්නා කියන කිහිප දෙනෙක් හෝ සිටිනවාම විය යුතුය. 

ශයිනි කොළ පැහැ හදවතක් සමඟ සෙමිකෝලනයක් යැව්වාය. අකලංකට එය ඉතා බරට දැනුණි. ඇය දයාර්ද වෙන්නීය. ලයාදර වනු ඇත. නොනැවෙන ගැහැණු පෞරුෂයක් සේ ඉන්නට සූදානම් නොවී, තමා හා වෙලෙනු ඇත. 

අකලංක ද යහනේ පෙරලුණේය. ඇය  පිළිබඳව තමා කෝපයෙන් කතා කෙරූ දිනය සිහි විය. සිනහ නැගෙන්නේය. ප්‍රබාත් එදින ඇය වර්ණනා කලේය. ඇගේ අභිමානවත් බව කීවේය. එදින සම්මාන රාත්‍රියේ ඇගේ සුන්දරත්වය පිළිබඳව කීවේය. 

එහෙත්, තමාට ඇය පිළිබඳව වූයේ නොරිස්සුමකි. අකලංක ට යලි යලි  සිනහ නැගෙන්නේය. එක්වරම යමක් සිහිවූවාක් මෙන් ඔහු යූ ටියුබයට  පිවිසියේ ය. පසුගිය දිනෙක පවත්වන්නට යෙදුණු සම්මාන උළෙල සෙව්වේය. ඉතින් ; වසරේ විශිෂ්ටතම ව්‍යව සායිකාවගේ සම්මාන ප්‍රධාණය සේම ඇගේ කෙටි සාකච්ඡාවද එහි විය

ඉතින්; ප්‍රබාත් නිවැරදි වග අකලංක ට සිතෙන්නේය. ඇය අතිශය සුන්දරය. ඇයට වඩා ගැලපෙන්නේ සාරිය නොවේදැයි සිතමින්, අකලංක ඇයගේ මුහුණු පොත් ගිණුමට පිවිසියේය. කහ පැහැති ගවුමකින් සැරසී, ටෙලිය හෝටලයේ සිදු කල කෙටි මුහුරත් දිනයේ ගත් සේයාරුවක් හමුවිය. නැත ඇය වඩා සුන්දර ලෙසින් පෙනෙන්නේ ගවුමට බව දැන් අකලංක ට විශ්වාසය. 

අකලංක ජංගම දුරකතනය පසෙකට දමා දෑස් පියා ගත්තේය. සැඟවුණු රිදුමක් නැතිවා නොවේ. මේ සියල්ල ගිණි කන්දක්සේය. නිශ්ක්‍රීය ව ඇති තෙක් අතිශය සුන්දර ලෙසින් විඳ ගත හැක. එහෙත්, විධාරනයව ගිය දාක.,

අකලංක ප්‍රබාත් ට ඇමතුමක් ගත්තේය. පළමු ඇමතුම ට පිලිතුරු ලැබුනේ නැත. දෙවන ඇමතුමට පිළිතුරු ලැබුණි. 

“නිදාගන්න දීපංකෝ හු*&….” 

සුද්ද සිංහලෙන් ම ඇමතිණි. අකලංක ද ඒ හා සමවම ප්‍රබාත් ට පිළිතුරු දුන්නේ ය.

“මට ඒකිව ඕනි බං.. ඒකි තමා කෙනා…”

අකලංක එලෙස පවසද්දී, ප්‍රබාත් නින්ද නොතකා ඇමතුමට සූදානම් වූයේ ය. දන්නා තරමින් ශයිනි යනු කිනම් ආකාරයක කෙනෙක්දැයි ඉතා දීර්ඝව අකලංක ට පැහැදිලි කලේය. 

අමයුරු දිසානායක ලෙසින් ඇය සමඟ ගොඩනගාගන්නා සම්බන්ධතාවය අවසන් වන්නට ඉඩ ඇත්තේ කෙලෙසකදැයි ඉතා පැහැදිලි ව කීවේය. තමා එතරම් වංචාවක පැටළුණු වග දැනගත් පසු, ඇය අකලංක වෙත බැඳී හිඳීවියැයි සිතීම පවා විහිළුවක් වග කීවේය. 

එහෙත්, අකලංක කීවේ එහි ප්‍රතිවිරුද්ධ කතාවය. අමයුරු දිසානායක යනු ව්‍යාජ මැවුමක් බව ශයිනි මේ වනවිටද දනී. අනෙක් අතට අමයුරු ගේ අනන්‍යතාව විමසමින් ඇය ඔහු පිළිබඳව වද වන බවද පෙන්වයි. 

ඇය එලෙසින් වද වෙන්නේ අමයුරු පිළිබඳව මිසෙක, අකලංක පිළිබඳව නොවේය. අනෙක් අතට බන්ධනා පසුගිය දිනවල හැසිරුණ ආකාරයට ශයිනි සිතා ඉන්නේම අකලංක ඇයගේ පෙම්වතා වගය. ඇය ඒ බව හෝටලයේ කිහිප දෙනෙකුටද අඟවා ඇති බවට කෙනෙකු පැවසූ වග අකලංක කීවේය. එනිසා අකලංක ට මෙවෙලෙහි ශයිනිගේ සුව කලාපයට රිංගාගන්නට කොහෙත්තම ඉඩක් ලැබෙන්නේ නැත. 

පසුගිය සතියේ,ඕ අකලංක ඉදිරියේ පෙන්වූ නුහුරු කෝලය අද දිනයේ කෙලෙසකින්වත් නොවූ වගද අකලංක ප්‍රබාත්ට අවධාරණය කලේය.

“උඹට තියෙන ප්‍රශ්නේ බන්ධනා නම් , ඉස්සෙල්ලාම ඒකිට පැහැදිලි කරලා පැත්තකට කරලා හිටං..ඒකයි මේකයි අරකයි ඔක්කොම බැලන්ස් කරන්න බෑ…

අකලංක දිගින් දිගටම සිදු කරන සාධාරිනීකරණය අවසානයේ ප්‍රබාත් එලෙස පැවසූයේ  උස් හඬිනි. 

” ඒකිව පැත්තකට කරන්න මොකක්ද කරන්නේ කියහංකෝ… මං පැහැදිලිව කියලා තියෙන්නේ .. කරේ එන්නේ ඒකි… අනෙක් දවසේ ඕනි මඟුලක් කියලා කන පැලෙන්න කියලා දාන්නම්… ඒක විතරයි කරන්න තියෙන්නේ දැන්…”

අකලංක ද ප්‍රබාත් පරයා යන උස් හඬින් කීවේය.  ප්‍රබාත් ඉන් සැලුණේ නැත. හොඳින් නොහැකි නම්, කෙලෙසකම හෝ ඇය පසෙකට කර දැමීම කල නොහැකි නම් ශයිනි ගැන බලාපොරොත්තු අතැර ගන්නා ලෙස ප්‍රබාත් අවධාරණය කලේය. අමයුරු සහ අකලංක යන දෙදෙනා එක් අයෙකු බව දැනගන්නා දිනෙක ශයිනි ට සිහිවන පළමු කාරණාව වන්නේ ඔහු බන්ධනා සමඟද කල් ගෙවූ වගය. ඇය හා වූ දසුන් ය. ඇගේ හැසිරීම් ය. ඔහුගේ ප්‍රති හැසිරීම් ය. 

අකලංක ඇමතුම විසන්ධි කලේය. මෙවෙලෙහිම  බන්ධනා ට පැහැදිලි කරන්නට කුමක් හෝ  දෙයක් කල යුතුය. ප්‍රබාත් හා උරණ වූ වග පෙන්වා ඇමතුම විසන්ධි කලද ඔහු පවසන්නේ සත්‍යයකි.

 බන්ධනාගේ හැසිරීම් මෙතෙක් කල් ගනණකට නොගෙන උන්නාට තව දුරටත් එලෙස සිටීම තේරුමක් නැත. තමාට ඍජුවම බලපෑමක් කරන්නට හැකි තරමේ සීමාවකට දැන් ඇය පැමිණෙමින් සිටින්නීය.

අකලංක යළි මැසෙන්ජරය විවෘත කලේය. ඇයගේ  කොළ පැහැ හදවත සහ සෙමි කෝලනය පොපියන හැඟීමක් තනා ඇත. අකලංක පෙරළා එයට කළු පැහැ හදවතක් සමඟ කොමාවක් යැව්වේය. සැනින් ඇය එය බැලූ බව සටහන් විය.

” ස්තූතියි හැමදේම වෙනුවෙන් … “

ශයිනි එලෙස කිව්වාය. මෙය යන්නේ කිනම් දෙසකටදැයි සිතා ගත නොහැකි ලෙසින් එලෙස කීවාය. 

අකලංක ට ඉන් දැනුණේ පරාජිත බවකි. ස්තූතියි පැවසීම තුළ….,

තිළිණි සිටින්නේ ශයිනි සහ චරිත් දෙදෙනා අතර මැද සිරවීගෙනය. ශයිනි කිසිවක් පවසන්නට හෝ උත්සුක වන්නේ නැත. එහෙත්  චරිත් ප්‍රමාණය ඉක්මවාම කියවන්නේය. ඔහු උත්සාහ කරන්නේ ඔහු නිවැරදි වග තමාට ඒත්තු ගන්වා, ඒ හරහා ශයිනිටද ඒත්තු ගැන්වීම වග තිළිණි ට සිතා ගැනීම අපහසු නැත. 

සැබැවින්ම චරිත් මෙතරම් වංචාවක කොටසක් වූයේ කෙලෙසදැයි තිළිණි ට වැටහෙන්නේ නැත. ඔහුට මසකට ලක්ශ දෙකක් ඉක්මවන වැටුපක් ඇත. පෞද්ගලික පරිහරණය වෙනුවෙන් කැබ් රියක් ඇත. නවාතැන් , ආහාර පාන නොමිලයේය. ඒ තියා අසනීපයක් වූ කල වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් පවා වියදම් කරන්නේ ශයිනි වග ඕ හොඳින්ම දන්නීය.  එහෙව් ඇයට මෙතරම් වංචාවක් කරන්නට චරිත් හිත හදාගත්තේ කෙලෙසද ?

හෝටලයට විරුද්ධව උද්ඝෝෂණ පැවතෙද්දී , පුවත්පත් ලිපි ලියැවෙද්දී පවා ඔහු කලේ මුනිවත රැකීමය. පරිසර නිළධාරියා යැයි කෙනෙක් සමඟ එහෙ මෙහෙ ඇවිදිමින් කල් මැරීමය. ශයිනි මේ සියල්ල සොයා ගත්තේ කෙලෙසකින් වුවද, ඉන් රැකුණේ ඇගේ ජීවිතය තුළ ගෞරවය පමණක් නොවන වග තිළිණි සිතුවාය. 

චරිත් ගැන දැනෙන කෝපය, කලකිරීම අග එක්වරම පපුව මැද නැඟුණේ ගින්නකි. ඔහු අවිශ්වාස කරන්නට කිසිම හේතුවක් නැතැයි සිතමින් සිත හදා ගත් සිදුවීම සිහිවීමෙනි. ඔහු සැබැවින්ම තමාට ප්‍රේම කරන නිසා, ඔහු සමඟ ජීවිතේ හැම අංශුමාත්‍රයක් ම බෙදා ගත්තාය කමක් නැතැයි සිතා හිත හදාගත් සිදුවීම සිහිවීමෙනි. 

ඔහු ශයිනි ට කර ඇත්තේ සැලසුම් සහගත වංචාවකි, ඒ ශයිනි යනු කවරෙක්දැයි දැන දැනමය. එලෙස නම් ඔහුට තමා ට කෙතරම් වංචා කල හැකිද ? තමා අන්ධව ඔහු විශ්වාස කරන බව ඔහු හොඳින්ම දන්නේය. තමා කෙතරම් ප්‍රේම කරනවාදැයි දන්නේය. ඉතින් ; ඔහු …., 

තිළිණි හැඬුම් නැවතෙන්නට දුන්නෙ නැත. 

| අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here