ආදර සැලසුම් – 51

0
2797

ෂෙහාරා හට කුඩා හෝ අවස්ථාවක් නොදී සිටීමට ආදිත්‍ය පරිස්සම් වූයේ ඇය නිසා තම ජීවිතයට ඇති වූ කම්පනය ඒ වන විටත් පහව නොගොස් තිබූ නිසාය. මෞර්යා පසෙකින් සිට ජීවිතය ගොඩ නගා ගැනීමට සවියක් වීම ආශිර්වාදයක් කොට සැලකූ ආදිත්‍යය ඒ කාරණාව පිළිබඳව අභිමන් සමග පැවසීමට නොහැකි වීම පිළිබඳව පමණක් ලතැවුණේය.

ඊළඟ සති අන්තයේ නිල්මිණි ගේ උපන් දිනය යෙදී තිබිණි.එය සෙනසුරාදා දිනයක් වූ බැවින් මෞර්යා උදෑසන නමයට පමණ සූදානම් වී චන්දික සමග නිවසින් එළියට පැමිණියේ නිල්මිණී වෙනුවෙන් යමක් මිලදී ගැනීම සඳහාය. උපන් දිනය නිමිත්තෙන් නිල්මිණි පැරණි මිතුරියක් මුණ ගැසීමට උදෑසනම ගොස් තිබුණු නිසා මෞර්යා හට චන්දික සමඟ තෑග්ගක් මිලදී ගැනීමේ කාර්ය සඳහා යාම ඉතා පහසු විය.

චන්දික සහ මෞර්යා පැමිණියේ පැළවත්තේ පිහිටි Cool planet වෙතය. ඇඳුම් ආයිත්තම් මෙන්ම අත් බෑග් , ආභරණ වැනි දේවල්ද , නිල්මිණි ප්‍රිය කරන පන්නයේ නිවසට අවශ්‍ය කරන විසිතුරු දෑ බොහොමයක් ද එතනින් මිලදී ගැනීමට හැකි නිසා චන්දික සහ මෞර්යා සැලසුම් කලේ එවැනි දේවල් කිහිපයක් මිලදී ගෙන නිල්මිණී ව පුදුමයට පත් කිරීමටය.

” මට ඔෆිස් එකට කෝල් එකක් ගන්න තියෙනවා පුතේ. ඔයා ඉස්සෙල්ලම ගිහින් අම්මට ඇඳුමක් තෝරන්නකෝ.මම මේ කෝල් එක අරගෙන විනාඩි පහට එන්නම් ” 

වාහන අංගනයේ වාහනය නැවැත් වූ චන්දික එසේ කී පසුව මෞර්යා වාහනයෙන් බැස Cool Planet එක තුළට ඇතුළු වී නිල්මිණී ගේ ප්‍රියතම පාට වලට අනුව ඇඳුම් කිහිපයක් තෝරා ගැනීම ආරම්භ කළාය. නිල්මිණි නොමැතිව ඇයට ඇඳුම් තේරීම පහසු කටයුත්තක් නොවුණත් මෞර්යා ඇඳුම් කීපයක් තෝරා ගත්තේ හිතේ අනුමාන වලට අනුවය.

” මෞර්යා ” 

මෞර්යා ඇඳුම් තෝරමින් සිටින අතරතුර පිටුපසින් පැමිණි හඬට හැරී බැලූ අතර මෞර්යාට දකින්නට ලැබුනේ තමා ඉදිරියේ සිට ගෙන සිටින අෂිකාවය. අනපේක්ෂිත මොහොතක මුණගැසුණු ඒ කාරුණික කාන්තාව දුටු මෞර්යා සතුටින් ඉපිලුණු අතර ඇය තම ආයතනයෙහි ප්‍රධානීන් දෙදෙනා ගේ මව බවවත් අමතක කර මෞර්යා ඇයව වැළඳ ගත්තාය.

” අශිකා මැඩම් ” 

” ගෑණු ළමයා නිවාඩු දවසේ shopping කරනවා වගේ ” 

අශිකා සිනා මුසුව කීවේ මෞර්යාගේ අත තිබූ ඇඳුම් කිහිපය දෙස බලමිනි.

” මට නෙමෙයි මැඩම්.අම්මට. අද අම්මගේ බර්ත්ඩේ එක. අම්මා පරණ යාළුවෙක් එක්ක උදේම එළියට ගියා.ඉතින් ඒ වෙලාවේ තාත්තයි මායි එළියට පැන ගත්ත අම්මා ආස දේවල් ටිකක් අර ගෙන යන්න “

මෞර්යා එසේ කී විට අශිකා වටපිට බැලුවේ මේ අපූරු තරුණිය ගේ පියාව හමුවීමේ බලාපොරොත්තුවෙනි.

” කෝ ඉතින් තාත්තා ? ” 

” අ.. මේ.. තාත්තට ඔෆිස් එකට කෝල් එකක් ගන්න කියලා පොඩ්ඩකට වාහනේ නැවතුනා. දැන් එයි මැඩම් ” 

මෞර්යා පිළිතුරු දුන්නේ චකිතයෙනි.තම පියා මෙතනට පැමිණියහොත් කුමක් සිදු වේදැයි සිතා ගත නොහැක. එහෙත් පැමිණෙන්නට එපා යැයි කීමද කළ නොහැක. මෙවැනි මුණ ගැසීමක් කෙදිනක හෝ සිදුවිය හැකි නිසා එය මේ මොහොතේ සිදු වන්නට හැරීමට මෞර්යා සිතුවාය.අනතුරුව නිල්මිණී සඳහා ඇඳුම් තේරීමේ කාර්යයට අශිකාද මෞර්යා සමග එක් වූ අතර අශිකා මොන තරම් නිහතමානී කාන්තාවක් දැයි ඒ අතරතුර මෞර්යා බොහෝ වර සිතුවාය.

” මේක බලන්නකෝ මෞර්යා ” 

අශිකා පසෙක තිබූ හුරුබුහුටි ගවුමක් ගෙන මෞර්යාගේ ඇඟට තබා හැඩ බැලුවාය.එය මෞර්යාට මනා සේ ගැලපුණු අතර එහි පැහැයද මෞර්යාගේ වතට එක් කළේ ආලෝකයකි.

” ඒක හරි ලස්සනයි නේද මැඩම් ? ” 

මෞර්යා කීවේ ආසාවෙනි

” මං මේ ගෑණු දරුවෙකුට ඇඳුමක් තේරුවාමයි.මට ඉතින් ඉන්නේ කොල්ලෝ දෙන්නෙක් නේ. ෂෙහාරා වුණත් කවදාවත් මාත් එක්ක ෂොපින් යන්න ඇවිල්ල නැහැ මෞර්යා ” 

මෞර්යා කිසිවක් කීවේ නැත.ඇයට සිහිවූයේ ආදිත්‍යවය.තමා ආදිත්‍යය හට ආදරය කරන බව අශිකා දැනගත හොත් කුමක් සිදු වේ දැයි මෞර්යාට සිතා ගත නොහැකි විය. එය බාර දිය යුත්තේ කාලයටය.කාලය විසින් සියලු ගැටලු වලට විසඳුම් ලබා දෙනු ඇත.

” මම මේක මෞර්යාට අරන් දෙනවා. මේක ඇන්ද වෙලාවට මට ෆොටෝ එකක් එවන්න “

” අනේ මට මොකටද මැඩම් තෑගි ” 

” මං සතුටින් අරන් දෙන දේනේ ” 

අශිකා ඇය අත තිබූ ඇඳුම් අතරට මෞර්යා වෙනුවෙන් තෝරා ගත් ගවුමද එකතු කර ගත්තේ ආසාවෙනි. මෞර්යා හට අශිකා ගේ ආදරය පිළිබඳව දැනුනේ මහත් වූ ලෝභකමකි. ෂෙහාරාට මෙවැනි වූ ආදරයක් ලබන්නට පහසුවෙන්ම හැකියාව තිබියදී එය අහිමි කර ගෙන ඇත්තේ ඇගේ අවාසනාවටය. ඇය ආදිත්‍යව පවා අහිමි කර ගන්නට යන්නේ ඒ නිසා බව සිතුවේ කම්පාවෙනි.

” පුතේ ” 

අශිකා සහ මෞර්යා ඇඳුම් තෝරන අතරතුර එතැනට පැමිණියේ චන්දිකය. චන්දික ගේ හඬට අශිකා සහ මෞර්යා හැරී බැලුවේ එක වරය.මෞර්යා මේ මුණගැසීම බලාපොරොත්තුවෙන් සිටි නිසා ඇය පුදුම නොවූ අතර අශිකා සහ චන්දික එකිනෙකා දෙස බලාගෙන තප්පර ගණනාවක් ගත කළේ බොහෝ පුදුමයෙනි.

” චන්දික ” 

අශිකා මිමිනුවේ අපහසුවෙනි.ඒ මෙවැනි තැනකදී ,මෙවැනි මොහොතකදී ,මෙවැනි මුණගැසීමක් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ නිසාය.

” ගොඩ කාලෙකින් නේද අශිකා ” 

චන්දික වදන් ගැලපුවේද අපහසුවෙනි.අශිකාව මේ තරම් සමීපයෙන් දකින්නේ වසර ගණනාවකට පසුවය. එහෙත් ඇය තවමත් අතීතයේ මෙන්ම සුන්දරය. පැහැබරය.

” තාත්තා මේ මිස්ටර් අභිමන් ගෙයි ආදිත්‍ය ගෙයි අම්මා ” 

මෞර්යා කීවේ කිව යුතු නිසාය. මේ හමුවීම සිදු නොවන්නට වග බලා ගත හැකිව තිබුණ මුත් මෞර්යා එය එසේ වන්නට හැරියේ තම පියා වාහනයේ නතර නොවී තමා සමග පැමිණියා නම් මේ හමුවීම කොහොමටත් සිදු වන නිසාය. අනෙක් අතට දෛවයේ ලියවී ඇති හමුවීම් සහ වෙන්වීම් කිසිවෙකුටත් වෙනස් කළ නොහැක.

” එතකොට මේ ඔයාගේ දුව ? ” 

අශිකා ඇසුවේ නැවත වාරයක් මෞර්යා දෙස බලමිනි. ඇය මේ තරම් ගුණ යහපත් කම් සහිතව හැදී වැඩීම පිළිබඳව සැකයක් නැත. චන්දික උන්නේ ගොළු වීය. මෙවැනි අවස්ථාවකට කෙසේ ප්‍රතිචාර දක්වන්නට දැයි සිතා ගත නොහැක.එහෙත් එයට මුහුණ දිය යුතුව ඇත.

” ඔව්. මගේ එකම දුව ” 

” දුව වැඩ කරන්නේ අපේ කම්පනි එකේ. මෙතනදි මට හම්බුනේ අහම්බෙන් ” 

අශිකා කීවාය. ඇය උන්නේ අතීතයට පියමං කරමිනි. දියණියකට කැමැත්තෙන් සිටියත් තමා දියණියක් ලැබුවේ නැත. එහෙත් තමා ආදරය කළ තැනැත්තාට දියණියක් ලැබී ඇති අතර කෙටි කාලයක් තුළ දී තමා සමීපව ඇත්තේද ඒ දියණියටමය. දෛවයේ සැලසුම් පුදුම සහගත බව සිතෙන්නේ මෙවැනි වෙලාවල් වලදී ය.

” තාත්තා මං අර පැත්තේ අම්මට මොනවා හරි තියෙනවද කියලා බලලා එන්නම් ” 

චන්දිකටත් අෂිකාටත් කියන්නට කිසිවක් ඉඩ නොතබා මෞර්යා සැණෙකින් වෙනත් අංශයක් කරා ඇවිද ගියාය. චන්දික සහ අශිකා මොහොතක් නිහඬව හුන් අතර කොතනින් කතාවක් ආරම්භ කරන්නට දැයි සිතා ගත නොහැකිව දෙදෙනාම ලත වෙමින් පසු වූහ.

” ඔයා හරි වාසනාවන්තයි චන්දික.හරිම හොඳ කෙල්ලෙක් ඔයාට ඉන්නේ ” 

අශිකා කීවේ මෞර්යා ගිය දෙස බලාය.

” ඔයා ඊට වඩා වාසනාවන්තයි.ඔයාට කොල්ලෝ දෙන්නෙක්ම ඉන්නේ.ඒ දෙනා කොච්චර හොඳද කියලා මෞර්යා ගෙදර ඇවිල්ලා කියනවා. අනික එයා ඔෆිස් යන්නෙත් හරිම ආසාවෙන් ” 

තම පුතුන් දෙදෙනා පිළිබඳව එවැනි කතාවක් අසන්නට ලැබීම මවකට වාසනාවකි. සැමියාගේ ආදරය සහ රැකවරණය අහිමිව ගියද ඔවුන් දෙදෙනාගේ ආදරය සහ රැකවරණය මැද ජීවත් වන්නට ලැබීමම ඊටත් වඩා වාසනාවකි.

” ඔයා මෙහෙම සතුටින් ජීවත් වෙනවා දකින්න ලැබෙන එක මට හරි සතුටක් චන්දික. මං නිසා ඔයාට වෙච්ච දේවල් වලට මං තාමත් විඳවනවා. මං දන්නවා ඔයා උනත් ඒ කාලෙ ඊට වඩා විඳවන්න ඇති ” 

” වෙන්න තියෙන දේවල් අපිට වළක්වන්න බෑ නේ අශිකා. ඒ හැමදේම දැන් වෙලා ඉවරයි. අපේ ජීවිත වෙනස් වෙච්ච විදිය බාර අරගෙන ජීවත් වෙන්නයි දැන් තියෙන්නේ. ” 

” ඔයා හිතා ගෙන ඉන්නේ මගේ අම්මයි තාත්තයි කරපු දෙයින් මට හොඳක් උනා කියලද චන්දික ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here