සන්තාන සුසුම් සර – 45

0
5020

දිවා ආහාරය ගත් ගමන් සාවිත්‍රි හා චාරුලතා අනුරාධපුරය බලා පිටත් වී යාමට සූදානම් වූහ. ඔවුන් එදිනත් තුසිතයෙහි රැඳෙනවා නම් තුසිතයෙහි ඇත්තන් සතුටු වී ද වෙහෙරගොඩ මුදලාලි ගේ ස්වභාවය දන්නා නිසා අම්මා ව අනතුරෙහි හෙළන්නට යසස්වි කැමති වූයේ නැත.

‘ආයෙ දවසක එන්න ඉඩක් ඉතුරු කරගන්න එක හොදයිනෙ. මේ සිද්ද වෙච්ච දේවල් ආරංචි වුණොත් එහෙම වෙඩි කාපු ඌරා වාගෙ කිපෙයි. ඒත් දැන් ඉතින් මොන දේ වුණත් මං බය නෑ. මගෙ හිතට බරකුත් නෑ’

සාවිත්‍රි වෙනදාටත් වැඩියෙන් දොඩමළු වූවා ය.

‘එහෙනං මං අම්මවයි ලොකු අම්මවයි බස් එකට දාල එන්නං’

අස්විද ගේ ඒ ඉදිරිපත් වීම තරයේ ම ප්‍රතික්ශේප කරන්නට සාවිත්‍රි දෙවරක් සිතුවේ නැත.

‘අපිට පුළුවං ටැක්සියක් දාගෙන ගිහිං බස් එකට නගින්න. මේ වෙලාවෙ පුතා ගිහිං කොහොමද… ඔන්න ඔහෙ ගෙදරට වෙලා ඉන්න’

එබැවින් අස්විද ඒ රාජකාරියෙන් නිදහස් විය. නමුත් ඇඳිරි වැටීගෙන එන තුරුත් පිරිමි පාර්ශවයෙහි සාදය නිමා නොවුණෙන් ඔහු ට නිදහසක් වූවා ද නොවේ. යසස්වි සමගින් හවසට පන්සල් යන්න කියා රයන් කියා තිබුණ ද ඔහු වෙනදාටත් වැඩියෙන් එදා මධු විතෙන් පදම් වෙමින් සිටියේ ය. එසේ වන්නට වන්නට ඔහු ට කියවන්නට සිහිපත් වන ඉපැරණි සිදුවීම් ද වැඩි ය. රූපලාවන්‍යාගාරයේ වැඩ ඇති බව පවසා සෙනුරි කල් ඇතිව නික්ම ගියෙන්, රයන් ට බලපෑම් කරන්නට කිසිවෙකු සිටියේ ද නැත. එදා චේතිය ද තරමක් වැඩිපුර දෑස් රතු කරගෙන සිටියේ ය.

‘අපි අද සන්තෝස වෙන්නැත්තං ආයෙ කවද සන්තෝස වෙන්නයි කියලද’

කියමින් විජිත ද තරුණයෙකු සේ මධු විතක් පුරමින් ගීයක් ගැයුවේ ය. නමුත් ඔවුන් වෙනුවෙන් විතක් පිරුවා මිසක අස්විද සිය පාලනය නැති නො කරගන්නට වග බලා ගත්තේ ය.

‘දැක්ක නේද… මූ දැංම ගෑනිට බයයි. මොකෝ ඉස්සර මූ බිව්වෙ නැද්ද… දැං නිකං මලෙං උපං කුමාරය වගේ… අනේ යකූ…’

රයන් ඊටත් වදේ ගැහුවේ ය. කෙසේ වෙතත් මධු සාදය නිමා වන තුරු අස්විද ට ද ඉන්න වූයේ කුසගින්නේයි.

‘ඔයා කන්න’

ඔහු ගෙතුළට ගොස් දහ දොළොස් වතාවක් ම යසස්වි ට මතක් කළේ ය.

‘කමන්නෑ. බඩගිනි නෑ. ඔයා එක්කම කන්නං. තාම අම්ම කෑවෙත් නෑ’

කියමින් ඇය කල්මැරුවා ය. දවාලේ ලොකු අම්මා කැවූ බත් කටවල් කිහිපය හැරෙන්නට ඇගේ කුස හිස් ව තිබිණ.

‘අද විතරක් ඔහොම බඩගින්නෙ බලං ඉඳී. අපි බලමුකො දිගටම එහෙම කරයිද කියල ඈ’

එදා මුළුතැන් ගෙයි තිබී අතට හසු වන හැම දේ ම බුදිමින් නිලූකා ඔට්ටු තැබුවා ය. යසස්වි කළේ සිනහවක් පානා එක පමණකි.

නිලූකා අවසන තරගය අත්හැර දැමුවා ය. නො එසේ වී නම් අත්වන්නේ නියත පරාජයක් බව ඈ දැන සිටින්නට ඇත. නිලූපා ව තුසිතයෙන් පන්නා දැමුණු නිසා ද, දිල්නුක ගේ අනවශ්‍ය හැසිරීම නිසා ද, අස්විද හා යසස්වි දෙදෙනා ම ගැන ඇගේ හිතේ වූ බලාපොරොත්තු සුන් ව ගොසිනි. එන එන හැටියට උළුවස්ස ගැසිය යුතු   බව දැන් ඇයට දැනෙමින් තිබේ. දිල්නුක කළ දේ නිසා කටක් ඇර ඔහු ගැන යසස්වි සමගින් කතා කළ නො හැකි විය. දැන් ඉතින් ඒ පරිච්ඡේද දෙක ම අවසාන වී තිබේ. යසස්වි අස්විද ගේ නීත්‍යානුකූල පතිණිය වී අවසන් ය. නමුත් දැන් අලුත් තරගයකට අවතීර්ණ වීමට සිදු වී තිබේ. ඒ ලොකු ලේලි හා පොඩි ලේලි අතරේ තරගයයි.

පිරිස කෑම මේසයට පැමිණියේ හැන්දෑ වූවාට පසුයි. නිලූකා හැරෙන්නට තුසිතයෙහි කිසිවෙකු දිවා ආහාරය ගෙන තිබුණේ නැත.

‘ටිකක් බිව්ව තමයි ආන්ටි. හැබැයි මේ සතුට සෙලිබ්‍රේට් කරන්න මේ බිව්ව තරම හොඳටම මදි’

රයන් පුටුව ඇද මේසයට හිඳගත්තේ එසේ පවසමිනි.

‘මේක අපි කොච්චර කාලයක් තිස්සෙ බලං හිටපු දවසක්ද… නැද්ද චේතිය අයියෙ…’

‘නැත්තං. දැං ඉතිං මට නංගි කෙනෙක් ඉන්නවනෙ බං. ඒක මාර සතුටක්’

‘අනේ ඉතිං මොකට කියනවද…’

නිලූකා ඒ කතාවටත් මැදින් පැන්නා ය.

‘මේ ගෙදර හිටපු මගෙ නංගිට ගහල පන්නනකොට නංගියෙක්ට ඔච්චර කැමැත්තක් තිබුන්නැද්ද…’

‘අයියෝ අම්මෙ. ඔයා කාලනෙ ඉන්නෙ. ඒක නිසා මෙතන චොර කරන්නැතුව යන්නකො’

අස්විද ගේ සේ ම රයන් ගේ ද මූණු නරක් වෙත්දී සනුක තුසිතය වෙනුවෙන් ඉදිරිපත් වූයේ ය.

‘උඹත් ඉතිං ඒ අච්චුවෙමනෙ’

 මේ හොඳ දවසේත් නිලූකා කතාවක් ඇදගනීවීයි බියක් වජිරා ට දැනිණි. ඈ සනුක ට ඇසින් ඉඟිමරා ඒ කතාව නවතන ලෙස කීවේ එබැවිනි. නිලූකා තව මොන මොනවාද කියවමින් පිටත මුළුතැන්ගෙය දෙසට නික්ම ගියා ය.

‘උඹල දෙන්න එන්නෝනෙ ළගදිම දවසක අපේ ගෙදර හරිද… යසස්වී… මූයි මායි ඉස්කෝලෙ කාලෙ ඉඳලම යාළුවො හරී. ඒ යාළුකං නැති කරගන්න බෑ ගෑනු නිසා හරිද…’

යසස්වී අවිහිංසක ලෙස හිනැහී අස්විද දෙස බැලුවා ය. ඔහු ඈ සිය දෑස් තුළ දියකරගන්නට හැදූ තරමි.

‘ඇයි ඒ දෙන්නට විතරක්. අපිට ඉන්වයිට් කරන්නැද්ද…’

‘මොනා ඉන්වයිට් කරන්නද ආන්ටි… ඕන වෙලාවක එන්න. කඩෙං මොනා හරි ගෙනත් කාල… සොමියක් දාමු’

‘කඩෙං ගේන්නෙ මොකටද… වයිෆ් උයයි’

‘අනේ අපේ ගෑනිට උයන්නනං බෑ ආන්ටි… බොරු කියන්න ඕන නෑනෙ. ඒකිට පුළුවං ගෑනුංගෙ මූණු පාට කරන්නයි කොණ්ඩ අතගාන්නයි… ඕව තමයි’

‘හිටපංකො සෙනුරිට කියන්න. දැං උඹ කඩෙංම ගෙනත් වෙන්නැතිනෙ කන්නෙ’

‘අඩෝ කියන්නෙපා අස්විදය. කන්න කොහොම වුණත් මට ගෙදර නිදාගන්නවත් නැති වෙයි’

කෑම මේසය සිනහවෙන් පිරී යමින් තිබිණ. කවුරුන් හෝ කෑම පිටි උගුරේ යවාගන්නට බැරි නැතැයි සූදානමින් යසස්වි වතුර වීදුරවක් මේසය මතින් තැබුවා ය.

ගෙදරක් පිරෙන්නට කතා බහ කරමින් සිටි අය නික්ම ගිය කල, ගෙදර කීදෙනෙක් සිටිය ද මහත් වූ පාළුවක් දැනෙන්නට ගනී. අවසාන වශයෙන් රයන් ද නික්ම ගිය පසු තුසිතයටත් එහෙව් පාළු නිහැඬියාවක් කඩාගෙන වැටිණ. ලොකු සතුටකින් පසු එහෙම පාළුවක් අනිවාර්යයෙන් පසුපසින් පැමිණෙන බව වජිරා නම් දැන් සිය ජීවන අත්දැකීම් වලින් දනී.

දවස පුරා සිරුරට දැනුණා වූ කෙඩෙත්තු ගතියක් හැම කෙනෙකු තුළ ම විය. එබැවින් ඔවුන් තම තමන්ගේ කාමර වලට වී මඳක් විවේක ගනිමින් සිටියහ. කෙතරම් වෙහෙසක් දැනුණත් යසස්වි පේන මානයට පැමිණෙනා නො ඉවසිල්ලක් අස්විද තුළ ලියලා වැඩෙමින් තිබිණ. යහනේ ඒ මේ අත පෙරළෙමින් ඇය සිටියේ ද නන්නාඳුනන ඒ පාළු හුදෙකලාව තුළයි.

යසස්වි ගේ දුරකතනයට පණිවිඩයක් එන හඬ ඇසිණ. ඇය වහා යහන පසෙක වූ දුරකතනය අතට ගත්තේ නො ඉවසිලිමත් බලාපොරොත්තුවකිනි.  ‘නිදිද’ කියා විමසා තිබිණ. එය ඈ දුටු බව සලකුණු වූ වහා ම ඔහු ඇමතුමක් ගත්තේ ය.

‘නින්ද ගියෙ නෑ’

ඈ මඳ මුදු සරාගයක් ද ස්ත්‍රීත්වයක් ද කැළතුණ රහස් සරකින් කීවා ය. ඒ සමග ම ස්ත්‍රී ජාන සංයුතියෙහි ම නිර්මාණයක් වන මාතෘත්වය ගැන හැඟීම් ඉස්මතු වී ආවේ ය.

‘ඔයාට බඩගිනිද…’

‘නෑ. හවසනෙ කෑවෙ’

‘කෝපි එකක් හදල දෙන්නද…’

‘ඕන්නෑ. ඔයා රෙස්ට් කරන්න’

‘මට මහන්සියක් නෑ. ඉන්නකො. හදන්නං’

කියමින් ඕ යහනෙන් නැගිටගත්තා ය. නිලූකා පිටත මුළුතැන්ගෙයි පඩිය මත හිඳ කා සමගින්දෝ දුරකතන සංවාදයක සිටියා ය. මඳ ඇඳිරිය ගලා විත් තිබුණාට පහළ මහළෙහි විදුලි පහන් දැල්වී තිබුණේ නැත. චේතිය සේ ම සනුක ද කාමර වල යහන් වලට වැටී සිටින්නට ඇත.

යසස්වි වතුර උතුරන්නට තබා කෝපි හා පිටි සීනි මිශ්‍ර කරන විට අස්විද මුළුතැන්ගෙට පැමිණියේ ය. මහත දෙහෙත වෙමින් හිඳින නිලූකා පහසුවෙන් පඩිය මතින් නො නැගිටිණ බව සැක හැර දැනගත් ඔහු, යසස්වි ගේ බඳ වටා දෑත් යවමින් ද උරහිස මතින් එබෙමින් ද ඇගේ කොපුලක් සිපගත්තේ ය. මහත් වූ ස්නේහ හැඟීමකින්, ඈ එක අතක අතැඟිලි වලින් ඔහු ගේ දෑත ම අල්වාගත්තා ය. ඒ උණුහුමෙහි ඕනෑ තරම් වෙලාවක් සිටිත හැකි වී ද ආශාවට යටින් බියක් හිස එසෙව්වේ ය.

‘කවුරුත් එයි’

ඈ කොඳුරාගත්තා ය. අස්විද ඇය වෙතින් ඉවත් වී මුළුතැන්ගෙයි දොර උළුවස්සට පිට දී ගත්තේ ය. නිලූකලාටත් එක්ක ම යසස්වි කිරි කෝපි හැදුවා ය. ඒ තරම් සුවඳක් කෝපි වලින් හමනා බවක් මීට පෙර අස්විද ට දැනී නැති තරමි. නැතහොත් ඒ තරම් සුවඳැති කෝපි එකක් මීට පෙර ඔහු ට ලැබී නැතිවා විය යුතු ය. කෝපි සුවඳට ඉව කරමින් සියල්ලෝ කාමර වලින් පිටතට පැමිණෙන්නට වූහ.

‘අනේ මං තේ එකක් හදන්න හිතුව. ඒත් කට්ටියම නිදි වගේ නිසා ඇහැරුණාම හදන්න හිටිය’

වජිරා පසුතැවුණා ය.

‘ඔයා හිතනකොට කරල ඉවර කරන කෙනෙක් දැන් අපිට ඉන්නවනෙ’

විජිත අලුත් ලේලිය ගැන උදම් ඇනුවේ ය.

‘ඒක නේන්නං’

‘අනේ ඒකට මොකද අම්ම. මං හැදුව ඉතිං…’

‘අම්මට කෝල් එකක් දීල බලන්න දුව’

‘ඔව් දෙන්නෝනෙ’

‘මේව මෙහෙම උණත් ඉස්සරහට මුකුත් නොවී තියෙයි කියල හිතන්න බෑ. හැබැයි ඉතිං අපි අඩියක් ඉස්සරහට තියලනෙ තියෙන්නෙ. කොහොමත් ඔය තරහ මරහෙන් වැඩක් නෑ. දෙන්නත් එක්ක වෙලාවක ගෙදර ගිහින් තාත්තට කතාකරල එන්න’

‘හා තාත්ත’

යසස්වී යටැසින් අස්විද දෙස බැලුවා ය. ඔහු ගේ මුහුණේ ගැඹුරු කල්පනාවක සලකුණු විය.

‘දැං ඉතිං දෙන්නත් එක්ක එක ගමනක්නෙ යන්නනෙ මේ අලුත් ජීවිතයක් පටං ගත්තෙ. නොයේක් දේවලට මූණ දෙන්න වෙන්න පුළුවං. වැඩියෙන් වටින්නෙ එක හිතකින් ඒ කොයි දේටත් මූණ දෙන එකයි. දෙන්නත් එක්ක කතා බහ කරල සුදුසු විදිහකට ඉස්සරහ ජීවිතේ පිළිවෙළ කරගන්න එකයි. දෙන්නම වැඩිහිටියොනෙ. නේද ලොකු පුතා… මොන දෙයක් වුණත් අපි ජීවත්වෙනකල් අපි ඉන්නව ඕගොල්ලො එක්ක. ම්…’

යසස්වි ඉක්මන් ඇස් පිය සැළුවා ය. අස්විද නිවී සැනසිල්ලේ ඇදෙස බැලුවේ ය. මේ පුංචි කෙල්ල සිය දිවිය පුරාවට අත්පත් වූ ආදරණීය වගකීමක් සේ ඔහු ට දැනෙමින් තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here