“ඔයා ගමේ යන්නෙ නැද්ද?” කියා ජාන්වි තුරුණුගෙන් ඇහුවේ හවස්වරුවක තුරුණූගේ බයිසිකල් එකේ ලා ලූනා කැෆේ එකට ගොස් තේකක් බොද්දීය. ලා ලූනා කැෆේ එක කියන්නේ තමන්ගේ සර්කල් එකේ කිසිවෙකුත් එන්නේ නැති තැනක් බව දන්න හන්දාම ජාන්වි ලා ලූනා කැෆේ එකට ගියේ සන්තෝසයෙනි. දික්කසාදය ලැබෙන තුරු තමන් මෙහෙම තුරුණු එක්ක එහෙ මෙහෙ යන එක “හොඳ නැති දෙයක්” බව දැන උන්නද “ආදරේ හිත අස්සේ පුරවගෙන නිකන් ඉන්න එක අපරාදයක්” කියා හිතු හන්දාම ජාන්වි එහෙම එලියට යන්න දෙපාරක් හිතුවේ නැත.
ජාන්වි ඒ ගැන ආන්‍යා එක්ක කිව්වේ මොක උනත් නංගි හෝ මේ ගැන දැනගෙන ඉන්න එක හොඳ යැයි හිතාගෙනය.
“අක්කාට බය නැද්ද ඔහොම යන්න?” කියා ආන්‍යා ඇහුවෙ ඇත්තටම ඒ වනාහී බයවෙන්න කාරණාවක් නිසාය. වරදක් කරන්නට මනුස්සයෙක් බය වෙන්න ඕන බව ආන්‍යා ජීවිත කාලය පුරාවටම ඇදහුව දෙයකි. අනෙක් අතට අක්කා තමන්ගේ තරුණ කාලයේ මෙන් කොල්ලන්ව මේ වයසෙදි භාරගන්න එක, නිදහසේ කිසි වගකීමක් නැති කෙනෙකු මෙන් හැසිරීම බය වෙන්න ඕන දෙයක් බව ආන්‍යා දුටුවාය.
“මොකටද අනේ මම බයවෙන්නෙ? නොදන්න මනුස්සයෙක් එක්ක යනවා නෙවෙයි” කියා අක්කා ඉස්සර මෙන්ම කිසි ගාණක් නැතුව කියද්දී අක්කා වනාහී කවදාවත් පාඩමක් ඉගෙන ගන්නෙ නැති කෙනෙක් බව ආන්‍යා ජීවිතේ දෙවනි වරටත් තේරුම්ගත්තාය.
“බයවෙන්න ඕන දන්න කෙනෙක් එක්ක යන්න තමයි අක්කෙ. මේ වෙලාවෙ ඔයා කවුරු එක්ක එළියට ගියත්, ඔයා යන පරමාර්තෙ වැරදි නම් කරන වැඩේ වැරදියි” කියා කියන්නට කොච්චර ඕන උනත් ආන්‍යා ඒක නොකිව්වේ අක්කා වනාහී ජීවිතේ කොච්චර අත්දැකීම් ලැබුවත් පාඩම් ඉගෙන ගන්නා කෙනෙක් නොවෙන හන්දාය.
ජාන්වි තුරුණු එක්ක ලා ලූනා කැෆේ එකට ගියේ ඒ අනුවය. ජාන්වි මිල්ක් ශේක් එක බීම බටයෙන් කරකන ගමන් තුරුණුගෙන් “ඔයා ගමේ යන්නෙ නැද්ද?” කියා අහන එකටත් තුරුණූ කලේ හිනාවෙන එකය.
“දැන් මොකෝ මාව මේ යවාගන්න හදන්නේ?” කියා තුරුණු ඒ කතාව වෙනම පැත්තකට හරවද්දී ජාන්වි කරේ ඉස්සර වගේම දෙනෙත් බිමට හරවා බොරු ලැජ්ජාවක් ඇස්වල තවරාගෙන ඉන්න එකය.
“එහෙම නෙවෙයි අනේ. මං නිකන් ඇහුවෙ. ඔයා මේ කාලෙටම ගෙදර ගියේත් නෑ එහෙම දෙයක් කිව්වෙත් නැති හන්දා. අම්මලා අහන්නෙ නැද්ද ඔයා කොළඹට වෙලා මොකද කරන්නෙ කියලා” කියා ජාන්වි අහද්දිත් තුරුණු උන්නේ අහක බලාගෙනය. තමන්ගෙ දෙනෙත් ජාන්විගෙන් මුදවාගෙනය.
“යන්නෝන. වැඩ අස්සෙ ඉතින් නිතරම යැවෙන්නෙ නෑ. අම්මලා දන්නවා ඉතින් වැඩ කරන හන්දා කියලා”
“ඔයාද අම්මලට සල්ලි දාන්නේ?”
“සල්ලි දාන්නෙ කිව්වෙ?”
“ගෙදරට වියදමට සල්ලි යවන්න ඕන නේද?”
“ආහ් ඔව් ඔව් මං දාන්නෙ. කඩේ මාමගෙ අකවුන්ට එකට දානවා. අප්පච්චිලට ඔය බැංකුවට යන්න ටවුන් එකට යන්න අමාරුනෙ. කඩේ මාමගෙ පුතා ගෙනත් දෙනවා ටවුන් එකට ගියාම” කියා කියද්දිත් තුරුණුගේ දෙනෙත් අස්සේ කඳුලු බිංදුවක් නළියනවා ජාන්වි නොදැක්කා නොවේ. අත දිග හැර මේසය උඩ ඔහේ වැතිරී තිබුණ තුරුණුගේ අත අල්ලාගෙන ජාන්වි උත්සහ කරේ ඒ දුකෙන් කොටසක් තමන්ගේ කරගන්නටය. ආදරේ කරනවා යනු එයය. දුක සැප දෙකම එක හා සමානව බෙදාගන්න එකය.
“දුක්වෙන්න එපා තුරුණූ. ඔයා මේ ටිකේ ගෙදර ගියේ නැත්තෙ මං හන්දයි මගෙ වැඩ හන්දයි නම් අනේ ගෙදර ගිහින් එන්න. ආය එද්දි ඉස්සර වගේ මා කජු අලුවා අරන් එන්න” කියා ජාන්වි හිනා උනද තුරුණූගේ දෙනෙත් තිබුණේ කඳුලු වැල් ගංගාවක් ඇද හලමිනි. තමන් අතීතය මතක් කල එක වරදක් බවත්, තමන්ට ඒ අතීතය සැහැල්ලුවෙන් බාර ගන්න පුලුවන් එකක් උනත් තුරුණු ඒ අතීතයේ සෑහෙන දුක් වින්ද බව ජාන්විට මතක් උනේ තුරුණුගේ කම්මුල් දිගේ ඉහිරි ගිය ඒ කඳුලු වැල් දකිද්දීය.
ලා ලූනා කැෆේ එකේ තමන් ඉන්නා තැන පෙනෙන කිසිවෙකුත් නොඋන්න නිසා තුරුණුට නිදහසේ අඬන්න ඕන තරම අවකාශ තිබ්බද කොල්ලෙක් අඬනවා දකින්න ජාන්විට පුළුවන් උනේ නැත.
“මං ඉස්සර කතාවක් ආය ඇදලා ගත්ත එක සොරි තුරුණූ. මං හිතලා නෙවෙයි එහෙම කරේ. අයෑම් එක්ස්ට්‍රීම්ලි සොරි තුරුණූ” කියා ජාන්වි අත අල්ලාගෙන සමාව ඉල්ලදී තුරුණු කඳුලු අස්සෙන්ම හිස වනා කිව්වේ එහෙම කියන්න එපා කියාය.
“සොරි ඔයා එකපාර එහෙම කිව්වම මම පොඩ්ඩක් ඉමෝශනල් වුණා. අයෑම් සොරි. මං ආය ගෙදර යන්න ඕන. මං ආය යද්දි ඔයාට කියන්නම්කො. කජු අලුවා අම්මට කියන්නම් හදලා දෙන්න කියලා” තුරුණු ආයාසයෙන් මෙන් දෙතොල් මතට හිනාවක් ගෙන්න ගන්න උත්සහ කරද්දිත් ජාන්වි උන්නේ දෙනෙත් අස්සේ ආදරයත් අනුකම්පාවත් මුසු වුණ හැඟීමක් රඳවාගෙනය.
“කජු අලුවා හදලා දෙන්න කිව්වම අම්මා අහවිද කාටද කියලා?” ජාන්වි අහද්දි තුරුණු කලේ ලැජ්ජාවෙන් වගේ හිනාවෙන එකය. ඒ ලැජ්ජාශීලි හිනාව අයිති අතිතයේ තමා ආදරය කල සුන්දර පාසල් කොළුවාට බව මතක් උනත් ඒ මතකය අවදි කරන්න ජාන්වි කටයුතු කරේ නැත.
“අම්මා දන්නවා” කියා තුරුණු කිව්වේ ඒ ලැජ්ජාවෙන්මය.
“මොකද්ද දන්නෙ?” කියා ජාන්වි ඇහුවේ ඇත්තටම ඒ කතාව තේරුම්ගන්න බැරිවෙච්ච හන්දාය.
“කජු අලුවා ගේන්නෙ ඔයාට කියලා” තුරුණු කියද්දී ඒ අම්මා දන්නේ වර්තමානයේ ඉන්නා කසාදෙ කඩාගෙන ඇගේ රත්තරන් පුතා එක්ක ආය වතාවක් බැඳුණ ජාන්විව නොවන බවත්, අතීතයේ පාසල් යන වයසේදී පුතාගේ හිත බොහොම තදට රිද්දා පැන ගිය තමන්ව බවත් ජාන්විට තේරුණාය. ඒ කාලේ කජු අලුවා අරගෙන එද්දී “අපේ අම්මා හදලා දුන්නා” කිව්වා මිසක “අපේ අම්මා ඔයාට දෙන්න කියලා එව්වෙ” කිව්ව බවක් ජාන්විට මතක නැත. එහෙත් තුරුණුගේ මේ වචන වලින් මේ අදහස් වෙන්නේ ඒ අම්මා තමන්ව දැන සිටි බව අදහස් වෙද්දී තුරුණු කොච්චර ලොකු වේදනාවක, ලැජ්ජාවක තමන් නිසා ගිලී ඉන්නට ඇතිද කියා හිතී ජාන්විගෙ හිත කීරි ගැස්සුණාය.
“අම්මා දන්නවද කජු අලුවා හදලා දුන්න කෙල්ල තමයි ඔයාගෙ හිත රිද්දුවෙ කියලා?” ජාන්වි අහද්දී තුරුණු කලේ ආයේ හිනාවෙන එකය.
“ඕව දැන් කතාකරලා වැඩක් නෑනෙ නේද?” කියා තුරුණු අහද්දි ජාන්වි උන්නේ තවදුරටත් කතාකරන බලාපොරොත්තුවකය.
“ඔයා ඒ කාලෙ වෙච්ච කිසිම දෙයක් මට කියන්නෙ නැත්තෙ මට දුක හිතේවි කියලා හිතලද?”
“නෑ. අපි වෙච්ච දේවල් ආයෙ කතාකරලා වැඩක් නෑ නේද? වෙච්ච දේවල් උනා. හිත රිදුණ අය හිත රිද්දගත්තා. ඇඬුවා අය ඇඬුවා. අපි හැමෝම මොනා හරි දෙයක් ඉගෙන ගන්න ඇති නේද? දැන් ආය අපි ඒව කතාකරා කියලා තේරුමක් නෑනෙ. ඒ හන්දා අපි ඒව කතා නොකර ඉමු” කියා තුරුණු කියද්දී කතාව එතනින් නතර කරන්න ඕන බව දන්නවා උනත් ජාන්විට අහන්න ඕන තරම් ප්‍රශ්න තිබ්බාය.
“අතීතෙ ගැන දැන් කතාකරන එක තේරුමක් නෑ කිව්වට, අතිතෙ මතක් කර කර හිටියට වැඩක් නෑ කිව්වට මට ඒ අතීතෙ අමතක කරන්න බෑ තුරුණු. මට ඒ අතීතෙ අමතක කරන්න ඕනත් නෑ. ඔයා නොදන්නවා උනාට, ඔයා නොකිව්ව වුනාට ඔයා කොච්චර වේදනාවක මං හින්දා වැටුණද කියලා මං දැනගෙන උන්නෙ නැත්තෙ නෑ.
මං ඒක ගණන් ගත්තෙ නැති එකයි උනේ. සමහරවිට මේ හැම කරදරේකටම පස්සෙ මට ආයෙ ඔයාගෙ රැකවරණෙ ඉල්ල ගන්න වෙච්ච එකම ඒ හැමදේටම මට ඔයාගෙන් සමාව ඉල්ලන්න වෙච්ච දෙයක් වෙන්නැති.
මං කරපු පවට කරන වන්දි ගෙවීමක් වෙන්නැති” කියා ජාන්වි කියද්දී තුරුණු ආයෙ හිනාවුනේය.
“එහෙම දේකින් ඒ වරද හදන්න, සම්පූර්ණයෙන්ම වන්දි ගෙවන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවද?”