“උඹට මතක ඇති මම කිව්වා මම කොච්චර පිස්සෙක් උනාද කියලා ජාන්වි මාව අර වගේ බලු විදියට දාලා යද්දි. අද ආයෙ ආපස්සට හැරිලා බලද්දි බං මට වෙලාවකට හිතෙනවා මට තිබ්බෙ ජාන්වි මාව දාලා ගිය වෙලේ සත්‍ය ප්‍රේම භෘංග රාජයා වෙලා, අර වස්සාන සිහිනයේ කසුන් වගේ චාපා නැතිඋනාම නාස්ති උනා වගෙ වෙන්නෙ නැතුව ඒකිට ඕන බම්බුවක් කරගන්න කියලා ආතල් එකේ ඉන්න කියලා.
ඒත් ඒ වයසෙදි එහෙම දෙයක් තේරුම් ගන්න තරම් මම තෙම්පරාදු වෙලා උන්නෙ නෑ මචං. ජාන්වි කියන්නෙ මගෙ ෆස්ට් ලව් එක. කසුන් වගේම මාත් හිතන් උන්නෙ ජාන්විව මැරි කරලා සන්තෝසෙන් ජීවත්වෙන්න. මං දැනන් උන්නෙ සත්‍ය ආදරයක් විතරයි උනාට ආදරේ ටයිම් පාස් කියලා ප්රභේදෙකුත් තියෙන විත්තිය මං ඉගෙන ගත්තෙ මචං ජාන්වි මාව බල්ලෙක් ගාණට දාලා ගිය වෙලේ.
උඹට මතකද ඒකි වතාවක් කියලා තිබ්බා උඹලා සෙට් එකකට මම මහ ගොඩයෙක්නෙ. කෙල්ලෙක් තරහ උන කියලා ඔච්චර ඩවුන් ද පල්ලං වෙනවද? හොඳ වෙලාවට ඒකි ඔය ගොඩයව අතෑරියෙ කියලා. උඹ දන්නවද මගෙ හිත ලොකුවටම රිදුණෙ එවෙලෙ. එහෙම නැත්තම් මං එවෙලෙ හිතන් උන්නෙ එහෙම. එයා හන්දා තමයි මගෙ හිත හොඳටම රිදුණෙ කියලා. මං ආදරේට ආගම් ජාති කුල භේද නෑ කියලා හිතන් උන්නට ජාන්විලා වගේ මිනිස්සුන්ගෙ ආදරේට ආගම් කුල භේද තියෙනවා කියලායි, ගොඩද මඩද කියන එකත් ප්‍රශ්නයක් විත්තිය මං දැන ගත්තෙ එවෙලෙ.
හැබැයි මට තිබ්බ බං වැටෙන්නෙ නැතුව ඉන්න. ඉස්කෝලෙ වැඩ අනාගෙන පිස්සෙක් වගේ ගෙදර ගිහින් කාමරේ බඩු පොළොවෙ ගහලා මානසික ලෙඩෙක් වගේ හැසිරෙන්නෙ නැතුව ඉන්න. මොකෝ අන්තිමේ ජාන්වි හන්දා දුක් වින්දෙ මං විතරක් නෙවෙයි බං මගෙ අම්මා අප්පච්චි පවා කොච්චර දුක් වින්දද? මං උඹට කියලා තියෙනවනෙ හැමදේම.
ඒ හැමදේම වුනාට පස්සෙත් ජාන්වි පස්ස බිම ඇණගෙන ඒකිගෙ ඩිවෝස් එකට මං ළඟට එද්දිම මං දැනන් උන්නා බං ට්‍රයි එකක් දුන්නොත් දුක අහන අයියා විදියට ඒකිගෙ හිත දිනාගන්න මට බැරිවෙන්නෙ නෑ කියලා.
උඹ කිව්වා හරි බං මං වෙනස් වෙලා තමයි. මාව වෙනස් කරේ වෙන කවුරුවත් නෙවෙයි ජාන්වි. එක පාරක් ඒකි මාව විනාස කරලා දැම්මා. දෙවනි වතාව ඒකි විනාස වෙච්ච වෙලාවෙ උදව් ඉල්ලගන්න ඇවිත්, මං ඉන්නෙ තනියම අරකයි මේකයි, මං ඒකිගෙන් පස්සෙ කාටවත් ආදරේ කරේ නෑ කියලා දැනගෙන මාත් එක්ක හුරතල් වෙන්න ආවා. උඹ හිතනවද ඒකි මලිත්ටවත් ඇත්තටම ආදරේ කරන්න ඇති කියලා. මං හිතන්නෙ නෑ බං. ඒකි හැමදාම ආදරේ කරේ ඒකිට. ඒකිට ඕන උනේ තමන් යාලුවෙන කොල්ලගෙ මාර්ගෙන් බැබළෙන්න.
උඹ දන්නෙ නෑ ඒකි මාව ඒකිගෙ යාලුවන්ට හෙම ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න හදන තරම. දැන් ඒකිට ඕන වෙලා තියෙන්නෙ මගෙ හස්බන්ඩ් මැරුණත් මාව භාරගන්න, මට පිස්සුවෙන් වගේ ලව් කරන හොඳට ඉගෙන ගත්ත කොල්ලො ඉන්නවා කියලා පෙන්නන්න. ඒකිට කොල්ලො කියන්නෙ බං ස්ටේටස් එකක්. ඒකි ඉස්කෝලේ යන කාලෙ මාත් එක්ක යාලුවෙලා තියෙන්නෙත් බං මම ඩිබෙටින් ටීම් ලීඩ් එහෙම වෙලා උන්න බ්‍රයිට් කේස් එකක් හන්දා. මාව දාලා ගිහින් ඊට පස්සෙ යාලුවෙච්ච එයා තව ලොකු ඉස්කෝලෙක හෙඩ් ප්‍රිෆෙට් ඇන්ඩ් රගර් ටීම් කැප්ටන් වෙලා ඉඳලා.
මගේ ගොංකමට මං ඒකිට පරම පිවිතුරු විදියට ආදරේ කරාට බං ඒකි මාව යූස් කරල තියෙන්නෙ ටයිම් පාස් කරන්න.
ඒ නිසා එයා මාත් එක්ක දාපු සෙල්ලමම මං මේ පාර එයා එක්ක දාන්න හිතුවා. වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලා කතාවක් තියෙන බව ඇත්ත. ඒ උනාට මගෙ හිතේ තියෙන තරහා කොච්චරක්ද කියලා උඹ නොදන්නවා නෙවි නේද? මට ඒ තරහා මේ ආත්මෙම ඉවර කරගත්තම ලේසියි බං. මොකෝ මට මේ සංසාරෙ කිසිම දවසක ආය ජාන්විගෙ හෙවණැල්ලක්වත් දකින්න ඕන නෑ බං. මගේ මුලු ජීවිතේම කැපකරලා හරි බං මං මගේ තරහා ඔක්කොම ඉවර කරන් තමයි මේ ආත්මෙන් තුරන් වෙන්නෙ” කියා තුරුණු එක දිගට, එක හුස්මට කියාගෙන යද්දී මධුර උන්නේ ඇත්තටම මෙහෙම කතාව අහන්නට බලාපොරොත්තු උනේ නැතිවාක් මෙන් ඇස් දෙක ලොකු කරගෙනය. තුරුණු ඒ වචන ටික ඉවර කර දිග හුස්මක් ගනිද්දී වීදුරුවේ ඉතුරු වී තිබුණ ඉතුරු බියර් ටික එක හුස්මට ගිල්ල මධුර උන්නේ ඊලඟ ප්රශ්නය අහන්නට නොඉවසිල්ලකිනි.
“උඹ ඔය පත්තු කරන්න හදන ගින්දරෙන් පිච්චෙන්නෙ ඒකි විතරක් නෙවෙයි උඹත් කවදහරි පිච්චෙනවා කියලා උඹ දන්නවා නේද මචං? එහෙම එකේ…” කියා තව වචන පෙළගස්වන්න මධුර හැදුවාට තුරුණු ඒකට ඉඩක් දුන්නේ නැත. ඔහුගේ වචන විත් මධුරගේ කතාව හරස් කරන්නට හේතු විය.
“මාව පිච්චුණේ මචං, මම ෆස්ට් ශයි එක අනාගෙන ගෙදර පිස්සෙක් වගේ වැටිලා ඉද්දි තමන්ගෙ එකම දරුවගෙ මානසික ලෙඩ සනීප කරන්න කුඹුරු ඉඩකඩං හෙම විකුණන්න වෙලා අපේ අප්පච්චි ගෙයි වත්තෙ කොස් ගහේ එල්ලිලා ඉන්නවා මේ ඇස් දෙකෙන් දකින්න ලැබිච්ච දවසෙ මචං.
ජාන්වි මේ කිසිම දෙයක් දන්නෙ නෑ මචං. අප්පච්චි මැරුණයින් පස්සෙ ගෙදර බර කරට ගන්න ගමන් මහන්සිවෙලා විභාගෙ කරලා කැම්පස් ගිහින් ඉගෙන ගෙන පලවෙනි පඩියෙන් මට ගන්න උනේ තාත්තා මැරිච්ච හිතේ වේදනාවට ඔත්පල වෙච්ච අම්මාත් තාත්තා උන්න දිහාවට ගිය වෙලේ උන්දැව පරිස්සමෙන් ඒ ගමන යවන්න ගත්ත මිනී පෙට්ටිය විත්තිය ජාන්වි දන්නෙ නෑ මචං.
මං ඒවා කිව්වෙ නෑ. ඒකිට ළංවෙන්න අනුකම්පාව හේතුවක් කරගන්න මට උවමනාවක් උනේ නෑ. මහමෙරක් ආදරේ දීලා, මට ආදරේ එක බිංදුවක් නොදුන්න ගෑණි ළඟට යන්න අනුකම්පාව මට පාලමක් කරගන්න ඕන උනේ නෑ. ජාන්වි තාම දන්නෙ නෑ මගෙ අම්මා තාත්තට එලොව යන්න උනේ මං වින්ද දුක හන්දා කියලා. ඒ දුක දුන්නෙ ඒකි හන්දා කියලා.
ගැලපෙන්නෙ නැත්තන් වෙන් වෙන්නෝන බව ඇත්ත උනත් මචං ඉස්කෝලෙ යන කාලෙ උන්න, ගමක ඉඳන් ආව, ජිවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක්ට ආදරේ කරපු මම ආදරේ නොගැලපීමක් ගැන දැනං උන්නෙ නෑ ඒ කාලෙ. මං දැන් දන්නවා ජාන්වි වගේ හිසරදේට කොට්ටෙ මාරු කරනවා වගේ කොල්ලො මාරු කරන එකියක් හන්දා මගෙ ජීවිතෙත් විනාස කරන් මගෙ දෙමව්පියන්ගෙ ජීවිතවලටත් ගිනි තිබ්බෙ අපරාදෙ කියලා.
ඒක මහ මෝඩකමක් කියලා තේරෙද්දිත් පිච්චෙන්න ඕන හැමදේම ඒ ගින්නෙන් පිච්චිලා ඉවර වෙලා තිබ්බෙ මචං. මගෙ ජීවිතේ ගිනි තිබ්බ ගෑනිගෙ ජීවිතේ ගිනි නිවන්න නෙවි බං මං ඉන්නෙ.
ජාන්වි මෙච්චර බඳිමු බඳිමු කියද්දිත් මං එක එක හේතු කිය කිය ඒක පස්සට දාන්නෙ ඒකි මාත් එක්ක කල සෙල්ලම ඒකි එක්ක කරන්න මට ඕන හන්දා බං. මගෙ අම්මා අප්පච්චි වින්ද ගින්දරෙන් එක අරික්කාලක් හරි ඒකිත් වින්ද දවසට තමයි මගෙ හිතේ තියෙන ගින්දර නිවෙන්නෙ බං.
මේ පත්තු කරන්න යන ගින්නෙන් මාව පිච්චුනාට කමක් නෑ. මාව පිච්චෙන්නෙ නෑ බං. ඇත්ත ඒකයි. මොකෝ අප්පච්චි බෙල්ල වැල දාන් ඉන්නවා දැක්ක වෙලේ හිතෙන් ඇවිලිච්ච ගින්න අම්මගෙ මරණෙ එක්ක එන්න එන්න වැඩිවුනා මිසක්කා ආය කවදාවත් නිවුණෙ නෑ. මට පිච්චෙන එක අලුත් නෑ මචං. ගින්න වැඩිවෙන තරමට මට සනීපයි.
ජාන්විට මං කියන්නෙ අලුත් චැප්ටර් එකක් බං. එයාගෙ මලිත් කියන පරණ චැප්ටර් එක ක්ලෝස් කියලා එයා හිතන් ඉන්නෙ. ඉස්කෝලෙ යන කාරෙ අතෑරිය තුරුණු මනහාර කියන චැප්ටර් එක එයාට ආය ඕපන් කරන්න පුලුවන් කියලා එයා හිතන් ඉන්නේ. ආය මා එක්ක යාලු උනාම මට කරපු වැරදි ඔක්කොම හේදෙනවා කියලා එයා හිතන් ඉන්නෙ.
මේ වතාවෙ තමයි බං මං එයාට මේ අලුත් පාඩම කියලා දෙන්නෙ.
මාව කසාද බැන්දම කතාව ඉවරයි කියලා නම් එයා හිතන් ඉන්නෙ මං එයාට මේ වතාවෙ පෙන්නලා දෙනවා බං මේ කතාව කවදාවත් එයාට ඕන විදියට ඉවර වෙන්න තිබ්බ එකක් නෙවෙයි කියලා.
ඒකයි මං එදා උඹට කිව්වේ “මේ පාර මේ කතාව ඉවරවෙන විදිය තීරණේ කරන්නෙ මං හන්දා” කියලා.
කියා අවසානයේ තුරුණු හිඳගෙන උන් තැනින් නැගිට යද්දිත් මධුර උන්නේ ඇත්තටම මේ කිසිම දෙයක් හිතාගන්න බැරුවය.
සමහර ආදර කතා අවසන් වන්නේ එහෙමය. ආදරයෙන් ඇරඹෙන බොහොමයක් කතන්දර අවසන් වන්නේ වෛරයෙනි. එසේත් නොමැතිනම් මරණයෙනි. ආදරය ඇරඹෙන්නේ කෙතරම් නම් සතුටකින් ද ආදරය අවසන් විය යුත්තේත් එලෙසෙම ගෞරවයෙන් සහ සාමකාමීව බව අප කොතෙක් කිව්වද ආදරය නැමති කාසියේ අනිත් පැත්තේ තිබෙන විරහවේ වේදනාව දන්නේ ඒ වේදනාව වින්දවුන්ම පමණක් වන තැනක, තුරුණුලා, ජාන්විලා, මලිත්ලා විනිශ්චය කරන්නට අපට කිසිදාක නොහැක.
ආදරය නැමති ගමනේදී, අපි දෙපයින් ඇවිදින්නට පටන් ගන්නේ මහත් උනන්දුවකිනි. එනමුත්, ඒ ගමන අවසන් වන්නේ කොතැනකින්ද, කෙසේද යන්න අප කිසිවකුත් නොදනිමු. ඇතැම්විට, අප දකින සුන්දරම දේවල්වල අවසානය, අපට දරාගත නොහැකි තරම් වේදනාකාරී විය හැකිය.
ආදරය ගෞරවයෙන් සහ සාමකාමීව අවසන් කිරීමට අප කොතෙක් උත්සාහ කළද, ඇතැම් අවස්ථාවල ජීවිතය අපට උගන්වන්නේ, වේදනාව සහ සමුගැනීම ද ආදරයේම කොටසක් බවයි. ඒ නිසාම, සමහර ආදර කතා, ආරම්භයේදී තිබූ ආලෝකය නිවා දමා, අවසානයේ අඳුරේම නැතිවී යයි. එලෙස නැතිවී යන කතා, අදාළ පුද්ගලයන්ටත් වඩා, ඒ කතා දුටු අපගේ හදවත්වලට වැඩි වේදනාවක් ගෙන දෙයි. මන්ද, ඒ කතා අපට මතක් කරන්නේ ආදරයේ සැබෑ ස්වභාවයයි. එය සමහරවිට අප සිහිනෙන්වත් නොදුටු වේදනාවක් විය හැකිය.
එහෙත්, එය ද ආදරයම වේ.
ආදරය කළ කිසිවෙකුත් විනිශ්චය කරන්නට අපට නොහැක්කේ එනිසාමය.
අවසානයි