මේ පුංචි මල් කැකුළ අමානුෂිකව ඝාතනය කලේ කවුද?

මේ සිද්ධිය වුනේ අගෝස්තු 18 වෙනිදා උදේ. 

ඒ වෙලාවේ කුකටපල්ලිවල සන්ගීත් නගර් කියන සෙනඟ පිරිච්ච පැත්තේ ජීවිතේ ගලාගෙන ගියේ වෙනදා විදියටම හරිම සාමාන්‍ය විදිහට. අම්මලා තාත්තලා වැඩට දුවනවා, ළමයි ඉස්කෝලේ යනවා, ගෙවල්වල වැඩ නෝමල් විදියට සිද්ධ වෙමින් තමයි තිබ්බෙ. ඒත් දවල් වෙනකොට, ඒ සාමාන්‍ය දවස හයිද්‍රාබාද්වල ඒ සන්ගීත් කියන නගරෙට උදාවෙච්ච භයානකම දවසක් වුණා. 

මේක අපරාධ කතාවක්. මේ අපරාධ කතාවෙ තිබිච්ච අනුවේදනීයම කරුණු දෙක තමයි මේ කාරණාවට පොඩි දරුවො දෙන්නක් සම්බන්ධ වෙලා උන්න එක. එක්කෙනෙක් සහස්‍රා, අවුරුදු දහයක් වයස, ඉස්කෝලේ පහ වසරෙ ඉගෙන ගන්න හුරතල් පොඩි කෙල්ලෙක්. 

අනික් දරුවා අවුරුදු දාහතරක් වෙන සහස්‍රාගෙ ගෙවල් ලඟ ඉන්න පිරිමි ළමයෙක්.සහස්‍රා දවස් කීපෙකට කලින් තිබිච්ච තමන්ගේ උපන්දිනේට පවා මේ පිරිමි ළමයට ආරාධනා කරලා තියෙනවා. ඒ තරමට හොඳින් මේ දෙන්නා අඳුරනවා.

ඉතින් කොහොමද මේ අපරාධෙකට දරුවො දෙන්නෙක් සම්බන්ධ උනේ? අන්න ඒ කතාව තමයි අද අපි ඔයාලා එක්ක බෙදාගන්න යන්නෙ.

ඒ දවසේ සහස්‍රාට ඉස්කෝලේ නිවාඩු දවසක් නිසා සහස්‍රා ගෙදර තනියම තමයි හිටියෙ. දවල් දොළහට විතර එයාගෙ තාත්තා ගෙදර ඇවිත් බලනකොට තමයි දකින්නෙ සහස්‍රා එයාගේ කාමරේ ඇතුළේ පණ නැතිව වැටිලා ඉන්නවා.

මේ සිද්ධිය වෙන්න පැය කීපයකට කලින් තමයි එයාගෙ අම්මයි තාත්තයි වැඩට ගිහින් තිබුණේ වගේම එයාගෙ මල්ලිත් ඉස්කෝලේ ගිහින් තිබුණේ. සහස්‍රා එයාගෙ මල්ලිට දෙන්නෝන කෑම පෙට්ටිය ඉස්කෝලෙට ගෙනත් දීලා තිබුණෙ නැති හන්දා තමයි සහස්‍රාගෙ තාත්තා ආපහු ගෙදෙට්ට එන්නෙ. 

මේ සිද්ධියත් එක්ක ගෙවල් පැත්තෙ හැමෝම බය වෙනවා. පොලිස් කණ්ඩායම් හැමතැනම සෝදිසි කරනවා. CCTV කැමරා පවා චෙක් කළා. හැබැයි පුදුමෙ කියන්නෙ සැකකාරයව කිසිම තැනක පේන්න තිබුණෙ නැති එක. එයා අපූරුවට තමන්ගෙ වැඩේ කරලා පැනලා ගිහින් තිබුණා කියලා තමයි හැමෝම හිතන්නෙ.

තාක්ෂණික සාක්ෂිත් තිබුණේ අඩුවෙන්. කවුරුවත් ගෙදරට ඇතුල් වෙනවා කවුරුවත්ම දැකලා තිබුණේ නෑ. ආයුධ මුකුත් හම්බුනෙත් නෑ.

හැබැයි වැරදි කරලා බේරිලා ඉන්න බෑ කියලා කියනවනෙ. අන්න ඒ විදියට තමයි 

සැකකාරයා හිටපු බිල්ඩින් එකේම හිටපු සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් පොලිසියට කතා කරන්නෙ. කතා කරලා මේ මනුස්සයා කියන්නෙ මහ අමුතු කතාවක්.

“මම දැක්කා මේ එහා ගෙදර ඉන්න පොඩි පිරිමි ළමයා අද උදේ අර ගෙදර තාප්පෙන් පනිනවා” කියලා.

අන්න ඒක තමයි පොලිස් විමර්ශකයන්ට ඕන වෙච්ච හෝඩුවාව උනේ. ඒ හෝඩුවාවෙන් තමයි මුළු කතාවම වෙනස් වුණේ!

මුලින්ම ප්‍රශ්න කරද්දී, කොල්ලා උත්සහ කරේම මඟ අරින්න. එයා කිව්වේ “කෑගහන සද්ද ඇහුණා විතරයි” කියලා. ඒත් පොලිස් පරීක්ෂකයන්ට කලින්ම තේරිලා තිබුණා, මේ අපරාධය කරලා තියෙන්නේ පවුලේ අය හොඳින් දන්නා කෙනෙක් කියන එක.

ඉතින්… දෙමාපියන් ඉස්සරහම ගොඩක් වෙලා ප්‍රශ්න කරනකොට, අන්තිමට කොල්ලාට ඇත්ත කතාව කියන්න සිද්ද වෙනවා. ඒ වගේම එයාට වැරැද්ද පිළිගන්නත් සිද්ද වෙනවා.

“අවුරුදු දහයක පොඩි කෙල්ලෙක්ව මරලා දාපු අවුරුදු දාහතරක පොඩි පිරිමි ළමයෙක්ගෙ කතාව” එළියට එන්නෙ අන්න ඒ විදියට. හැමෝවම පුදුමයට පත් කරගෙන.

ඒ කතාව කියන අතරෙම එයා හෙළි කරපු තව දෙයක් නිසා පොලිස් නිලධාරීන්ගේ ඇඟ සීතල වෙනවා. ඒ මොකක්ද දන්නවද? 

“ මම මගේ ෆෝන් එකෙන් මිනීමැරුම ගැන නිවුස් නිතරම චෙක් කරා. දවස් ගාණක් ගේ ඇතුළේ ඉඳන්, අහල පහල මිනිස්සු ඉස්සරහා සාමාන්‍ය විදිහට හැසිරෙන ගමන්, මම මේක ගැන ආපු නිවුස් බැලුවා” කියලා මේ කොල්ලා කියනවා. හරියට ප්‍රොෆෙශනල් සීරියල් කිලර් කෙනෙක් වගේ.

සෝදිසියෙදි පොලිසිය කොල්ලා ඒ ගෙදෙට්ට පනින්න ගහපු ප්ලෑන් එක ලිව්ව කොලේ, අපරාධයට පාවිච්චි කරපු පිහිය වගේම සිද්ධිය වුණු දවසේ ඇඳලා හිටපු ඇඳුම් තමන්ගෙ භාරයට ගන්නවා.

සහස්‍රාගේ දෙමාපියන් තමයි ක්‍රිෂ්ණා සහ රේණුකා. මේ දෙන්න හරිම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන ජෝඩුවක් විදිහට තමයි හැමෝම අඳුරගෙන හිටියේ. තාත්තා බයිසිකල් කාර්මිකයෙක්, අම්මා ලැබ් එකක වැඩ කරන කෙනෙක්. මේ ගෙදර දරුවො දෙන්නවත් කොහොමත් හරිම හිතවත්, සැහැල්ලු, අසල්වැසියන්ගේ ආදරය දිනාගත්තු ළමයි විදිහට තමයි හැමෝම දැනගෙන හිටියේ.

හැබැයි මිනීමැරුම කරපු කොල්ලාගේ පවුල හිටියේ ඇත්තටම ගොඩක් අරගල කරන තත්ත්වයක. තාත්තාගේ කඩේ වැහිලා ගිහින් තිබුණා. අම්මා ලැබ් එකක ගොඩක් වෙලා වැඩ කරන කෙනෙක්. ඒ ගෙදර දරුවා හිටියේ හරිම නිශ්ශබ්ද, නිතරම YouTube එකේ ක්‍රයිම් වීඩියෝ බලන කෙනෙක් වෙලා. එයාගේ හීනේ වෙලා තිබුණේ ක්‍රිකට් ස්ටාර් කෙනෙක් හරි CID නිලධාරියෙක් හරි වෙන එක.

මේ හැමදේම හෙලිදරව් උනාට පස්සෙ හැමෝටම ඇත්තටම අහන්න තිබුනෙ එකම එක ප්‍රශ්නයක් තමයි. “අවුරුදු 14ක කොල්ලෙක් මෙච්චර දරුණු දෙයක් ප්ලෑන් කරලා, ඒක කරලා, ඊට පස්සේ කිසිම දෙයක් වුණේ නැහැ වගේ හැසිරුණේ කොහොමද?” කියන එක.

සිද්දිය වෙච්ච දවසෙ එදා උදේ කොල්ලා ඉස්කෝලේ ගියේ නෑ. පොලිසිය කිව්වා, නිවාඩු දවස්වල සහස්‍රා එළියේ සෙල්ලම් කරනවා කියලා එයා හිතාගෙන හිටිය බව කිව්වා කියලා. දවල් දොළහට විතර, එයා ගෙවල් දෙක මැද තිබුණු තාප්පෙන් නැග්ගෙ කලින් දවසක පුරුදු වෙලා තිබිච්ච විදියට. ඊට පස්සේ උඩ තට්ටුවෙන් ගේ ඇතුළට ගියා.මොකද එයා හිතුවෙ සහස්‍රා ගෙදර නෑ කියලා. ඉන්නවනම් සෙල්ලම් කර කර එලියෙ ඉන්න ඕනනෙ කියලා තමයි එයා හිතුවෙ.

කොල්ලා කියන විදියට “මට ඕන උනේ නෑ කාටවත් කරදර කරන්න. මට ඕන උනේ සහස්‍රාගෙ ගෙදර තිබ්බ වටින ක්‍රිකට් බැට් එක අරගන්න”

කවුරුවත් ගෙදර නෑ කියලා හිතුවට එයා නොහිතුව විදියට ගේ ඇතුළේදී එයාට සහස්‍රා එක්ක මූණට මූණ මුණ ගැහෙනවා.

මේකෙන් කොල්ලා හොඳටම ගැස්සෙනවා. ආපහු යන්නවත්, උදව් ඉල්ලන්නවත් වෙනුවට, එයා හදිසි තීරණයක් ගන්න හිතනවා.

කලබල වෙලා, ‘මොකෙක් හරි අහුවුණොත්’ කියලා “නිකමට” අර ගෙනාපු පුංචි පිහියකින් සහස්‍රාට අනිනවා. ඒ කරලා ආව විදියටම පැනලා දුවනවා. බැට් එක ගත්තෙවත්, සල්ලි හොරකම් කරේවත් නෑ.

ගෙදර ඇවිල්ල ඇඟ හෝදගෙන, ඇඳුම් මාරු කරලා, සාමාන්‍ය විදියට හැසිරෙන්න හදනවා.

මෙයාගෙ මේ අසාමාන්‍ය හැසිරිම දකින එයාගෙ අම්මාත් “මොකද?” කියලා ඇහුවට මෙයා ඒ හැමදේකින්ම බේරිලා ඉන්නවා. 

හැබැයි අවසානයේ අර සොෆ්ට්වෙයා ඉංජිනියර් කියන කතාව ඔස්සේ හෝඩුවාවල් හොයාගෙන යන පොලිසියෙන් ගැලවෙන්න නම් මෙයාට පුලුවන් වෙන්නෙ නෑ. 

එක දරුවෙක්ට සහමුලින්ම මේ ලෝකෙන් වෙන්වෙලා යන්න සිද්ද වෙනවා. තව දරුවෙක්ට බාල අපරාධ චෝදනා මැද්දෙ තමන්ගේ ජිවිතේ හොඳම කාලෙ පරිවාසය භාරයට යන්න සිද්ද වෙනවා. නීතියට අනුව බල වයස්කාරයෙක් උනත් එයා අපරාධකරුවෙක් කියන එකෙන් ගැලවීමක් එයාට ලැබෙන්නෙ නෑ.

මේ කතාවෙන් අපිට පුළුවන් වෙනවා හරිම වැදගත් පාඩමක් ඉගෙන ගන්න.

ඒ තමයි අද කාලෙ ඉන්න දරුවො අහන දකින දේවල් හන්දා එයාලගෙ ජීවිත කොයිතරම් නම් වෙනස් වෙනවද කියන එක.

 මේ දරුවාගේ ජීවිතේ හැඩගැහිලා තිබුණේ මොනවගෙන්ද? ඒ තමයි මේ ස්ක්‍රීන් එකේ දකින දේවල් වලින්. කිසිම වැඩිහිටි අධීක්ෂණයකින් තොරව බලපු විවිධ ප්‍රචණ්ඩ මාධ්‍යයන්ගෙන්.

 එයා හිතලා තියෙනවා, ෆිල්ම් එකක වගේ දේවල් ඇත්ත ජීවිතේදී කරන්න පුළුවන් කියන එක වගේම චිත්‍රපටවල පෙන්නනවා වගේ අපරාධ කරලා හරි පහසුවෙන් ගැලවිලා යන්න පුලුවන් කියන එක. අනුකරණය කරන්න ගිය ෆැන්ටසිය, එහෙමත් නැත්නම් හිතේ හදාගත්තු ලෝකෙයි ඇත්ත ලෝකෙයි වෙන්කර හඳුනා ගන්න බැරි වීම තමයි මේ වගේ බිහිසුණු ප්‍රතිඵල ගෙන එන්නේ කියන එක මේ දරුවො දන්නෙ නෑ.

 අපේ දරුවන්ට අපි කොච්චර නිදහස දුන්නත්, එයාලා අන්තර්ජාලයෙන් සහ ටීවී එකෙන් බලන්නේ මොනවද කියලා වැඩිහිටියන් විදිහට අපි හැමෝම දැනුවත් වෙන්න ඕනේ මෙන්න මේ වගේ සිදුවීම් වලින් තව දරුවෙක්ගෙ ජීවිතේ විනාස නොවෙන්නයි.

මේ කතාවෙන් අපිට වැඩිහිටියන් විදියට ඉගෙන ගන්න තියෙන හොඳම පාඩම වෙන්නෙත් “ඇහේ තියන් හැදුවත් දරුවන්ගෙ ජීවිතේ වරදින්න අද බාහිර ලෝකයෙන් ලොකු බලපෑමක් තියෙනවා” කියන එකයි.

Related Articles

Don't Miss


Latest Articles