සම්පූර්ණ ක්‍රීඩාංගනය පුරාම අතුරු සිදුරු නොමැතිව පිරී ගොසින්ය. සියල්ලන්ගේම දෑස් වල ඇත්තේ ආශ්චර්‍යක බලාපොරොත්තුවක්ය. මෙතෙක් වේලා ක්‍රීඩාංගනය පුරා විහිදී ගොස් තිබූ තරුණ සිසුන් සියළු දෙනා එක තැන ගල් ගැසී මීයට පිම්ඹාක් මෙන් නිහඬව ගොසින්ය. මෙතෙක් වේලා ක්‍රීඩාංගනය දෙදරා යන ආකාරයට කෑගසමින් ප්‍රීතිඝෝෂා නඟමින් සිටි තරුණ තරුණියන් සියළු දෙනා හිඳ සිටි අසුන් මතින් නැඟිට වික්ශිප්තව ක්‍රීඩාංගනය වෙත දෑස් දල්වා බලා සිටියහ.
තරඟාවලියේ ජයග්‍රහණය සඳහා අවසාන ඕවරයේ අවසාන පන්දුවට ලකුණු හතරක් ලබා ගැනීම අත්‍යාවශ්‍යය. පිටිය තුළ රැඳී සිටි පිති කරුවන් දෙදෙනා එක් පසෙක සාකච්ජාවකය. පන්දු රකින අනෙක් පිළ තවත් පසෙක සාකච්ජාවකය. පිටියේත් , ක්‍රීඩාංගනයේත් පුරාම ඇත්තේ ගැහෙන හදවත් රැසක් පමණි.
” මානූ….! මානූ…..! මානූ….!”
ක්‍රීඩාංගනයේ නරඹන්නන් අතරින් කෑගසන තරුණ ගැහැනු කටහඬ දෙසට එක් වරම හැරී බැලුවේ පිටියේ ඒ මොහොතේ සිටි පිතිකරුවාය. මුළු තරඟාවලියේම තීරණාත්මක අවසන් මොහොත තම දෑත මත රැඳිව වික්ශිප්තව සිටි ඔහුගේ මුව මත එකී කටහඬ ඇසෙත්ම සිහින් හසරැල්ලක් නැඟී ගියේය. ඔහු හිස හරවා ක්‍රීඩාංගනයේ නරඹන්නන් දෙස බැලුවේය. නරඹන්නන් අතරින් අපහසුවෙන් ඉදිරියට ආ රවුම් මුහුණක් සහිත තරුණ පියකරු යුවතිය එක දිගට මනුහස් විජේවර්ධන වෙත දිරි ගන්වමින් කෑගසමින් සිටියාය . රෝස පැහැ සිහින් පටි සහිත කෙටි ගවුමක් හැඳ සිටි කුඩා රුවැත්තිය නරඹන්නන් අතරින් රිංගා ඉදිරියට විත් දෑතම ඔසවමින් දිගටම ඔල්වරසන් දෙමින් සිටියාය.
රුවැත්තිය දෙස බලා අතෙහි තිබූ පිත්ත ඔසවා දිගු කළ මනුහස් විජේවර්ධන අනෙක් පිතිකරුවාටද දැනුම් දී ඔහුගේ ස්ථානය වෙතට ගියේය . රුවැත්තිය තනිවම නඟන ඔල්වරසන් හඬටත් , සිනහ මුහුණක් මවා පිතිකරණය වෙතට ගිය මනුහස් විජේවර්ධනත් දුටු ක්‍රීඩාංගනයේ සිටි නරඹන්නන්ගේ සිත් තුළ මෙතෙක් පැවති බිය මඳකට දියවී ගොස් යළිත් බලාපොරොත්තු වල සේයාවන් බැබළෙන්නට පටන් ගත්තේය.
ඉදින් ඉන් පසුව ක්‍රීඩාංගනය පුරාම යළි යළිත් මනුහස් විජේවර්ධන වෙනුවෙන් ප්‍රීතීඝෝෂා නැඟුණහ. ඔහු වෙනුවෙන් ඔල්වරසන් හඬ නැඟුණහ. සංගීතයන් සේම අවසන් තත්පර කිහිපය වෙනුවෙන් තරුණ තරුණියන් සියල්ලෝම නැඟී සිට නර්තනයේ යෙදෙන්නට පටන් ගත්හ.
පන්දු යවන්නා නියමිත ස්ථානයේ ස්ථාන ගත වූ අවසන් තත්පරයේත් මනුහස් විජේවර්ධන හිස හරවා රුවැත්තිය දෙස බැලුවේය. ඈ දිගින් දිගටම උඩ පනිමින් , දෑතම ඔසවමින් ඔල්වරසන් දෙමින් සිටියාය. වේගයෙන් ස්පන්දනය වන හදවත මොහොතකට පාලනය කර ගත් ඔහු පන්දුවට පහර දීමට සූදානම් වූයේය. නැවත වතාවක් ක්‍රීඩාංගනයම ගොළු කරමින් පන්දු යවන්නා අවසන් පන්දුව යැවීමට දිව ගිය අතර මනුහස් විජේවර්ධන ඉදිරියට අඩියක් තබා වැරෙන් පන්දුවට පහරක් එල්ල කළේය. ඉන් පසුව පන්දුව දෙසවත් නොබලා ගල්ගැසී බලා හිඳින නරඹන්නන් අතරින් දිගටම ඔල්වරසන් නඟන රුවැත්තිය දෙස බැලුවේය.
ගත වූයේ තත්පරයකි. මුළු ක්‍රීඩාංගනයම දෙදරා යන ආකාරයට කෑගැසීමකින් හා ප්‍රීතිඝෝෂාවකින් පිරී ගිය අතර නරඹන්නන් සියල්ලෝම පිටිය වෙත දිව එන්නට පටන් ගත්හ. පැළැඳ සිටි හිස් ආවරණය ඉවත් කළ කඩවසම් තරුණයා තමා දෙසට දිව එන කිසිවෙකුත් නොතකා ඔවුන් අතරින් කුඩා රුවැත්තිය සොයා දිව යන්නට පටන් ගත්තේය. බොහෝ අපහසුවෙන් පිටිය පුරා ප්‍රීතිඝෝෂා පවත්වමින් මනුහස් වට කරගෙන සිටිනා නරඹන්නන් අතරින් රිංගා ආ රුවැත්තිය වහා ඉදිරියට පැන ඔහුගේ ගෙලේ එල්ලුණාය. ඇගේ බඳ වටින් තදින් දෑත යොමා අල්ලා ගත් ඔහු තමාට වඩා බොහෝ සෙයින් උස අඩු ඈව තම මුහුණ අසලට ඔසවා ගත්තේය.
” මං දැනගත්තා ඔයා ඒක කරනවා කියලා. ”
ඈ කෑගසමින් ඔහුගේ ගෙල තරයේ වැළැඳ ගත්තාය.
” කොහොමද ඔහොම කරන්නේ ආ.. ? මං ගැන මටත් විශ්වාස කරගන්න බැරි හැම වෙලේම ඔයා මටත් වැඩිය මං ගැන විශ්වාස කළා. “
තවමත් දෑතින්ම ඔසවා සිටින ප්‍රේමවන්තියගේ මුව දෙස බලා ඔහු ඇසූ අතර ඈ මුහුණ පහත් කොට ඔහුගේ නළල මත ඇගේ නළල තැබුවේය.
” අද කිව්වා කියලා මතක තියාගන්න. ඔයාට කරන්න බැරි දෙයක් මේ ලෝකේ නෑ… “
ඈ ඔහුගේ සවනට ළංවී පවසා මනුහස් වටකර ගත් ඔහුගේ මිත්‍රයන් හා නරඹන්නන්ගේ ප්‍රීතිඝෝෂා මැද මඳක් පසෙකට වූවාය. අවසාන පන්දුවට ලකුණු හතරක් ලබා ගැනීමට තිබියදී තමා තුළම තමා කෙරෙන් ගිළිහී ගොස් තිබූ විශ්වාසය ඇති කළේ කුඩා රුවැත්තිය බව මනුහස් තදින් විශ්වාස කළේය. දහසක් දෙනා ඔහු දෙස වික්ශිප්තව බලා සිටියදී ඉදිරියට ආ කුඩා රුවැත්තිය නොවන්නට ඔහුගේ අවසාන පහරින් එක වර ලකුණු සයක් ලබා ගැනීම කිසිසේත් කළ නොහැකි වන බව ඔල්වරසන් , කෑගැසීම් මැද වුවද ඔහු වටහා ගත්තේය.
**********************************************
” ජාන්වී…! ජාන්වී… !”
තැඹිලි පැහැ කෙටි ගවුමක් හැඳ කෑගසමින් පඩිපෙළක් දිගේ බැස තමා දෙසට දිව එන හුරුබුහුටි යෙහෙළිය දුටු ජාන්වීගේ මුහුණ පුරා සිනහවක් දළු ළෑවාය.
” වෙලාවට උඹ ජාන්වී … ජාන්වී … කියලා කෑගැහුවේ. “
” ඒ මොකෝ….?”
දිව ආ රුවැත්තිය හති ළමින් යෙහෙළියගෙන් බෝල දෑස කරකවමින් ඇසුවාය.
” නෑ … නැත්තන් මං දැක්කේ හරියට පඩිපෙළ දිගේ දොඩම් ගෙඩියක් පෙරළි පෙරළි එනවා වගේ..”
ජාන්වී එසේ පවසා මහ හඬින් සිනා සුණු අතර රුවැත්තිය මුහුණ ඇද කර ඈ පසු කර යන්නට ගියාය.
” ඔහොම හිටාන් පොඩ්ඩක් “
” පලෑන් යන්න… හරි උස එකා. ප්‍රශ්නේ තියෙනේ මං කොට වෙච්ච එක නෙමෙයි. උඹ මට වැඩිය උස වෙච්ච එක. “
ජාන්වී තව දුරටත් සිනහ වූ අතර රුවැත්තිය තව දුරටත් ඈට එරෙව්වාය.
” යකෝ… මිටි උන් කියන්නේ සංසාරේ පින් කරපු උන්. එහෙම එකෙක් යාලුවෙක් කරගන්නත් පින තියෙන්න ඕනේ පින. “
” අනෙ අම්මේහ්… ඇත්තට.. ? උඹට වඩා අඟල් දෙක තුනක් උස මං එච්චර පින් කරලා නං අර උඹේ අඩි හයක් උස ප්‍රේමවන්තයා කොච්චර පින් කරන්න ඇතිද උඹ වගේ එකියක්ට ලව් කරන්න. ? මේ.. ඒක නෙමෙයි සිරාවට මට සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් තියනවා. අඩි පහක්වත් නැති උඹයි , අර අඩි හයක් විතර උස මනුවයි කවදහරි කසාද බැඳපු දවසක ……”
රුවැත්තිය වටකුරු දෑස පුරා විහිදී ගිය කෝපයකින් රතුව යෙහෙළිය දෙස බැලුවාය. ඇගේ බැල්මත් , තම සිතට ආ අසභ්‍ය අදහසත් දරා ගනු බැරුව ජාන්වී සිනහවෙන් පුපුරා හැළුණාය.
” කියපන්… කියපන්… ඇයි නැවැත්තුවේ ? උඹ මොකක් හරි කුප්ප කතාවක් කියන්න ගියේ ? කියපන් .. තොගේ තියන වල් වනචර හිත… “
රුවැත්තිය ලැජ්ජාවෙනුත් , කෝපයෙනුත් ගුගුරා හැළෙද්දී බෑගය එක අතකට ගත් ජාන්වී ඇගෙන් බේරීමට අරලිය ගස් මැදින් තිබූ පාර දිගෙහි වේගයෙන් දිව ගිය අතර රුවැත්තියද ඈ පසු පස වේගයෙන් හඹා ගියාය.
” නැවතියන් … අද මං උඹේ කට ගලක් අරන් උරච්චි කරලා මිසක් නවතින්නෑ….”
තමා පසුපස බැණ වදිමින් දිව එන යෙහෙළිය දුටු ජාන්වී අරලිය ගසක් පාමුල තිබූ සිමෙන්ති කණ්ඩියකට වාරු වී කතා බස් කරමින් සිටි මනුහස් ඇතුළු මිතුරු කවය දැක ඔවුන් වෙත වේගයෙන් දිව ගියාය .
පළමුව ජාන්වීත් ඈ පසුපස දිව එන රුවැත්තියත් දුටු මනුහස් වාරු වී සිටි කණ්ඩියෙන් ඉදිරියට අඩියක් තැබුවේය. ජාන්වී වහා දිව අවුත් මනුහස්ගේ පසුපස සැඟවුණේය .
” මොකෝ මේ…?”
මනුහස්ගේ මුව පුරා වේගයෙන් හති ළන රුවැත්තිය හා ඇගේ මුහුණේ ඇති කෝපය දැක සිනහවක් නැඟී තිබූ අතර , තමන් හා කෙසේ කෝප වුවද මනුහස් ඉදිරියේ හීලෑවන රුවැත්තිය පිළිබඳව හොඳින්ම දත් බැවින් ජාන්වී හති ළමින් එක දිගට සිනාසෙන්නට වූවාය .
” මං දැක්කේ හරියට ජාන්වී පස්සෙන් දොඩම් ගෙඩියක් පෙරළි පෙරළි එනවා වගේ .. “
මනුහස් තවත් සිනහව පුළුල් කරමින් එසේ පවසා රුවැත්තියගේ අතින් අල්ලා ගත් අතර ඔහු වටා සිටි මිතුරු කවයද මනුහස්ගේ කවට කතාවට සිනාසෙන්නට පටන් ගත්හ .
” ඔයත් පටන් ගත්තද ඒ පාර…?”
රුවැත්තිය ඇඹුල් කරගත් මුහුණින් ඔහු දෙස බැලූ අතර ඔහු සිනහවෙන්ම අල්ලා ගත් අතින් තමා අසලට ඇද ගත් රුවැත්තියගේ කොපුලක් මිරිකුවේය. බොරු තරහක් මවා ගත් රුවැත්තිය ඔහුගේ අත ගසා දැමූ අතර එයටද සිනහවෙන් පිළිතුරු දුන් ඔහු ඇගේ බඳ වටා දෑත යවා ඇයව තුරුළු කර ගත්තේය. මනුහස්ට පිට දී ඇඹුල් කර ගත් මුහුණින් යෙහෙළිය දෙස බලා එරවූ රුවැත්තිය ඇයට දබරැඟිල්ල දිගු කොට නිහඬ තර්ජනයක් සිදු කළාය.
” යේ… මේක.. අල්ලලා මිරිකන්න හිතෙනවා. බෝලේ වගේ ඉඳගෙන රණ්ඩු අල්ලන්නේ.. ඇත්තමයි අද නම් දොඩම් ගෙඩියක් වගේමයි. “
නැවතත් ඔහු දෙසට හරවා ගත් රුවැත්තියගේ දෙකම්මුල් මිරිකූ ඔහු ප්‍රේමය වෑහෙන ස්නේහයකින් ඈ දෙස බලා පැවසූ අතර වටකුරු දෑසින් තවමත් නෝක්කාඩු බැල්මකින් බලා සිටි රුවැත්තිය ඔහුට මුව ඇද කළාය.
” ඒ.. යි.. ඒයි….!”
ජාන්වීගේ සංඥාවෙන් මනුහස් තුරුළේ සිටි යුවතිය පසු පස හැරී බැලූ අතර ඔවුන් ඉදිරියේ සිට කෝපාවිශ්ට දෑසින් බලා හිඳින රුව දැක ඈ එක් වරම ගල් ගැසුණාය.


