සැනසිලිදායක නිද්‍රාවකට වැටී සිටි තරුණයා සෙමින් දෑස හැරියේය. දෑස ඉදිරියේ තිබූ කණ්ණාඩි මේසය ඉතා පිළිවෙළය. හිස් වූ , අඩක් හිස්වූ , විවර නොකළ ආලේපන , සුවඳ විලවුන් සියල්ලම ගොඩ ගසා තිබුණු කණ්ණාඩි මේසය මත අද ඒ කිසිවක් නොමැත . ඒ වෙනුවට සිනාසෙන මුහුණක් සහිත සුදු පැහැ කුඩා මල් බඳුනක් මත පිරවූ මල් කිහිපයක් ඇත. ඔහු සිනා මුහුණ දෙස බලා එයට පිළිතුරු ලෙස සිනාසුණේය. හදවත පතුළෙන් නැඟ එන සැනසීම අධි මාත්‍රාවක් සේය. හේ සෙමින් සිනා වතින්ම අනෙක් පස හැරුණේය. යහනේ අනෙක් පස හිස්ය. වහා යහන මත හිඳ ගත් ඔහු නිදන කාමරය වටා දෙනෙත යැව්වේය . වෙනදාට ඒ මේ අත වැටී ඇති ඇඳුම් පැළැඳුම් කිසිවක් නැත . සියල්ල පිළිවෙළය. තමා පෙර දින රැයේ නින්දට වැටුණේ තම නිදන කාමරයේමදැයි සිතෙන තරමට එය පිළිවෙළය , පිරිසිදුය.
යහනෙන් බට ඔහු සෙමින් අඩි තබා නිදන කාමරයෙන් පිටතට ආවේය. මුළුතැන්ගෙය දෙසින් නොයෙක් නොයෙක් හඬ ඇසෙන්නේය . ශබ්ද නොනඟාම ඒ දෙසට අඩි තැබූ ඔහු ඊලඟට කඩි මුඩියේ ආහාර පිළියෙළ කරන ඈ දුටුවේය. මඳ වේලාවක් ඈ දෙස සිටි තැනම හිඳ බලා සිටි ඔහු ඇගේ පසුපසින් ගොස් ඈ වැළඳ ගත්තේය.
” ගුඩ් මෝනින් සුදු නෝනා.. මොකද මේ කරන්නේ ?”
ඔහු සෙමින් ඇගේ සවන ඉදිරිපසට වැටී තිබූ කෙහෙ රැල්ලක් ගෙන එය යළි සවන පසුපස රැඳවූයේය.
” ගුඩ් මෝනින්.. ! උයනවා අනේ… ඔයා උදේටයි , දවල්ටයි කෑම අරන් යනවද මනූ ? නැත්තන් උදේට කාලා ගිහිල්ලා ආයේ දවල්ට කන්න එනවද ? දවල්ට පුලුවන් නං එන්නකෝ . එතකොට උණු උණුවෙම බත් ටිකක් කන්න පුලුවන් . ඔයා උදේට කන්නේ මොනවද මනූ ? බත් කනවද ? නැත්තන් පාන් ටෝස්ට් කරලා දෙන්නද ? නූඩ්ල්ස් එකක් හදන්නද ? “
ඈ තනිවම කියවමින් ලිප මත තිබූ ව්‍යංජනයක් හැඳි ගෑවාය. ඔහු කිසිවක් නොඇසෙන ලෙසට පසුපස සිට ඇගේ උරහිස මතින් හිස තියා සිටියේය.
” උදේට තේ බොනවද මනූ ? නැත්තන් ජූස් එකක් හදලා දෙන්නද ? අහන්නකෝ… මට ලොකු ලොකු කෑම නං හදන්න බෑ හොඳේ. අල කරි එකක් හදලා , මාළු ඉව්වා. තව සැලඩ් එකක් හදන්නද ? ඔයා මේ කිචන් එක යූස් කළේම නැද්ද මනූ ? අවන් එක විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. මොනා හරි කඩෙන් ගෙනල්ලා රත් කරන්ද කෑවේ ? ඊයේ මං ඇවිල්ලා බලද්දි ලුණු කැටයක්වත් නෑ. ආපහු ගිහින් ඔක්කොම ගෙනාවේ. පහළ සිකියුරිටි අන්කල් කෙනෙක් ඉන්නේ. එයා තමා මට බඩු ටික උඩට ගෙනත් දුන්නේ . ආ.. මේ අර කබඩ් එකේ තිබ්බ බෝතල් ඔක්කොම මං ඒ මනුස්සයට දුන්නා. මොනවද මනූ බීලා ඉවර කරපු හිස් බෝතලුයි , බාගෙට බීපු ඒවයි ? ෆ්‍රිජ් එකේ තිබ්බෙත් බියර් ටින් දෙක තුනක් විතරයි. ආ … බාගෙට බීපු ඇපල් ජූස් එකක් තිබ්බා. මේ ගෙදර ඉඳලා තියෙන්නේ කාපු බීපු මනුස්සයෙක් නෙමෙයි , තුන් වේලටම අරක්කු බීපු මනුස්සයෙක් වගේ . අර අම්මා දන්නවනං…..”
දනි පනි ගා දෑත එහා මෙහා කරමින් එළවළු කපමින් සිටි නෙත්‍යා තනිවම කියවමින් සිටි කතාව එක් වරම නතර කළාය. උරහිස මත දැනුණු සීතලක් නිසා ඈ තිගැස්සී ගියාය. ගැහෙන හදින් වහා කරාමයට දෑත අල්ලා සේදූ ඈ පසෙක තිබූ අත් පිස්නාවකින් දෑත පිසදා ඔහු වෙත හැරුණාය.
” මනූ.. ඇයි මේ ?”
තම උරහිසට බර කර ගෙන තිබූ ඔහුගේ මුහුණ දෝතින්ම අල්ලා ගත් ඈ කඳුළු පිරුණු ඔහුගේ දෙනෙත දෙස බලා ඇසුවාය.
” අනේ.. ඇයි මනූ මේ..? “
ඔහු කිසිවක් නැත යනුවෙන් අඟවමින් හිස දෙපසට සැළුවේය.
” ඔයාගේ ඇස් වල කඳුළුනේ ? ඇයි අනේ ? මං මොනා හරි අනවශ්‍ය වැඩක් කළාද ? ආ.. ?”
” නෑ.. නෑ.. මැණික…”
ඔහු එසේ පවසා නාසය ඉහලට ඇද්දේය.
” අනේ.. එහෙනං ඇස් වල කඳුළු ඇයි මනූ.. ? “
නොදැනීම ඈටද ඉකි ගැසුණාය.
” ඒයි..! “
ඔහු වහා ඇගේ දෑත තම දෑතින් අල්ලා ගෙන ඇගේ උවන වෙත බර වූයේය.
” අඬන්න එපා සුදු නෝනා.. මගෙ ඇස් වලට කඳුළු ආවේ නිකන්. “
” අනේ .. මනූ…!”
” අවුරුදු ගාණක් මං මේ ගෙදර හිටියා තනියම හිටියා සුදු බෝලේ. ඒ හැම වෙලාවකම උදේට නිදාගෙන ඇස් අරිද්දී ඔයා මගෙ ලඟ ඇඳේ අනිත් පැත්තෙන් හිටියනං කියලා හැමදාම හිතුණා. ඇඳෙන් නැඟිටලා වොශ් රූම් එකට යද්දි ඔයා නාලා එළියට එනවනං කියලා හිතුණා. කිචන් එකට එද්දි මේ විදිහටම උය උය ඉඳී කියලා හිතුණා. අනිත් ගෙවල් වල තියන බැල්කනි වල වගේ මේ ගෙදර බැල්කනි එකෙත් ඔයා මල් වවයි නේද කියලා හිතුණා. මේ ගේ ඇතුළට වෙලා තට්ට තනියම ඉද්දි ඇස් දෙකට පේන හැම තැනම ඔයා ඉන්නවා වගේ දැනුණා. ඔයා හිටියනං කොච්චර හොඳද කියලා හිතුණා. ඒත්.. ඔයා නෑ.. ඔයාට කවදාවත් ආයේ මං ලඟට එන්න බෑනේ කියන එක ඊට පස්සේ මතක් උනාම ඒක හොඳ සිහියෙන් දරා ගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඉතිං මං මහ රෑ වෙනකන් වැඩ කළා. දුර යන්න තිබ්බ කේස් වලට ඕඩර්ස් එන්නත් කලින්ම ගියා. උදේට එළියට බැස්සම ආයේ ගෙදර එන වෙලාවක් තිබ්බෙ නෑ. කොහේ හරි බාර් එකකට ගියා , නැත්තන් ක්ලබ් එකකට ගියා. කොහෙටවත්ම යන්න හිතක් නැති උනු දවසට වාහනේ ඇතුළට වෙලා මහ රෑටත් පාරේ හිටියා. ගෙදර තනියම ඉන්න බැරි උනාම බිව්වා. එක එක්කෙනාව ගෙන්න ගත්තා. මේ ගෙදර පාළුව මට දරාගන්න බැරුව තිබ්බෙ සුදු නෝනා…”
ඔහුගේ දෑසින් නැවතත් කඳුළු බිඳුවක් රූරා විත් කොපුලට වැටුණේය.
” අනේ.. එපා මනූ.. ඔයා හරි හයිය පිරිමියෙක්නේ.. මං ඉස්සරහවත් මෙහෙම අඬන්න එපා.. මං දන්නවා ඔයා විඳපු දුක් ඔක්කොටම හේතුව උනේ මං. මං හිමීට හැමදේම කරන්නං මනූ.. මේ දේවල් මටත් හීනයක් වගේ.. සමහර වෙලාවට මං කරන දේවල් මටම විශ්වාස නෑ.. මේ ගෙවන එක දවසක් , එක පැයක් , එක තත්පරයක් මට මාර විදිහට වටිනවා. ඔයා එක්ක මෙහෙම ඉන්න එක තත්පරයක් උනත් මට ඇත්තටම ගොඩාක් ගොඩාක් වටිනවා මනූ..”
මනුහස් නැවත වතාවක් නාසය ඉහලට ඇද්දේය.
” මොන දේ කලත් ඒ කිසිම දේකින් ඔයා නැති අඩුව පුරවගන්න මට පුලුවන් උනේ නෑ සුදු බෝලේ.. දැන්.. අද.. මේ වෙලාවේ… මං අවුරුදු ගාණක් තිස්සේ මේ ගේ ඇතුළේ ඔයා ඉඳී කියලා බලාපොරොත්තුවෙන් මවපු හීන ඔක්කොම එක පාර හැබෑ වෙලා තියනකොට මං කොහොමද ඒක දරා ගන්නේ කියන්නකෝ ? අඩුම පොඩි ශොට් එකක් දාන්නවත් එක බෝතලයක්වත් ඉතුරු කරලා නෑ. ඔක්කොම අර සිකියුරිටි කාරයට දීලා. එක්කො ඔන්නොහේ තේ එකක් හදන්න සුදු නෝනා. අරක්කු වීදුරුවෙයි , ඒකෙයි වෙනසක් නෑනේ ?”
” මොකද්ද මනූ.. හරි නරකයි ඔයා..”
නෙත්‍යා වහා ඔහුගෙන් මිදී අනෙක් පස හැරුණාය. කඳුළු පිරි දෑසින් සිනහ වෙමින් මනුහස් නැවතත් ඈව වැළඳ ගත්තේය.
” ඕන්නෑ තරහයි මං..”
දෙකම්මුල් දිගේ ආ කඳුළු පිස දමමින් ඈ බොරු නෝක්කාඩුවක් පෑවාය.
” සොරි අනේ.. ඉතිං..”
මනුහස් ඇගේ ඉණ වටා දෑත යවමින් නැවතත් ඈ තුරුළු කර ගත්තේය.
” අම්මෝහ්.. මගේ කොන්ද..”
” ඇයි ඒ පාර මොකක්ද උනේ ?”
” තාම උන්නෑ.. ඒ උනාට වැඩිකල් මගෙ කොන්ද මෙහෙම කෙලින් තියන එකක් නෑ.”
” ඇයි අනේ.. ?”
” ඇයි අහන්නේ ඔයාගේ ඉස්සරහා පාත් වෙලාම මගෙ කොන්ද රිදෙනවා. ඇත්ත කියන්න සුදු නෝනා අඩි පහක්වත් උස නෑ නේද ? ඉන්සිටියුට් එකෙන් ආවට පස්සෙවත් එක සෙන්ටිමීටරයක්වත් උස ගියේ නැද්ද ? “
” අනේ.. මනූ ..!”
ඈ පසු පස හැරී ඔහුගේ බාහුවට පහරක් ගැසුවාය.
” මං කොට නෑ හරිද ? ඔයා කිලෝමීටරයක් විතර උස ගියාට මං මොනා කරන්නද ? “
මනුහස් පුළුල් සිනහවක් පාමින් නැවතත් ඇයව තුරුළු කර ගත්තේය.
” යන්න ගිහින් වොශ් එකක් දාන් එන්න. පරක්කු වෙන්නැද්ද ඔයාට ?”
” අද වැඩට යන්නෑ සුදු මැණික , මං කිව්වේ නිවාඩු දැම්මා කියලා කැන්ඩි යන්න. “
” ඉතිං මං ආවනේ මනූ…”
” මට එහෙ වැඩ ටිකක් තියනවා සුදු නෝනා කර ගන්න. ගමන් දෙක තුනක් තියනවා යන්න. “
” කැන්ඩි වල ?”
” හ්ම්ම්… හීමිට ලෑස්ති වෙමු. හදිස්සියක් නෑ..”
එසේ පැවසූ ඔහු ඇගේ එක් කොපුලක් තද කර සිප ගත්තේය.
” ලූණු සුවඳයි ලඟ. “
ඇගේ උවන ඇඹුල් වී ගියේය.
” ඊඊඊඊ…. ලූණු කොහෙද අනේ සුවඳ ? ලූණු ගඳයි නේ ? “
” නෑනේ.. මට සුවඳයි.. “
එසේ පැවසු ඔහු ඇගේ අනෙක් කොපුලත් තද කර සිප ගත්තේය.


