BE SILENT – 06

0
2841

නාගරික පරිසරයෙන් බොහෝ දුර යමින් සිටි පොලිස් ජීප් රථය කුඩා කඳු වළල්ලක් අතරින් ඉහළට ගමන් කරමින් තිබුණේය. නයින් මවුන්ටන්ස් හෝටල් පරිශ්‍රයට යන අතරමඟ මාර්ගය දෙපසම කුඩා අවන්හල් , කුඩා මල් අළෙවිසැල් , එළවලු අළෙවිසැල් , කුඩා , කුඩා තේ කඩ හැරෙන්නට විශාල පරිමාණයේ ගොඩනැගිලි හෝ වෙළඳ සැල් පිහිටා නොතිබුණේය. කඳුකරයේ නයින් මවුන්ටන්ස් හෝටල් පරිශ්‍රයට ආ පොලිස් ජීප් රථයෙන් බැස ගත් කඩවසම් දේහදාරී තරුණයා දෙස හෝටල් පරිශ්‍රයේ සිටි බොහෝ ස්ත්‍රී දෑස් යොමුවද්දී ඒ කිසිවක් මායිම් නොකළ තරුණ පොලිස් නිලධාරියා ඔහුගේ සහයකයා සමඟ හෝටල් පරිශ්‍රය තුළට ඇදුණේය.

” මිස්ටර් විජේවර්ධන ..! එන්න සර්…”

නයින් මවුන්ටන්ස්හි කළමනාකාර තනතුර දැරූ මැදිවියේ පුද්ගලයා පොලිස් නිලධාරීන් දෙදෙනා එන පෙර මං බලා සිටියේය. 

” මිස්ටර් ..?” 

” මං රණබාහු…සර්..”

” මේක මල්දෙණියලගෙම හොටෙල් එකක් නේද ? “

” ඔව් සර්.. සර්ලා මිස්ටර් මල්දෙණිය හිටපු රූම් එකට කෙලින්ම යනවද ? නැත්තන් රෙස්ට් එකක් ගන්නවද ?”

සචින්ද්‍ර ඇසූ පැනයට පිළිතුරු ලබා දෙන අතර රණබාහු හැරුණේ මනුහස් දෙසටය .

” අපි කෙලින්ම මිස්ටර් මල්දෙණිය හිටපු රූම් එකට යං “

” ඕකේ සර්.. මේ පැත්තෙන් එන්න “

රණබාහු හෝටල් පරිශ්‍රයේ හතර වන මහල දක්වා යෑමට විදුලි සෝපානය තිබෙන දෙසට අත දිගු කරමින් පැවසුවේය. 

” සර්ගේ සිද්ධියෙන් පස්සේ අපි රූම් එක ඕපන් කළේම නෑ. ඒ රූම් එකේ කී එක තියෙන්නෙත් මං ගාව විතරයි. මගෙ අවසරයක් නැතුව කාටවත් ඒ රූම් එක පැත්තටවත් යන්න බෑ. “

රණබාහු විදුලි සෝපානයට නැඟ තමන් පිළිබඳව ස්වයං වර්ණනාවක නි‍රත වෙමින් සිටියේය. 

” ලිෆ්ට් එකේ සීසීටීවී තියනවද ?” 

” තියනවා සර්. අපිට හොඳ සිකියුරිටි සිස්ටම් එකක් තියනවා. “

” එහෙම උනානං අයිතිකාරයම මේකෙ ඇතුළේ අතුරුදහන් වුනේ කොහොමද ?” 

සචින්ද්‍රගේ පැනය අභියස රණබාහු මඳකට ගොළු වූයේය. 

” අපි .. අපි ආවා සර්. එන්න….!” 

රණබාහු කලබලයෙන් විදුලි සෝපානයෙන් බිමට බැස ගත්තේය. විදුලි සෝපානය අසලම සීසීටීවී ආරක්ෂක කැමරාවක් ක්‍රියාත්මක බව දුටු මනුහස් ඒ දෙසට දෑස විතැන් කරමින් නැවත  රණබාහු දෙසට හැරුණේය. 

” මේ පැත්තට තියෙන්නේ මේ කැමරාව විතරද ? “

” ඔව් සර් , මේ වීඅයිපී රූම්ස් ඒරියා එක. මේ ඒරියා එකේ රූම්ස් දොළහක් තියනවා. ගෙස්ට්ලගෙ ප්‍රයිවසි එක නිසා අපි හැමතැනටම කැමරා දාලා නෑ. ඒත් .. මේ කැමරාවෙන් රූම්ස් දොළහම පේනවා. “

කිසිවක් නොපැවසූ මනුහස් ඉදිරියට අඩි තැබුවේය. 

රණබාහු ඉක්මන් ගමනින් ගොස් කාමර අංක 221 අසල නතර වූයේය . කාමර අංක 221 පිහිටා තිබුණේ විශේෂ අමුත්තන්ගේ නිදන කාමර පිහිටා තිබූ කොරිඩෝවට ගොඩ වන විදුලි සෝපානයට ඈතම කෙළවරෙහිය. විවර කළ නිදන කාමරයට ගොඩ වීමට පෙර එතන සිටම විදුලි සෝපානය අසල තිබූ කැමරාව දෙස බලා සිටි මනුහස් නැවතත් රණබාහු දෙසට හැරුණේය. 

” මට අර කැම් එකේ ෆුටේජස් ඕනේ ” 

” ශුවර් සර්..”

” විසි හය , විසි හත දවස් දෙකේ විතරක් නෙමෙයි ඊට කලින් ඒවාත් .”

රණබාහු මඳක් කැළඹීමෙන් මෙන් මනුහස් දෙස බලා සිට එයටද එකඟ වූයේය. 

ඉන්පසුව මනුහස් හා සචින්ද්‍ර ගොඩ වූයේ දින දෙකක් අතුරුදහන්ව ගොස් පසුව මළ සිරුරක් ලෙස හමු වූ මයන් මල්දෙණිය අතුරුදහන් වූවා යැයි සැලකෙන නිදන කාමරය තුළටය.

” එන්න සර්…!”

රණබාහු මඳක් පසෙකට වී මනුහස්ටත් , සචින්ද්‍රටත් ඉඩ ලබා දුන්නේය. 

මනුහස් තම තීක්ෂණ දෑස නිදන කාමරය වටා යොමු කරමින් සෙමින් සෙමින් කාමරය වටා පා තැබුවේය . 

කාමර අංක 221 බැලූ බැල්මට අධි සුඛෝපභෝගී නිදන කාමරයක් වූයේය. සාමාන්‍ය නිදන කාමරයක නොමැති  මත්පැන් එකතුවක් සහිත කුඩා මත්පැන් ගබඩාවක්ද එහි වූයේය. විසල් කණ්නාඩි මේසයක් මත මයන් මල්දෙණිය භාවිතා කරන්නට යෙදුණා යැයි කිවහැකි ආලේපන හා විලවුන් කිහිපයක්ද , කාමරයේ දකුණු පසින් තිබූ ඇඳ මත රෙදි කිහිපයක්ද තිබුණේය.

” සර්ව හොයන් අපි කාමරේට එද්දි තිබුණු විදිහමයි සර් මේ. මෙතන තියන කිසිම බඩුවක් එහා මෙහා වෙලා නෑ. “

රණබාහු පැවසූ දේ නෑසූ කන්ව මනුහස් නිදන කාමරයේ ඇති නාන කාමරය වෙත ගියේය. එහිද මඳ වේලාවක් සැරි සැරූ ඔහු ඉන් පසු කෙලින්ම පා තැබුවේ නිදන කාමරයට පිටින් ඇති බැල්කනියට සම්බන්ධ වන වීදුරු ජනේලය දෙසයි. එකී ජනේලය විවර කරගෙන බැල්කනිය වෙත ගියද ඒ මතින් කිසිවෙකුට ඇතුළු වීමට හෝ පිට වීමට අවස්ථාවක් කොහෙත්ම නැති බව වටහාගත් මනුහස් යළි හැරුණේය. නිදන කාමරයෙන් පිටතට ආ ඔහු යළිත් විශේෂ අමුත්තන්ගේ නිදන කාමර තුළට ඇතුළුවන විදුලි සෝපානය අසල තිබූ ආරක්ෂක කැමරාව දෙස කොරිඩෝවේ සිට බලා සිටියේය. මයන් මල්දෙණිය අතුරුදහන් වූ කාමරයේ සිට අඩි හතරක පහක දුරින් තරප්පු පෙළක් පිහිටා තිබුණේය. තරප්පු පෙළ දිගේ පඩි කිහිපයක් බැස ගිය මනුහස් තරප්පු පෙළෙහි අතර මැද ස්ථානයක තිබූ සීසීටීවී ආරක්ෂක් කැමරාවක් දුටුවේය. තරප්පු පෙළ නැඟ ගෙන හෝ නැවත බැස යන ඕනෑම අයෙකු එකී ආරක්ෂක කැමරාවේ සටහන් වන බව හොඳින් තහවුරු කර ගත් ඔහු හදිසියේම   මයන් මල්දෙණියගේ නිදන කාමරයට අනෙක් පසින් තිබූ හදිසි පිටවීමේ දොරටුවක් දුටුවේය ,

” මේ ඉමර්ජන්සි එක්සිට් ගැන මීට කලින් පොලීසියට කිව්වේ නැත්තේ ඇයි ?” 

මනුහස්ගේ දෑස දෙස කෙලින් බැලීමට නොහැකි වූ රණබාහු අපහසුවෙන් කෙළ පිඬක් ගිල්ලේය.

” ඒක ගැන කවුරුවත් අපෙන් ඇහුවෙ නෑ සර්. “

” මේක අරින්න..”

” සර්.. මේ…”

රණබාහු මඳක් පැකිළුණු අතර මනුහස්ගේ තීව්‍ර දෑස දෙස බැලීමට නොහැකිව ඔහු පසු බැස්සේය. 

හදිසි පිටවීමේ දොරටුවේ දොර විවර කළ සැණින් මනුහස් එයට ඇතුළු වූ අතර , එහි තිබුණේ තරප්පු පෙළක් පමණි.

” අවුරුදු ගාණකින් මේක ඇරලා නෑ සර් . මකුළු දැල් , දූවිලි හරියට. “

 රණබාහුගේ වදන් උඩු සුළඟට ගියාක් මෙන් දැනෙද්දී තරප්පු පෙළ දිගෙහිම බැස ගිය මනුහස්  අවසානයේ ළං වූයේ හෝටල් පරිශ්‍රයේ රථ වාහන අංගනයටය. ඔහු කඩ වුණු මුහුණින් සචින්ද්‍ර දෙස බැලූ අතර , මනුහස්ගේ උවන දුටු රණබාහු මඳ සිනහවක් නඟමින් ඔහු අසලට ළං වුණේය. 

” දැන් නං පට්ට මහන්සියි අයිසේ..”

මනුහස්ගේ කතාවට රණබාහු තුළ පැවති දෙගිඩියා සහගත බව සම්පූර්ණයෙන්ම තුරන් වී ගියේය. 

” රෙස්ට් එකක් ගන්න සර්. කම්පැණි එකෙන් විශේෂ ඕඩර් එකක් ආවා වීඅයිපී ගෙස්ට්ලට සලකන විදිහටම සර්ලටත් සලකන්න කියලා”

රණබාහු තව දුරටත් පළල් කරගත් මුවින් ලෙංගතු සිනහවක් පාමින් පැවසුවේය. 

” කම්පැණි එකෙන් කවුද දැන් ඕඩර්ස් එවන්නේ ? මං හිතන්නේ මල්දෙණිය ෆැමිලි එකේ අය තවමත් ඉන්නේ ෆියුනරල් එකෙන් පිට දේවල් වලට අවධානය නොදී . “

” ඇයි සර් අපේ මල්දෙණිය සර්ගේ සෙකට්‍රි . රමිත සේනාධීර.  ලොකු සර් හිටියා නැතා මේ හැමදේම බලන්නේ රමිත සර් තමා..”

සචින්ද්‍රගේ පැනයට පිළිතුරු දුන් රණබාහු නැවතත් මනුහස් දෙසට හැරුණේය. 

“සර්ලාගෙ රූම්ස් ඔක්කොම රෙඩි කරලා තියෙන්නේ. සර්ලට ෆ්‍රෙශ් වෙලා ඇවිල්ලා කෙලින්ම ඩිනර් එකට යන්නත් පුලුවන් , බාර් එකට යන්නත් පුලුවන් . “

” බාර් එකට යන්න පුලුවන්නං ඩිනර් නැතත් කමක් නෑ නැද්ද සචින්ද්‍ර. ?” 

සචින්ද්‍ර මඳ සිනහවක් නැඟුවා විනා කිසිවක් පැවසුවේ නැත. 

පොලිස් නිලධාරීන් දෙදෙනාට එක ලඟම තිබූ නිදන කාමර දෙකක යතුරු භාර දුන් රණබාහු ඔවුන්ට රාත්‍රී කෑමට ආරාධනා කොට පිටව ගියේය . 

” සර්…සර්ට මෙතන මොකක් හරි අවුලක් පේන්නැද්ද ?” 

මනුහස් පසු පසින් ඔහුගේ නිදන කාමරය තුළට පිවිසි සචින්ද්‍ර වහා නිදන කාමරයේ දොර වසා දමමින් පැවසුවේය. ජංගම දුරකතනය මත දෑඟිලි යවමින් සිටි මනුහස් , සචින්ද්‍ර දෙස බලා සිනාසුණේය. 

” මෙතන කිසිම අවුලක් නෑ බං. අපි දෙන්නට සේරම දේවල් මල්දෙණිය ගෲප් එකෙන් ලැබෙනවා. හිතේ හැටියට ෆන් එකක් අරන් හෙට හවසට මෙහෙන් යං. එච්චරයි…”

මනුහස්ගේ පිළිතුරට බොහෝ සෙයින් සිත නරක් කර ගත් සචින්ද්‍ර දුරකතනයට පැමිණි කෙටි පණිවිඩයකට ඇස යොමු කළේය. පණිවිඩය ඔහු අසලම හිඳ , ඔහු හා කතා බස් කරන ඔහුගේම ඉහළ නිලධාරියාගෙන්ය. 

” මෙහෙන් පිට වෙනකන් මේ කේස් එක ගැන විශේෂ කිසිම දෙයක් කතා කරන්න එපා. “

” මාත් එහෙනං වොශ් එකක් දාන් එන්නං සර්. නිකන් ලැබෙන අශ්වයගෙ දත් ගණන් කරන්න ඕනේ නෑනේ..”

කෙටි පණිවිඩය හේතුවෙන් සිතේ තිබූ සියළුම අහුකුණු ඉවත් වී ගිය සැබෑ සතුටට එසේ පැවසූ සචින්ද්‍රද මනුහස්ගේ ක්‍රියා පටිපාටියට අනුගත වී සිටියේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here