BE SILENT – 77

0
812

” අනේ.. අම්මේහ්.. මේකිගේ මූණ තියන හිනාව බලපන්කෝ ජාන්වී.. කටින් විතරක් නෙමෙයි මුළු මූණෙන්ම හිනා වෙනවා.. “

වීඩියෝ ඇමතුමේ සිටිනා තරුණිය එසේ පවසා සිනාසුණු අතර ඈ පැවසූ දේට නෙත්‍යාත් , ජාන්වීත් එක දිගට සිනහ වන්නට වූහ .

” දැන් ඉන්නේ පැණි හඳේ බං. ඒකයි.”

” මොනාද බං..?” 

ජාන්වී පැවසූ දේට ලැජ්ජාවෙන් මිරිකී ගිය නෙත්‍යා එසේ පවසමින් ඇගේ අත කෙනිත්තුවාය. 

” හරි.. හරි.. දැන් කෝ උඹේ මනූ..?” 

” අප්පච්චිගෙ යාලුවෙක් ලෙඩ වෙලා බලන්න ගියා බං අප්පච්චි එක්ක. “

” අනේ.. බලහන්කෝ ඉතිං , මට නං හිතා ගන්නත් බෑ බං උඹලා දෙන්නා ආයේ ඔහොම ඉන්නවා දැක්කම. ඇත්තමයි .. මට මාරම සතුටුයි නෙත්‍යා. ඇත්තමයි…”

ඇමතුමේ උන් තරුණිය තව දුරටත් නෙත්‍යා වෙනුවෙන් ඇගේ සතුට පළ කළාය. 

” ඉතිං .. ඉතිං.. කොහොමද කියහන්කෝ දැන් මනූගේ විස්තර. ආසයි කොල්ලව බලන්න මට “

” විශේෂයක් නෑ ඉතිං. .. ඉන්නවා. ඉස්සරට වැඩිය නං හොඳයි. “

” ආ………! “

ජාන්වීත් , ඇමතුමේ උන් අදිතිත් එක වර එසේ හඬ නැඟූ අතර නැවතත් නෙත්‍යා ලැජ්ජාවෙන් ඇඹරී ගියාය. 

” අයියෝ.. මං එහෙම එකක් නෙමෙයි අනේ කිව්වේ. ඉස්සර හිටපු පොඩි කොල්ලා නෙමෙයිනේ දැන් ඉතිං , අර ඒ දවස්වල දන්නවනේ කොයි වෙලත් තද වෙනවා , කෑ ගහනවා . දැන් ඉතිං එහෙම නෑ.. මං ඒ ගැන කිව්වේ ” 

” හරි .. හරි ඉතිං අපිත් කිව්වේ ඒ ගැන තමයි. උඹ මොකද ඉතිං ඔච්චර ඇඹරෙන්නේ ? “

අදිති එසේ පවසා යළිත් ජාන්වී සමඟ සිනහා වූවාය .

” දැන් දිගටම කැන්ඩි ඉන්නවද බං ? නැත්තන් ආපහු යනවද ?” 

” ගොඩක් වෙලාවට මනූ හෙට ආපහු යං කියයි බං “

” එතකොට දැන් එහෙ ඉන්නේ කොහෙද ?” 

අදිතිගේ පැනය හමුවේ නෙත්‍යා නැවත වරක් ලැජ්ජාවෙන් ඇඹරුණාය.

” මනූගේ අපාර්ට්මන්ට් එකේ…”

ඈ පිළිතුරු දුන්නේ ඇසෙන නෑසෙන ගාණටය. 

” ආ……!” 

නැවත වතාවක් යෙහෙළියන් දෙදෙනා ඈව විහිළුවට ගත්තාය .

” පිස්සුද බං , කෑගහන්නෙපා. මෙතන මිනිස්සු ඉන්නවා. “

මහ හඬින් සිනහවෙන ජාන්වීගේ අත නැවත වරක් කෙනිත්තූ නෙත්‍යා වීඩියෝ ඇමතුමේ සිටිනා අදිති දෙස බලාද මුව ඇද කළාය.

” ඔහ්…!” 

ජාන්වී කලබල වී වහා හිඳ සිටි පුටුවෙන් නැඟිට්ටාය. 

” ඇයි මොකද …?” 

” ඔහ්.. සොරි දැක්කෙ නැ. “

අවන්හලේ මේසය මත තිබූ ජාන්වීගේ බීම වීදුරුව හදිසියේ පැමිණි අයෙකුගේ ඇඟේ වැදීමෙන් පෙරළී ඇගේ ගවුමට හැළී තිබුණේය . යන්තමින් සමාව ඉල්ලූ ඔහු කිසිවක් නොවුණු පරිදි ඉන් පිටව ගිය අතර ජාන්වී මූණ නරක් කරමින් සිටියාය . 

” පුදුම හදිස්සිකාරයෙක්..”

” ගොඩක් හැළුණද බං ? “

නෙත්‍යාද හිඳ උන් පුටුවෙන් නැඟිට්ටාය. 

” නෑ.. නෑ.. ලොකුවට නෑ. මං වොශ් රූම් එකට ගිහින් සෝදන් එන්නං “

” ඉන්න මාත් එන්නං , “

” නෑ.. නෑ.. උඹ හිටහං. මං යන්නං. “

ජාන්වී වහා නාන කාමරයක් සොයා පා තැබූ අතර නෙත්‍යා නැවතත් හිඳ උන් පුටුවෙන් අසුන්  ගත්තාය. 

” ගොඩක් හැළිලද බං ?” 

” නෑ , ටිකයි. “

දුරකතනය වෙත දෑස අලවා සිටි නෙත්‍යා වහා තමා ඉදිරියේ හිඳ ගත් පුද්ගලයා දැක දෑස විසල් කර ගත්තාය .

” How are you, my love? It’s been a long time, isn’t it? “

අදිති , මට තත්පරයක් දෙන්න. මං ගන්නං “

එසේ පැවසූ ඈ දුරකතන ඇමතුම විසන්ධි කොට යළි තමා ඉදිරිපස පුටුවේ හිඳ ගත් පුද්ගලයා වෙතට දෑස යොමු කළාය.

*******************************************

මෝටර් රථය ගෙමිදුලට ඇතුළු වන විටත් වසුන්දරා ගෙමිදුලට බැස අවසන්ය. මනුහස් දෑස කරකවමින් බැලුවද රුවැත්තිය පෙනෙන්නට නැත. 

” නෙත්‍යා කෝ අම්මා ?” 

” ඔලුව කැක්කුමයි කියලා නිදි මනූ. ඊයෙයි අදයි දවසෙම කුස්සියේ මං එක්ක මහන්සි උනානේ. ඒ නිසා වෙන්නැති. රෑට කෑවෙත් නෑ. දැන් නං නින්ද ගිහිල්ලද කොහෙද “

ඉදින් ප්‍රේමවන්තයාගේ හදවත දැවුණේය. ඇගේ හිසේ රුදාවට වඩා වේදනාවක් ඔහුගේ හදවතේ නැඟී එන්නට පටන් ගත්තේය. හේ වහා අඩියට දෙකට නිදන කාමරයට පා තැබුවේය. ඈ නින්දේය. සෙමින් යහනේ හිඳ ගත් ඔහු සීරුවට ඇගේ හිස පිරි මැද්දේය.

” මනූ…” 

දෑස හැරි ඈ ඔහු දෙස බලා මඳ සිනහවක් පෑවාය. 

” දැන්ද ආවේ ?” 

” ඔයාට මොකද ? අම්මා කිව්වා ඔලුව කැක්කුමක් හැදිලා කියලා ? ඇයි බෝලේ ? ම්ම්..?” 

” ඔලුව චුට්ටක් රිදෙන්න ගත්‍තා මනූ..”

” ඩොක්ටර් කෙනෙක් ලඟට යන්ද ?” 

” එපා.. ඕන්නෑ.. මං පේන් කිලර්ස් ගත්තා. “

” ඉතිං ඔහොම ඉඳලා බෑනේ.. ? මූණත් එක්ක මැළවිලා ඔයාගේ. කෑවේ නෑ නේද ?” 

” කන්න බෑ මනූ.. ඔයා ගිහින් කන්න. “

ඔහු ඇගේ මැළවුණු මුහුණ දෙස බලා සුසුමක් හෙළුවේය. 

” මං කෑම ටිකක් බෙදාගෙන ඇවිල්ලා කවන්නද ?” 

” එපා මනූ , මට කන්න බෑ..  දැන් වෙලාව කීයද ? ” 

” නමයයි  හතළිස් පහයි . ගෙදර කෑම කන්න බැරි නං , මං ආයේ ගිහින් මොනාහරි අරන් එන්නද ?” 

නෙත්‍යාගේ හදවත මනුහස් පිළිබඳව අනුකම්පාවකින් පිරී ගියේය. උදෑසන පිටත්වී ගිය ඔහු පැමිණියේ රාත්‍රියේය. තමා පිළිබඳව මෙතරම් සොයන , ළතැවෙන ඔහුට තවත් වද දීම , කරදර දීම නුසුදුසුය .

නෙත්‍යා නැඟිට යහන මතින් හිඳ ගත්තාය .

” ඔයා ගිහින් වොශ් එකක් දාන් එන්න  , ඊට පස්සේ කමු. “

” මං ගිහින් කන්න මොනාහරි අරන් එන්නද ? ” 

ඈ වහා ඔහුගේ බාහුව සිප ගත්තාය .

” එපා මනූ , ඕන්නෑ. ඔයා වොශ් එකක් දාන් එන්න . “

” Are you sure? “

” හ්ම්ම්…”

ඔහු නැඟිට නාන කාමරය වෙත යන තුරු සිටි නෙත්‍යා වහා දිගු සුසුමක් හෙළුවාය.

ඈ නිදන කාමරයේ සිට මුළුතැන්ගෙය දෙසට යන විටත් මවත් , පියාත් මුළුතැන්ගෙය තුළය. 

” මොකද දරුවෝ උනේ ?” 

” හිසේ කැක්කුමක් ඇල්ලුවා අප්පච්චි , දැන් හරි. “

” එහෙනං බත් කටක් කාලම නිදා ගන්න පුතේ. නැත්තන් හාමත් වෙයි. කෝ මනූ..”

වසුන්දරා එසේ අසමින් කෑම බඳුන් යළි රත් කරන්නට පටන් ගත්තාය. 

” වොශ් දානවා. “

” ඔයාට තේ එකක් හදන්නද ඒයි..” 

” හා..”

” ඇයි අප්පච්චි කන්නේ නැද්ද ?” 

” මං මඟින් ආප්ප දෙක තුනක් කෑවා පුතේ. මනූ එහෙමවත් කෑවේ නෑ. ඔයා බලන් ඉඳී කියලා ඔය ආවේ. “

නෙත්‍යාගේ හදවත නැවත වරක් දැවුණේය. ඔහු එතරම් ඇවිටිලි කරද්දීත් ,ඔහුට පමණක් ගොස් කෑම ගන්නට පැවසූ බව මතක් වීමෙන් තමා පිළිබඳවම කළකිරීමක් ඈ තුළ හට ගත්තේය. 

” දරුවෝ..”

” අප්පච්චි..?” 

” මං මේ යන එන ගමනුත් මනූ එක්ක කතා කළේ , දැන් ඔහොම හිටියා ඇතිනේ නේද ? කොහොමත් දැන් ඔය දෙන්නා එකට ඉන්න එකේ කසාදයක් ගැන හිතුවොත් නරකද ?” 

නෙත්‍යා කිසිවක් නොපවසා මුහුණ බිමට බර කරගෙන සිටියාය. 

” දුවට ඕනෙ නං කියන්න , මායි අම්මයි දුවලගෙ ගෙදර ගිහින් ඒ අම්මා , අප්පච්චි එක්ක මේ ගැන කතා කරන්නං “

” අනේ එපා අප්පච්චි .. , එයාලත් එක්ක කතා කරන්න අවශ්‍ය නෑ. මේ හැමදේම උනේ එයාලා නිසා. “

නෙත්‍යා දෑසින් ගිලිහුණු කඳුළක් වහා පිස දැමුවාය .

” ඔයාට කැමති විදිහක් කියන්නකෝ. රෙජිස්ට්‍රේෂන් එකක් විතරක් කරනවා නං එහෙමයි , පුංචි උත්සවයක් ගන්නවා නං ඒත් එහෙමයි. ඔයා කැමති විදිහක් කියන්න. “

නෙත්‍යාගේ දෑසින් ඉනූ කඳුළ දැක වේදනාවක් දැනුණු වසුන්දරා ඇගේ හිස පිරිමදිමින් එසේ පවසමින් ඈ සනසන්නට උත්සාහ දැරුවද නෙත්‍යාගේ කඳුළු තව තවත් වැඩි වූවා මිස අඩු උනේ නැත. 

” අනේ.. ඇයි පුතේ මේ..?” 

වසුන්දරා හා විජේවර්ධන දෙදෙනාම කලබල වී ඔවු නොවුන්ගේ මුහුණට මුහුණ බලා ගත්හ. 

නෙත්‍යා වහා හැරී වසුන්දරාගේ දෑතින් අල්ලා ගත්තාය. 

” මං මනූව දාලා ගියා නෙමෙයි අම්මා. , අපේ අම්මා , අප්පච්චිලා මාව බලෙන් ඒ මිනිහට බන්ඳලා දුන්නේ. කසාදයක් බැඳලා ගියා කියලා එක දවසක් මං ඒ ගෙදර හොඳින් ඉඳලා නෑ. ඒ මිනිහා තිරිසනෙක්ටත් වැඩිය අන්තයි අම්මා. දවස ගාණේ මට ගැහුවා , වද දුන්නා. කොයි තරං කෑගැහුවත් මාව බේරගන්න කිසි කෙනෙක් ආවේ නෑ. මාව බලෙන් ඒ මිනිහගෙ ඇගේ ගහපු මගෙ අම්මා අප්පච්චිවත් මාව බේර ගන්න ආවේ නෑ අම්මා. “

නෙත්‍යා දිගින් දිගටම වැගිරෙන කඳුළු බිඳු පිස දමමින් තවත් දෑ පවසන්නට උත්සාහ කළද උගුරෙන් නැඟෙන ඉකියත් , වේදනාවත් නිසාම ඇගේ මුවින් වචන පිට නොවුණේය. 

” හරි.. පුතේ හරි.. දැන් ඇති. අපි ඕවා ඔයාගෙන් ඇහුවේ නෑනේ දරුවෝ. වෙච්ච දේවල් උනා. සතුටු හිතෙන කාරණා ටික විතරක් තියාගෙන ඉතිරි දේවල් ටික අතෑරලා දාන්න පුතේ. “

වසුන්දරා වහා නෙත්‍යාව තුරුළු කර ගත්තාය. ඇගේ දෑසින් ගලන කඳුළුද පිස දමමින් ඈ විජේවර්ධන දෙස බැලුවේය. ඔහු දරාගත නොහැකි වේදනාවකින් බර සුසුමක් හෙළුවේය.

” ඔයාට කවුරු නැතත් මනූ ඉන්නවා. මේ අම්මයි , අප්පච්චියි ඉන්නවා. ඉන්න මේ ගේ තියනවා. ඒ නිසා කිසි දේකට හිත කරදර කරගන්න එපා. “

වසුන්දරා නෙත්‍යාගේ වටකුරු උවන මත ඇති කඳුළු පිස දමමින් එසේ පැවසුවාය. 

” ඇයි මොකද ?” 

එක වරම මුළුතැන්ගෙට පැමිණි මනුහස් , වසුන්දරා නෙත්‍යාගේ කඳුළු පිසිනු දැක කලබල වූයේය .

” ඇයි ඔයාට අමාරුද ?” 

” නෑ.. මනූ.. නෑ.. මේ… “

” ඇහැට රොඩ්ඩක් ගිහින් මනූ. . මං පිම්ඹා. දැන් හරි. “

වසුන්දරා එසේ පවසා නැවතත් නෙත්‍යාගේ කොපුල් මත ඇති කඳුළු බිඳුවක් පිසදා සිනහවූවාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here