BE SILENT – 80

0
44

” කවුරුවත් කියලා දෙනවට වැඩිය ඇමතිතුමාම ඒක තේරුම් ගත්තු එක වටිනවා. “

” ඒ කියන්නේ මිස්ටර් විජේවර්ධන මාත් යූස් වෙනවා කියලා දැනගෙන හිටියා ?” 

” ආදරේ , යාලු මිත්‍රකම් , හිතවත්කම් ගොඩක් වෙලාවට මිනිස්සුන්ව අන්ධ කරනවා ඇමතිතුමා. තමන්ට නොපෙනුණාට ඒක පිට ඉන්න මිනිස්සුන්ට පේනවා. “

නදීල් මොහොතක් නිහඬව සිටියේය.

” මට මේ ඇමති පට්ටං දාගෙන රටට ලෝකෙට පොරක් වෙන්න කවදාවත් උවමනාවක් තිබ්බේ නෑ මිස්ටර් විජේවර්ධන . අපේ තාත්තලා මේ ඇමතිකන් නිසා කරපු හොඳ වැඩ වගේම දහජරා වැඩත් ඔක්කොම මං මගේ ඇස් දෙකෙන් දැකලා තිබ්බේ. අපේ තාත්‍තලා අපිව උනත් හැදුවේ එයාලගෙ බලේ තියාගන්න ලේසි වෙන විදිහට. පොඩි කාලේ ඉඳලම මයන් මල්දෙණිය මගේ යාලුවෙක් උනෙත් අන්න ඒ කාරණා නිසා. මහ එවුන්ගේ මොන මොන ගේම් තිබ්බත් මං අද වෙනතුරුත් හිතන් හිටියේ අපි ඔක්කොම එකා වගේ අනිත් දේවල් ගැන නොහිතා යාලුකම ගැන විතරක් හිතන උන් ටිකක් කියලා. අන්න ඒ නිසයි ගොඩක් වෙලාවල් වලදි මං උනත් සයිලන්ස් එකේ හිටියේ. වැරදි දැක දැකත් සද්ද නැතුව හිටියේ. ඉස්කෝලේ ගිහිල්ලා ඉවර උනාට පස්සේ මට ඕනේ උනේ අයේෂා එක්ක මේ රටින් යන්න. ඒත්.. එදා නයින් මවුන්ටන්ස් එකේදි උදේ පාන්දර අපේ තාත්තා කඩන් පැනලා මාවයි , අයේෂාවයි අල්ල ගත්තට පස්සේ ඒ හැමදේම වෙනස් උනා. “

නදීල් තවත් මොහොතක් නිහඬව සිටියේය. වේදනා , කළකිරීම් හමුවේ දළු ළා ආ කෝපය  සමඟ ඔහුගේ දෑත මිට මෙළවී තිබුණේය.

” නයින් මවුන්ටන්ස් එකේදි එදා මායි ,අයේෂායි එකට හිටපු එක අපේ තාත්තාට කෝල් එකක් දීලා කියලා තියෙන්නේ මයන් . ටැමී ඊයෙයි මට ඒ ගැන කිව්වේ. එදායින් පස්සේ දවස් ගාණක් යනකන් අපේ තාත්තා මාව එළියටවත් බැස්සුවේ නෑ. ටික දවසකට පස්සේ අයේෂා ගැන හොයලා බැලුවම එයා රටිනුත් ගිහින් තිබ්බා. ඒක කරලා තිබ්බෙත් අපේ තාත්තා. අපේ තාත්තා කොහොම හරි මාව මේ මඩ වළට දැම්මා. කාලයක් ගිහින් ඇමති දුවෙක්වම බන්ඳලත් දුන්නා.  තාත්තගේ ජන්ද වැඩ වලට උදව් කළේ රිචඩ් මල්දෙණිය. රිචඩ් මල්දෙණියගේ බිස්නස් වලට උදව් කළේ අපේ තාත්තා. අන්තිමට මයනුයි , මායි උනත් කළේ ඒක. මං කසාද බැන්ඳා , මට ආයේ අයේෂාව මුණ ගැහෙනකොට වයිෆ්ට දෙවෙනි බබත් ලැබෙන්න ඉන්නවා. අයේෂා කියන කාරණේ ඇරෙන්න මගේ ජීවිතේ මගෙ උවමනාවට ගත්තු එක තීරණයක්වත් නෑ මිස්ටර් විජේවර්ධන . “

මනුහස් විසල් සුසුමක් හෙළුවේය. ප්‍රේමය එලෙසය. තමා තරම් ඒ පිළිබඳව දන්නේ වෙන කවුරුන්ද ? ඉදින් තව දුරටත් එය පැහැදිලි කිරීම අවශ්‍ය නැත. 

” මිස්ටර් විජේවර්ධන , මිස්ටර් විජේවර්ධනව මයන් එක්ක මුණ ගැහුණු දවසේ අයේෂාටත් ටෙහාන්ලට , ක්‍රිශාන්ලට ආවා වගේම ෆොටෝ එකක් ඇවිත් තිබුණා. “

මනුහස් තිගැස්සී නදීල් දෙස බැලුවේය  .

” ඒක නං කීයටවත් වෙන්න පුලුවන් දෙයක් නෙමෙයි ඇමතිතුමා . අනිත් හත් දෙනාටම ත්‍රෙට් එකක් තිබ්බත් ඇමතිතුමාටයි , මිස් අයේෂාටයි එහෙම ත්‍රෙට් එකක් තියෙන්න බෑ. “

නදීල් මුහුණ හරවා සෘජු බැල්මක් මනුහස් වෙත හෙළුවේය.

” හේතුව ?” 

” ඒ සිද්ධිය වෙන වෙලාවේ හොටෙල් එකේවත් නොහිටපු දෙන්නෙක්ගෙන් ඇයි පළි ගන්නේ ? ඒක අනවශ්‍ය වැඩක්. මයන්ලා අතින් කරදර විඳලා මැරුණු අදීරාගේ කේස් එක හැඩ්ල් කරපු ඉඳිඔයේ පොලීසියේ ඒ වෙනකොට හිටපු ඕඅයිසී පවා මේ ත්‍රෙට් එක නිසාම මීට අවුරුදු දෙකකට විතර කලින් සුයිසයිඩ් කරන් තියනවා. මේ ත්‍රෙට් එක තියෙන්නේ අදීරාගේ සිද්ධියට සම්බන්ධයක්  තියන අය වටේ විතරයි. “

” ඇත්ත… අයේෂාට ෆොටෝස් එවලා මාව බය කරන්න හදලා තිබ්බේ මයන් “

මනුහස් නැවතත් තිගැස්සුණු දෑසින් නදීල් දෙස බැලුවේය .

” පෝස්ට් එකේ ආපු ලියුමේ සීල් එකක් තිබ්බේ නෑ. ඒක පෝස්ට්මන්ට මඟින් දීපු එකක්. ඌව අල්ලලා දෙක තුනක් දුන්නා. අඳුරන්නැති එකෙක් කිව්වලු ලියුම් දෙක තුනක්ම තියනවා ගිහින් දෙන්න කියලා. ඌට සෑහෙන්න ලොකු ගාණකුත් දීලා. දෙවෙනි ලියුම දෙන්න මඟට එන්නං කියලා තියෙන්නේ ඊයේ. ඌව යවලා මගෙ මිනිස්සු දෙතුන් දෙනෙකුත් උගෙ පස්සෙන් ගියා. ඊට පස්සෙයි ලියුම් දෙන්න ආපු එකාව අල්ල ගත්තේ. ඌටත් දෙක තුනක් අනිද්දි ඌටත් ඔය වැඩේ භාර දීපු එකා කවුද කියලා අපේ උන්ට කියලා තිබ්බා. ඌට වැඩේ භාර දීලා තියෙන්නේ රමිත. රමිත සේනාධීර. මයන්ගේ සෙකට්‍රි . රමිතවත් , මයන්වත් තාමත් දන්නෑ මං මේ සිද්ධිය දන්නවා කියලා. “

මනුහස් මුව අඟින් සමච්චල් සිනහවක් පෑවේය. 

” ඇමතිතුමාට දැන් තේරෙනවනේ මයන් හැදුවේ තවත් ඇමතිතුමාව කන්ට්‍රෝල් කරන්න. සිද්ධියට සම්බන්ධ හත් දෙනාගෙන් හය දෙනෙක්ම දැන් ඉවරයි. ඉතුරු මයන් විතරයි. ඌ දන්නවා ඇමතිතුමා මේකෙන් අයින් උනොත් ඌ තනිවෙනවා කියලා. ඌට හයියට ඇමතිතුමාව පාවිච්චි කරනවා ඇරෙන්න ඇමතිතුමාට උදව්වක් වෙන්න ඌට උවමනාවක් නෑ. “

” මං තවත් උගේ රූකඩයක් වෙලා ඉන්නෑ මිස්ටර් විජේවර්ධන . මං මේකෙන් අයින් වෙනවා. මාව අදාලම නැති කාරණයක් නිසා මං සෑහෙන්න කාලයක් වගේම සෑහෙන්න වැඩ ගොඩක් පාඩු කරගත්තා. ඒ වගේම හිතෙන් විඳෙව්වා. දැන් ඇති. මේක තේරුමක් නැති වැඩක්. “

” හ්ම්ම්… ඒක හොඳ තීරණයක් ඇමතිතුමා. “

” මිස්ටර් විජේවර්ධන , මං මිස්ටර් විජේවර්ධනගේ පෞද්ගලික ජීවිතේට ඇඟිලි ගහනවා නෙමෙයි . ඒත් මයන් කියන්නේ විශ්වාසයක් තියන්න පුලුවන් එකෙක් නෙමෙයි . මේ දේවල් කරන එකාව හොයලා දෙනවට මිස්ටර් විජේවර්ධන එදා මයන්ගෙන් ඉල්ලපු දේ මයන් කවදාවත් ලේසියෙන් මිස්ටර් විජේවර්ධනට දෙයි කියලා හිතන්නෙපා . “

මනුහස් නැවතත් මුවඟින් සමච්චල් සිනහවක් පෑවේය .

” මට ඒක මයන්ගෙන් ඉල්ලලා ගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි ඇමතිතුමා. මට ඕන උනේ මට ඕනේ දේ කෙලින්ම ඌට කියන්න විතරයි. “

” මට මිස්ටර් විජේවර්ධනව තේරෙනවා. “

” මේ දේවල් කවුරු උනත් මං ඒ මිනිහව ඉතා ඉක්මන්ට හොයා ගන්නවා ඇමතිතුමා. “

” තේරුමක් නෑ මිස්ටර් විජේවර්ධන . මං නං කැමති මිස්ටර් විජේවර්ධන ඒ කවුද කියලා හොයා නොගෙන ඉන්න තරමට. ලොකුම අපරාධකාරයා ඉන්නේ එළියේ. ඌටත් ඌට අයිති දේ ලැබෙන්න ඕනේ. මිස්ටර් විජේවර්ධන ඔය කියන කෙනාව හොයා ගත්තත් , ඒ කවුද කියලා දැනගන්නවත් මට දැන් අවශ්‍යතාවයක් නෑ. ඒ උනත් මොනවමහරි දෙයක් මගෙන් වෙන්න තියනවනං ඕන වෙලාවක් ඒක මට කියන්න. පුලුවන් උපරිමේ මං කරනවා. “

” බොහොම ස්තූතියි ඇමතිතුමා. “

************************************************

ඇගේ වචන වල කිසිදු වෙනසක් නැත. ඇගේ හැසිරීමේ කිසිදු වෙනසක් නැත. නමුත් ඔහුගේ හදවත දැවෙමින් තිබුණේය. කෙතරම් උත්සාහ ගත්තද නින්දක සේයාවක් හෝ ළං නොවන්නේය. මනුහස් අඳුරේම ඈ දෙස බැලුවේය . තම බාහුවක් දෑතින්ම තුරුළු කරගෙන ඈ සුව නින්දකය. සෙමින් ඇගේ දෑත වෙළී තිබූ තම අත මුදා ගත් ඔහු යහනෙන් නැඟී සිට නිදන කාමරයට යාබද බැල්කනිය වෙතට ගියේය . බැල්කනියේ බරාඳයට බර වූ ඔහු දල්වා ගත් දුම්වැටියක් උරන්නට වූයේය. 

මඳ වේලාවකින් යහනේ ඔහු නොමැති බව දැන ගත් නෙත්‍යා බැල්කනියේ බරාඳයට බර වී පිටු පා සිටින ඔහු දැක වහා යහනෙන් බැස බැල්කනිය වෙත පා නැඟුවාය. ඉන්පසුව  ඔහුව පසුපසින් ගොස් තදින් වැළඳ ගත්තේය. 

” මොකද මනූ මෙතන. ..?” 

” නින්ද යන්නෑ..”

ඔහුගේ පිළිතුර කෙටිය. පසුපස සිට ඔහුව වැළඳ සිටි ඈ ඇගේ දෙතොල තද කර ඔහුගේ පිට මත හාදුවක් තැබුවාය . ඉදින් ඔහුගේ දෑස ඉබේටම පියවී ගියේය . ඇගේ එක් ස්පර්ශයකට , ඇගේ එක හාදුවකට තමා මෙතරම් නිවිය හැකි දැයි ඔහුටම වටහා ගත නොහැක. තව තවත් හදවතින් දැවෙමින් සිටිය නොහැක. ඈ සමඟ මෙය කතා බහ කළ යුතුය .

” මනූ..!” 

නෙත්‍යා ඔහු අත වූ දුම්වැටිය දැක කලබල වී සිටියාය. 

” ඇයි මනූ මේ ? “

” නිකන්.. “

” මොකද්ද නිකන් ? පාන්දර දෙකට ඇහැරිලා නින්ද යන්නෑ කියලා , මෙතනට වෙලා …”

ඈට කතාව අවසන් කිරීමට නොහැකි විය. ඔහු වහා ඇගේ බඳ වටා අතක් යවා ඈ ඉදිරියට ගෙන ඈව බරාඳයට තද කර ගත්තේය .

” අද කොහෙද ගියේ ?” 

” මනූ…?” 

ඔහුගේ වෙනසට හේතුව ඈට පැහැදිලිය. කිසිවක් නොපැවසූ ඈ උවන බිමට බර කර ගත්තාය . නමුත් ඔහුගෙන් ඉඩක් නොමැත . ඔහු වහා ඇගේ නිකටින් අල්ලා ඇගේ මුහුණ තමා දෙසට ඔසවා ගත්තේය  .

” මූණ දිහා බලන්න බෝලේ . ජාන්වී තාම කැන්ඩි වල. ඇයි මට බොරුවක් කිව්වේ ?” 

නෙත්‍යා සුසුමක් හෙළා ඔහුගේ දෑස දෙස කෙලින් බලා සිටියාය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here