” මොකෝ බං නිකන් නයා මැරිච්ච අහිකුණ්ටකයා වගේ. ?”
තමන් වෙත ගෙන ආ ලිපි ලේඛන වලට අත්සන් තබමින් වරින් වර තමා ඉදිරියේ සිටගෙන සිටින සචින්ද්‍රගේ අඳුරු වූ මුහුණ දෙස බැලූ මනුහස් අවසන් ලිපියේද අත්සන් තබා අවසන් කර ඇසුවේය.
” මුකුත් නෑ සර්..”
” උඹ මටද බොරු කියන්නේ ?”
සචින්ද්‍ර අපහසුවෙන් සිනහවක් නැඟුවේය. සචින්ද්‍රගේ සිනහව දුටු මනුහස්ද කට කොනකින් සිනහවක් පෑවේය.
” මොකෝ උඹේ කෙල්ලගේ අවුලක්ද ?”
සචින්ද්‍ර එවර තිගැස්සී මනුහස් දෙස බැලුවේය. සචින්ද්‍රගේ තිගැස්ම දුටු මනුහස් ඔහුගේ අනුමානය නිවැරදි බව පසක් කර ගනිමින් යළිත් මුවඟින් සිහින් සිනහවක් නැඟුවේය.
” මොකද්ද බං වෙලා තියෙන්නේ ? මොකද්ද අවුල ? උඹ නිකන් මිනිහා මැරිච්ච ගෑනි වගේ මගෙ ඉස්සරහ ඉද්දි මං උනත් වැඩක් කරගන්නේ කොහොමද කියලා බලපන්. “
” සොරි සර්..!”
” උඹ කැමති නං කියහන් . නැත්තන් නිකන් හිටහන්. හැබැයි ඔහොම මූණ දෙක කරන් නොඉඳ හිටහන්. උඹේ මූණ දැක්කම මට දෙකක් අයින්න හිතෙනවා නැත්තන් “
ලිපි ගොනුව වසා දැමූ මනුහස් මේසය මත තිබූ පරිගණකය දෙසට දෑස යොමු කළේය.
” සර්..!”
” ම්ම්ම්..”
” රාදී…”
” රාදී කිව්වේ ..?”
” අර මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් “
” ඉතිං ..?”
සචින්ද්‍ර යළිත් මොහොතකට නිහඬ වූයේය.
” ගෙදට්ට වෙන යෝජනාවක් ඇවිල්ලා “
මනුහස් පරිගණකය මත තිබූ දෑස සචින්ද්‍ර දෙසට යොමු කළේය.
” ඇයි දැන් උඹට ගෙදරින් කැමතියි කිව්වයි කිව්වේ ?”
” මිනිහා බිස්නස්කාරයෙක් සර්. ඉස්කෝලේ යන කාලේ ඉඳලම අපි දෙන්නා අතරෙ සම්බන්ධයක් තිබ්බට ඒ මහ මිනිස්සු කැමති උනේ නැත්තෙම අපිට එච්චර සල්ලි තිබ්බෙ නැති නිසා. අනික මට තව නංගිලා දෙන්නෙක්ම ඉන්නවා. කොච්චර කිව්වත් නවත්තන්නෙම නැති තැන කැමති උනා මිසක් මට ඒ ගෙදරින් ලොකුවට කැමැත්තක් තිබ්බෙම නෑ. මෙයා ඉස්කෝලෙට යන්නේ එන්නේ ඔය ප්‍රපෝසල් එක ආපු මනුස්සයගේ පොල් ඉඩමක් ඉස්සරහින්ලු. ඒ යන අතරතුර දැකලා තමයි ගෙදට්‍ටම ඇවිල්ලා අහලා තියෙන්නේ. “
සචින්ද්‍ර දිගු සුසුමක් හෙළුවේය.
” ඉතිං බං , ගෙදර එවුන් දැනගන්න එපැයි දැනටත් දුවට කසාද බඳින්න කෙනෙක් ඉන්නව කියලා ඒ මිනිහට කියන්න ?”
” උන් එහෙම කියලා නෑ සර්. ඒ මිනිහා ඊට පස්සෙත් දවස් දෙකක් ගෙදර ඇවිල්ලා. මෙයා නහයෙන් අඬනවා මට කතා කර කර. “
මනුහස්ගේ හදවත තුළ කෝපයක් දළු ළමින් තිබුණේය. එය සචින්ද්‍රගේ සිද්ධිය අරඹයාද නැතහොත් තමා ඉදිරියේ දිග හැරෙන අතීතාවර්ජනයක් නිසාද යන්න ඔහුට පැහැදිලි නොවීය.
” මේ මිනිස්සු හරියට කෙල්ලො හදන්නේ මස් කඩේට දක්කන්න වගේනේ බං. කන්න බොන්න , උගන්නලා උස්මහත් කළාට පස්සේ වැඩිම ඉල්ලුම තියන එකාට දෙනවා. “
” එකාතකට ඒ මිනිස්සුන්ගෙත් වරදක් නෑ සර් “
එවර මනුහස්ගේ දෑසේ සචින්ද්‍රගේ වචන අරඹයා පුදුමයක් තැවරුණේය.
” ඒ මොකෝ ?”
” කෙල්ලො කියන්නේ අම්මලා තාත්තලට අපිට හිතාගන්නවත් බැරි තරම් ලොකු වගකීමක් සර්. කෙල්ලෙක්ගේ ජීවිතේ අපි වගේ නෙමෙයි. එක පාරක් වැරදුණොත් මුළු ජීවිත කාලෙම දුක් විඳින්න වෙනවා. මටත් නංගිලා දෙන්නෙක් ඉන්නවනෙ සර්. මං උනත් උන් දෙන්නගෙන් කාටහරි පොලිස්කාරයෙක්ගෙනුයි , බිස්නස්කාරයෙක්ගෙනුයි දෙන්නෙක්ගෙන්ම යෝජනාවක් ආවොත් මං උනත් ගන්නේ බිස්නස්කාරයගේ පැත්‍ත. ඕනම මනුස්සයෙක් කැමති තමන්ගෙ එකා හොඳින් ඉන්නවටනේ සර්. “
” තමන්ගෙ එකා විතරක් හොඳින් හිටියම ඇද්ද බං. ? එතකොට අනිත් උන්ට මොකද වෙන්නේ ? උන් ජීවිත කාලෙම විඳවන්න ඕනෙද ? කෑම කටක් කන්න ගියත් , ඇඳකට වැටිලා නිදාගන්න ගියත් හූල්ල හූල්ල ඉන්න ඕනෙද ? ගෑනු විතරක් හොඳින් හිටියම ඇද්ද බං ? එතකොට පිරිමි .. ? පිරිමි හොඳින් ඉන්න ඕනේ නැද්ද ? අපි කරන්න ඕනේ දවස ගාණේ කොහෙ හරි වැටිලා බිබී ඉන්න එකද ? මහ රෑ නැඟිටගෙන කල්පනා කරන එකද ? අපේ ජීවිත වල තියන බලාපොරොත්තුවලට අපි මොකද කරන්නේ බං ? ඒ ඔක්කොම අතෑරලා දාන්න ඕනේ ? එහෙමද ? “
” නෑ.. නෑ.. සර්. එහෙම නෙමෙයි.. “
” නැත්තේ මොකක්ද ? මොකක්ද කියහන් නැත්තේ ? ඌට සල්ලි තියනවනං දවසක් , දෙකක් , තුනක් කෙල්ලගෙ ගෙදරට යයි. දැනටමත් ගෙදර උන් ඌට කැමති නං තව ටික දවසක් යද්දි ඒකිත් කැමති වෙයි. ඊට පස්සේ ? උන් දෙන්නා ශෝක් එකට කසාද බැඳලා ලස්සනට ඉඳී. එතකොට උඹ ? උඹ මෙතන ඉඳන් හූල්ල හූල්ල ඉඳී මුලු ජීවිත කාලේම. උඹ පිරිමියෙක් උනා කියලා උඹ හිතන්නෙපා උඹට හිත හදාගන්න ලේසි වෙයි කියලා. හැම එකාම හිතන්නේ එහෙම තමා. උන් පිරිමිනේ.. උන්ට හිත හදාගන්න පුලුවන් . එහෙ බලලා මෙහෙ බලද්දි තව කෙල්ලෙක් හොයාගන්න පුලුවන් . මහ හු@#*& කතා බං ඕවා. “
මනුහස් අතේ තිබූ පෑන වේගයෙන් මේසය මතට විසි කළේය. සචින්ද්‍ර විසල් කරගත් දෑසින් තම ඉහල නිලධාරියා දෙස බලා සිටියේය . එක් වරම ඔහුට පෙර දිනක නයින් මවුන්ටන්ස් හෝටලයේදී බීමතින් සිටි මනුහස් පැවසූ යමක් සිහියට නැඟුණේය.
” මට කෙල්ලෙක් හිටියා බං. පොඩි බටු ඇටයක් වගේ සුදු බෝල කෙල්ලෙක්. මටත් වැඩිය මං කවුද කියලා තේරුං අරන් හිටපු කෙල්ලෙක් හිටියා බං. ඒ උනාට ඒකිව යාන්තන් දහාට ලබපු ගමන් උන්ගෙ මහ උන් සල්ලිකාරයෙක්ට බන්ඳල දුන්නා. ඒකිත් මාව දාලා යන්න ගියා බං. දැන් අවුරුදු ගාණක්. මට තාම ඒකිව අමතක කරගන්න බෑ බං “
බීමතින් වුවද එදින මනුහස් පැවසූ සියල්ල ඔහුගේ හදවතෙහි තිබූ අඳුරු මතකයක වේදනාව බව සචින්ද්‍රට තේරුම් ගියේය. එසේම එදා මනුහස්ගේ වචන හරි හැටි මායිම් නොකළද අද මනුහස්ගේ වචන වල පවතින වේදනාව කවරදාටත් වඩා සචින්ද්‍රට හොඳින් දැනෙන්නට පටන් ගෙන තිබුණේය.
දෙදෙනාගේම කල්පනාවලට තිත තබමින් මනුහස්ගේ කාර්‍යාලීය ජංගම දුරකතනය නාද වන්නට වූයෙන් සචින්ද්‍ර වහා එය ගෙන පිළිතුරු බඳින්නට පටන් ගත්තේය.
” හෙලෝ..!”
” හෙලෝ.. ! මිස්ටර් විජේවර්ධන ?”
නන්නාඳුන ඇමතුමේ අනෙක් පසින් ඇසුණේ තරුණ කාන්තා කටහඬකි.
” සර් ටිකක් බිසී. මොකක්ද දන්නෑ පණිවිඩය ?”
” මම නර්මදා. මිසිස් මල්දෙණියගේ සෙකට්‍රි. මිසටර් විජේවර්ධනට කියන්න පෞද්ගලික පණිවිඩයක් තියනවා. “
අනෙක් පසින් ඇසුණු කටහඬට නිහඬව සවන් දී සිටි මනුහස් , දුරකතනය තමාට ලබා දෙන සචින්ද්‍රට අතින් සන් කළේය.
” හරි , ටිකක් ඉන්න “
” හෙලෝ..!”
දුරකතනය අතට ගත් මනුහස් එයට පිළිතුරු බැන්ඳේය.
“මිස්ටර් විජේවර්ධන ?”
” ඔව් , කතා කරනවා “
” සර් , මම නර්මදා. මිසිස් මල්දෙණියගේ සෙකට්‍රි . “
මනුහස්ගේ හදවත තුළ සියුම් තිගැස්මක් ඇතිවී නැති වී ගියේය .
” මිසිස් වජිරා මල්දෙණිය , ඒ කියන්නේ අපේ ලොකු මැඩම්. මයන් මල්දෙණිය සර්ගේ අම්මා. මං හිතන්නේ සර්ට අපේ මයන් සර්ගේ ෆියුනරල් එක වෙලාවෙදි මැඩම්ව මුණ ගැහුණා. අපේ මැඩම්ට සර්ව මුණ ගැහිලා සර් එක්ක ටිකක් කතා කරන්න ඕනේලු. සර්ට පහසු වෙලාවක් දෙන්න පුලුවන්ද ?”
” මල්දෙණියගේ කේස් එක අපි දැන් නවත්තලා ඉවරයිනේ ? තව මොනවද ඒ ගැන කතා කරන්න තියෙන්නේ ? “
මනුහස්ගේ වචන වල පැවතියේ කෝපය මුසු දැඩි උඩඟුබවකි.
” කතා කරන්න අවශ්‍ය මොනවද කියලනං මං දැනුවත් නෑ සර්. මට කිව්වේ රාජකාරීමය වශයෙන් නැතුව පෞද්ගලික හමුවකට සර්ගෙන් වෙලාවක් වෙන් කරගන්න කියලා විතරයි. “
” මං කොහෙටද එන්න ඕනේ ?”
” සර්ට පුලුවන් වෙලාවක මල්දෙණිය හවුස් එකට. “
” හ්ම්ම්… තව පැයකින් මට ඔතන ඉන්න පුලුවන් “
” බොහොම ස්තූතියි සර්. මං ඒ ගැන ලොකු මැඩම්ව දැනුවත් කරන්නං. තව එක විශේෂ ඉල්ලීමක් තියනවා සර් “
” ඒ මොකද්ද ?”
” මේ හමුව ඉතා පෞද්ගලිකයි. ඒ නිසා මේ ගැන සර් විතරක් දැනුවත් වීම ප්‍රමාණවත් කියලා මට සර්ට දැනුම් දෙන්න කිව්වා. “
” හ්ම්…”
මනුහස් දුරකතන ඇමතුම විසන්ධි කර දැමුවේය.
” මොකද්ද සර් ..?”
” මයන් මල්දෙණියගේ අම්මට මාව මුණ ගැහෙන්න ඕන කියන්නේ. රාජකාරි මට්ටමෙන් නැතුව පෞද්ගලික මට්ටමෙන්. “
” කේස් එක ඉවර කරලා ඉවරනේ ? “
සචින්ද්‍රගේ දෑසේ රැඳුණේ විශ්මයකි.
” ඒක තමා බං. ඒ පාර ඒ මොන මඟුලක්ද කියලා හිතාගන්න බෑ. ගිහිල්ලම බලමු. හැබැයි එකක් බං .., කිසිම වෙලාවක මයන් මල්දෙණිය ජීවතුන් අතර ඉන්නව කියන එක අපි දන්න බව ඒ ගෙදර මිනිස්සු දැනගන්න හොඳ නෑ. ඌ රටට ලෝකෙට මැරුණ එකෙක් වගේම අපිටත් මැරිච්ච එකෙක්. එච්චරයි. “
” ඕකේ සර්..!”
එසේ පැවසූ මනුහස් හිඳ සිටි පුටුවෙන් නැඟිට මේසය මත තිබූ ජංගම දුරකතනය ගෙන සාක්කුවේ රුවා ගත්තේය. ඔහු අනුව සචින්ද්‍රද හිඳ සිටි පුටුවෙන් නැඟී සිටියේය.


