මනුහස්ගේ දෑත මිට මෙළවී හකු පාඩා තද වී ගොස් තිබුණේය. හදවතට දැනෙන කෝපය පිට කර ගනු නොහැකිව ඔහු කෝපාවිශ්ටව මයන් දෙස බලා සිටියේය .
” කරලා තියන අපරාදේ හැටියට තොපිට ඔහොම වෙලා මදි. “
වචන වලට පෙරළා ගත නොහැකි වූ කෝපයක් ඔහුගේ හදවත තුළ කෑ මොර දුන්නේය.
මනුහස්ගේත් , නදීල්ගේත් මුහුණු දෙස කෙලින් බලා සිටිය නොහැකි වූ මයන් වහා මත්පැන් වීදුරුවක් ගෙන එක වරම මුවට හළා ගත්තේය.
” මිස්ටර් විජේවර්ධන , වරදක් උනානං ඕක තමයි අපි අතින් උනු වරද . “
” ඇමතිතුමා ඇයි මේකට කලබල වෙන්නේ ? ඔය කියන සිද්ධිය වෙලාවේ ඇමතිතුමා හෝටලේ ඉඳලත් නෑනේ ?”
හදවතේ ඉපැදුණු කෝපය ආයාසයෙන් මැඩ ගත් මනුහස් නදීල් දෙස බලා ඇසුවේය.
” ෆොටෝ ආපු හැමෝටම අපි නම දෙනාගෙම ෆොටෝස් ඇවිත් තියනවා. මේක කරන කෙනා කවුරු උනත් ඌ දන්නෑ ඔය කියන දවසේ මායි , අයේෂයි හොටෙල් එකේ හිටියේ නෑ කියලා. ඌ ඒම් කරන්නේ එදා හොටෙල් එකට ගිය නම දෙනාව. සිද්ධිය දන්නව උනාට සිද්ධියට සම්බන්ධ වෙච්ච උන් ගැන ඌට අයිඩියා එකක් නෑ. ඒ නිසයි ටෙහාන්වත් මේකට ඈඳුණේ. ටෙහාන් ඔහොම දෙයක් වෙලා කියලා දන්නෙත් පහුවදා උදේ. ඒත් මුලින්ම නැති උනේ ඌ. ඒ නිසා ත්‍රෙට් එකක් තියනවනං ඒක මටයි , අයේෂටයිත් තියනවා. “
මනුහස් දෑස හරවා මයන් දෙස බැලුවේය.
” පහුවදා උදේ මොකද උනේ මිස්ටර් මල්දෙණිය ?”
” පහුවදාම අපි පිටත් වෙලා කොළඹ ආවා. “
” එතකොට අර ගෑනු ළමයා ? ”
මනුහස්ගේ පැනය සමඟ මයන් හිස හරවා නදීල් දෙස බැලුවද ඔහු මයන් හට ඔරවමින් ඉවත බලා ගත්තේය.
” කොළඹ ආවට පස්සේ ආරංචි උනේ ඒ කෙල්ල එදාම ගඟට පැනලා කියලා “
” කාලකණ්නි වැඩ..”
එවර මනුහස්ට තම වචන මුවින් පිටවීම පාලනය කර ගත නොහැකි වූයේය.
” අර වඩිවේල් කියන මනුස්සයා ?”
තවත් මොහොතක් නිහඬව සිටි මනුහස් නැවතත් පැනයක් ඉදිරිපත් කළේය.
” කෙල්ල නැතිවෙලා දවස් දෙක තුනකට පස්සේ මිනිහත් ගේ ඇතුළේ එල්ලිලා මැරිලා හිටියා .”
” Oh… Holy shit….”
” එතකොට ඒ දවස්වල ගෑනු ළමයගේ මරණේ ගැන සිද්ධ වෙච්ච ඉන්වෙස්ටිගේශන් ?”
” ඒවා මහ ලොකුවට ගියේ නෑ ”
මනුහස්ට ඉතිරිය සිතා ගත හැකි විය. මල්දෙණියලාගේ මුදල් හමුවේ සියල්ල සැඟවී යන්නට ඇතිය.
” දැන් ඇමතිතුමා හිතන්නේ ඔය වෙච්ච සිද්ධිය එක්ක මේ ඇතිවෙලා තියන ත්‍රෙට් එක සම්බන්ධයි කියලද ?”
” ඔව්.. , ටෙහාන් , ක්‍රිශාන් , අසංග උන් තුන්දෙනාම නැති වෙන්න කලින් මයන්ට කතා කරලා තියනවා. ඔය ෆොටෝස් ඇවිත් තියෙන්නේ පළවෙනි පාර නෙමෙයි මිස්ටර් විජේවර්ධන.. , මුලින්ම ඇවිල්ලා තියෙන්නේ ලියුම් . ඒවත් අතින් ලියපුවා නෙමෙයි ටයිප් සෙටින් කරපු විදිහට. ඒ හැම එකකම කියලා තියෙන්නේ එදා වෙච්ච දේ ගැන. කට්ටිය පහුවදාම නයින් මවුන්ටන්ස් වලින් ආවත් ඊට පස්සේ ඔය කියන ගර්ල්ගේ මරණෙයි , වඩිවේලෙගේ මරණෙයි ආරංචි උනාම මයන් කෙසේ වෙතත් අනිත් උන් ටික හොඳටම බය උනා. ඕනම දෙයක් වහන්න , සල්ලි දීලා යට යවන්න පුලුවන් කම මයන්ට තිබ්බට අනිත් උන්ට එහෙම බෑ. ඔය සිද්ධිය වෙලා අවුරුදු ගාණක් ගියත් හැම එකාගෙම හිත් ඇතුළේ ඕක තිබ්බා. ක්‍රිශාන් , අසංග , ටෙහාන් උනත් මයන් නැති ගොඩක් තැන් වලදි ඕක මතක් කරලා සෑහෙන්න පසු තැවුණා. ඒවා මයන් දැනන් හිටියේ නෑ. මයන් කොහොමත් හිටියේ ඒ සිද්ධිය සම්පූර්ණයෙන්ම අමතක කරලා. “
මනුහස් මුව අඟින් සමච්චල් සිනහවක් නඟා මත්පැන් වීදුරුවක් අතට ගත්තේය.
” අන්න එතනදි ඇමතිතුමා වැරදියි. “
ඔහු එසේ පවසා මත්පැන් වීදුරුව එක උගුරට පානය කළේය.
” කවුරු අමතක කළත් මිස්ටර් මල්දෙණිය ඒ කේස් එක කීයටවත් අමතක කළේ නෑ. අනික මිස්ටර් මල්දෙණියට නොකියා හොර රහසේ කට්ටිය හිත් ඇතුළෙන් වෙච්ච දේට විඳෙව්වට මිස්ටර් මල්දෙණිය දැනගෙන හිටියා තමන් ඇරෙන්න අනිත් හැම කෙනෙක්ම ඒ සිද්ධිය නිසා විඳවනවා කියලා. මං හරි නේද මිස්ටර් මල්දෙණිය ?”
මනුහස් මයන්ගෙන් එසේ ඇසූ අතර ඔහු හිස ඔසවා මනුහස් දෙස බලා නදීල් දෙසද බලා නිහඬවම හිස යළි බිමට බර කර ගත්තේය.
” මිස්ටර් මල්දෙණිය දැනගෙන හිටියා අනිත් කට්ටිය හිත ඇතුළෙන් මේ දෙවල් ගැන විඳවනවා කියලා. අන්න ඒ නිසා හිත ඇතුළෙ තියන ඒවා හිතේම තියාගන්න , කටින් එළියට නොඑන්න ඕන නිසා ප්‍රමාණයට වඩා ඒ හැමෝටම උදව් කරල , වියදං කරලා මිස්ටර් මල්දෙණිය හැම කෙනාගෙම කටවල් වැහුවා. ටෙහාන් මෙන්ඩිස් මේ සිද්ධියට සම්බන්ධ උනේ නෑ , හැබැයි ආපු ත්‍රෙට් එකත් එක්ක ටෙහාන් හිතුවා තමන්ගේ පවුලේ අය වගේම උමායාත් මේ සිද්ධිය ගැන දැනගත්තොත් වෙන විනාසේ , වෙන ලැජ්ජාව. මොකද ජෙසිකා කියන්නෙත් උමායගේ හොඳ යාලුවෙක්. “
මනුහස්ගේ පැහැදිලි කිරීම් හමුවේ කිසිවක් නොපැවසූ මයන් තමා අසල ටීපෝව මත තිබූ දුම්වැටියක් ගෙන දල්වා ගත්තේය.
” අපි දැන් මේකට මොකද්ද කරන්නේ මිස්ටර් විජේවර්ධන ?”
” මෙහෙමයි ඇමතිතුමා. , මේකේ පිටිපස්සේ ඉන්න එකා කවුරු උනත් ඌටයි , නැති උනු අදීරාටයි , වඩිවේල්ටයි තිබ්බ සම්බන්දේ හොයාගන්න වෙනවා. “
නදීල් හිස දෙපසට වනමින් බලාපොරොත්තු කඩවුණු ආකාරයකට මනුහස් දෙස බැලුවේය.
” අපි හොයන්න පුලුවන් හැම විදිහකටම හෙව්වා මිස්ටර් විජේවර්ධන . වඩිවේල්ට හිටපු එකම දුව අදීරා. තව වඩිවේල්ගේ අම්මා. ඒ මනුස්සයත් ඔය සිද්ධියෙන් අවුරුදු දෙක තුනකට පස්සේ මැරිලා තියනවා. වෙන කිසිම නෑයෙක් , ලඟ යාලුවෙක් වඩිවේල්ලට ඉඳලා නෑ. මං කියන්නේ මේ තරම් පළි ගැනීමකට යන්න පුලුවන් තරමේ සම්බන්ධයක් තියන කෙනෙක් ඉඳලා නෑ. “
මනුහස් නිහඬවම මොහොතක් කල්පනා කළේය .
” අනික මේ විදිහේ ප්ලෑනක් ගහන්න තරං මොළයක් තියෙන එකෙක් වඩිවේල් වගේ මනුස්සයෙක්ට ඉඳීද කියලා සැකයි . ඒ මිනිස්සු මහා ලොකු සමාජයක් ආස්‍රයක් කරන , ඉගෙනකියා ගත්තු මිනිස්සු නෙමෙයි. “
” ඒක හරි. ලියුමකින් දෙකකින් අවුරුදු විස්සකට විසි පහකට එහා අතීතයක් ගොඩ අරන් තමන්ගෙම ජීවිතේ නැති කරගන්න ඉඩ සලස්සනවා කියන්නේ ඌ හොඳ මොළ කාරයෙක්. “
මනුහස් එසේ පවසා නැවත නදීල් දෙසත් , මයන් දෙසත් බැලුවේය.
” ඊලඟ ජන්දෙට මං ඉල්ලනවා. තාම නැතත් කොයි වෙලාවක හරි මේක මටත් කැරකිලා එන්න ඉඩ තියනවා. “
නදීල් පැවසුවේ හිස බිමට බර කරගෙනය.
” මේක අපේ උන් අතරෙම මොකෙක්ගේ හරි වැඩක් වෙන්නත් බැරි නෑ.. “
මයන් පැවසූ දේට මුව අඟින් සිනහ වූ මනුහස් හිස දෙපසට සැලුවේය.
” ඒක එහෙමයි නං ඉතුරු වෙලා ඉන්න හතරදෙනාගෙන් කාගෙ හරි වැඩක් වෙන්න ඕනේ. “
නදීල් වහා තිගැස්සී මයන් දෙසත් , මනුහස් දෙසත් බැලුවේය.
” ඉතුරු වෙලා ඉන්නේ උඹයි , මායි , අයේෂායි , ටැමියි විතරයි. “
නදීල් ප්‍රශ්නාර්ථ දෑසින් මයන් දෙස බැලුවේය.
” ටැමී කීයටවත් මට විරුද්ධව වචනයක් කියන එකෙක් නෙමෙයි. මොන දහදුරා වැඩේ කළත් ඌ මට පණ ඇරලා. “
මයන් මුමුණන ස්වරයකින් එසේ පැවසුවේය .
” දැන් උඹ මොකද්ද කියන්න හදන්නේ ?”
නදීල් හිඳ සිටි පුටුවෙන් නැඟී සිටිමින් මයන් දෙස බලා ඇසුවේය. නදීල්ගේ කෝපය මායිම් නොකළ මයන් මුවඟින් සමච්චල් සිනහවක් පෑවේය.
” ටොකු ඇන ඇන තේරුම් කරන්න දෙයක් නෑනේ. මං කිව්ව දේ උඹට තේරෙන්න ඇතිනේ ?”
” කුණුහරප කතා කියන්නෙපා හු ##% . මං හිතුවේ නෑ උඹ ඔය වගේ කුප්ප කතාවක් කියයි කියලා ?”
” නදීල් කෝපයෙන් ගුගුරා හැළුණු අතර මයන්ද වේගයෙන් හිඳ සිටි පුටුව පසුපසට තල්ලු කරමින් නැඟී සිටියේය.
” හැම එකාම මැරිලා යකෝ.. හැම එකාම මැරිලා. උඹට තේරෙනවද මං කියන දේ ? තෝයි අයේෂයි එදා එතන හිටියේ නෑ. උඹලා දෙන්නව මේකෙන් අයින් කළත් ඉතිරි වෙන්නේ මායි ටැමියි විතරයි. ටැමී කියන්නේ මොකෙක්ද ? ඌ එදා ඉඳන් කළේ අපි විසික් කරන කටු කකා අපි ලඟ කුක්කෙක් වගේ හිටපු එකෙක් විතරයි. උඹයි , මායි එහෙමද ? යකෝ අපේ ජීවිත කොච්චර වටිනවද ? අරුන් තුන් දෙනාම උන්ට සැරින් සැරේට ලියුම් ආපු ඒවායි , ෆොටෝ ආපු ඒවයි ගැන කිය කිය මං ලඟ කොච්චර අඬා වැටුණද කියලා උඹ දන්නවද ? ඒ කතා ඔක්කොම අහන් ඉඳලා , උන්ගෙ මළමිනිත් මගෙ අත් වලින්ම වළ දාලා, උන් කිව්ව විදිහටම මටත් ෆොටෝ එන්න ගත්තම උඹට හිතාගන්න පුලුවන්ද මට හිතුණු දේවල්. ? උන් උන්ව ඇත්තටම මරා ගත්තා. මං මාව බොරුවට මරා ගත්තා. උන් මැරිලා ඉවරයි. හැබැයි මං තාම ජීවත් වෙනවා. මට හැමදාම මේ විදිහට ජීවත් වෙන්න බෑ. මං ආයේ මයන් මල්දෙණිය වෙන්න ඕනේ. මං ගෙවපු ජීවිතේට ආයේ යන්න ඕනේ. උඹට තේරෙනවද මං කියන දේ ? I don’t need to be F$&*ng my own self again “
නදීල් වහා අනෙක් පස හැරී ඔහු හිඳ සිටි පුටුවට පයින් පහරක් ගැසුවේය.
” තමුන්ට කීයක් ඕනේද ? කියනවා.. ලක්ෂ පනහක් ? සීයක් ? දෙසීයක් ? මේවා කරන හු##& පුතාව එළියට ගන්න තමුන්ට කීයක් ඕනෙද ? “
මයන් කෝපයෙන් ගුගුරා හැලෙමින් මනුහස් දෙසට හැරුණේය.
මෙතෙක් වේලා නදීල්ගේත් , මයන්ගේත් වාග් ප්‍රහාර වල සිරි නරඹමින් සිටි මනුහස් අතේ තිබූ මත්පැන් වීදුරුවේ තිබූ අවසන් උගුරත් මුවට හළා ගෙන හිස් වීදුරුව ටීපෝව මතින් තැබුවේය.


