පියාගේ BYD රිය අයියාගේ තෝරාගැනීමක් වන්නේ ඉතා කලාතුරකින් බව දන්නා නිසාම, චායා ඒ දෙස බලා විහඟිටද ඉඟි වැරුවාය. විහඟිද සිනාසුණාය. චායා අම්මාගේ මුහුණ සිපගෙන සමුදුන්නාය.
” ලොකූ..පරෙස්සමට හොඳේ… මේ දරුවා ගැන කල්පනාවෙන් …”
විහඟිට වඩා ආදරය කරන්නට පටන්ගෙන ඇත්නම්, තමා දරු කමින් ඉවත් කර දමන ලෙස ඉල්ලා චායා පොඩි කෙල්ලක මෙන් කෑ ගැසුවාය. අම්මා සිනාසෙමින් බලා උන්නේ චායාගේ සිනහව දෙසය. කලකට පසු ඒ සිනහවේ සැබෑ එළියක් ඕ දුටුවාය.
” යං යං… නඟින්න … ඔය හුරතල් කෝලම් ආයේ ගෙදර ආවම තියාගන්නවා.. මට වැඩ කප්පරක් තියාගෙන මේ නිදහස් වෙලාවක් තියාගත්තේ…”
” අනේ හරි වැඩක් වුනානේ මේක… මම කිව්වාද දැන් ඔයාට මාව රවුම් ගහන්න එක්ක යන්න කියලා අයියේ .. මාර වැඩක් වුනානේ මේක …”
චායාද කෝපයෙන් කෑ ගැසුවාය. විහඟි දෙදෙනාගේ රණ්ඩු වලට මැදි නොවන බව පවසමින් වාහනයට ගොඩ වූයේ රියැදුරු අසුනට පිටුපසිනි. චායාද චරකට බැණ වදිමින් අනෙක් පස පිටුපස අසුනට ගොඩ වූවාය.
” උඹේ මිනිහා හදාගන්න වෙයි විහඟි ඈ… ඔය කොයි ඇමතියත් මගෙන් තමයි පාඩමක් ඉගෙනගන්නේ .. දන්නේ නැතුව මගේ හැටි … යකෝ.. අන්තිමේදි අම්මා කියනවා කොල්ලාගේ වැඩ පාඩු කරවගෙන රට වටේ එක්කන් යන්න එපාලු … එව්වාට යන්න එන්න කවුරු හරි හොයාගන්නලු … මං කිව්වාද එකෙක්ටවත් මාව කොහෙවත් එක්ක යන්න කියලා… නෑ .. නෑ .. මම එකෙක්ට කිව්වෙ නෑ…”
චරක වාහනයේ ඉදිරියෙන් නැග්ගේ තමා දෙස බලා සිටින දෙව්මිත්ට ඇසින් ඉඟි වරමිනි. දෙව්මිත්ගේ යම් නොසන්සුන් බවක් චරකට පෙනුනා වුවද , එයට හේතුව චායාගේ අනපේක්ෂිත කලබල කිරීම බව සිතමින් ඔහු එය අතැර දැම්මේය.
” දෙව්මිත් .. ඒ ඇහුණේ අපේ ගෙදර ඝණ්ඨාරේ සද්දේ.. ඔය හොඳයි … මීට වඩා අවස්තා වලට මුහුණ දෙන්න වෙනවා.. ඔව්වා තමයි අර මම ඊයේ උඹට කිව්වේ … පිටිපස්සෙන් ඉන්නේ මගේ නෝනා.. කනට ඇහෙන්න කතා නොකරන අහිංසක කෙල්ලක් .. “
දෙව්මිත් සිනහ වෙන්නට උත්සාහ දරමින් උන්නේය. ඇගේ හඬෙහි තීවෘතාවය හා සුසරව වැයෙන හදවතේ තාලය තමා තුලම නිහඬ කරවාගන්නට දෙව්මිත්ට නොසෑහෙන්න උත්සාහ දරන්නට වී තිබුණි.
වසර දයක් තිස්සේ වසරකට වතාවක් හෝ දෙවතාවක් ඇසූ කටහඬ , ඉන් පසුව ගෙවුණු වසර දෙක තිස්සේම මසකට දෙවතාවක් අසන්නට ලැබුණු කටහඬ, මෙතරම් ලඟින් ඇසෙන්නට ලැබිමේ ප්‍රහර්ෂයෙන් ඔහු පිරී ගොස් උන්නේය. වරකට දෙතුන් වතාව වන සේ හුස්ම ගෙන හෙලුවේය.
” ආපස්ස හැරිලා බලලා අඳුනගනින් ඉතින් …”
චරක දෙව්මිත්ගේ උරිස්සට පහරක්ද ගසා කීවේය. දෙව්මිත් සුක්කානම ට එක් අතක් බර කර ආපස්සට හැරුනේය. චායාගේ මුව විසල්ව හැරුණි. ඕ විහඟිගේ අත අල්ලා මිරිකුවාය. දෙව්මිත් වේගයෙන් ගැහෙන පපුව දරාගෙන මදක් පිටුපසට නැවී විහඟි දෙසද බැලුවාය. චායා ගේ ස්පර්ශයෙන් කුමක් වන්නේදැයි සිතාගන්නට නොහැකිව උන් විහඟි, දෙව්මිත්ගේ රුවෙන් තෘෂ්ණම්භූතව ගියාය. ඕ උන්නේද මුව අයාගෙනය.
” හලෝ මැඩම් …”
ඔහු දෙදෙනාටම එලෙසින් පවසා යලි ඉදිරිය බලාගෙන අසුනේ හිඳගත්තේය.
” මේ අංකල්ගේ ගෝලයෙක් … මොකද්ද මචං නම කිව්වේ …”
” දෙව්මිත් සර් … සස්මිත දෙව්මිත් ගජවීර සර් …”
සස්මිත දෙව්මිත් ගජවීර චරක දෙස සහ, යලි ආපසු හැරී චායා දෙසද බලා වඩා බරවූ හඬකින් එලෙස පවසා නිම කලේය. ඔහුගේ හදවත තුල වූ යුද්ධයේ හඬ චරකට ඇසෙන්නට හෝ නොදී සිටින්නට ඔහු වග බලා ගත්තේය.
” අඩෝ . සස්මිත නේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි නම … දෙව්මිත් නිකන් දෙවියෙක් වගේ නේ බං … නමත් කටට අමාරුයි .. සස්මිත නිකන් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නේ ….නේ .. නෝනා ?…”
චරක ආපසු හැරී විහඟිගෙන්ද විමසුවේය. විහඟි සහ චායා උන්නේ කිසිවක් සිතාගන්නට නොහැකිවය. චරක ඔවුන් දෙදෙනා දෙස විමතියෙන් බැලුවේය.
” මොකෝ …”
” ආහ් …”
” හොල්මනක් දැකලා වගේ බලාගෙන ඉන්නේ මෙච්චර ලස්සන කොල්ලෙක් දිහා ?…”
විහඟි වහා පියවි සිහියට එළඹියාය. චරක දෙස මෝඩ බැල්මක් හෙලුවාය.
” රියැදුරු මහත්තයා ඇතුලේ ඉන්න කතාවක් කිව්වේ නෑනේ අයියේ ඔයා… අපි මේ පිස්සෝ දෙන්නෙක් වගේ කෑ ගගහා වාහනේට නැග්ගේ… අපිට පිස්සු කියලා හිතුවාද දන්නේ නෑ ….”
චරක උස් හඬින් සිනාසුනේය.
” පිස්සු කියලා ආයේ අමුතුවෙන් මොනවා හිතන්නද නේද බං …යමං …”
සස්මිත චරක දෙස බලා හිස සලා වාහනය පණ ගැන්වූයේ සුක්කානම වතාවක් නළලින් ස්පර්ශ කිරීමෙන් පසුවය. චරක එය දැක පසුපස හැරී චායා සහ විහඟි දෙසද බැලුවාය.
චායා උන්නේ දෑස් පියාගෙන අසුනේ පිටුපසට වන්නට හිස තබාගෙනය. විහඟි ඇගේ එක් අතකින් අල්ලාගෙන උන්නාය.
” රාජගිරියට …”
චරක එලෙසා පවසා ඇමතුමකට සම්බන්ධ වූයේය. සස්මිත වාහනය තුල වූ නිහැඬියාව චරකගෙන් හෝ බිඳී යෑම ගැන ස්තූතිවන්ත වෙමින්, නොඇසෙන සුසුමක් හෙලුවේය. විහඟි චායාගේ සුරත මත වූ ස්පර්ෂය දැඩි කලාය. චායා උන් ඉරියව්වේම හිඳ හිස මදක් හරවා දෑස් විවර කර විහඟි දෙස බැලුවාය.
” කලබල නොවී හිටහං …”
විහඟි හඬ නෑසෙන්නට දෙතොලින් සන් කලාය. චායා යලි දෑස් පියාගත්තාය.
සිත තුළ වන කිසිඳු හැඟීමක් පැහැදිලිව කියවා ගන්නට විහඟිට, චායාට හෝ සස්මිතට හැකියාවක් වූයේ නැත. තිදෙනාම එක්වරම විසිව ගොස් වැටී උන්නේ වසර දොලහකට ඈත අතීතයක, කොළඹ විශ්ව විද්‍යාල පරිශ්‍රයටය. කාලය ගෙවෙන්නේ කෙලෙසින්ද යන්න තිදෙනාටම අවබෝධයක් වූයේද නැත. රාජගිරියට සමීප වත්ම සස්මිත චරක දෙස බැලුවේය.
” සර් … කොහෙටද යන්න ඕනි ?…”
” නංගී … කොහෙද ලොකේෂන් එක ?…”
චරක අසුනේ ආපස්සට නොහැරී විමසුවේය. චායා උන්නේ සිහියෙන් සෑහෙන්නම එපිටය.. විහඟි ඇය දෙස බලා චරක දෙසද බැලුවාය.
” නංගී …”
චරක එවර ආපස්සට හැරී, චායා දෙස් බලමින් මදක් උස් හඬකින් කීවේය. චායා ඉන් පවා පියවි සිහියේ සිටින බවක් පෙන්වූයේ නැත.
” ඕයි … කොහේද යන්නෝනි කියනවා..”
” ආහ් …”
චරක චායාගේ අතකට පහරක්ද ගසමින් පැවසූ ස්වරය සෑහෙන්නම තරමේ උස් හඬකින් විය.
” ඇයි ?..>”
” රාජගිරියේ ඉන්නේ… කොහෙටද යන්න ඔනි..”
” ඕන් නෑ …”
” ඕන් නෑ කියන්නේ ?….”
” ඕන් නෑ යන්න … අයියලාගේ ගමන යමු …”
චායා එලෙස පවසා දෑස් වසා ගත්තාය. විහඟි චරක දෙස බලා , යලි චායාද දෙස බලා කිසිවක් වටහා ගන්නට නොහැකි බව පෙන්වූවාය.
” මොන විකාරයක්ද කරන්නේ ?.. මෙච්චර ට්‍රැෆික් අස්සෙන් දාගෙන ආවට පස්සේද ඕක කියන්න මතක් වුනේ…”
” සොරි …”
” මොකද්ද තමුසේට වෙලා තියෙන්නේ කියනවා නංගී?.. පුදුම කරුමයක්නේ ඕයි මේක .. ඉන්න මූඩ් එක තේරෙන්නේ නෑ… කරන දෙයක් පැහැදිලි නෑ … කරන්න ඉන්න දෙයක් කියන්නේ නෑ .. භූත බංගලාවක් වගේ, තමන්ට ඕනි දේ කර කර ඔහේ ඉන්නවා…”
චායා දෑස් විවර කර කෙලින් වූවාය.
” ඔව් ඔව්ව් ..කරුමේ තමයි .. මාව මේ හරියකින් බස්සවාලා යනවාකෝ යන දිහාවක .. එතකොට කරුමේ ඉවරනේ… මං ඉන්නවා තමයි ඒ ..ඉන්නේ මට ඕනි විදියට … ඒක බලන් ඉන්න බැරි නම් අහක බලාගන්නවා… ඉවරනේ…”


