රාත්‍රී ආහාරය කාමරයට ගෙන ගොස් ගන්නා බව චරකගේ ඇමතුමට දන්වා, සස්මිත රාත්‍රී ආහාරය තම කාමරයට ඇණවුම් කර කාමරයට ගියේය. ගත දොවා ගත්තේය. සැහැල්ලු කලිසමකින් සහ ටී ශර්ටයකින් සැරසුනේය. චායා තම ඇමතුම තෙක් බලා සිටින බව දන්නා නිසාම ඊලඟ විනාඩියේ ඇය ඇමතුවේය. සිතූ සෙයින්ම තත්පරයක පමාවෙන්, ඇගේ හඬ ඇසුණි.
” හෙලෝ …”
” ස්ක්‍රීන් එකේ ඇලවිලාද හිටියේ ?…”
සස්මිත සිනාසෙමින් විමසුවේය. චායාට ඒවාට පිළිතුරු දෙන්නට අවැසි වූයේ නැත. මඟ බලා උන්නේ තමා බව දනී. මඟ බලා හිඳීම තවදුරටත් තත්පරයක් උදෙසා හෝ සිදු කරන්නට වීම කෙතරම් අපහසුදැයි දන්නේද තමාය.
” අපි වීඩියෝ කෝල් එකක් ගමුද ?..”
චායා එලෙසින් විමසන බව දැන උන් නිසාම, සස්මිත එකඟ වූයේය. දෙපස ඇස් යා වූයේය. නිහඬ තත්පර ගෙවෙද්දී, චායාගේ දෑස් වල තෙත කොපුල් තෙක් පල්ලම් බැස්සේය.
සස්මිත උන්නේ ගොලු වීගෙනය. අවසාන වතාවට ඇය දැක සමුගත් දවස ඔහුට තවම අද මෙන් මතකය. එදින සමුගත්තේ, ඒ අවසන් හමුව බව නොදැනය. පසුදා දහවල් ජීවිතය වෙනස් කරන ඇමතුම ආවේය. තමා දෙවරක් නොසිතාම ජීවිතය ඒ ඇමතුමට යට කල බව සස්මිතට මතකය. එදින චායාගේ ජීවිතයට මෙතරමින් අසාධාරනයක් වේයැයො සිහිනෙකින්වත් නොසිතූ බවද, ඔහු සිහිපත් කලේය. එහෙත්, මේ වෙද්දි අතීතය නිවැරදි කිරීමට නොහැකි තරමට ගෙවී ගොස් හමාරය. තමා ගේ තීරණය තරාදියකට දමා සැසඳීමේදීද අසාධාරනයට ලක්ව ඇත්තේ චායා බවම පෙන්වමින් ඇගේ පස පහලට වැටෙන්නේය. එහෙත්, සමාව අයැද සිදුවූයේ කුමක්දැයි පවසන්නට මේ කාලය නොවේය.
” මගේ නේද ?.. තවම ?…”
චායා සිතෙහි වූ මහා බිය දුරු කර ගැනීම ඇරඹුවාය. ඔහු විදෙස් ගත වූයේ තරුණියක ගේ කතාවක් ගෑවී බව අමතක නැත. අක්කාගේ රෝගී තත්වය වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා තරුණියකගේ සහයෝගය ඇතිව ඔහු විදෙස් ගත වූ ආරංචියම යලි යලි ඇසුණා මිසෙක, අන් යමක් ඇසුනේ නැත.
එනිසාම, අතීතය ගෙවී ඇත්තේ කෙලෙසින්දැයි දැනගන්නා තෙක් සිත කෙතරමකින් ගැහෙනවාදැයි චායා අත් විඳින්නට ගත්තේ පලමු ඇමතුම විසන්ධි කල මොහොතේ සිටමය.
” කෙල්ල ?…”
සස්මිත ඇගේ තෙත් නෙත් නෙතින් ඉඹිමින් එලෙස විමසුවේ ඉතා ලයාදර හඬකිනි.
” මගේ නේද සස්මිත ?.. ඔයා කාවවත් මැරි කරලා එහෙම නෙවෙයි නේද ඉන්නේ ?… ඔයා .. කා එක්ක හරි රිලේශන්ශිප් එකක නෙවෙයි නේද ඉන්නේ ?.. එහෙම දේවල් තිබුනට මට කමක් නෑ.. ඔයා මේ ආවේ ඒ ඔක්කොම ඉවර කරලා නේද ….?..”
සස්මිත සිනාසුණේය. පෙම් කලේ එහෙම යන්නට එන්නට හැකි ලෙසින් නොවන බව කියාගන්නට නොහැකිව ඒ සිනහවේම උන්නේය.
” යකාලා කිව්වේ, ඔයා කවුද මන්දා කෙල්ලෙක්ගේ ස්පොන්ශර්ශිප් එකක් එක්ක තමා රට ගියේ කියලා… අක්කාව සනිප කරගන්න .. ඒ හින්දා මම අහන්නේ .. ?..”
සස්මිතගේ සිනහව කියවාගත් චායා එලෙසින්ද එක් කලාය.
සස්මිත වහා එය වටහා ගත්තාය. එවැන්නක් පැවසූ බව සිහි වූයේ චායාගේ සිහිපත් කිරීම සමඟය. ඇය එතරම් කල් ඒ වේදනාවෙන්ද මිරිකෙන්නට ඇත. තවත් එක් තත්පරයක්වත් ඕ ඒ වේදනාව විඳිය යුතු නොහේය. මෙතැන් පටන් ඕ විඳවූ හැම තත්පරයක්ම ගෙවී යන තරමට ප්‍රේමය වත් කිරීම තම වගකීම බව සස්මිත ඒ තත්පරයෙන් තීරණය කලේය.
” ඔයාගේ … ඔයාගේ කෙල්ල … සදහටම ..”
චායා වෙහෙසට පත් නොකර සස්මිත වහා එලෙසින් කීවේය. චායාගේ දෙතොල් මත වැටුණු සිනහවෙන්, ඇගේ කොපුල් මත වූ තෙත හිරු දුටු පිණි මෙන් ක්ෂයව ගියේය. කිසිවක් නොපවසා තිරය මත වූ සස්මිතගේ රුව පිරිමැද්දේය. ඉනික්බිති යළි හඬන්නට ගත්තාය. සිත නිදහස් කරගන්නට කෙතරම් හැඬුවද හැකි වේදැයි ඕ දැන උන්නේ නැත. මෙතෙක් කල් සඟවාගෙන හෙලූ කඳුලු ඔහු ඉදිරියේ නිදහසේ හෙලන්නට හැකි වීම පමණක් ඕ සැනසීම ලෙස වින්දාය.
” ඉතින් කෙල්ල ඔය …”
චායා දෙපසට හිස සලමින්, තමා හඬන්නේ නැති බව අඟවන්නට සහ පෙන්වන්නට උත්සාහ කලාය. එහෙත් ඇයට කඳුළු නවතා ගන්නට හැකි වූයේම නැත. ඇස් අග්ගිසි තෙත වියැකුනේම නැත.
” ඉක්මනට දවසක.. ඔය ඔක්කොම කඳුළු ඉවර වේවි චායා .. අනේ එතකල්, හිතලා හරි නාඬා ඉන්නකෝ …. වෙච්ච දේවල් ඔක්කොම ඔයාට කිව්වට පස්සේ, මං දන්නවා ඔයා ආයේ අඬන්නේ නෑ.. ඒත් මට කල් ඕනි … තව ටික කාලයක් ඕනි … එතකල්, පොඩ්ඩක් ධෛර්‍යමත් කෙල්ලක් වෙනවාද ?.. මං දුර්වල මිනිහෙක් … ඒත්, මම දුර්වල වෙනවා ඔය කඳුළු ඉස්සරහ චායා ….”
” නෑ .. එහෙම කියන්නෙපා සස්මිත .. මං දැනන් උන්න හයියම පිරිමි කිහිප දෙනා අස්සේ, ඔයත් එක්කෙනක් .. ම දන්නවා .. ඒක තවම එහෙමයි … ඔයා මට හීනෙකින්වත් හිතාගන්න බැරි අඳුරු ගුහාවක් පහු කරන් ඇවිල්ලා ඉන්නේ කියලා .. මම දන්නවා.. මට තේරෙනවා… මට දැනෙනවා ….”
සස්මිත හිස සැලුවේය. ඉන් එහා යමක් පවසා ගැනීම පහසු වූයේ නැත. ඇය එය වටහාගෙන , එකඟ්ව ඉවසා සිටීමම වටී.
” එන්නකො සස්මිත …”
” ආවා කියලා, මට ලඟට එන්න බැහැනේ චායා .. ම්ම්ම් …”
” ප්ලීස් …”
චායා හිස එක් පසෙකට ඇල කරමින් ඉල්ලා උන්නාය. ඔහු හා දුරස්ව උන් කාලය වසර දොළහක් බව දැනෙන්නේ නැත්තේ කෙලෙසද ?. සස්මිත නම්, වසරක් තුළ කිහිප වතාවක් ඕ දැක තිබුණේය. හඬ අසා තිබුණේය. ඇය වැඩෙනු, වෙනස්වනු ඔහු දැක්කේය. චායා සමුදුන්නේ විසි එක් වියැති යෞවනය එළිපත්තේ තරුණයෙකුටය. මේ සිටින්නේ යෞවනය ගෙවමින් තිහේ දශකයට එලැඹි තරුණයෙක් ය. පිරිමියෙකුගේ ජීවිතයේ කැපී පෙනෙන වෙනස් වීම් සිදුවන වසර දොළහක් ගෙවි ගොස් අවසන් ය. චායා ඒ කිසිවක් දුටුවේ නැත. දැන උන්නේද නැත. එහෙත් ඕ ඔහු දරාගන්නට, හැඩ ගැහෙන්නට සූදානමින් ය. මේ ප්‍රේමයය. සස්මිත නමින් පුරන උත්තුංග ප්‍රේම පාරමිතාවය.


