අංගාර – 35

0
1358

සස්මිත කාමරය තුලට ගොස් ගත දොවාගන්නට සූදානම් වූයේ ජංගම දුරකතනයෙන් දෑස් ඉවතට නොගනිමිනි. සැනින් චායාගෙන් ඇමතුමක් විය. සස්මිත කමිසය ගලවා දමා, කලිසමෙහි ඉණ පටියද බුරුල් කර දමා යහනේ කොනක හිඳගත්තේය.

” ඇයි මගේ දිහා හරියට බැලුවේ නැත්තේ ?…”

චායාගේ නෝක්කාඩුව අඩු නැතිව සූදානම් කරගෙන උන්නාය. සස්මිත සිනාසෙමින් එහෙමම යහනේ වැතිරුනේය.

” මොකක්ද කියන්නේ දැන්?..”

” මං  එලියට වෙලාත් බලාගෙන හිටියා … ගානකටවත් නොගෙන ගියා ..හැමෝගෙම දිහා බැලුවා …  මගේ දිහා බැලුවේ නෑ …. “

” කෙල්ල … එවෙලේ මාව ගල් ගැහිලා හිටියේ .. ඔක්කොමලා එකපාරටම එහෙම දකිනකොට මාව ටිකක් කලබල වුනා …. අනෙක, ඔයා මොකක් හරි පණ්ඩිත වැඩක් කරාවි කියලා මාව ඇතුලෙන්ම කූල් වෙලා තිබුනේ….”

චායා සිනහව ගිල ගත්තාය. ජීවිතය කෙතරමින්,  මෙතරමින් සැහැල්ලු විය හැකි බව වැටහීමම සැනසීමක් ය.

” ආයේ එහෙම කලොත්, මං හොඳ වැඩක් කරනවා..”

” එහෙම කියන්නෙපා චායා .. දැන් රෑට කන්න ආවහම  ඉවසීමෙන් ඉන්න ඕනි ..හොඳද ?.. මාව කලබල වෙන දේවල් නම් කරන්න එපා … මෙච්චරකල් ඉවසන් උන්න එකේ තව චුට්ටක්  ඉමූ මගේ මැණිකේ ….. මං හැමදේම හරි ගස්සන්නම් .පොරොන්දු වෙනවා මම .. දාලා යන්නේ නෑ ….ආයේ කවදාවත්ම දාලා යන්නේ නෑ ..”

චායා එතෙක් වේලා උන් සංවේදනයෙන්  මිදුණාය. යළි යළි සස්මිතගේ හඬ  සිත තුල ඇසෙන්නට ඉඩ දුන්නේය.

” කෝ චණ්ඩි රැජිණ ?…”

සස්මිත නිහඬ බව බින්දේය.

” මොන දේ වුනත් යන්නේ නෑ නේද සස්මිත ?..”

” මාව මරලා දාලා මිසක්, ආයේ මාව ඔයාගෙන් දුරස් කරන්න කිසිම කෙනෙක්ට ඉඩ දෙන්නේ නෑ චායා … ඒක පොරොන්දුවක් …”

සස්මිත ඉදිරිය ගැන පෙනෙන බෝම්බ අකුලේම රෝස මල් පිළිබඳව වන බලාපොරොත්තු අත් නොහැර කීවේය.

” ඔයාට මාව එපා වෙන්නේ නෑ නේද ?…”

චායා ඉන් පසුව විමසුවේ සස්මිත පිළිතුරු දෙන්නට සිහිනෙකින්වත් නොසිතා තිබූ යමකි.  මිනිසෙකුට, තම හුස්ම එපා වන්නේ එහෙමත් තැනක පමණි. ඇය හුස්මද ඉක්මවන, ආත්මීය යමකි. එවැන්නක් විමසන්නේ  හෝ කෙලෙසද ?..

” මොකක් ?..”

සස්මිත සිතට නැගි කෝපය එලෙසින්ම මුදා හැරියේය. චායාද සැනින් ඔහුගේ කෝපය හැඳින ගත්තාය.

” අහන්න ඉතින් … තරහ ගන්න නෙවෙයි … මං කියනෙක අහලා ඉන්නකෝ..”

” හා හරි කියනවකෝ ඉතින්  මොකක්ද ඒ අහපු මඟුල කියලා..”

සස්මිත කිසිඳු තෙතක් නොපෙන්වාම කීවේය. සස්මිත සිතුවේ ඇයට රිදවන්නට නොවුනත්, චායාට රිදුණි ඕ කොහොතක් නිහඬව හිඳ ජංගම දුරකතනය විසන්ධි කර නිවා දැමුවාය. සස්මිත වහා ඇයට අමතන්නට උත්සාහ කලේය. යලි යලි උත්සාහ කලේය.

” ශිට් …”

චායා ජනෙල් කවුලුව වෙත ඇවිද ගියාය. සස්මිත සිටින කාමරයේ පිටුපස බිත්තිය පමණක් ඇගේ කාමරයට පෙනෙයි. ජනේලයක් හෝ එම බිත්තියට සබැඳ නැත.

තමා ඇමතුම විසන්ධි කලේ ඇයිදැයි චායාට වැටහුනේ නැත. සස්මිත කෝප ගන්නට ඇත්තේ, ඔහුට තමාව එපා වන්නේදැයි විමසු පලක් නැති සිතුවිල්ල නිසා මිසෙක, තමා හා සමඟ නොවන බවද  ඇයට වැටහෙයි. එහෙත් එම තත්පරයේ දැනුණු ඉදිකටු රිදුම හදවතේ වඩාත්ම සංවේදි නිලයට දැනුණි. සස්මිතගේ කෝපයෙන් බර වචන සහ ස්වරය ඉක්මවා යන්නට තමාට කිසිත් කල නොහැකි බව දැනුණි.

සස්මිත යළි යළි ඇමතුවේය. ඇයට රිදෙන්නට ඇත්තේ තම ස්වරයට බව ඔහු දනී. ඕ කොහොමටත් වචන වල , ස්වර වල එල්ලෙමින් සිත රිදවා ගත්තියකි.

” ශිට් …”

ඔහු යළි යළිත් ඇමතුම් ගනිමින් උන්නේය. එක්වරම චායාගේ අංකය නාද විය.

අවසානම තත්පරයේ පිළිතුරු ලැබෙන ඉඟි ලැබුණි. එහෙත්,  හඬක් ඇසුණේ නැත.

” චායා .”

” චායා ……..”

” කෙල්ල ………………”

සස්මිත ඉතා සං‍යමයෙන් ඇය සස්නුන් කර ගන්නට උත්සාහ දරමින් උන්නේය. මෙහෙම වීම පහසු නැති බව වැටහෙයි. එකම නිවසෙක උඩු මහලේ සිටින අමනාප පෙම්වතිය වැළඳගෙන, හාදුවක් තවරා යළි අමනාපය දුරැලවාගන්නට තරමේ ඉඩක් නොමැති වීම මරණීය වේදනාවක් සේ දැනෙන තත්පරද පසු වෙයි.

” අනේ චායා … ඔහොම කරනවාද මට … මගේ පපුව පැලෙයි …”

චායා ඉකි බින්දාය. තමා මවාගෙන උන් ශක්තිමත් ගැහැණිය ගේ වෙස් මුහුන ගලවා දමා, සැබෑ චායාට ජීවත් වෙන්නට ඉඩ ලැබීමේ සතුට ඒ ඉකි බිඳීමේ වෙයි.

” එලියට ඇවිල්ලා, අඹ ගහ යට බංකුවෙන් වාඩි වෙලා කෙලින්ම ඉස්සරහ බලන්නකෝ….”

චායා එක්වරම කඳුළු මැද්දෙන් , අමුතුම හුරතල් ස්වරයකින් පවසද්දී සස්මිත කාමරයෙන් පිටතට විත් හමාරය. අඹ ගස සොයා ගත්තේ , කිහිප වතාවක් එහෙ මෙහෙ කැරකීමෙන් පසුවය. බංකුව මත හිඳ ගත්තේ වටපිට බලමිනි. ඉන්පසුව කෙලිනන්ම ඉහල මහල දෙස බැලුවේය.

එක්ටැම් ගෙයි සිරව උන් උන්මාද චිත්‍රා මෙලෙස වන්නට ඇත. ඕ තම ප්‍රේමවන්තයා සිප ගනු නොහැකි විප්‍රයෝගයෙන් හදවත පැලෙන්නට එන වේදනාව දරා සිටින්නට ඇත.

චායා වීඩියෝ ඇමතුමක් ගත්තාය. සස්මිත හඬ නොනැගෙන සේ එය සකසා ගෙන වීඩියෝ ඇමතුම පිලිගත්තේය.

“ඉයර් බඩ් ස් දෙක ලඟ තියාගන්න අනෙක් දවසේ..”

චායා ඒ අතරට කෙටි පණිවිඩයක්ද යැව්වාය. සැනින් සස්මිත අතුර්දන් විය. යළි මතු විය.

” හරි ..දැන් හරි ..”

ඔහුගේ හඬ ඇසුණි.

” ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්…”

” මොකක්ද අර කිව්ව කතාව කියලා, ඒකට මට උත්තරයක් දෙන්න ඉඩ හදලා දීලා ඉන්න ඉස්ස්සෙල්ලම මැණිකේ…”

” එහෙම ඇහුවා නම් මම කියනවානේ… මට කඩාගෙන පැන්නේ බැනගෙන…”

” මම බනින හැටි නොදැන ඔය…”

” එව්වාට නම් එන්නෙපා මහත්තයෝ … මං අයියට කියලා හොඳ වැඩක් කරවනවා….”

චායාගේ දෙතොල් සිප ගැනීමේ ආශාව මැඩ ගන්නට නොහැකි තරමින් සස්මිතගේ සිත තුල පැන නැග්ගේ , ඕ දෙතොල් උල් කරමින්, හාදුවක් ඉල්ලන චලනයක් සඟවා පෙන්වද්දීය.  ඒ අතරේ ඇගේ ආමන්ත්‍රණය ඔහුගේ හදවත තුල නැවුම් කිතියක් තනන්නට පටන් ගෙන තිබුණේය.

ඔහු මොහොතකට පියවි සිහියෙන් නික්මුණේය.

” සස්මිත…… “

” ම්ම්ම්…”

” මොකක්ද වුනේ ?… මං විහිලුවට කිව්වේ අය්‍යට කියලා හොඳ වැඩක් කරනවා කියලා..”

චායා නොසිතූ ලෙස සියල්ල පමණ ඉක්මවමින් සිතමින් උන්නාය.

” අයියාට කියලා හොඳ වැඩක් කරන්න නෙවෙයි, මට ඔතනට ඇවිල්ලා නරක වැඩක් කරන්න හිතිලා තියෙන්නේ …”

” ම්ම්.. මොකක්ද ඒ?.”

” ඉඹින්නෝනි කෙල්ල … මට නිදහස් වෙන්නෝනා….”

 චායාට යළි හැඬුණි. කුමක් කරන්නදැයි සිතාගන්නට හෝ නොහැකිව තිබූ නිසා ඕ තව හැඬුවාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here