අංගාර – 36

0
260

චායා අපහසුවෙන් නමුත්, සස්මිතගේ ඇමතුම විසන්ධි කරවුයේය.

” වොශ් එකක් දාගෙන .. කන්න එන්න …”

” අනේ කෙල්ල, මාව අවුස්සන්න එපා මංඇතුලට ආවම .. මගේ දිහාව බලන්නවත් එපා….”

” ප්‍රොමිස් …. “

චායා සස්මිත සිටින්නේ කෙතරම් අපහසු අඩියක්දැයි වටහා ගත්තාය. අයියා කෙලෙස වෙතත්, අම්මා සහ තාත්තා තම වෙනස්කම් ගැන ඉතා පහසුවෙන් හඳුනාගන්නවාට සැක නැත. අනෙක් අතට අයියා සස්මිත ගැන අවධානය, අවධානමක් සමගම නඩත්තු කරනවාට සැක නැත. තනිවම සියල්ල සැලසුම් කරගෙන ඔහු තමා සමීපයටම පැමින ඇත.. ඉතිරි සියල්ල බලා කියාගැනීම තම වගකීම බව චායා අවධාරණය කරගත්තාය.

සස්මිත කෑම මේසයෙන් කෑම බෙදාගෙන ඉදිරි  ඉස්ත්තෝප්පුවේ පුටුවක් වෙත ඇවිද ගියේ, චරක ඔහුට මේසයට රැඳී සිටින්නයැයි පවසද්දීය.

සස්මිත එය ඉතා කාරුණිකව ප්‍රතික්ශේප කරමින් පිටතට ඇවිද ගියේය. චායාට නොරිදුණා නොවේ. ඔහු තමාට සලකා ගන්නේ අඩුතක්සේරුවෙන් බව පැහැදිලිය.  එහෙත්, තමාට ඒ වෙනුවෙන් කලහැකි දෙයක්ද නැති බව චායා සිතුවාය.

අම්මා විහඟිට උපදෙස් දෙමින් උන් නිසා චායාට සිත්සේ කල්පනාලොව ගිලී හිඳීමට ඉඩද තිබුණි.

” දැන් මාස හතරට එන්න ආව නිසා … තව පරෙස්සම් වෙන්න ඕනි පුතේ … ඔයා සම්පූර්ණෙන්ම ලොකූගේ වැඩ වලින් අයින් වෙන එක තමා හොඳ .. ඔය එහෙ මෙහෙ අහුමුළු වල යන්න තියාගන්නත් එපා….”

චරක ඇහිබැම ඔසවා විහඟිට ඉඟි කලේ අම්මාගේ බැණුමට තව නතු වෙමිනි.

” මගේ ගෑණිව ගෙදරින් එලියට එක්ක යන්නත් නැන්දම්මාගේ පර්මිෂන්  ගනන් වෙන සීන් එකක්ද මේ තියෙන්නේ තාත්තේ ?…”

” උඹ අල්ලලා කසාද බැඳගත්තේ මගේ දුවනේ .. කෙල්ල උඹේ වෙන්න කලින් මගේ වුනේ ලොකු පුතේ .. ඒක අමතක කරන්නෙපා …”

” ඈ.. එතකොට මම බෑණාද ?..”

” එව්වා ඉතින් ඒ ඒ හැටියට …”

චායා කතාබහ යන්තමින් ඇසෙද්දී සිනාසීමම පමණක් කලාය. අම්මා විහඟිට දක්වන සෙනෙහසම සස්මිතට දක්වාවිදැයි ඇයට එක්වරම සිතුණි.  අම්මා විහඟිව පිළිගත් විදියෙන් සස්මිතව පිළිගනීවිදැයි සිතුවාය.

සුසුම් පමණක් ඉතිරි විය.

එදින රැය දිගු විය. සස්මිත සමඟ වීඩියෝ ඇමතුම චායාගේ සිත පුරවා දමමින් තිබුණි. ඕ  අයියාගේ දේශපාලන ගමන තුල තම කොටස බිඳෙන් බිඳ විස්තර කලාය. සස්මිත හැම වචනයක් ගානේම උවමනාවෙන් අසා උන්නේය.

තමා ඇය අතැර ගිය කලු කුහරය තුළ මිය නොගොස් ඕ එතරම් දිරියකින් කටයුතු කිරීමේ සැනසීම ඒ හැම වචනයක් ගානේම සස්මිත වින්දේය.

පසුදින චරක සමඟ සස්මිත පිටව ගියාට පසු විහඟි කාමරයට පැමිණියේ චායාගේ පැහැදිලි වෙනසක් ගෙවුණු රැයේ ඕ අල්ලා උන් නිසාය.

” උඹ මටත් කොලේ වහනවද ?…”

” මොන කොලේද ?…”

චායා කොණ්ඩය තෙත පිසදමමින්, බිඳක් විහඟි වෙතද ගසා දමමින් විමසුවේ සිනාසෙමිනි.

” අරූ කතා කරනවා නේද ?.,.”

” ඌ, මූ, අරූ කියන්නෙපා ඈ … නෑනා කියලා බලන් නෑ …”

” මට හිතුනා .. මට හිතුණා.. අපේ මඟුලෙන් මේ මඟුලත් ගොඩ  යන්න ඇති කියලා .. පෙරේදා නේද ඕක වුනේ ?…”

චායා දෑස් විසල් කරගනිමින් විහඟි දෙස බැලුවාය.  විහඟි කුස පිරිමදිමින් යහනේ කොනක හිඳගත්තාය.

“නේ ?…”

” කොහොමද උඹ දන්නේ ?..”

” එදා අයියා මට ෆෘට්ස් වගයක් ගේන්න කියලා සස්මිතව ටව්න් යැව්වා…”

” ආයේ එව්වා නම් තියාගන්නෙපා පුතේ ඈ .. ඒ මගේ මිනිහා .. එක එක ගෑණුන්ට කඩේ යවන්නේ නෑ ..”

චායා මැදින් පැන්නාය. විහඟි උස් හඬින් සිනාසුණාය. ඉන් පසුව චායා විහඟිට රැවුමක් පා කලාය.

” හරි කියනවකෝ …. ඊට පස්සේ මොකද වුනේ ?..”
” මුකුත් වුනේ නෑ … සස්මිත පළතුරු මල්ල දීලා යනකොට මට වෙනස තේරුණා … උගේ මූණ එච්චර කල් හේබාලා ගිහින් තිබුණේ … එදා මූණ නිකන් හඳ පායලා වගේ .. ඇස් දෙක දිලිසෙනවා … මගේ මූන දිහා කෙලින් බැලුවා …”

” හා හා ඇති ඇති … “

චායා ඉරිසියාවක් මවා ගත්තාය. තමා නොදුටු යමක් ඇයට දකින්නට ඉඩ ලැබීම පහසු නොවන බව දැනේ. ඇය තම මිතුරිය වුවද, අයියාගේ බිරිඳ වුවද, ඇය තමා නොදුටු යමක් ඔහු සමීපයෙන් විඳීම දැවෙන හැඟීමක් සේ දැනෙයි.

” ඇයි මොකෝ ඉරිසියාද ?..”

විහඟි තරමට චායා කියවූ තැනැත්තියක් උන්නේම නැතිවා විය හැක.

” පාඩුවේ ඉන්නවකෝ  …”

”  හරි ඉතින් කියන්නකෝ ..මොකක්ද කියන්නේ  සස්මිත?…”

” එහෙම මුකුත් කියන්නේ නෑ විහඟි .. එයා හැමදේම බලාගන්නම්ලු .. එයාට කල් දෙන්නලු .. ඒක තමයි කියන්නේ.. එයා ආයේ කවදාවත් දාලා යන්නේ නෑ කියලා පොරොන්දු වෙනවා කිව්වා….. අම්මලා අක්කා ගැනවත් මුකුත්ම කිව්වේ නෑ … ඔක්කොම කියන්නම් කියලා කියන්නේ.. මාත් මුකුත් ඇහුවේ නෑ . .. එයාට කියන්න බැරිකමක් තියෙන බව දැන දැනම ආයේ ආයේ අහන්න බැරි නිසා මම එහෙමම හිටියා .. එයත් ඒක කියන්න උත්සාහ කලේම නෑ ….. “

” හ්ම්ම් …. මට තේරෙන්නෙත් නෑ චායා .. හිතාගන්නත් බෑ ….මම අයියාට මගේ වෙනසක් නෝට් වෙයි කියන බයට මුකුත් වැඩිපුර හිතන්නේත් නෑ…”

” සස්මිත හැබැයි කිව්වා.. එයා මැරි කලේ නෑ කියලා.. වෙන කා එක්කවත් කිසිම සම්බන්ධයක් තිබ්බේත් නෑ කියලා…”

” මේ අවුරුදු දොළහක් ඌ අල තම්බලාද චායා ?..”

” දන්නේ නෑ . තේරෙන්නේ නෑ .. අහන්නත් බෑ…”

” මේක ප්‍රශ්න පත්තරයක් චායා .. කිසිම දෙයක් ලේසි වෙන්නේ නෑ … අම්මලා, අයියා මේක කොයි විදියෙන් බාරගනීද කියන්න අපි දන්නේ නෑ.. දන්නේ නෑ කියන්නේ හිතාගන්නවත් බෑ ..”

” මං දන්නවා විහඟි .. ඒවා කල්පනා කරනකොට මගේ ඇඟ හීතල වෙලා යනවා… මම කරන්න ඕනි මොකක්ද කියලාවත් හිතාගන්න බෑ…”

” අයියා සස්මිතව මරලා දාවි චායා …”

චායා ගැඹුරු හුස්මක් හෙලුවාය. නොසිතා උන්නාට, සස්මිත පිළිබඳව නිස්කලංකව කල්පනා කරන හැම මොහොතකම හිත එම පැනය විමසයි.

” කල්පනා නොකර ඉන්න විහඟි ඔයා …. අපි බලමු … කියන්නකෝ ඉතින් ..කොහොමද හනි මූන් එක ?…”

විහඟි සිනාසුණාය. චරක , ඔහුට කෙතරම් සෞම්‍ය විය හැකිදැයි දැන් දැන් වැටහේ.

” කියනවාකෝ ඉතින් .. අපේ අයියා මොකෝ කියන්නේ?..”

” පවු අයියා චායා … එයා හරියට වොරි වෙනවා ඇබෝශන් කතාවට.. පෙරේදා රෑත් ඇඬුවා … එයා අඬනකොට මගේ පපුව පැලෙන්න එනවා…  මං ඒත් කියනවා, ඒක ආයේ ආයේ හිතන්නෙපා කියලා..”

” උඹම හින්දා මිසක් අයියාගේ ජීවිතේ ඔය පිළිවෙලට වෙන්නේ නෑ විහඟි .. අම්මලත් ඒක දන්නවා…”

” මං කලේ ආදරේ කල එක චායා …  මට  ඒ ආදරෙන් මිදෙන්න පුලුවන් වුනේ නැහැ …”

” ඒක මං තරම් තේරුම් ගන්න කෙනෙක් වෙන කොයින්ද ?… මං කලෙත්, කරන්නේත් ආදරේ කල එකම විතරයි විහඟි … මටත් ඒ ආදරෙන් මිදෙන්න බැහැ ..”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here