මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 01

0
78

“ඔයා දැන් ඉස්සර වගේ නෙවෙයි”

මං එහෙම කියද්දිත් මතින්ද්‍ර උන්නෙ හරියට කලබලෙන් වගෙ එයාගෙ ශර්ට් එකේ බොත්තං දාගන්න ගමන්. ඉස්සර නම් මගෙ ඇනෙක්ස් එකට ආවම එහෙම යන්න කලබලයක් මතින්ද්‍රට තිබ්බෙ නැති උනාට ළඟකදි ඉඳලා එයා උන්නෙ සෑහෙන කලබලේක. තදියමක. මාව හම්බෙන්න, දකින්න උනත් එයා ආවෙ එක්තරා දුරකට මගෙ බල කිරීමකට වගේ කියලා තමයි කට හිතුණෙ.

“ඔව් වෙන්න පුළුවන්”

“වෙන්න පුළුවන් කිව්වේ? ඇයි එහෙම වෙනස් වෙන්නෙ?”

“මිනිස්සු හැමදාම එකම විදියට ඉන්නෙ නෑනෙ මේඝා. දවසෙන් දවස තප්පරෙන් තප්පරේ මිනිස්සු වෙනවා. ඔයා හිතුවට මං විතරයි වෙනස් වෙලා ඉන්නෙ කියලා. මං විතරක් නෙවෙයි ඔයත් වෙනස්. එහෙම නොඋනොත් තමා පුදුමෙ”

“මං මේ කියන්නෙ ඔයා ඔය කියනවා වගේ දාර්ශනික ටෝක් එකක් නෙවෙයි. ඔයා හැසිරෙන්නෙ වෙනද විදියට නෙවෙයි.ඉස්සර ඔයා මගේ ගාවට ආවම යන්න හදිස්සියක් තිබුණේ නැහැ. මගේ අතින් අල්ලගෙන පැය ගණන් කතා කළා. දැන් ඔයා ඉන්නේ හරියට වෙන කොහේ හරි යන්න පරක්කු වෙලා වගේ,” මම කිව්වේ එයාගේ අතේ මැණික් කටුව හරියෙන් අල්ලන ගමන්. මං ඉස්සර එහෙම කරාම එයා මගෙ පැත්තට හැරිලා මාව එයාගෙ පපුවට තුරුළු කරගන්නවා.

“මේඝා… මට දැන් වැඩ වැඩියි. ඩුබායි ප්‍රොජෙක්ට් එකේ වැඩ වලට මට දවසට පැය විසිහතරත් මදි වෙලා තියෙන්නේ. ඔයා දන්නවා මම මේ දේවල් කරන්නේ අපේ අනාගතේ වෙනුවෙන් කියලා. ඉතින් ඇයි ඔයා මේ පොඩි ළමයෙක් වගේ හැම තිස්සෙම කම්ප්ලේන් කරන්නේ?”

“වැඩ වැඩියි කියලා මම දන්නවා. ඒත් වැඩ වැඩි වුණාම මිනිස්සුන්ගේ ආදරේ අඩුවෙන්නේ නැහැනේ මතින්ද්‍ර. ඔයා දැන් මට මැසේජ් එකක්වත් දාන්නේ නැහැ. මම කෝල් කළත් ඔයා ඉන්නේ මීටින් එකක. හැබැයි මම දන්නවා ඔයා මීටින් වල විතරක් නෙවෙයි ඉන්නේ කියලා…”

මතින්ද්‍ර එකපාරටම මම දිහා බැලුවා. ඒ බැල්ම මාව පිච්චිලා යන තරම් සැරෙකක්.

 “ඒ කිව්වේ? ඔයා මොනවද කියන්න හදන්නේ?”

“නැහැ මම දැක්කා ෆේස්බුක් එකේ. මන්දස්මිතා එක්ක ඔයා ඉන්න ෆොටෝ එකක්. ඔයාලා ඊයේ රෑත් ඩිනර් එකකට ගිහින් තිබුණා නේද?” කියලා අහද්දී මගේ කටහඬ වෙව්ලන්න ගත්තා.

මතින්ද්‍ර හයියෙන් හිනා වුණා. ඒත් ඒකේ තිබුණේ මහ සමච්චලයක්.

“පිස්සු කියවන්න එපා මේඝා! ඒක බිස්නස් මීටින් එකක්. මන්දස්මිතා කියන්නේ ඩුබායි වල රෙසිඩන්ට් කෙනෙක්. මගේ ඩුබායිවල තියෙන ප්‍රොජෙක්ට්ස්වලට එයාව පාට්නර් කෙනෙක් කරගන්න තමයි මම මේ දවස්වල ප්ලෑන් කරන්නෙ. ඉතින් එහෙමෙකේ එයා එක්ක මට ඩිනර් එකකට යන්න බැරිද? ඔයා මේ අනවශ්‍ය විදියට ඉරිසියා කරනවා. මාරම වදයක්නෙ මේඝා මේක. මම අඩියක් ඉස්සරහට තියන එකත් ඔයාට දැන් මාර ප්‍රශ්නයක් වෙලානෙ”

“වදයක්? මම ඔයාට ආදරේ කරන එක, ඔයා ගැන හොයලා බලන එක දැන් ඔයාට වදයක්ද?”

“ඔයා ඔය කියනවා වගේ කිසිම දෙයක් නෑ මේඝා. ඔයා ඔය ඔලුවෙන් ඕවර් තින්ක් කරලා හදාගත්තා විකාර” කියලා මතින්ද්‍ර ඇනෙක්ස් එකෙන් පිටවෙන්න හදද්දි ඇත්තටම මට හයියක් තිබුණෙ නෑ එයාගෙන් අහන්න “මං කියනවා වගේ දෙයක් නැත්තම් වටපිටේ මිනිස්සු කියනවා වගේ දෙයක්ද ඉන්ද්‍ර තියෙන්නෙ?” කියලා. මං ඒක ඇහුවෙ නෑ. මං ඒ කාලෙ හිතන් උන්නේ “ගෑනියෙක්ට බෑ කියලා පිරිමියෙක්ව ඕවර්පවර් කරන්න”. අනික කොහොමත් මතින්ද්‍ර කියන්නෙ මං වගේ ගෑනියෙක්ට ලේසියෙන් අල්ලන්න කරන්න පුළුවන් මනුස්සයෙක් නෙවෙයි හන්දා මොන මගුල කරලා හරි එයාව මං ළඟ තියාගන්න තමයි මට ඕන වුණේ.

එයා එයාගේ වොච් එක දාගත්තා.

“මට දැන් යන්න පරක්කු වෙනවා මේඝා. අපි පස්සේ කතා කරමු. ඔය ඔළුවේ තියෙන කුණු දේවල් අයින් කරගන්න. නැත්නම් අපිට මේ රිලේෂන්ෂිප් එක ඉස්සරහට ගෙනියන්න අමාරු වෙයි.”

එයා එහෙම කියලා මගේ නළලට පොඩි හාදුවක් දුන්නා. ඒත් ඒකේ ඉස්සර මාව ගිනිතියන්න හේතුවෙච්ච විදියෙ කිසිම ස්පාර්ක් එකක් තිබුණෙ නෑ. ඔහේ කරන්නං වාලෙ අරපු සිප ගැනීමක් විදියටයි මං ඒක දැක්කෙ. එයා කාමරෙන් එළියට යද්දී මට දැනුණේ මගේ පපුව මැද මහා විශාල හිස්තැනක් හැදෙනවා වගේ.

මතින්ද්‍ර එහෙම කියලා දොර ගාවට යද්දී මට දැනුණේ මගේ පපුව මැදින් මොකක් හරි හීතල හුළඟක් ගියා වගේ. මම හිටියේ හරියට පණ නැති වෙලා වගේ ඇඳ විට්ටමට බර දීලා.

“ඉතින් මන්දස්මිතා ඩුබායි රෙසිඩන්ට් කෙනෙක් වුණ පලියට එයා එක්ක මේ වගේ හිතවත්කමක් තියාගන්න ඕනෙද ඉන්ද්‍ර? බිස්නස් පාර්ට්නර් කෙනෙක් එක්ක රෑ දෙගොඩහරිය වෙනකම් කකා බිබී ඉන්න ඕනෙද?” මම ඇහුවේ මම ගිලෙන්න යනවා කියලා දැන දැනම මතින්ද්‍ර කියන පිදුරු ගහේ එල්ලෙන ගමන්.

මතින්ද්‍ර දොරේ අගුල අල්ලගෙනම ආපහු හැරුණා. එයාගේ ඇස් දෙකේ තිබුණේ මම කවදාවත් දැකලා නැති විදියේ ආගන්තුක බැල්මක්.

“මේ බලන්න මේඝා… ඔයා ඇඩ්වටයිසින් වල හිටියට තාම ඉන්නේ අර පරණ ගොඩේ මානසිකත්වයක. මන්දස්මිතා කියන්නේ ලෝකේ දැකපු, හයි ප්‍රොෆයිල් මිනිස්සු ආශ්‍රය කරන ගෑනියෙක්. එයා එක්ක වැඩ කරද්දී මට සිද්ධ වෙනවා එයාගේ ලෙවල් එකට හැඩගැහෙන්න. ඔයා වගේ හැමදේකම පටු විදියට වැරදි හොයන ගෑනියෙක් එක්ක නම් මට මේ ගමන මට ඕන විදියට යන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නෙ නෑ. කට්ට අස්සෙ ඉන්න ඉබ්බා වගේ ඉන්නෙ නැතුව එළියට බැහැලා බලන්න ලෝකෙ කොච්චර අප්ඩේටඩ් ද කියලා”

“පටු විදියට? දැන් ඔයාට මමද මේ කට්ට අස්සෙ ඉන්න ඉබ්බා වෙලා තියෙන්නෙ. මෙච්චර දවසක් ඔයාට ඒ කට්ට ප්‍රශ්නයක් උනේ නෑ නේද?”

“ඔයා ඔය විදියට හැසිරෙන එක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නෙ. ඔයා මට ආදරේ නම් මම කරන දේවල් විශ්වාස කරන්න ඉගෙන ගන්න. මට වද නොදී ඉන්න. කරුණාකරලා.”

එයා එහෙම කියලා දොර හයියෙන් වහගෙන එළියට බැස්සා. එයාගේ කාර් එක ස්ටාර්ට් කරන සද්දේ ඈතට ඇහිලා යනකම්ම මම හිටියේ හුස්ම ගන්නත් අමතක වෙලා වගේ. එදා තමයි මට මුලින්ම හිතුණේ, අපි පණ වගේ ආදරේ කරන මිනිහෙක්ට තව ගැහැනියක් ප්‍රයෝජනවත් වෙද්දී, අපේ ආදරේ නිකන්ම නිකන් වදයක් වෙනවා කියලා.

අන්න එතකොටයි මට හිතුණේ, ගෑනු මෝඩ වෙන්නේ ආදරේ හින්දා විතරක් නෙවෙයි, තමන්ගේ ආත්ම ගෞරවය පිරිමියෙක්ගේ අත්ල උඩ තියලා නිකන් ඉන්න හින්දා කියලා. මතින්ද්‍ර වෙනස් වෙලා කියලා මම දැනගෙන හිටියත්, මම මගේ හිතට බොරු කළා. එයා මාව රවට්ටනවා කියලා දැන දැනත් මම හිතුවේ එයා ආයේ එයි කියලා.

ඒත් මන්දස්මිතාගේ ඒ කඩාහැලෙන ලස්සන ඉස්සරහා, මගේ මේ ක්ලැසික් ලස්සන මතින්ද්‍රට පේන්නෙවත් නැති තරමට එයා අන්ධ වෙලා හිටියේ.

ඒත් මං ඒක දැනගෙන හිටියෙ නෑ! එහෙමත් නැත්තං දැනගෙන උන්නත් මං ඒක පිළිගන්න කැමති වුණේ නෑ!

මම මගේ ඉන්ද්‍ර වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලෑස්ති වෙලා හිටියේ. එයාගේ ඔෆිස් එකේ වැඩවලට උදව් කරන එකේ ඉඳලා, එයාට කැමතිම කෑම උයලා දෙන එක දක්වා මම ඒ හැමදේම කළේ මාරම සතුටකින්. මම හිතුවේ මම එයාට මේ තරම් කැප වෙද්දී, එයාට මාව දාලා යන්න කිසිම හේතුවක් නැහැ කියලා.

අපි හිතන්නේ ආදරේ කියන්නේ ගනුදෙනුවක් කියලා.

අපි ආදරේ දුන්නම අපිට ආදරේ ලැබෙන්න ඕන කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් පිරිමි හිතන්නේ ඊට වඩා වෙනස් විදියකට. එයාලට ආදරේට වඩා ඇට්‍රෑක්ෂන් එක වැදගත් වෙන වෙලාවල් තියෙනවා. අපි කොච්චර ගුණවත් වුණත්, කොච්චර දක්ෂ වුණත්, එයාලට වඩා ලස්සන හෝ එයාලට වඩා ප්‍රයෝජනවත් ගැහැනියක් පෙනෙන මානයේ ඉන්නවා නම්, පිරිමින්ගෙ හිත හරිම ලේසියෙන් හෙලවෙනවා.

මම මගේ ලස්සන ගැන මහා ලොකු විශ්වාසයකින් හිටියට, මම දැනගෙන හිටියේ නැහැ ගැහැනියකගේ ලස්සන කියන දේ පිරිමියෙක්ට හරිම ඉක්මනට හුරු වෙනවා කියලා.

 පිරිමින්ට ඕන වෙන්නේ හැමදාම අලුත් දෙයක්. මම මතින්ද්‍රට මගේ උපරිමය දෙද්දී, මම මාවම අමතක කරගන්න ගමන්, මම මාවම අහිමි කරගන්න ගමන් ඉඳලා තියෙන්නෙ.

ඒත් දවසක මතින්ද්‍ර මගේ දිහා බලලා ඔයා  මගේ කවුද? කියලා අහන තැනට වැඩ සිද්ධ වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ.

ගෑනු පිරිමි හින්දා කරන ලොකුම මෝඩකම තමයි, තමන්ව රවට්ටන මිනිහව පවා සාධාරණීකරණය කරන්න හදන එක. මතින්ද්‍ර වෙනස් වෙද්දී මම හිතුවේ එයාට වැඩ වැඩි ඇති කියලා. මම මාවම රවට්ටගත්තෙ මට මතින්ද්‍රව නැති කරගන්න බැරි හන්දා.

ගෑනුන්ගේ ආදරේ ඇතුළේ තියෙන ඔය අධික විශ්වාසය තමයි දවසක අපිට වසක් වෙන්නේ. මම මගේ ඉන්ද්‍රව විශ්වාස කළේ මගේ ඇස් දෙකටත් වඩා වැඩියෙන්.

ඒත් ඒ විශ්වාසයම මගේ බෙල්ල හිර කරන මල පුඩුවක් වෙයි කියලා මම දැනගත්තේ හරිම ප්‍රමාද වෙලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here