“දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න
මල් වැස්සක් වෙන්නම් ආ..දරයෙන් මං
ඔබ අරගෙන යන්න…
මට එක දවසක් හරි එක දවසක් හරි
බැරිනම් ඔබෙ වෙන්න
මහ පොතක් පිරෙනතුරු ලියා තියන්නම්
මතු දවසක හරි ඔබට බලාගන්න
ඔව් ඔබට බලාගන්න”
චන්දන ලියනාරච්චි මහත්තයා මෙහෙම කිව්ව එක මාරම ඇත්තක් කියල මම කාලයක් තිස්සෙ හිතාගෙන හිටියා. ඒ කිව්වෙ “මට ගෑනියෙක් විදියට පුලුවන් කියලා ඉරිසියා කරන්නෙ නැතුව මිනිහෙක්ට ආදරේ කරන්න”.
සීතල කරපු කාමරේක, තනියම වාඩි වෙලා හෙඩ්ෆෝන් එකෙන් මේ සින්දුව අහන හැම වෙලාවකම මට හිතුණේ චන්දන ලියනාරච්චි මහත්තයා මේ සින්දුව ලිව්වේ මම වගේ ගෑනුන්ට වෙන්න ඇති කියලා. මම ගෑනියෙක් විදියට ඒ කාලේ හිතුවේ ඉරිසියාව කියන දේ මගේ ඩික්ෂනරි එකේ නැහැ කියලා. මොකද, මතින්ද්‍ර වගේ මිනිහෙක් මගේ වෙලා ඉන්නවා කියන්නේ, මට ලෝකේ වෙන කිසිම ගැහැනියක් ගැන ඉරිසියා කරන්න හේතුවක් නැහැ කියලා මං හිතාගෙන උන්න හන්දා.
මතින්ද්‍ර… මගේ ඉන්ද්‍ර.
මං එයාට කතා කරේ එහෙම.
මතින්ද්‍ර කියන්නේ නිකන්ම මිනිහෙක් නෙවෙයි.
මතින්ද්‍ර කියන්නෙ ගෑනියෙක්ට ඉරිසියා හිතෙන ලෙවල් එකකින් ආදරේ කරන්න හිතෙන ජාතියේ මනුස්සයෙක් බව ඇත්තක් වුණත් මතින්ද්‍ර මගේ වෙලා ඉන්න තාක්කල් අනිත් ගෑනුන්ට මට මිසක්කා, මට අනික් ගෑනුන්ට ඉරිසියා කරන්න කිසිම හේතුවක් තිබුණෙ නෑ.
මම හිටියේ ඒ තරම් ලොකු උඩඟුකමකින්. ඒක උඩඟුකමකට වඩා තමන් ගෙ ආදරේ පරිස්සම් කියලා හිතෙන ෆීලින්ග් එකක් කියලා කිව්වොත් වඩාත් නිවැරදියි මං හිතන්නෙ. ඒත් මට වැරදුණා. මම වැස්සක් වගේ එයාව ආදරෙන් තෙමන්න උත්සාහ කරද්දී, එයා හිටියේ ගිනි මලක රස්නය හොයන ගමන් කියලා මම දැනගත්තේ හරිම හෙමින්. මගේ ඒ සෙකියුර් ෆීලින් එක එක රැයකින් කුඩු පට්ටම් වෙලා යනකම්ම මම හිටියේ මගේ ඉන්ද්‍ර ගැන මහා විශාල ආඩම්බරයකින්.
ඇත්තටම මම මේ කියන්නේ මගේ ජීවිතේ ලස්සනම වගේම කාලකණ්ණිම දවස් ගැන.
මම මේඝා.
මේඝා සංසාරිණී අරඹේතැන්න.
ඇඩ්වටයිසින් ෆීල්ඩ් එකේ අවුරුදු කිහිපයක් තිස්සේ මගේම අනන්‍යතාවයක් හදාගන්න උත්සාහ කරන කෙල්ලෙක් විදියට තමයි මම මාව ඕනම කෙනෙක්ට ඉන්ට්‍රඩියුස් කරන්න කැමති. මම දන්නවා මම ලස්සනයි කියලා. ඒත් ඒක අර සිල්වර් ස්ක්‍රීන් එකක දකින විදියෙ නිළි ලස්සනක් නෙවෙයි. හෙන ක්ලැසික් පෙනුමක් මට තිබ්බේ.
මම කවදාවත් මේක්අප් තට්ටු ගණන් මූණේ උලාගෙන මගේ ඇත්ත පෙනුම වහගන්න දඟලපු කෙල්ලෙක් නෙවෙයි. මට ඕන වුණේ මම ඇවිදගෙන යද්දී මං කියන්නෙ කවුද කියන එන මම අඳින ඇඳුමෙන් පේන්න තියන්න. මම හරිම ආස කළේ ලිනන් ඇඳුම්වලට. මේ දවස්වල ට්‍රෙන්ඩින් බ්ලොක් ප්‍රින්ට්ස් ඇඳුම් ඇඳලා, තඹ පාට වළලු, කරාපු දාලා, කැරලි කොණ්ඩෙ ලිහලා දාලා උන්න මාව මාත් එක්ක වැඩ කරන අය ගොඩක් වෙලාවට එක්ස්ප්ලේන් කරේ “ඔයා හරිම ඇට්‍රැක්ටිව්, හරිම විටී” කියලා. ඒක ඇත්තක් නිසාමද මන්දා මගෙ කතාවෙන්, මගෙ බැල්මෙන්, හිනාවෙන් මිනිස්සුන්ව මත්කරන්න මම දැනගෙන හිටියා.
මම වැඩ කරන ඇඩ්වටයිසින් ෆර්ම් එකේ අය මට කිව්වේ ක්‍රියේටිව් මේඝා කියලා. මොකද මම හැමදේම දිහා බැලුවෙ අනිත් අය බලන විදියට නෙවෙයි හන්දා. මගේ හිතේ මාරම ලොකු හීන තිබුණා. ඒ හීනවලට පණ දුන්නේ මම මගේ පෑනෙන් ලියපු අකුරු. කිසිම වෙලාවක වැරදි විදියකට, වැරදි දෙයක් කරලා මිනිස්සුන්ගෙ ඇටෙන්ශන් එක මං දිහාවට හරවගන්න මම උත්සහ කරේ නෑ.හැබැයි මොකක් හරි හේතුවක් නිසා මම ගිය හැම තැනකම මිනිස්සුන්ට මාව මතක හිටියා.
මතින්ද්‍රව මට හම්බ උනේ මගේ මේ හීන අටෝරාසිය අස්සෙ හැබෑ කරගත්ත හීන ගොඩට තව සම්මානයකුත් එකතු වුණ දවසක. මීට අවුරුදු දෙකකට කලින් තිබුණ ඇඩ්වර්ටයිසින් අවෝඩ්ස් සෙරමනි එක මගේ ජීවිතේ උඩයටිකුරු කරයි කියලා මම එදා දැනගෙන හිටියේ නැහැ.
මතින්ද්‍ර කියන්නේ මං වැඩ කරපු ඇඩ්වටයිසින් ෆර්ම් එක වගේම ඊටත් වඩා ලොකු ෆර්ම් එකක අයිතිකාරයෙක්. එදා රෑ මොකක් හරි දෛවෝපගත කාරණාවක් හන්දා මගේ ටීම් එකේ ටේබල් එක ළඟම ටේබල් එකක තමයි මතින්ද්‍ර ගජනායකගෙ ටීම් එකටත් වාඩිවෙන්න ඉඩ ලැබිලා තිබුණෙ.
“කන්ග්‍රැජුලේෂන්ස්! ඔයාගේ ක්‍රියේටිව්ස් වගේම ඔයාගේ ඒ කොන්ෆිඩන්ස් එකටත් මම මාරම කැමතියි,” එයා කිව්වේ මගේ ඇස් දෙක ඇතුළටම කිමිදෙන ගමන්. එහෙම තමයි අපේ කතාව පටන් ගත්තෙ.
එදා එයා පාවිච්චි කරපු ඒ පිරිමි සුවඳ මාව මත් කරන්න පටන් ගත්තා ඉන්පස්සෙ.
මම සාමාන්‍යයෙන් පිරිමින්ගේ වචනවලට රැවටෙන කෙල්ලෙක් නෙවෙයි. ඒත් මතින්ද්‍රගේ කටහඬේ තිබුණ ඒ ගාම්භීර බවයි, මම දිහා බලපු ඒ ආඩම්බරකාරී බැල්මයි මාව අසරණ කළා කියලා තමයි මට එදා හිතුණෙ. එදා අපි නම්බර්ස් ශෙයා කරගත්තේ අවංක හිතකින්. මතින්ද්‍රත් මම වගේම ක්‍රියේටිව් වැඩවලට පිස්සු වැටිච්ච මිනිහෙක්. ඒ නිසාමද මන්දා අපි දෙන්නා අතරේ තිබුණේ මාරම රිලේටබල් ෆීලින් එකක්. ඒ නිසාමද මන්දා එලියට යන්න, එළිපිට ඩේට් කරන්න අපිට කිසිම බාධාවක් තිබුණෙ නෑ. අපි දෙන්නා ගැන මුළු ඉන්ඩස්ට්‍රි එකේම අය දැනගන්න ගත්තේ වැඩි කාලයක් යන්න කලින්. මම හිටියේ හීන ලෝකෙක. මට හිතුණේ මේ ලෝකේ කිසිම ගෑනියෙක්ට මගේ ඉන්ද්‍රව මගෙන් උදුරගන්න බැහැ කියලා.
මොකද මම වෙනස්. ඉන්ද්‍රම කියන විදියට
“මගේ මේඝ වළාකුල ඔයා මාර ලස්සනයි, ක්‍රියේටිව්, උගත්, බුද්ධිමත්, විටී, අතේ පයේ වැඩ පුළුවන්, දේවල් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා, ඔක්කොටම වඩා ලස්සන, සෙන්ස් එකක් තියෙන මනුස්සයෙක්”.
ඒ හැමදේම දෙවනි තැනට දාලා ඒ වගේම මම ඉන්ද්‍රට මාරෙට ආදරේ කරා. ඒ හේතු නිසා ඉන්ද්‍රට මාව දාලා යන්නවත්, මාව රිප්ලේස් කරන්නවත් හේතුවක් ඇති කියලා මම හිතුවෙ නෑ. මම හිතුවේ මම තමයි මතින්ද්‍රගේ ලෝකේ ඉන්න, එකම ගෑනි කියලා. ඒත් ආදරේ පටන් ගත්ත මුල්ම කාලේ ගෑනුන්ගෙ තියෙන ඔය තමන් ගැන මහ ඉහළිත් හිතාගෙන ඉන්න ලොකුකම හරිම ඉක්මනට දිය වෙලා යනවා. අපි කොච්චර බුද්ධිමත් වුණත්, කොච්චර ක්ලැසික් වුණත්, එක පිරිමියෙක්ට පණටත් වඩා ආදරේ කරන්න ගත්තම අපි හැමෝම එකම මෝඩකම කරන්න, මෝඩ විදියට හිතන්න පෙළඹෙනවා.
ගෑනු පිරිමින්ට වඩා වෙනස් වෙන්නේ එතනදී. අපි ආදරේ කරන්නේ මුළු ආත්මයෙන්ම. පිරිමියෙක්ට හිතක් දුන්නට පස්සේ අපේ ලෝකේ සෙන්ටර් එක වෙන්නේ ඒ මිනිහා. මම මගේ ගැන කොච්චර ආඩම්බරෙන් හිටියත්, මතින්ද්‍රගේ එක මැසේජ් එකක් ඉස්සරහා, එක බැල්මක් ඉස්සරහා, එක වචනයක් ඉස්සරහා මම හරිම ලේසියෙන් දණ ගැහුවා. මම මගේ වැඩ, මගේ හීන ඔක්කොම මතින්ද්‍රගේ හීන එක්ක පටලවගත්තා.
ඇත්තටම අපි කරන ලොකුම මෝඩකම ඒක.
පිරිමියෙක්ගේ සාර්ථකත්වය ඇතුළේ අපේ සාර්ථකත්වය හොයන එක.
එයාගේ බිස්නස් වැඩ වෙන රටවල් වලට පවා යන්න ප්ලෑන් කරද්දී, මම ඒවට උදව් කළේ මගේම වැඩක් වගේ හිතලා. මම හිතුවේ එයා ඉහළට යනවා කියන්නේ මම ඉහළට යනවා කියලා. පිරිමියෙක් තමන්ගේ ඉණ වටේ අතක් දාලා “ඔයා තමයි මගේ හයිය” කියලා කනට කරලා කියද්දී, ගෑනු අපි හිතන්නේ අපි තමයි මේ ලෝකේ ඉන්න බලවත්ම ගැහැනිය කියලා.
“හැම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම හොඳ ගැහැනියක් ඉන්නවා” කියලා මතින්ද්‍ර ඉස්සර එයා මොනාහරි දෙයක් වින් කරාම නිතරම කියනවා.
ඒත් ඒ හැම වෙලාවකම ඒකට හිනාවෙලා සන්තෝසෙන් ඒ වචන භාරගත්තා ඇරෙන්න මට කොන්ද පණ තිබ්බෙ නෑ මතින්ද්‍රගෙන් අහන්න
“ඉතින් පිටිපස්සටම වෙලා ඉන්නෙ මොකටද? මිනිහට බැරිද ඒ ගෑනිව ඉස්සරහින් තියාගන්න” කියලා.


