“ඔයාට පුලුවන් නම් එකම එක පාරක් මගෙ ඇස් දෙක දිහා බලලා කියන්න ඔයාට මන්දස්මිතා එක්ක සම්බන්ධයක් නෑ කියලා. ඔයා එහෙම කියන්නෙ නැත්තෙ ඔයාට එහෙම හොරයක් තියෙන හන්දනෙ මතින්ද්‍ර. ඉස්සර නං ඔයා මෙහෙම නෑ. ඔයා කොච්චර මං මෙහෙම අඬන තැන්වල මගෙ ඇස් දෙක දිහා බලලා මට කියලා තියෙනවද කොච්චර දේවල්? ඇයි දැන් එහෙම බැරි?”
මං උන්නෙ අඬලා අඬලා හෙම්බත්වෙලා. මට තව අඬන්නවත් පණක් තිබ්බෙ නෑ. මතින්ද්‍ර මන්දස්මිතා අතරෙ සම්බන්ධයක් තියෙනවා කියන එක හොඳටම ඔප්පු වෙල තිබිච්ච වෙලාවක උනත් මට ඕන උනෙ මතින්ද්‍රගෙ කටෙන්ම අහගන්න “ඒක එහෙම නෑ මේඝා” කියලා. ඒක හරියට හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් උනාට ඒ වෙලාවෙ ගෑනියෙක් විදියට තමන් ආදරේ කරපු මිනිහා ඉස්සරහා අසරණ වෙලා උන්න මට ඕන උනේ ආදරේකටත් වඩා අනුකම්පාවක්. මට ඕන උනේ අනුකම්පාවෙන් හරි මතින්ද්‍රව මගෙ ළඟ නතර කරගන්න.
ඒ උනාට මතින්ද්‍ර උන්නෙ මාව තඹ සතේකට ගණන් ගන්නෙ නැතුව. එයා මගෙ අත ගසලා දැම්මෙ නිකන් ඇඟේ ගෑවිච්ච මොකක් හරි ජරාවක් හිරිකිතෙන් විසික්කරලා දානවා වගේ. ඒ වගේම මට තේරුණා එයා එවෙලෙ මං ලඟ උන්නෙ මාරම නොසන්සුන් විදියට කියන එක. එයා සාලේ මැද එහාට මෙහාට ඇවිදින්න ගත්තේ මාව පේන්න බැරි ගානට.
“මේඝා, ප්ලීස්… මම දැන් වැඩ ඇරිලා ආවේ. මට මාරම මහන්සි. මට ඔය තේරුමක් නැති ප්‍රශ්නවලට උත්තර දීලා දැන් ඇති වෙලා තියෙන්නේ. ඔයාට පුළුවන්ද මට පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙන්න? මොන මල කරුමයක්ද මේ? ආවෙ නැතිඋනාම නාහෙන් අඬනවා ආවෙ නෑ කියලා. ආවම මෙතන එක එක බහුබූත අහන්න ගන්නවා. ඉස්සෙල්ලා ඔයාගෙ හිතේ ඔය මන්දස්මිතා ගැන තියෙන ඉරිසියාව අයින් කරගන්න. තව ගෑනියෙක්ට ඉරිසියා කරන ගෑනියෙක් එක්කනෙ බලාගෙන යද්දි මම මේ සෙට් වෙලා ඉඳලා තියෙන්නෙ. ලැජ්ජයි ඕයි. ලියන්නෙ නම් මහ දාර්ශනික ටෝක්ස්. ඒඋනාට කෙරුවාව කොහොමද?”
“තේරුමක් නැති ප්‍රශ්න? මතින්ද්‍ර, මම මේ අහන්නේ අපේ ජීවිතේ ගැන! අර මන්දස්මිතා එක්ක ඔයා ඉන්න පින්තූර මම දැක්කා. ඇයි ඔයාට බැරි ඒක එහෙම නෑ කියලා මගේ ඇස් දෙක දිහා බලලා එක පාරක් කියන්න? ඔයා එහෙම නොකරන්නෙ ඒ කතාවල ඇත්තක් තියෙන නිසා නේද” මම අඬ අඬාම එයාගේ පස්සෙන් ගියේ අර ආදරේ කරන්න බැරිනම් අඩුම මට අනුකම්පා හරි කරන්න මතින්ද්‍ර කියලා නොකිය ඉල්ලන ගමන්.
මතින්ද්‍ර නතර වෙලා මාරම නුරුස්නා බැල්මකින් මගේ දිහා බලලා හයියෙන් හුස්මක් පිට කළා.
“ඔයා හරිම ඉක්මනට කලබල වෙනවා මේඝා. ඔයා නිකන් පොඩි ළමයෙක් වගේ හැසිරෙන්නේ. ඕක තමයි ඔයාගේ තියෙන ලොකුම දුර්වලකම. මන්දස්මිතා කියන්නේ මගේ බිස්නස් පාර්ට්නර් කෙනෙක්. මං ඔයාට කලින් වතාවකුත් ඒක කිව්වා. එයා එක්ක වැඩක් කරද්දී පින්තූරයක් ගත්තාම ඒක අල්ලගෙන ඔයා මේ නටන නාඩගම මට මාරම වදයක්!”
“වදයක්? මම ඔයාට වදයක් වුණේ කවදා ඉඳන්ද මතින්ද්‍ර? ඔයාගේ ප්‍රොජෙක්ටවලවැරදි ටික හදන්න මම රෑ එළිවෙනකම් නිදි මරද්දී මම වදයක් වුණේ නැද්ද? ඔයාට අමාරුම කාලේ ඔයාගේ හෙවනැල්ල වගේ හිටපු මම ඒ දවස්වල ඔයාට වදයක් වුණෙ නැද්ද?” මගේ කටහඬ වේදනාවෙන් වෙව්ලන්න ගත්තෙ ඇත්තටම මට මතින්ද්‍රගෙ වචන දරාගන්න බැරිවෙච්ච හන්දා.
“ඒකනේ මම කියන්නේ… ඔයා හැමදේම මාරම විදියට ඔළුවට ගන්නවා. ඔයා මෝඩ විදියට හිතන එක නවත්තන්න මේඝා. ඔයා මාව සැක කරලා මට මේ දෙන වදය මට තවත් දරාගන්න බැහැ. මට ඕන කරන්නේ නිදහස. මට ඕන කරන්නේ මාව තේරුම් ගන්න පුළුවන්, මගේ මට්ටමට ගැලපෙන කෙනෙක්ව මිසක් මෙහෙම පැය විසිහතරම අඬ අඬා ප්‍රශ්න අහන කෙනෙක්ව නෙවෙයි”
මතින්ද්‍ර එහෙම කියලා එයාගේ කාර් කී එක අතට ගත්තා. එයා මගේ ඇස් මගහැරලා දොර දිහාට යන්න හැදුවා. මම එයාගේ අතේ එල්ලිලා බිම වැටුණේ මගේ ආත්ම ගෞරවය ගැනත් අමතක කරලා.
“මතින්ද්‍ර… ප්ලීස්… මට මෙහෙම කරන්න එපා. ඔයා හොඳටම දන්නවා නේද මම ඔයාට කොච්චර ආදරේද කියලා ඔයා දන්නවා නේද?” මම එයාගේ කකුල් දෙක ළඟ ඉඳන් අඬා වැටුණෙ ඇත්තටම ගෑනියෙක්ට පිරිමියෙක් ඉස්සරහා වැටෙන්න පුළුවන් පල්ලෙහම තැනට වැටෙන ගමන්. ඒත් මට ලැජ්ජාවක් තිබ්බෙ නැ. මට තිබ්බෙ ලැජ්ජාවකට එහා ගියපු මතින්ද්‍ර මට නැතිවෙයි කියන බයක්. මොකෝ ඒ දවස්වල මං හිතන් උන්නෙ මතින්ද්‍ර කියන්නෙ මට නැතිකරගන්න බැරි කෙනෙක්. මතින්ද්‍ර නැති වෙච්ච දවසට මට හැම දේම නැතිවෙයි, මගේ කිසිම වටිනකමක් නැති වෙයි කියලා.
“අතාරින්න මාව! මට දැන් ඔයාව දැක්කත් තරහයි. ඔයාගේ මේ ඇඬියාව මගේ ඔළුවට මාරම බරක්”
“යන්න දෙන්න බෑ. මං යන්න දෙන්නෙ නෑ ඔයාට. මොකටද මං ඔයාට යන්න දෙන්නෙ? ඔයා මගේ මතින්ද්‍ර. මං මන්දස්මිතා තරං ලස්සන නැතුව ඇති. ඒ උනාට මං ඔයාට ආදරෙයි. මන්දස්මිතා ඔයාට ආදරේ කරනවට වඩා මං ඔයාට ආදරෙයි. ඔයා පසුතැවෙයි මතින්ද්‍ර දවසක මාව අද මෙහෙම දාලා ගියොත්.
අනේ මාව පිස්සෙක් කරන්න එපා මතින්ද්‍ර. මාව දාලා යන්න එපා. මං මැරෙනවා. මං අම්මපා මැරෙනවා ඔයා මාව දාලා ගියොත්, එතකොට කොහොමත් ඔයාට මන්දස්මිතාව අතාරින්න වෙයි.
මං මං මං…. මන්දිස්මිතාට කෝල් කරලා බණිනවා. මං කියනවා මමයි ඔයාගෙ ගර්ල් ෆ්රෙන්ඩ්, ඔයාගෙන් ඈත්වෙලා ඉන්න කියලා.” මම එහෙම කිව්වෙ මතින්ද්‍රව බය කරන්න උනාට ඇත්තටම බය උනේ මම. බය වෙලා උන්නෙ මම.
“මේ… මෙන්න මේක හොඳට මතක තියාගන්නවා” කියලා මතින්ද්‍ර ඇනෙක්ස් එකේ දොර වහන ගමන් මගෙ බෙල්ලෙන් අල්ලලා එයා දිහාවට ඇදලා ගත්තා.
“තමුසෙ මේ එක වචනයක් හරි මන්දස්මිතාට කියලා තිබුණොත් බලාගමු. අනික තමුසෙ දැන් මෙච්චර වෙලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවනෙ. ඔව් මට මන්දස්මිතා එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මං මන්දස්මිතාව බඳිනවා. ඔව් මං මෙච්චර දවසක් ඒක තමුසෙට නොකිය හිටියෙ තමුසෙට අනුකම්පා කරලා. තමුසෙ පව් කියලා හිතලා. බලාගෙන යද්දි හරි පිස්සු ගෑනියෙක්වනෙ මං මෙච්චර දවසක් කර උඩ තියාගෙන ඉඳලා තියෙන්නෙ. කරපුවා කියව කියව කුල කියවන්නෙපා හොඳේ. ඔයිට වඩා දේවල් ගෑනු කරනවා තමන් එක්ක නිදාගන්න මිනිහා වෙනුවෙන්. එහෙමෙකේ මේ එකක් දෙකක් කරලා දාහක් දේවල් කරා වගේ කියවන්න එපා.
තමුසෙ මගේ වෙඩින් එක ඉස්සරහා මැරුණත් ඒ කසාදෙ වෙන එක නවත්තන්න තමුන්ට බැරි බව මතක තියාගන්නවා. ඒ නිසා පුළුවන් දෙයක් කරලා බලනවා තමුසෙට පුළුවන් වෙයිද කියන්නෙ මගේ ජිවීතේ යන පාර වෙනස් කරන්න.”
එයා මාව පැත්තකට තල්ලු කරලා, දොර හයියෙන් වහගෙන එළියට බැස්සෙ ඒ වචන කිව්වයින් පස්සෙ. දොර වැහුණු සද්දේ මගේ පපුව පසාරු කරගෙන ගියා. එයාගේ වාහනේ ස්ටාර්ට් වෙලා ඈතට ඇදිලා යන සද්දේ ඇහෙද්දී මට දැනුණේ මගේ මුළු ලෝකයම කඩාගෙන වැටුණා වගේ.
මම ආදරේ කරපු මිනිහා මාව කරදරයක් ගානට දාලා තවත් ගෑනියෙක්ගෙ ලස්සන පස්සේ ගිහින් ඉවරයි.
එදා රෑ මම පැය ගණනක් බිම වැතිරිලා අඬ අඬා හිටියේ මගේ පණ යනවා වගේ දැනෙද්දී. මතින්ද්‍ර මාව පණපිටින් වළලලා දාලා තිබුණේ.
මන්දස්මිතා මගේ ජීවිතෙන් හිනාව කියන දේ සහමුලින් අයින් කරලා දැම්මෙ අන්න ඒ විදියට.


