මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 7

0
287

“මතින්ද්‍රව මට හම්බුනේ අහම්බෙන් වගේ. මම ඩුබායි වල ගොඩක් කාලයක් ඉඳලා ලංකාවට ආවෙ මට ආව ස්පෙශල් රික්වයර්මන්ට් එකකට මම ගොඩාක්ම තරුණ කාලෙ කරපු සෝප් ඇඩ් එකක අලුත්ම කමර්ශල් එකකට රඟපාන්න.

මං ඒ ගමන ආවෙම ඉක්මනට යන්න බලාගෙන උනාට අන්තිමේ යන්න උනේ තනියෙන් නම් නෙවෙයි” කියලා මන්දස්මිතා හිනා වෙද්දි එයාට එහා පැත්තෙන් වාඩිවෙලා මන්දස්මිතාගෙ අතෙන් අල්ලගෙන උන්න මතින්ද්‍ර මන්දස්මිතා දිහාව බලලා ආදරෙන් හිනා උනා.

“ප්ලැන් කරලා ආව ගමනක හම්බෙච්ච අහඹු ප්‍රේමයක්. මතින්ද්‍රට මොකද මේ ගැන හිතෙන්නෙ?” කියලා නිවේදිකාව මයික්‍රෆෝන් එක මතින්ද්‍ර දිහාවට දික් කරද්දි මතින්ද්‍ර ආයෙ වතාවක් මන්දස්මිතා දිහාව බලලා එයාට පා කරලා ඇරියෙ මං මේ ලෝකෙ දකින්න ආසම වෙච්ච එයාගෙ ලස්සනම හිනාව.

“ඇත්තටම කෙනෙක් ඒක අහඹුවක් කියලා හිතුවට මං හිතන්නෙ අපි දෙන්නට දෙන්න මුණ ගැහෙන්න නියමිත වෙලා උන්න දෙන්නෙක්. දෛවයෝගයකින් වගේ හිතුවෙ නැති විදියකට රටවල් දෙකක උන්න අපි අන්තිමෙ ජොබ් එක නිසා හම්බ වුණා”

මං උන්නේ යූ ටියුබ් එකේ ප්‍රිමියර් කර කර තිබිච්ච ලංකාවෙ ජනප්‍රිය නිළියක් වෙච්ච මන්දස්මිතා වීරකෝන් ගෙයි – මතින්ද්‍ර ගජනායකගෙයි වෙඩින් වීඩියෝ එක දිහා. ස්ක්‍රීන් එක පුරාම තිබුණේ රත්තරන් පාට විදුලි බුබුළු, මිල අධික මල් වර්ග සහ තරු පහේ හෝටලයක මංගල්‍යමය ලස්සන. ඒ හැම ෆ්‍රේම් එකකම මතින්ද්‍ර හිටියේ මන්දස්මිතාව තුරුළු කරගෙන. එහෙම නැත්තම් එයා දිහා බලාගෙන.

නිවේදිකාව ආයෙත් සැරයක් මන්දස්මිතා පැත්තට හැරුණා. ඇස් දෙක හීනි කරලා හරිම කුතුහලයකින් වගේ එයා ඇහුවා, “මන්දස්මිතා, මතින්ද්‍ර කියන්නෙ සෑහෙන ඉන්ඩස්ට්‍රි එකේ බිසී බිස්නස්මන් කෙනෙක්නෙ. ඔයා කොහොමද එයාගෙ හිත මෙච්චර ඉක්මනට දිනාගත්තෙ? මොකද මතින්ද්‍ර ගැන මීට කලින් මෙහෙම ප්‍රසිද්ධ කතාවක් අපිට ඇහුණෙම නැති තරම්.”

මන්දස්මිතා එයාගෙ දිග ඇඟිලිවලින් එයාගෙ සරසලා, මොඩර්න් ස්ටයිල් එකේ ඔසරියට ගැලපෙන්න ගොතල මල්ගහලා තිබුන කොණ්ඩෙ අතින් ලාවට අල්ලන ගමන් මතින්ද්‍රගෙ උරහිසට බර වුණා.

“ඇත්තම කිව්වොත් එයාට ඕන වෙලා තිබුණෙ එයාගෙ වැඩ තේරුම් ගන්න පුළුවන්, ඒ වගේම එයාගෙ ලෙවල් එකට මැච් වෙන කෙනෙක්. මතින්ද්‍ර හරිම මොඩර්න් මනුස්සයෙක් විදියට පේන කෙනෙක් උනාට එයා ඇතුළෙ ඉන්න හරිම ක්ලැසික් පිරිමියෙක්. ඉතින් අපි දෙන්නගෙ රුචිකත්වයන් හරිම ඉක්මනට ගැලපුණා. මං හිතන්නෙ පිරිමියෙක්ට ඕන වෙන්නෙ තමන්ගෙ නිදහසට බාධා නොකරන, තමන්ව ඇඩ්මයර් කරන ගෑනියෙක්ව.”

“මතින්ද්‍ර, මන්දස්මිතා කියන කතාව ඇත්තද? ඔයා මොනවද මන්දස්මිතා තුල දැක්කෙ ඇයව බිරිඳ කරගන්න තරම් දුර එන්න? මන්දස්මිතාගෙ මේ කඩා හැලෙන ලස්සනද?” නිවේදිකාව ආයෙත් මතින්ද්‍රව ඇවිස්සුවා.

මතින්ද්‍ර මන්දස්මිතාගෙ අත තදට මිරිකන ගමන් ආයෙ වතාවක් මයික් එකට ළං වුණා. මතින්ද්‍රගෙ අඩි හයයි දෙකේ උස ශරීරෙ මන්දස්මිතාගෙ හුරුබුහුටි, ලස්සනට මේන්ටේන් කරපු, ඔසරියකින් හැඩවෙච්ච වයින් ග්ලාස් ශරීරෙ ළඟ තිබ්බෙ පුදුමාකාර ලස්සනකින්. එයාගෙ ඒ ගැඹුරු කටහඬ ලැප්ටොප් ස්පීකර්ස් හරහා මගේ කාමරේ පුරාම දෝංකාර දුන්නා.

“ලස්සන විතරක් නෙවෙයි, මට ඕන වුණේ මගේ ලෝකෙට ගැලපෙන කෙනෙක්ව. මන්දස්මිතා ළඟ තියෙන ඒ ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එක මට මගේ බිස්නස් වලටත් ලොකු හයියක් වුණා කියන එක ඇත්තක්. ඒ නිසාම ඇත්තටම අපි දෙන්නට කතා කරන්න සෑහෙන ටොපික්ස් හැදුණා. සමහර වෙලාවට අපි හිතනවා අපිට ගැලපෙන්නෙ මේ වගේ කෙනෙක් කියලා, ඒත් ඇත්තටම අපිට ලැබෙන්න ඕන කෙනා මුණගැහුණම තමයි තේරෙන්නෙ කලින් හිටපු තැන්වල අපි නිකන්ම කාලය නාස්ති කරලා කියලා.”

කලින් හිටපු තැන්වල කාලය නාස්ති කරලා කියලා?

අන්න ඒ වචන ටික තමයි මගේ පපුව පසාරු කරගෙන ගියේ. මම මතින්ද්‍ර වෙනුවෙන් නාස්ති කරපු අවුරුදු දෙක, මම එයා වෙනුවෙන් ලියපු ප්‍රොපෝසල්ස්, මම එයාට උයලා දීපු කෑම වේල්… ඒ හැමදේම එයාට දැන් නිකන්ම කාලය නාස්ති කිරීමක් විතරයි කියලා එයාගෙ කටින්ම අහන්න ලැබිච්ච එක වේදනාවක් විදියට නැතුව මම භාරගන්නෝන කොහොමද කියන ප්‍රශ්නෙ මම එදයින් පස්සෙ අවුරුදු දෙක තුනක් යනකම්ම මගෙන්ම අහගත්ත ප්‍රශ්නයක්. මන්දස්මිතා හිනා වුණේ හරියට මට ඇහෙන්න වගේ. එයාගෙ ඒ හිනාව ඉස්සරහා මට දැනුනෙ මම අන්ත අසරණ වෙලා කියලා.

“ඉතින් ඔයාලා දෙන්නගෙ ඉදිරි සැලසුම් මොනවද? ඩුබායි වලම පදිංචි වෙන්නද ප්ලෑන් එක?”

“ඔව්, මගේ බහුතරයක් වැඩ තියෙන්නෙ එහෙනෙ. මන්දස්මිතාත් මගේ බිස්නස් පාර්ට්නර් කෙනෙක් විදියට දැන් මගේ ගාවම ඉන්න නිසා අපිට වැඩ ලේසියි. දෛවය අපිට ඕන පාර හදලා දීලා තියෙන්නෙ,” මතින්ද්‍ර කිව්වෙ මාරම සැහැල්ලුවෙන්.

මම ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක වහලා දැම්මෙ ඒ කතාව තව දුරටත් අහන්න මට හිතට හයියක් තිබුණෙ නැති හන්දා. මුළු කාමරේම මහා නිශ්ශබ්දතාවයක ගිලිලා තිබුණෙ. මන්දස්මිතාගෙ ඒ දිලිසෙන ලස්සන ළඟ වගේම මතින්ද්‍රගෙ ඒ දෛවෝපගත මුණගැසීම ඇතුළෙ මගේ අවංක ආදරේ කුණු කූඩෙට වැටිලා ඉවරයි කියන එක මගේ හිත ඒ වෙද්දි කියමින් වගෙම මගේ මොලේ පිළිඅරගෙන තිබුණා.

තමන් ආදරේ කරපු මිනිහා තමන්ව අත ඇරලා, සරලවම කිව්වොත් තමන්ව රවට්ටලා වෙන තමන්ට කිසිසේත්ම කිසිම විදියකින් ළං වෙන්න බැරි ගෑනියෙක්ව කසාද බැඳගත්තා කිව්වාම, නීත්‍යානුකූලවම එහෙම ගෑනියෙක්ට අයිති උනා කිව්වම ඒක අර කලින් ආදරේ කරපු ගෑනිට දරාගන්න පුලුවන් වේදනාවක් නෙවෙයි.

ඒක හරියට තමන් පණ වගේ රකින හුස්ම ටික කවුරුහරි බලහත්කාරයෙන් උදුරගෙන යනවා වගේ දැනෙන එම්ප්ටිනස් එකක්. වලක්වාගන්න පුළුවන් ඉරිසියාවක් හෝ වෛරයක් නෙවෙයි මගේ හිතේ ඒ වෙලාවේ පැතිරුණේ. ඒක හරියට මළ මිනියක් වගේ සීතල වෙලා ගිය, කිසිම දෙයක් කරකියාගන්න බැරි අසරණකමක්.

පිරිමියෙක් තමන්ව රවට්ටලා, තවත් ගෑනියෙක්ව තෝරගත්තාම දැනෙන ඒ අවමානය මගේ ඇඟ ඇතුළේ දිව්වේ නිකන්ම ලේ විදියට නෙවෙයි, මාරම විසක් විදියට. මතින්ද්‍ර මන්දස්මිතාව අහඹු ප්‍රේමයක් විදියට මුළු රටටම අඳුන්නලා දෙද්දී, මම එයාගේ අහක දාපු මතකයක් විතරක් වෙලා තිබුණා.

මම මගේ ඇඟ දිහා බැලුවා. මේ කෙට්ටු ශරීරෙ මතින්ද්‍රට හුරුයි. මගේ හුස්ම සුවඳ, මගේ කොණ්ඩේ කැරලිවල පැටලිච්ච එයාගේ ඇඟිලි පවා තාම මට මතකයි. ඒත් අද ඒ හැම මතකයක්ම තිබ්බෙ මාව පුච්චන්න පටන් අරගෙන. මට දැනුනෙ නිකන් මං යූස් වෙලා වගේ. මට දැනුනේ මගේ මුළු ජීවිතේම සෙකන්ඩ් හෑන්ඩ් බඩුවක් වෙලා වගේ. මතින්ද්‍ර මාව පාවිච්චි කරලා ඉවර වෙලා, අලුත්ම බ්‍රෑන්ඩ් නිව් පැකේජ් එකක් වගේ මන්දස්මිතාව අරගෙන.

“කාලය නාස්ති කිරීමක්…”

ඒ වචන ටික මගේ පපුව මැද්දට පිහියකින් අනිනවා වගේ මට දැනුණෙ. මම එයා වෙනුවෙන් කැප කරපු ඒ රෑවල්, එයාගේ ප්‍රශ්නවලදී මම අඬපු කඳුළු, එයාගේ සක්සස් එක වෙනුවෙන් මම මහන්සි වෙච්ච හැටි… ඒ හැමදේම එයාට දැන් නිකන්ම නිකන් කාලය නාස්ති කිරීමක් විතරයි.

ගෑනියෙක් තමන්ගේ ආදරේ උතුරලා පිටාර ගලාගෙන යද්දී පිරිමියෙක්ට තමන්ගෙ මුළු ලෝකයම වෙන් කරලා දෙනවා. ඒත් පිරිමියෙක්ට ඒ හැමදේම තමන්ගේ ලෙවල් එකට මැච් වෙන්නේ නැති වුණ ගමන් උන් ඒක අමතක කරන්නේ හරියට පරණ වෙච්ච මේස් කුට්ටමක් විසි කරනවා වගේ.

මම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මගේ මූණ දිහා බැලුවා.

මගේ ඇස් වටේ කළු වෙලා, කඳුළු වේලිලා තිබුණේ.

මම අර මන්දස්මිතා වගේ වයින් ග්ලාස් ශරීරයක් තියෙන, ඉන්ටර්නැෂනල් එක්ස්පෝශර් එකක් තියෙන නිළියක් නෙවෙයි තමයි. ඒත් මම එයාට ආදරේ කළේ ඇඟෙන් නෙවෙයි, මගේ මුළු ආත්මයෙන්ම.

“ඔයා මට එහෙම කරේ කොහොමද මතින්ද්‍ර?” මම හයියෙන් කෑගහලා අඬලා ඇහුවෙ මගෙන්මයි.  ඒත් මගේ සද්දේ කාමරේ බිත්තිවල වැදිලා මගේ ළඟටම ආපහු ආවා.

මතින්ද්‍ර මන්දස්මිතා එක්ක හනිමූන් එක ගෙව්ව ඒ රෑ මට නින්දක් ලැබුණෙම නෑ.

ගෑනියෙක්ට දරාගන්න බැරිම දේ තමන්ගේ මිනිහා තව ගෑනියෙක් එක්ක හිනාවෙන එක නෙවෙයි, ඒ ගෑනි ඉස්සරහා තමන්ව හිස් මනුස්සයෙක් කරලා දාන එක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here