මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 9

0
2048

සති දෙකක් තිස්සේ මම හිටියේ නින්දක් නැතුව.

ඇස් පියාගත්තම පෙනුණේ මන්දස්මිතාගේ ඒ හිනාව. වෙඩින් එක පුරාවටම ඒකි හැම අතටම පෙන්න පෙන්න උන්න ඒකිගේ ලස්සන, ලැජ්ජා නැති හිනාව මගේ හීන අස්සේ පවා හොල්මන් කරන්න ගත්තා. 

එදා වැස්ස දවසක්. මතින්ද්‍රගේ පරණ ඔෆිස් එකේ ඉඳන් අපි දෙන්නා එකම කුඩේ යට වැස්සේ තෙමි තෙමි පාර දිගේ ඇවිදගෙන ආවා. මතින්ද්‍ර එයාගේ දිග අත මගේ කර වටේ දාලා මාව එයාගේ ඇඟට තද කරගත්තේ මාව වැස්සෙන් බේරගන්න.

“ඔයා හරිම ආදරණීය මනුස්සයෙක් මේඝා” කියලා මතින්ද්‍ර කිව්වේ හීන් සැරේ මගේ ජුම්කා එකක් එල්ලලා තිබ්බා කණක් හීන් සැරේ ඉඹින ගමන්. එයා එහෙම කරද්දි මට පුරුද්දට වගේ ඇඟ කිතිකැවිලා ගියා. 

“මොකෝ එකපාර එහෙම කිව්වෙ?” මං ඇහුවෙ ආයෙ ආයෙම එයාගෙ වචනෙන් මට ඒ ආදරේ, ඒ ආදරේට හේතු කාරණා අහන්න, දැනගන්න මට උවමනා වෙච්ච හන්දා.

“ඔයා කොච්චර ආදරේද මට? ඔයා කොච්චර දේවල් මං වෙනුවෙන් කරනවද? දැන් අද උදේ මට මේ පිච් එකට ෆ්‍රෙශ් පිට යන්න කියලා ඊයෙ මහ රෑ වෙනකම් ඔයා මේ පීපීටි එක හැදුවා. ඔයා හිතන්නෙ මට එහෙම ගෑනියෙක් වෙන කොහෙන්වත් හොයාගන්න පුළුවන් වෙයි කියලද?”

“ඔයාට එහෙම නැතුව වෙන විදියෙ ගෑනියෙක් හම්බුනොත්?”

“ඒ කිව්වේ?”

“ඒ කිව්වෙ මම දෙන දේවල්වලට වඩා වෙනස් දේවල් දෙන විදියෙ ගෑනියෙක් හම්බුනොත් ඔයා එයාට ආදරේ වෙනවද?”

“ඔයා හිතනවද ඔයා මේ මං වෙනුවෙන් කරන දේවල්, මං වෙනුවෙන් දෙන දේවල් බැලුවම වෙන ගෑනියෙක්ට දෙන්න දේවල් තව ඉතුරුවෙලා ඇති, මට තව දේවල් ලැබෙන්න හිඩසක් ඇති?” කියලා එදා ඒ මහ වැස්සෙ එයාගෙ වාහනේ අස්සෙ මාව ඉඹගෙන ඉඹගෙන ගියමු මතින්ද්‍රව මාට ආයෙ පාරක් ජීවිතේට ඕන කරලා තිබුණා.

ඒත් ඒ මතින්ද්‍රම, එදා ඒ විදියට මාව ඉඹපු මතින්ද්‍රව අද වෙන රටක හනිමූන් එක ගෙවන ගමන් වෙන ගෑනියෙක්ව ඉඹිනවය කියන එක මට දරාගන්න පූළුවන් වුණේ නෑ. මං උන්නෙ මැරෙන බලාපොරොත්තුවක් අතෙ තියාගෙන. ඒත් රුවිනිට ඕන වෙලා තිබ්බ මට ජීවිතේ අගය ගැන කියලා දෙන්න. රුවින් කොච්චරවත් කෑම බිම උස්සගෙන සති ගානකින් අස්පස් කරලා නැතුව තිබිච්ච මගේ ඇනෙක්ස් එක ඇතුළට ‍රිංගුවෙ මාව ජීවිතේට තවදුරටත් තදට අලවලා තියාගන්න කියලා හොඳාකාරවම දැනගෙන උන්නත් මට ඇත්තටම ජීවත්වෙන්න උවමනාවක් තිබ්බෙ නෑ. උවමනාවකටත් වඩා මට හේතුවක් තිබුණෙ නෑ ජීවත් වෙන්න. මං උන්නෙ මට අහිමිවෙච්ච මතින්ද්‍ර සම්බන්ධ මතක අස්සෙ ආයෙ ආයෙ කිමිදෙන ගමන් මේ ජීවිතේ අතාරින්න හේතු හොයන ගමන්.

“ඔයාව නැතිඋනොත් මං දවසක මැරෙයි” කියලා මතින්ද්‍ර මට කිව්ව අතීතයක් මට තිබ්බා. මට මතකයි ඒ අතීතෙ දවසක මම මතින්ද්‍රට කිව්වා “ආදරයක් ඉවර වෙන්නෝන මරණෙකින් නෙවෙයි ඉන්ද්‍ර ආදරෙන්මයි” කියලා.

“කියන තරං ලේසි නෑ මේඝ වලාකුල ඔය කියන තරං ඔයා වගේ ගෑනියෙක් එක්ක ජීවත්වෙලා එහෙම ගෑනියෙක් නැති දවසක ජීවත්වෙන එක”

“ඇයි එහෙම කියන්නෙ?”

“එහෙම කියන්නෙ ඔයා කියන්නෙ ඕනම පිරිමියෙක් පිස්සුවෙන් වගේ බලාපොරොත්තු වෙන ජාතියේ ගෑනියෙක් නිසා. ඔයා කියන්නෙ ඕනම පිරිමියෙක්ට සනිප, සුවදායක ජීවිතයක් ලබාදෙන්න පුළුවන් ගෑනියෙක් නිසා” මතින්ද්‍ර එදා ඒ කිව්ව වචන එදා මට සන්තෝසයක් ගෙනාව වගේම මට අද ආයෙ ආයෙ ඒව අහන්න ඕන උනා. ඒ නිසාම මං ආයෙ ආයෙ කලේ මතින්ද්‍ර මට එව්ව ඒ අතීත කාලෙ මැසේජ් අස්සෙ කිමිද කිමිද ඒ කතන්දර ආයෙ ආයෙ කියෙව්ව එක.

“දැන් ඔය කියන විදියට මං වගේ ගෑනියෙක් එක්ක උන්න මිනිහෙක්ට ඒ ගෑනි නැතිඋනොත් ඒ මිනිහා සදා තනිකඩ වෙන්නෝනද?”

“එක්කො ඔව් එහෙම නැත්තම් ඔයාට වඩා හොඳ කෙනෙක් හම්බෙන්නෝන”

“ඉතින් ඔයාට පුලුවන් වෙන එකක් නැද්ද මට වඩා වෙන හොඳ කෙනෙක් හොයාගන්න?”

“හොඳම දේ හම්බුනාට පස්සෙ තව මට හොඳ දෙයක් මොකටද මේඝා” කියලා එදා කිව්ව මතින්ද්‍ර එදා මාව හයියෙන් කිස් කරා මට අද වගේ මතක තිබ්බා. ඒ අපි යාලුවෙච්ච මුල් කාලෙ. ඒ කාලෙ මතින්ද්‍රට ඕන තරං කාලෙ තිබ්බා මට ආදරෙන් කතා කරන්න, මාව වටින බව, මාව වැදගත් බව කියන්න, අඟවන්න. ඒත් කාලෙ ගෙවෙද්දි මාස හය හතක් අවුරුද්දක් යද්දි ඕනම සම්බන්ධයක් අස්සෙ වෙනවා වගේ අපේ ඒ වචන, ඒ ආදර වචන අඩුවෙලා යන්න ඇති ඒත් මම කිසිම වෙලාවක ඒ ආදරේ අඩුවක් දැක්කෙ නෑ මොකෝ එතන තුන්වෙනියෙක් ඉඳියෙ නෑ. තුන්වෙනියෙක් එතන ඉඳීවි හෝ එතනට ඒවි කියලා මම බලාපොරොත්තු උනෙත් නෑ. 

මට ඇත්තටම මතින්ද්‍රගෙන් ගිහින් අහන්න ඕන උනා “එදා හොඳම දේ වෙච්ච මට වඩා අද මන්දස්මිතා හොඳ වෙන්න ඔයා එයාගෙන් මොනාද දැක්කෙ? මං නොදුන්න මොනාද මන්දස්මිතා ඔයාට දුන්නෙ?” කියලා. ඒත් එහෙව් ප්‍රශ්නයක් අහන්නවත් මතින්ද්‍ර මාත් එක්ක කතා නොකරන තැනට මට සිද්ද උනේ ඒ ප්‍රශ්නවලට උත්තර මගෙ හිත ඇතුලෙන්ම මගෙ හිත සනසගත්ත හදාගන්න විතරයි.මං මගෙ හිත ඇතුලෙන් හදාගත්ත උත්තර අස්සෙ “මතින්ද්‍ර මෝඩයි. එයා පව්. මන්දස්මිතා එයාව රවට්ටගෙන. කවදහරි දවසක මතින්ද්‍රට එයා කරපු මෝඩකම තේරෙනව. එයා කවදහරි දවසක ආයෙ මං ලඟට වැඳ වැටීගෙන එනවා. එදාට මං ඉන්නෙ මීට වඩා හොඳ තැනක. රස්සාවෙන් උඩට ගිහින් මන්දස්මිතාට වඩා ලස්සන වෙලා. මාර ස්ටේටස් එකක. ඒත් එදාටත් මතින්ද්‍රට පිස්සු හැදෙන ලෙවල් එකකින් ලව් කරන්න මට පුලුවන්. මම තමයි මතින්ද්‍රගේ පණ. මන්දස්මිතා කියන්නේ නිකන්ම නිකන් ප්‍රදර්ශන භාණ්ඩයක් විතරයි.”

මම මගේ අතීතය ඇතුළේ කිමිදෙන එක රුවිනිට පෙනුණේ පිස්සුවක් වගේ. ඒත් මට ඒක හරියට පරණ තුවාලයක් ආයෙ ආයෙත් හූරලා ඒකෙන් ලේ එනකම් බලාගෙන ඉන්නවා වගේ අමුතු සහනයක් ගෙනාවා. ඒක හරියට නිකන් ඇබ්බැහියක් වගේ. රිදෙනවා කියලා දැන දැනම මම ඒ පරණ චැට් අස්සේ ඇඟිලි ගහ ගහ හෑරුවේ, ඒ රිදුමෙන් විතරක් හරි මට මතින්ද්‍රව තවමත් අයිතියි වගේ දැනෙන හන්දා.

“මතින්ද්‍ර මට තාම ආදරෙයි. එයා මගේ මැසේජ් බලන්නේ නැත්තේ එයාට ඒව දැක්කම පාලනය කරගන්න බැරි වෙයි කියලා බයට. එයා ඩුබායි වල ඉඳන් හිනාවෙලා ෆොටෝ ගැහුවට එයා හිත ඇතුළෙන් අඬනවා ඇති…” කියලා මම මටම කියාගත්තා. මාවම සනසගත්තා.

“ඔය ෆෝන් එක පැත්තකින් තියලා දැන්වත් මනුස්සයෙක් වගේ තමන් ගැන හිතපං මේඝා” කියලා රුවිනි කොච්චරවත් කිව්වත් මට මං ගැන හිතන්න උවමනාවක් තිබ්බෙ නෑ. මට ඕන උනේ අපි ගැන හිතන්න. මං කියලා කෙනෙක් ගැන හිතන එක මම නතර කරලා දාලා තිබුණෙ මට මතින්ද්‍රව හම්බෙච්ච මුල් කාලෙමයි. මං පහුගිය අවුරුදු ගාණම හිතුවෙ අපි ගැන මිසක් මම ගැන නෙවෙයි. ඒ නිසා රුවිනි කියනවා වගේ මට ඒක කරන්න ලේසි උනේ නෑ.

ආයෙ වතාවක් අපි ගැන හිත හිත උන්න මාව මං ගැන හිතන ලෙවල් එකකට අරගෙන එනවට වඩා මට කරන්න ලේසි එකම එක දෙයක් ඉතුරු වෙලා තිබුනා.

ඒ තමයි මැරෙන එක.

මං මතින්ද්‍රම මට උපන්දිනේකට අරගෙන දුන්න, බ්ලොක් ප්‍රින්ට් වැටිච්ච සාරිය බාල්කෙට දැම්මෙ එහෙම හිතාගෙන.

මට මතක තිබ්බා ෆෑන් එක හයියෙන් හයියෙන් කැරකෙනවා.

මට ඒ සද්දෙ හයියෙන් ඇහුණා.

ඉන්පස්සේ මගේ කකුල් දෙක වෙව්ලුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here