මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 10

0
1094

මට මතක තිබ්බා ෆෑන් එක හයියෙන් හයියෙන් කැරකෙනවා.

 මට ඒ සද්දේ හයියෙන් ඇහුණා.

 “සූ… සූ…” ගාන ඒ සද්දෙ මගේ කන් අඩි පැලෙන්න වගේ ඇහුණේ, හරියට මරණෙ දැන් ඔන්න අත ලඟයි කියලා මට කියන්න වගේ. මම හිටියේ පුටුව උඩ ඉඳගෙන. මට ඕන වුනා තව ටික වෙලාවක් අරගෙන කල්පනා කරල බලන්න “මම මැරෙන්න ඕනද, මැරෙනවනම් මම මැරෙන්න ඕන කොහොමද?” කියලා. 

මගේ බෙල්ල වටේ මතින්ද්‍ර මට උපන්දිනේකට අරන් දීපු බ්ලොක් ප්‍රින්ට් සාරිය හිරවෙලා හිටියා. 

“මේක ඇන්දාම ඔයාව තව ලස්සනට පෙනේවි” කියලා මතින්ද්‍ර මට කිව්ව විදිය මට ඇත්තටම එවෙලෙත් මතක් වුණා.

“රැජිණියො සාරි අඳිනවය?”

“මගෙ රැජිණි සාරි අඳිනවා. එයා ලස්සනයි සාරි ඇන්දම”

“ආහ් ඇත්තටම මං හිතුවා අර කලින් දවසක කිව්වා වගේ මම ලස්සන ඇඳුම් නැතුව කියලා”

“ලස්සන නෙවෙයි කෙල්ලේ… ලස්සනම ඇඳුම් නැතුව” කියලා මතින්ද්‍ර සාරිය පැත්තකට දාලා මාව එදා එයාගෙ හයිය පපුවට තුරුල් කරගත්ත විත්තිය මට ආයෙ වතාවත් අද වගේ මතක් වුනා.

“එතකොට මේ සාරිය අරන් දුන්නේ?” මම එයාගේ හදවත ගැහෙන සද්දේ අහගෙන ඇහුවා.

“ඇඳුම් නැතුව පෙන්නන්න බෑනෙ මගෙ කෙල්ලගෙ ලස්සන ලෝකෙට. ඒ නිසා පොඩ්ඩක් ලස්සන අඩුවෙන් තමයි ලෝකෙට පෙන්නන්නෙ. මගේ කියලා මම පෙන්නන්න එපාය. මට ඉන්නෙ රැජිනක් වගෙ ලස්සන ගෑනියෙක් කියලා”

“ආහ් දැන් ඒ කියන්නෙ මේ මම ලස්සන නිසාද මාව තියාගෙන ඉන්නෙ?”

“මේ මේ ඔයා තියාගෙන ඉන්නවා වගේ දෙකයි පනහෙ වචනෙ අපේ සම්බන්ධෙ අස්සට ගේන්න එපා හරිද? කවුරුත් කාවවත් තියාගෙන නෑ. මං ඔයාට ආදරෙයි. මං ඔයාට ආදරෙයි. මං රෙස්පෙක්ට් කරනවා, මං ඔයාව තියාගෙන ඉන්නවා කියලා හිතෙනවනං දැන්ම ඔයාට යන්න පුළුවන් හරිද?” කියලා මතින්ද්‍ර එයාගෙ අත් දෙක ටිකක් බුරුල් කරද්දි තමයි මට තේරුණේ එයාට චුට්ටක් තරහා ගිහින් කියලා.

“හරි හරි අම්මෝ එක්කෙනෙක්ට තරහා යන තරං. ඔච්චර තරහා ගන්න එපා මේ වචනයක් වැරදුනා කියලා. ආයෙ එහෙම කියන්නෙ නෑ. මට සමාවෙන්න” කියලා මම කිස් එකක් දුන්නා මට අද වගේ මතකයි. ඒ අපි දෙන්නා පිස්සුවෙන් වගේ එකිනෙකාට ආදරේ කරපු කාලෙ. පස්සෙ පස්සෙ පිස්සුවෙන් වගෙ එයාට ආදරේ කරේ, මේ සම්බන්දෙට ආදරේ කරේ, මේ සම්බන්දෙ පරිස්සම් කරගන්න තීරණේ කරේ මම විතරයි. ඒත් මං හිතුවා ඒක මං ගෑනියෙක් විදියට කරන්න ඕන දෙයක් කියලා. සම්බන්ධයක් පරිස්සම් කරගන්න එක ගෑනියෙක් කරන්න ඕන දෙයක් කියල මං ඒ කාලේ සෑහෙන හිතුවා.

මම ඒ කාලේ විශ්වාස කළේ පිරිමියෙක්ට ඕන කරන්නෙ ජීවිතේට සුවදායක තැනන් ​​හදලා දෙන්න කැමති ගෑනියෙක් කියලා. මතින්ද්‍රට ලෝකෙම එපා වෙලා එද්දී ඇවිත් ඇලවෙන්න පුළුවන් කෙනා, තැන මම වෙන්න ඕනේ කියලා මම මාවම අමතක කරලා එයාට ඉස්සරහට යන්න පාර හැදුවා. සම්බන්ධයක් කියන්නේ දෙන්නෙක් එකතුවෙලා ඇදගෙන යන කරත්තයක් වුණාට, මතින්ද්‍ර කාලයත් එක්ක ඒ කරත්තෙ ඇදගෙන යන එක නතර කරලා ඒකෙ නැගගෙන යද්දි  මම විතරක් ඒක තනි පංගලමේ ඇදගෙන යන්න හැදුවා.

ඕව කල්පනා කර කර සාරි පොට බෙල්ල වටේ පටලවගෙන එක කෙලවරක් බාල්කෙ එල්ලලා පුටුවෙ වාඩිවෙලා උන්න මගේ මගේ කකුල් දෙක වෙව්ලන්න පටන් අරගෙන තිබ්බෙ. හරියට මහා හයියෙන් එන කරන්ට් එකක් ඇඟ දිගේ යනවා වගේ. ප්ලාස්ටික් පුටුව මගේ බරට කිරි කිරි ගාද්දී මට දැනුණේ මුළු ලෝකෙම මගේ කකුල් දෙක යටින් හෙලවෙනවා වගේ. මම ඇස් දෙක තද කරලා පියාගත්තා. පියවුණු ඇස් අස්සේ මට පෙනෙන්නේ ඩුබායි වල මන්දස්මිතාව බදාගෙන හිනාවෙන මතින්ද්‍රව විතරයි.

“අඩුම මං මැරුණමවත් ඇවිත් ඔයා දුක්වෙනවද ඉන්ද්‍ර? මාව නැති කරගත්ත එක ගැන ඔයා ඇවිල්ලා දුක් වෙනවද ඉන්ද්‍ර?.” කියලා මං මහ බොළඳ විදියට හිතුවෙ.

මට ඕන උනේ මම මැරුණා කියලා ආරංචි වුණාම මතින්ද්‍ර පසුතැවෙන හැටි දකින්න. එයා ගන්න හැම හුස්මක් ගාණේම මම මැරුණේ එයා නිසා කියන වරදකාරී හැඟීමෙන් එයාට විඳවන්න ඉඩ දෙන්න. එයාට කවදාවත් මන්දස්මිතා එක්ක සතුටින් ඉන්න ලැබෙන්න හොඳ නැහැ කියලා මම හිතුවා.

ආන්න ඒ සිතුවිල්ල එක්ක තමයි මම පුටුවට නැග්ගෙ. පුටුවට නැග්ග මම පුටුවට ෆුල් බර දීලා පුටුවෙන් එලියට පැන්නා.  පුටුව එක පැත්තකට ඇල වුණා. සාරි පොට මගේ බෙල්ලට තද වෙද්දී මට එකපාරටම දැනුණේ මහා බයක්. මරණය කියන්නේ කතා කරන තරම් ලේසි දෙයක් නෙවෙයි කියලා මට තේරුණේ ඒ තප්පරේදී. මගේ පපුව ඇතුලෙන් හයියෙන් හුස්මක් ඉල්ලලා කෑගැහුවා. මගේ අත් දෙක නිකන්ම උඩට ගිහින් සාරි පොට අල්ලගන්න හැදුවා.

ඒ එක්කම මගේ කකුල් දෙකේ වෙව්ලීම පාලනය කරගන්න බැරිව පුටුව පෙරළුණා. මම එකපාරටම බිම ඇදගෙන වැටුණේ මහා සද්දෙකුත් එක්ක. සාරි පොට බාල්කේ ගැට ගහලා තිබුණ තැනින් ලිස්සලා මම බිමට වැටුණා.

මගේ ඔළුව ඇඳේ කොනක වැදිලා මට තරු පෙනුණා. මම බිම වැටිලා හිටියේ පණ නැති වෙච්ච මල කඳක් වගේ. 

මට හුස්ම ගන්න අමාරුයි.

 බෙල්ල වටේ දම්වැලකින් හිර කරලා වගේ මහා වේදනාවක් දැනුණා. මම බිම පෙරළි පෙරළි හුස්ම ගන්න දඟලද්දී මට දැනුණේ මහා පරාදවෙච්ච ගතියක්. මට මැරෙන්නවත් හයියක්. ඉඩක් නැද්ද කියලා හිතේද්දී මගේ පපුව පැලෙන්න වගේ ආවා. මම බිම වැටිලා මහා හයියෙන් ඉකි ගගහ අඬන්න ගත්තෙ මට ඒ ෆීලින් එක දරාගන්න බැරිවෙච්ච හන්දා

“මේඝා!”

රුවිනිගේ කටහඬ කාමරේ හතර කොනේම දොංකාර දුන්නෙ අන්න ඒ වෙලාවෙ. එයා ඇතුලට ආපු වේගයට දොර බිත්තියේ වැදිලා ආයෙත් ආපස්සට ගියා. බිම පෙරළිලා තිබුණ පුටුවයි, බාල්කේ තවමත් එල්ලි එල්ලි තිබුණ මතින්ද්‍ර මට දුන්න සාරියයි දැක්කම රුවිනි හැමදේම තේරුං ගන්න ඇති. මම දැක්කා එයාගේ අතේ තිබ්බ බෑග් එක බිමට වැටෙනවා

“දෙයියනේ… මේඝා…” කියලා කෑගහගෙන ආව රුවිනි මාව හයියෙන් බදාගත්තා.

එයාගේ අත් දෙක අයිස් වගේ සීතල වෙලා තිබුණා. රුවිනි මාව පපුවට තද කරගෙන මගේ මුලු මූණම අතගාන්න ගත්තා, හරියට මම තාමත් ජීවතුන් අතරද කියලා සැක හැරලා බලනවා වගේ. මම හිටියේ හුස්ම ගන්න බැරුව වගේ හති අරින ගමන්. මගේ බෙල්ලේ සාරි පොට හිරවෙච්ච තැන රතු වෙලා, මහා දැවිල්ලක් දැනෙන්න ගත්තා.

රුවිනි මාව බදාගෙන මහා හයියෙන් අඬන්න ගත්තෙ එයාට ඉවසගන්න බැරුව වගේ. එයාගේ කඳුළු මගේ කම්මුල් දිගේ ගලාගෙන යද්දී මට දැනුණේ මම මොන තරම් මෝඩ වැඩක්ද කරන්න හැදුවේ කියලා. රුවිනි හිමින් ඔළුව උස්සලා බාල්කේ එල්ලෙන සාරිය දිහා බැලුවා. සාරිය දිහා බලද්දී එයාගේ මූණේ තිබ්බෙ මහා බයක්. 

“උඹට පිස්සුද බං? මතින්ද්‍ර වගේ මිනිහෙක් වෙනුවෙන් මොන රෙද්දකටද බං මැරෙන්න හැදුවෙ? ඩුබායි වල වෙන ගෑනියෙක් එක්ක නිදාගන්න මිනිහෙක් වෙනුවෙන් බාල්කෙක එල්ලෙන්න හැදුවේ උඹට පිස්සුද?” රුවිනි මගේ උරහිසෙන් අල්ලලා මාව හොලවන්න ගත්තෙ පුදුමාකාර ආවේගෙකින්. එයා බණිනවා නෙවෙයි, එයාගේ කටහඬේ තිබ්බෙ මහ පුදුමාකාර  වේදනාවක්.

“නෑ රුවිනි, මට පණ තියෙද්දී උහුලගන්න බැරි වුණා…” මම ඉකි ගගහා රුවිනිගේ උකුලේ ඔළුව තියාගත්තෙ එහෙම කියන ගමන්.

ඇත්තටම මට ජීවත්වෙන ගමන් ඒ වේදනාව උහුලගන්න පුලුවන් උනේ නෑ.

මට මතක් උනේ නිලුකා බ්‍රැන්ඩ්න් අක්කා ලිව්ව සිංදුවෙ තිබ්බ වචන.

“මතක ඔක්කොම එකට ගුලි කර හදවතේ  හිර කිරීම

රිදෙන රිදවන කඳුලු හංගන් සිනහ මල් විසි කිරීම

නුඹව අමතක අතර දැම්මයි මටම මම බොරු කිරීම

හැමට වැඩියෙන් අමාරුම දේ අහිමි බව පිලිගැනීම”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here