BE SILENT – 72

0
918

” මං පිච්ච මල අතේ තියාගෙන වඩිවේල් දිහා බලන් හිටියම එච්චර වෙලා මං කරන්නේ බොරු වැඩක් කියලා කියව කියව හිටිය වඩිවේලුත් ගොළු වෙලා වගේ මං දිහා බලන් හිටියා. තවත් හොඳට බලද්දියි මං තේරුම් ගත්තේ ඒ රූම් එකේ පොළොව පවා මොප් කරලා තියනවා කියලා. මං දන්නෑ වඩිවේල් ගැන. හැබැයි ඒ වෙලාවේ මගෙ පපුව ගැහෙන්න ගත්තේ අදීරා මොන එහෙකට මේ රූම් එකක් අස්සට ආවද කියන එකත් එක්කම. කිසිම දෙයක් නොකිය මං දිහා බලන් හිටියට මොකද වඩිවේල්ගේ ඇස් දෙකෙන් එක දිගට කඳුළු බේරි බේරි තිබ්බා. ඒ වෙලාවෙම තමා ගමේ මනුස්සයෙක් පොලීසියෙන් පණිවිඩයක් ආවේ කියාගෙන හොටෙල් එකට දුවන් ආවේ. 

ඉඳිඔයට කිලෝමීටර් හතර පහකට එහා ගමක් තියනවා දෙහිඇල්ල කියලා. ඒ හරියේ ගඟේ පාවෙලා ආපු ගෑනු ළමයෙක්ගේ ඩෙඩ් බොඩි එකක් තියනවා කියලා ආපු ආරංචිය එක්ක මං බොහොම අමාරුවෙන් වඩිවේල් එක්ක එතනට ගියා. එතනට යනකනුත් වඩිවේල් ගියේ අඬ අඬා. කෑගහලා ඇඬුවෙ නැති උනාට මොකද මං ගියෙත් පිච්චි පිච්චි “

විජේවර්ධන යළිත් බර සුසුමක් හෙළුවේය. ඉන්පසුව දෑතින්ම මුහුණ පිස දැමුවේය. 

” අවුරුදු ගාණක් පොලීසියේ රාජකාරි කරලා , මං ඕන තරම් මිනිස්සුන්ගෙ මරණ දැකලා තිබ්බා. ඒත්.. එදා අදීරාගේ ඩෙඩ් බොඩි එක දැකලා වඩිවේල් විලාප තිබ්බ හැටි වගේ කිසි කෙනෙක් විලාප තියනවා මං දැකලා තිබ්බෙ නෑ. ඇඟේ නූල් පටක්වත් නැතුව කිලෝමීටර් ගාණක් මහ වැස්සේ වතුර පාරත් එක්ක පාවෙලා ආපු අදීරාගෙ බොඩි එක දිහා බලන්න පුලුවන් කමක් මටවත් තිබ්බෙ නෑ. පෝස්ට්මෝටම් කරන්න දෙයක් තිබ්බෙ නෑ , බලපු ගමන් ඒ කෙල්ලට කවුරුහරි අපරාධයක් කරලා කියලා හොඳටම තේරුම් ගන්න පුලුවන් කම තිබ්බා . පව්.. පුංචි කෙල්ලව හපයක් කරලා දාලා තිබ්බේ. දෙන්න තිබ්බ වද ඔක්කොම දීලා තිබ්බා. 

අදීරාගෙ බොඩි එක හොස්පිට්ල් එකට ගෙනිච්චට පස්සේ මං ගියෙ කෙලින්ම ඕඅයිසී මහත්තයව මුණ ගැහෙන්න. ගිහිල්ලා කලින් දවසේ හොටෙල් එකේ අදීරා හිටපු එකයි , අද උදේ මට රූම් එකක් ඇතුළේ තිබිලා හම්බ වෙච්ච පිච්ච මලයි ගැන කිව්වම මිනිහා මගෙ ඇඟට ගොඩ උනා. සර්ච් වොරන්ට් එකක් නැතුව එහෙම දෙයක් කළා කියලා. පිච්ච මල සාක්ෂියක් හැටියට ගන්න බෑ කිව්වා. ඒක රූම් එකේ තිබිලා හම්බුණා කියලා මට ඔප්පු කරන්න කිව්වා. මං කියන කිසිම දෙයක් ඒ මිනිහා පිළිගත්තේ නෑ. අන්තිමට උගෙ කකුල් දෙක වැඳ වැටීගෙනත් මං කිව්වේ හොටෙල් එකට ගිහින් ආයේ සර්ච් කරමු කියලා. ඒ පාර මිනිහා මටත් බැන බැන මාත් එක්ක හොටෙල් එකට යන්න ආවා. ඒත් .. අපි එද්දි හොටෙල් එකට එන්න හිටපු වැඩ කරන මිනිස්සු ඇවිල්ලා. මං පිච්ච මල හොයා ගත්තු රූම් එකේ දෙමළ ගෑනු ළමයි දෙන්නෙක් හිටියා. 

විජේවර්ධන කේන්තියෙන් දෑතම මිට මොළවා ගත්තේය. 

” ප්‍රශ්න කරද්දි උන් දෙන්නා කිව්වේ උන් දෙන්නා ආවේ එදා උදේ මං එන්න කලින් කියලා. ඒත්.. මායි, වඩිවේලුයි හොටෙල් එකට යද්දි එක බල්ලෙක්වත් එතන හිටියෙ නෑ. අනිත් එක ඒ රූම් දෙමළ ගෑනු ළමයි කොණ්ඩෙට ගහන පිච්ච මල් වැල් දෙක තුනක්ම තිබ්බා. බින් එකක පරවෙච්ච පිච්ච වැලකුත් තිබ්බා. උන් දෙන්නයි , ඕඅයිසී කාරයයි ඒ වෙලේ මං දිහා බැලුවේ මොන පිස්සෙක්ද මේ කියන්න වගේ. දිගින් දිගටම මේ ගැන  කියද්දි ඕඅයිසී කාරයා  මට කිව්වේ අනවශ්‍ය ප්‍රශ්න දාගන්නැතුව ඉන්නව විජේවර්ධන. ,  තමුන්ගෙ රස්සාව බේර ගන්නවා කියලා. මං කරන්න පුලුවන් උපරිමේ කරා මනූ… එදා හොටෙල් එකේ හිටපු උන් ටිකගෙන් අදීරාට මොකක් හරි කරදරයක් වෙලා කියලා මට නොතේරුණා නෙමෙයි. ඒත් .. මේ කේස් එකට ගෑවෙන්නෙවත් නැතුව රිචඩ් මල්දෙණිය ඒ හැමදේම ගාණට යට ගහලා තිබ්බා. ඕඅයිසීටත් ලොකු කුට්ටියක් ලැබිලා කියලා මං දැනගත්තේ පස්සේ. මං උදේ ඉඳන් ඕඅයිසී කාරයා පස්සේ වැඳ වැඳ පස්සෙන් ගියා හොටෙල් එක සර්ච් කරන්න යං කියලා. ඌ ඒත් මාත් එක්ක යන්න ආවේ නෑ. අන්තිමට අපි හොටෙල් එකට ගියේ බිම් කළුවර වැටීගෙන එද්දි . හොටෙල් එකේ වැඩ කරන්න එන මිනිස්සු එක්කම අර කෙල්ලො දෙන්නටත් ඇවිල්ලා ,  තියන ඔක්කොම එවිඩන්ස් විනාස කරලා දාන්න ඕඅයිසී කාරයම උදේ ඉඳන් හවස් වෙනකන්ම උන්ට ඉඩ හදලා දුන්නා නේද කියලා මට තේරුණේ ගොඩක් කල් ගියාට පස්සේ. 

කොහොමහරි හොටෙල් එකේ ඕපනින්ග් එක තිබ්බා. මැති ඇමතිගොල්ලො පවා ඒ  උත්සවේට ආවා. ඒ ඕපනින්ග් එකට දවසකට කලින් තමා වඩිවේල් ගේ ඇතුළේ එල්ලිලා මැරිලා තිබ්බේ. අදීරාට කරදරයක් උනු බව වගේම ඒක උනේ මල්දෙණියගේ පුතාලගෙ අතින් කියන එකත් මිනිහට දරාගන්න බැරි උනා. අන්තිම මොහොතේ මිනිහට කාත් කවුරුවත් නැති උනා.  අඩුම දරුවා වෙනුවෙන් කතා කරන්නවත් කවුරුවත් නැති උනා. වඩිවේල්ගේ එල්ලිලා තිබ්බ මිනිය දැකලා මට පුදුම හිතුණේ නෑ. ඇහේ මූණේ තියන් හදපු එකම දරුවා. ලස්සනට කසාදයක් බන්ඳලා යවන්න හිටපු දරුවා. වහලෙක් වගේ ඔලුව උඩ තියාගෙන හැම දේම කරපු හොටෙල් එක. අන්තිමට මිනිහට කාත් කවුරුවත් නැති උනා. වඩිවේල්ගේ තැන කවුරු හිටියත් කර ගන්නේ ඒක. මං හිටියත් එච්චරයි මනූ… “

” එතකොට අදීරා බඳින්න හිටියේ කාවද ?” 

බොහෝ වේලාවකට පසු මනුහස් පැනයක් ඇසුවේය. 

” ඉඳිඔයේ බැංකුවේ වැඩ කරපු තරුණ හාදයෙක්ව. මිනිහා බැංකුවේ වැඩ වලට නිතර හොටෙල් එකට ආවා ගියා . මට මතක විදිහට නම අදීශ . හරි හොඳ කොල්ලා. දෙමළ නෙමෙයි සිංහල. උපන් ගම හෝමාගම කියලා කිව්වේ. මං වගේම කෑම ගන්න වඩිවේල්ලගේ කඩේට එන්න යන්න ගිහින් තමා අදීරාව දැකලා තිබ්බේ . කෙලින්ම ඇවිත් වඩිවේල්ගෙන්ම ඒ ගැන අහලා තිබ්බා. වඩිවේල් හරි සන්තෝසෙන් හිටියේ බැංකු මහත්තයා දුව ගැන අහපු එක නිසා. ඒ කටයුත්ත තීන්දු කරගන්න තමයි හොටෙල් එකේ ඕපන් එක ඉවර වෙනකන් හිටියේ. “

” එතකොට ඔය අදීරාගේ මරණෙන් පස්සේ ඔය අදීශ මොකද කළේ ?” 

විජේවර්ධන පිළිතුරු දීමට පෙර හිස දෙපසට සැලුවේය. 

” මං කිව්වේ මනූ… , මං ඒ වෙලාවේ හිටියේ අදීරාගේ මරණෙට වග කියන්න ඕනේ මයන් මල්දෙණිය ඇතුළු එදා හොටෙල් එකේ හිටපු උන් ටික කියලා කාටවත් ඔප්පු කරගන්න බැරි ලොකු ප්‍රශ්නෙක. මට ඒ වෙලාවේ අදීශව මතක් උනේ නෑ. මට අදීශව මතක් උනේ වඩිවේල්ගේ මරණෙනුත් පස්සේ. අදීරාගේ මරණෙන් පස්සේ අදීශව දැක්කෙ නෑ කියලා මතක් වෙච්ච නිසා මං අදීශව හොයන් එයා නැවතිලා හිටපු තැනට ගියා. මිනිහා ඊට දවසකට කලින් එහෙන් ගිහින් තිබ්බා. ඊට පස්සේ මටත් ඉඳිඔයේ ඉන්න හිතක් තිබ්බෙම නෑ. පස්සෙ තමයි මං ට්‍රාන්සර් එකක් ඉල්ලුවේ. එහෙම ඉල්ලලා තමයි මං මන්නාරං ගියේ. හිටියටත් වඩා දුශ්කර පැත්‍තක් නිසා මට ට්‍රාන්සර් එක ඉක්මනටම ලැබුණා. මට ඕනෙ උනේ කොහෙට හරි යන්න. ඉඳිඔයේ ඉන්නැතුව කොහේහරි තූත්තුකුඩියකට යන්නයි මට ඕනෙ උනේ. “

මනුහස් කිසිත් නොපවසා දැඩි කල්පනාවකට වැටී සිටියේය. 

” අපිට ඔය කියන අදීශව හොයාගන්න බැරි වෙයිද අප්පච්චි ?” 

” හේතුව…?” 

මනුහස්ගේ පැනයට පිළිතුරක් ලෙස විජේවර්ධනද පෙරළා ප්‍රශ්නයක් ඇසුවේය .

” මුළු රටේම මිනිස්සු මැරිලා මැරිලා කියන මයන් මල්දෙණිය තාම ජීවතුන් අතර ඉන්නවා අප්පච්චි “

විජේවර්ධනගේ දෑස විසල් වී ගියේය. ඔහු එක දිගට මනුහස් දෙස බලා සිටියේය. 

” මොනවද මනූ කියන්නේ ? එතකොට අර මිනිහා  මැරිලා , හම්බෙච්ච බොඩි එක ? ඔයා මොනවද මේ කියන්නේ ?” 

” අප්පච්චි මතකද එදා වඩිවේල් එක්ක හොටෙල් එකට යද්දි එතන හිටපු කොල්ලො කෙල්ලො ටික. ? හොටෙල් එකට මයන් මල්දෙණිය එක්ක තව අට දෙනෙක් ඇවිත් තියනවා. එතනින් දෙන්නෙක් අදීරාට ඔය කරදරේ වෙන්න කලින් හොටෙල් එකෙන් ගිහින් තියනවා. ඒ ගිය අයගෙන් එක්කෙනෙක් නදීල් පළිහවඩන . “

” ඔය කියන්නේ අර මිනිස්ටර් ?” 

විජේවර්ධන මනුහස්ගේ වචන තව දුරටත් අදහාගත නොහැකි මට්ටමක සිටියේය .

” හ්ම්ම්.. මිනිහා තමයි. මිනිහාට කෙල්ලෙක් ඉඳලා තියනවා. කෙල්ලත් එක්ක මිනිහා හොටෙල් එකේ එකට ඉන්න එක සේනක පළිහවඩනට ආරංචි වෙලා මිනිහා ඇවිල්ලා නදීල්ව හොටෙල් එකෙන් අරන් යනවා. නදීල් එක්ක හිටපු අයේෂාටත් එවේලේම ආපහු කොළඹ යන්න වෙනවා. අන්න ඒ අයේෂාව කොළඹ ඇරලවන්න තමා මයන් වඩිවේල්ව එදා ඉඳිඔයෙන් පිටත් කරලා යවලා තිබ්බේ. මයන් කියන්නේ සෑහෙන්න ගේම් කාරයෙක් අප්පච්චි. අපි හිතනවට වඩා ඌ ස්මාර්ට් විදිහට හැමදේම ප්ලෑන් කරලා තිබ්බා. අනික ඌ දැනගෙනත් හිටියා අදීරා වගේ කෙල්ලෙක්‍ට කරදරයක් උනාම උන් කරන්නේ ගිහිල්ලා දිවි නහ ගන්න එක කියලා. අනික පොලීසියකට ගියත් සල්ලි ටිකක් විසි කරාම ඕනම දෙයක් යට ගහන්න පුලුවන් කියලත් මිනිහා දැනගෙන හිටියා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here