BE SILENT – 71

0
894

” වඩිවේල්ගේ පවුලේ තව කවුද හිටියේ ?” 

” වඩිවේලුයි , දුවයි , වඩිවේල්ගේ අම්මයි විතරයි. වඩිවේල්ගේ නෝනා දුව පොඩි කාලෙම නැති වෙලා තිබුණා. නිතර නිතර කඩේට ගිය නිසා වඩිවේල් මාත් එක්ක හරි හිතවත් උනා. මිනිහා මුලින් මුලින් නං මාත් එක්ක කතා කරන්න තියා මං දිහා බලන්නත් හරි බයෙන් හිටියේ. මං පොලිස්කාරයෙක්නේ.  අපේ සිංහල උන් කොහොමත් ඒ වගේ අසරණ මිනිස්සුන්ට ලොකු කං දානවා. පොලීසියේ ඉන්න උන් ඔක්කොටම හපන්. ඒ මිනිස්සු ඉතිං හරි බයයි. ඒ උනාට කාලයක් යද්දි වඩිවේල් මාත් එක්ක හරි හිතවත් උනා. මිනිහට කොච්චර සිංහල පුලුවන් උනත් මගෙ  නම කියව ගන්න බෑ. අනිත් මිනිස්සු විජේවර්ධන මහත්තයා කිව්වට වඩිවේල්ට ඒක කියවගන්නම බැරි උනා. ඉතිං මිනිහා මට කිව්වේ උස රාලාමි මාත්තයා කියලා. “

විජේවර්ධන එසේ පවසා තනිවම සිනහසුණේය. 

” වඩිවේල් මැරුණේ කොහොමද අප්පච්චි  ?” 

මනුහස්ගේ පැනය හමුවේ විජේවර්ධනගේ මුහුණේ ඇදී තිබූ සිනහව සැණෙකින් අතුරුදහන් වී ගියේය. 

” එල්ලිලා මැරිලා “

ඔහුගේ හඬ පෙරට වඩා පහත්ය. 

” දුව  නැතිවෙලා දවස් දෙක තුනකට පස්සේ ?” 

විජේවර්ධන පිළිතුරක් නොදීම මනුහස් දෙස බලා සිටියේය. 

” ඔයා දැන් මොකටද වඩිවේල් ගැන හාරාවුස්සන්නේ ? “

මනුහස් විසල් සුසුමක් අත හැර දෑතම මේසය මත තබා එයට බර වූයේය.

” අදීරාගෙයි , වඩිවේල්ගෙයි කේස් එක මං ආයේ උඩට ගන්නවා. “

” ඒ මොකටද ? දැන් අර මල්දෙණිය කාරයත් මැරිලා ඉවරනේ. ?” 

විජේවර්ධනගේ මුහුණේ සහ වචන වල තිබුණේ කලබලකාරී බවකි. පියාගේ වචන ඇසුණු සැණින් මනුහස් දෑස සිහින් කර ඔහු දෙස බැලුවේය. 

” අප්පච්චි දැනන් හිටියා අදීරා මැරුණේ මයන් නිසා කියලා ? ඒ කාලේ අප්පච්චි ඉඳිඔයේ වැඩ කළා නං ඉන්වෙස්ටිගේශන් බාර ගන්න ඇත්තෙත් අප්පච්චිලමනේ ? ඇයි ඒ කේස් එක වහලා දැම්මේ ? ඇයි අදීරාට සාධාරණයක් කළේ නැත්‍තේ ? ඒ නිසා නේද වඩිවේල් මැරුණේ ? “

විජේවර්ධන කෝපයෙන් තමා දෙස බලා ප්‍රශ්න නඟන පුත්‍රයා දෙස නිහඬවම බලා සිටියේය. 

” මනූ… , මං කලිනුත් කිව්වා වඩිවේල් කියන්නේ හරි අහිංසක මිනිහෙක්. ඒ මනුස්සයා විතරක් නෙමෙයි අර පොඩි කෙල්ලත්. ඔයා දන්නෑ අපිට අදීරාගෙ බොඩි එක හම්බෙච්ච විදිහ. ඒක මහ කාලකණ්නි මතකයක් මනූ… මං ඒ කෙල්ලට සාධාරණයක් කරන්න නොකරපු දෙයක් නෑ. ඒත් මට කිසි දෙයක් කරගන්න උන්නෑ. හිතාමතා හැමදේම වහලා දැම්මා නෙමෙයි . මල්දෙණියලගේ සල්ලි වලට හැමදේම යට උනා. කොච්චර ට්‍රයි කළත් මට ඒ දරුවාටවත්, වඩිවේල්ටවත් සාධාරණයක් කරන්න උනේ නෑ කියන වැරදි හැඟීමෙන් බේරෙන්න ඕන නිසයි මං අවුරුදු ගාණක් තිස්සේ මෙහෙම දානයක් හරි දෙන්නේ. “

විජේවර්ධනගේ කටහඬ සම්පූර්ණයෙන්ම බිඳී ගොස් තිබුණේය. මෙතෙක් පැවති කෝපය මඳක් යටපත් වී ගිය මනුහස් නිහඬවම ඉවත බලා සිටියේය. 

” මට මතක විදිහට නයින් මවුන්ටන්ස් එක ඕපන් කරන්න සතියක් වගේ තිබ්බේ. හොටෙල් එකේ වැඩට එන මිනිස්සුවත් එතකොට ඇවිත් තිබ්බෙ නෑ. එතකනුත් වැඩ බැලුවේ වඩිවේල්. අදීරාට යෝජනාවක් ඇවිත් තිබ්බා. වඩිවේල්ගේ ඔලුවේ තිබ්බේ හොටෙල් එකේ ඕපනින්ග් එකෙන් පස්සේ ඒ පැත්තේ මව්දෙමව්පියන්ට එන්න කියලා කටයුත්ත තීන්දු කරන්න. මිනිහා ඒ දවස් ටිකේ හිටියේ පුදුම සතුටකින්. එක දවසක් දවස පුරාම පුදුම විදිහට වැස්සා. ඉඳිඔය පැත්තට වහිද්දි මහ දවල්ටත් පුදුම අන්ධකාරයක් තියෙන්නේ. එදා උදේ පටන් ගත්තු වැස්ස යන්තන් ඉවර උනේ පහුවදා උදේ. එදා හවස ස්ටේශන් එකට ගිය පාර පහුවදත් එක දිගට මට ඩියුටි තිබ්බා. අපේ ස්ටේශන් එක හරි පොඩි ස්ටේශන් එකක්. හැමදේටම හිටියේ ඔෆිසර්ස්ලා පස් දෙනයි . කිසිම පහසුකමක් තිබ්බෙත් නෑ. වැස්සයි , සීතලයි එක්ක කම්මැලි කමේ මායි , තව එක රාලහාමි කෙනෙකුයි විතරයි ස්ටේශන් එකටම හිටියේ. ඉර එළිය වැටෙන්න හිතලවත් නෑ වඩිවේල් අඬාගෙන පොලීසියට එනකොට. “

විජේවර්ධන හැඟීමකින් තොරවම ඉදිරිය බලා සිටියේය. 

” කලින් දවසෙම ඉඳිඔයේ හිටියේ නෑ , කොළඹ ගියා , එන්න රෑ උනා , ඇවිල්ලා ගෙදර ගියේ නෑ , හිටියේ හොටෙල් එකේ. පාන්දර ගෙදර යද්දි අදීරා ගෙදර නෑ , හෙව්ව හෙව්වා කිසි තැනක හිටියෙ නෑ කිව්වම වඩිවේල් වගේම මාත් බය උනා මනූ.. අර හිටිය අනිත් රාලහාමිව ස්ටේශන් එකේ තියලා මං වඩිවේල් එක්ක අදීරාව හොයන්න පිටත් උනා. කලින් දවස පුරාම වැහැලා වැහැලා පාරක හරියට ඇවිදගෙන යන්නවත් පුලුවන් කමක් තිබ්බෙ නෑ. හැමතැනම ගස් කඩන් වැටිලා , පාරවල් හේදිලා ගිහිල්ලා. වඩිවේල්ගේ අම්මා කියපු විදිහට කලින් දවසේ උදේ හොටෙල් එකට යනවා කියලා ගිය අදීරා හවස ගෙදර ඇවිත් නෑ. වඩිවේලුයි , අදීරායි ඕන තරම් හොටෙල් එකේ රෑට නවතින දවස් තිබිලා තියන නිසා වඩිවේල්ගේ අම්මා අදීරා නාපු එක ගැන සැක හිතලත් නෑ. අනික කලින් දවසේ තිබ්බේ එසේ මෙසේ වැස්සක් නෙමෙයි. වඩිවේල්ගේ අම්මා හිතලා තියෙන්නේ වැස්ස නිසා අප්පායි , දුවයි දෙන්නම හොටෙල් එකේ නවතින්න ඇති කියලා “

විජේවර්ධන නැවතත් බර සුසුමක් හෙළුවේය. 

” අදීරා අන්තිමට ගියේ හොටෙල් එකට නිසා ඊලඟට මං ගියේ හොටෙල් එකට. මං යද්දිත් හොටෙල් එකේ නැවතිලා හිටපු කෙල්ලො කොල්ලො ටිකක් ආපහු යන්න වාහනේටත් නඟිනවා. වඩිවේල් කිව්ව විදිහට එතන හොටෙල් එකේ අයිතිකාරයගේ පුතා මයන් මල්දෙණියත් හිටියා. මං ගිහිල්ලා කතා කළාම හැමෝම කිව්වේ අදීරා කලින් දවසේ හවස තුනට විතර දවල්ට කෑම හදලා ඉවර වෙලා යන්න ගියා කියලා. එතන හිටපු ගෑනු ළමයි දෙන්නෙක් කිව්වා වැස්සෙ යන්නෙපා කියලා කොච්චර කිව්වත් ඇහුවෙ නෑ යන්න ගියා කියලා. ඊට පස්සේ රෑ කෑම හදන්න හොටෙල් එකට ඇවිත් හිටිය රංගරාජ්ගෙන් ප්‍රශ්න කළාම මිනිහා කිව්වේ මිනිහා ආවේ හවස පහට විතර. ඒ එද්දිත් අදීරා පේන්න හිටියේ නෑ කියලා . හොටෙල් එකේ උයන පිහන වැඩ වලට එන මිනිස්සු කිචන් එකටම කෙලින්ම ඇවිල්ලා ඒ වැඩ ඉවර කරලා ආයේ යනවා ඇරෙන්න ඇතුලෙ රූම්ස් වලට එන්නෑ කියලා වඩිවේල්ම තමයි මට කිව්වේ. එහෙම කිව්වම මට නිකමට සැක හිතුණා රංගරාජ් කිචන් එකේ ඉද්දිත් අදීරා හොටෙල් එක ඇතුළෙ හිටියද දන්නෑ කියලා ?” 

මනුහස් ඉතා ඕනෑකමින් පියාගේ කතාවට සවන් දී සිටියේය. 

” හොටෙල් එක ඇතුළට , රූම්ස් ඇතුළට යන්න පුලුවන් කම තිබිලා තිබ්බේ වඩිවේල්ට විතරයි. ඒ නිසා මං වඩිවේල්ට කිව්වා හැම රූම් එකක්ම සර්ච් කරන්න ඕනේ කියලා. ඒත් මිනිහා ඒකට කැමති උනේ නෑ. මිනිහා කිව්වෙම අදීරා හොටෙල් එකෙන් පිටවෙලා යන වෙලාවේ මොකක් හරි කරදරයක් වෙන්නැති කියලා. හොටෙල් එකේ හිටපු උන් ටික එක හෙලාම අදීරා කලින් දවසේ හැන්දෑවේ තුනට විතර ගියා  කියලා කිව්ව නිසා වඩිවේලුත් කිව්වේ ඒකමයි. ඒත්.. මොකද්ද මන්දා හිතේ සැකයක් නිසාම මට අඩුම කට්ටිය නැවතිලා හිටපු රූම්ස් ටිකවත් සර්ච් කරන්න ඕනෙමයි කියන අදහස ආවා. හැබැයි මං ලඟ එවෙලේ සර්ච් වොරන්ට් එකක් තිබ්බෙ නෑ. අනවසරයෙන් හොටෙල් එක ඇතුළට ඇතුල් වෙන්න පුලුවන් කමක් තිබ්බෙත් නෑ. ඒ නිසා මං අර කෙල්ලො කොල්ලො ටික පිටත් වෙලා යනකන්ම බලන් හිටියා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් වඩිවේල්ව කැමති කර ගත්තේ අර සෙට් එක හිටපු රූම්ස් ටික හරි ඇරලා බලන්න. මිනිහා ඒකටත් කැමති උනේම නෑ. ඌට අරුන්ගෙ වචන දේව වචන වගේ උනා . 

අනේ.. දැන් ඇති මාත්තයා . අපි බොරුවට මේ කාලේ කන්නේ. අපි යන් යන්න. කෙල්ල ඇත්තේ එළියේ . ඔය වගේ කතා කිය කිය  වඩිවේල් මගෙ පස්සෙන් කෙඳිරි ගගා එද්දිත් මං රූම්ස් තුන හතරක්ම හොඳට සර්ච් කළා. ඒ එක රූම් එකක්වත් අපිළිවෙළට තිබ්බෙ නෑ. හැමදේම හොඳටම ක්ලියර්. ආපහු පාරක් රංගරාජ්ව ගෙන්නලා ඇහුවම මිනිහා කිව්වේ මිනිහා ඒ පැත්තටවත් ආවේ නෑ කියලා. එතනම මට තවත් සැක හිතුණා. හැම රූම් එකක්ම කිසිම කෙනෙක් හිටපු නැති තරමටම ක්ලීන් කරලා තිබ්බා. අඩුම ඇඳ රෙද්දක් වත් පොඩි වෙලා තිබ්බෙ නෑ. ඒ ඔක්කොම අස් පස් කරලා තිබ්බා. හොටෙල් රූම් එකක හිටපු මනුස්සයෙක් සාමාන්‍යයෙන්  තමන්ගේ රූම් එක එහෙන් මෙහෙන් අස් පස් කරලා ක්ලීන් කරල ගියත් ඒ තරම් පිළිවෙළට ඔක්කොම කරලා යන්නෑ. අනික හොටෙල් එකේ අයිතිකාරයා නම් රූම් එකේ හිටියේ ඌ කීයටවත් ඒක කරන්නෑ. 

කොහොමහරි පස්වෙනි රූම් එකත් සර්ච් කරලා ආයේ එන්න හදද්දි තමා මං දැක්කේ දොර පිටි පස්සේ වැටිලා තිබ්බ පරවෙච්ච පිච්ච මලක්. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here