චායා රැය පහන් කලේ නිදි නැතිවය. සස්මිත පිළිබඳව ඇයට දැනෙන්නේ මෙයයැයි කියා ගත නොහැකි අවිනිශ්චිත තාවයකි. අයියා පැවසූ ආකාරයෙන් ඔහුට යම් කාන්තාවක හා සම්බන්ධව ගැටලුවක් තිබුනා විය හැකිද ? එහෙත් එවැන්නක් පිළිබඳව තමාට එක්වතාවක්වත් නොදැනුනේ කෙලෙසදැයි ඕ යල් කල්පනා කලාය. යටි හිත ඊට ප්‍රතිවිරුද්ධ කතන්දරද දිගින් දිගටම පවසමින් තිබුනේය.
ඕ විහඟි සොයා ගියා වුවද, චරක ඒ වෙද්දීත් උන්නේ විහඟි හා නින්දේ නිසා චායාට තවත් හුඩෙහ්කලා වන්නට සිදු විය. සස්මිතගේ කාමරයට ගොස් එහි හිඳ එන්නට අවැසි වුවත්, ඉන් පවතින තත්වය වඩා දරුණු විය හැකි බව සිතා ඕ යලි තම කාමරයටම වැදුණාය.
චරකට නිවසින් පිටතට යන්නට අවැසි වුවද, එය කරගන්නට තරම් සිත ශක්තිමත් වූයෙ නැත. තමා දේශපාලනය තුල කෙතරම් සාර්තක ගමනක් විත් තිබුනද, පෞද්ගලික ජීවිතයේ තමා දැඩි පරාජිතයෙකු බව ඔහුට දැනෙයි. විහඟි තමාට ප්‍රේම කරන්නා වුවද, තමා ඇයට ප්‍රේම කරන්නට ඉඩ දී සිටිනව මිසෙක, ඇය වෙනුවෙන් කල ප්‍රේමයක් නැතැයි ඔහුට සිතෙයි. වගකීමෙන් මිදෙන්නට නොහැකි නිසා ඕ හා විවාපත් වීම හැරුණු කොට අන් යමක් තිබුනේ නැතිදැයි චරක තමාගෙන්ම විමසා ගත්තේය.
” ඇයි මං මේ කෙල්ලට හැමතිස්සේම මෙහෙම රිද්දන්නේ?.. මොන දේ වුනත් ඇයි ඒකට ඒ කෙල්ල වැරදිකාරයා කරන්නේ?.. ඔව් .. සස්මිත ගැන මට නොකියා උන්න එක ගැටලුව්ක.. ඒක ප්‍රශ්නයක් තමයි .. ඒත් මං ඒ වෙනුවෙන් විහඟිට කීව දේවල් කොච්චරක් සාධාරණයිද ?.. මට තේරෙන්නේ නෑ මං ඇයි මෙහෙම පිස්සෙක් වගේ හැසිරෙන්නේ කියලා… “
චරක තමා සමගම වාද කරගත්තේය. ඒ අතරවාරයේ ඇණැවුම් කර ගෙන්වා ගත් පියාගේ ඖෂධ බඳුනටම දමා යලි සාලයට ගෙන ගොස් තැබුවේය. විහඟි උන්නේ සුව නින්දේය.
චරක සස්මිත හා රඳවා උන් අයෙකුට ඇමතුමක් ගත්තේය.
” සර් ….”
” මොකද තත්වේ ?..”
” අරූට ටිකක් අමාරුයි වගේ සර් … මං බැලුවේ පොඩ්ඩක් ඩොක්ටර් කෙනෙක් ගෙන්නගන්න වෙයිද කියලා.. ලයියා එක්ක බෑනේ සර් ..පිස්සා වගේ නේ දෙයක් කරන්න පටන් ගත්තම.. අරූත් සර් ගහන්න ගහන්න කෙලින් වෙනවා වගෙ පෙන්නනකොට ලයියාගේ ලිමිට් නැතුව යනවා…”
” ලයියට කියපං මං එනකල් එලියට වෙලා ඉන්න කියලා.. ඒ පැත්ත පළාතේ යන්නෙපා කියහං … දන්න ඩොකෙක් ඉන්නවාද ගෙන්නගන්න ?..”
” ඉන්නවා සර් … ශේප් පොරක් .. මං සර්ට කතා කරලම ගෙන්නගන්න හිටියේ..”
” මට අද උදේ වරුවේ එන්න බැරි වෙයි.. හදිසියක් වුනොත් කෝල් කරහං… ඩොක්ටර් ගෙන්නලා පෙන්නගනින්.. ඇහැ ගහගෙන හිටපං ..”
” හරි සර් …”
චරක ඇමතුම විසන්ධි කර, නියෝජ්‍ය අමාත්‍යවරයා ඇමතුවේය. කිරීමට නියමිතව තිබූ රාජකරි කිහිපයක් පිළිබඳව ඔහු හා සමඟ සාකච්ඡා කලේය. ඇමතුම පැයක් ඉක්මවා ඇදුනේඅ. ඔහු යළි කාමරයට එන විට විහඟි කාමරයේ උන්නේ නැත. ඔහු නාන කාමරයට එබුනේය. ඕ එහිද නැත. ඉන් පසුව කාමරයෙන් පිටතට විත් චායාගේ කාමරය දෙසට එබුණේය. චායා උන්නෙ විහඟිගේ උකුල මත හිස තබාගෙන ඉකි බිඳිමින් යමක් පවසමිනි.
” උඹ මොකක්ම හරි මගෙන් හංගනවා කියලා මට තේරෙනවා… නෑ කියලා කොච්චරක් කිව්වත් මට තේරෙනවා.. මට ඇත්ත කියපං විහඟි .. ආයේ මේ වෙලාවේ නොකියා , හැම දෙයක්ම සිද්ද වුනාට පස්සේ මේ දේවල් ලිහන්න අරගත්තොත් කිසි දෙයක් වැඩක් නැති වෙයි .. අයියා මොනවා හැරි දැනගෙනද /?.. මට කියන්නකෝ … අනේ මට කියන්නකෝ .. අයියා සස්මිතට මොකක් හරි කරදරයක් කරලාද විහඟි ? .. එහෙම නොවෙන්න මගෙ කොල්ලා එහෙම යන්නේ නෑ.. මාව දාලා එක දවසක්වත් දුර යන්නේ නෑ කියලා පොරොන්දු වුනේ පෙරේදා එයා… එහෙව් එයා කොහොමද මෙහෙම ?… මට ඇහැ පියවෙන්නේ නැහැ විහඟි .. මාව පිච්චෙනවා.. සස්මිත නැති කාලේ යකඩ වගේ උන්න මම දැන් දියවෙලා ඉවරයි .. මං අවුරුදු දොලහක් තනියෙන් උහුලගෙන උන්නා විහඟි … දරාගන්නම බැරි තැන්වල කාටවත් නොපෙනෙන්න උණු වෙවී දියවුනා මම .. අලුවෙවී පිච්චුණා.. ආයෙම මම හිනාවෙවී උහුලගන්න පුරුදු වුනා… ඔයා දන්නවද සස්මිත ආවම, එයා මාව බදාගත්තම මම හිතුවා ඒ ඔක්කොම ඉවරයි කියලා.. ආයේ මට පිච්චි පිච්චි අඬන්න ඕනි වෙන එකක්නෑ කියලා.. ඒත් ..ඉවරයක් නෑනේ . මේ රිදෙන එක ඉවරයක් නෑනේ…”
” නාඬා ඉන්නකෝ චායා … සස්මිත ඔයාට කිව්වානේ එයා කරදරේක කියලා.. අයියත් කීවානේ එයා කලබලෙන් නිවාඩු ඉල්ලන් ගියා කියලා.. අපි බලමු පොඩ්ඩක් .. සමහරවිට සස්මිත ආයේ කතා කරාවි …”
” මං අයියව දන්නවා විහඟි .. එයා ඔය ඉන්නේ මහ ගින්නක් හංගගෙන ..මට බය ඒ ගින්නෙන් පිච්චෙන්නේ මයේ කොල්ලාද කියලා…”
චරක නොසෙල්වී අසා උන්නේය. චායා සහ විහඟි දෙදෙනාම සස්මිතව එතරමින් විශ්වාස කිරීම චරකට පෙනෙන්නේ දෙදෙනාම එකිනෙකා මුලාවේ දමා ගැනීමක් ලෙසය. සස්මිත පිළිබඳව ඔවුන් දැන සිටින කතා ව්‍යාජ බව චරක දනී. ඔහු බන්ධනාගාරගතව උන් බව චායාද නොදන්නා බවට සැක නැත.
” පෙරේදා මට සස්මිත එයා එකපාරටම අතුරුදන් වුනේ ඇයිද කියලා කිව්වා විහඟි …”
චායා එලෙස පවසද්දී චරක දෑස් පියාගෙන සිත එකඟ කරගන්නට උත්සාහ කලේය. සියල්ල අසා ධාරණය කර ගත යුතුය.
” මොකක් ?..”
” හ්ම්ම්..”
” මොකක්ද වෙලා තියෙන්නේ?…”
” එයාගේ ෆැමිලි ප්‍රොබ්ලම් එකක් .. එතනදි එයා අතින් මර්ඩර් එකක් වෙලා.. ඒකට එයාව ඇරෙස්ට් කරලා, එයා වැරදි වෙලා සාක්කි තිබ්බේවා එක්ක… අම්මලා පවා එයාව අතෑරලා .. අර අපේ විජේසිරි අංකලුයි එයාගෙ පවුලේ අයයි තමා බලාගෙන තියෙන්නේ මෙයාව .. දුක් විඳලා නොසෑහෙන්නම විහඟි … හිරේදි කතා පස්සේ කියන්නම් කිව්වා… “
” මර්ඩර් එකකට ?..”
විහඟි ට ඉබේම ඇසුණි.
” හ්ම්ම්… ඒත්, ඒක එයා චේතනාවෙන්ම කරා වෙන්න බෑ විහඟි … කොහොම වුනත් එයා දඬුවම් වින්දා නිරපරාදේ මහ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට ..අපි දෙන්නම තවම විඳවන්නේ මේ ඒ මිනිස්සු නිසා.. අන්තිමේදි උන් ඒ කොල්ලව තනි කරලත් දාලා….”
චරකගේ හිස තුල යළි වියවුල මැවුනේය. මිතුරා පැවසු පරිදි සස්මිත බන්ධනාගාරගතව ඇත්තේ මත් ද්‍රව්‍ය ගැටලුවකටය. එහෙත් සස්මිත චායාට පවසා ඇත්තේ වෙනම කතාවකි.
චරක එතැනින් ඉවතට ගියේ චායා අමතමින් එන අම්මාගේ හඬ ඇසුණි නිසාය.


