විහඟිට චායා හා සමඟින් සිටින්නට අවැසි ඉඩ ලබාදී චරක පිළියන්දල බලා පිටව ගියේය. ඒ වනවිට සස්මිතව පරික්ෂා කර වෛද්‍යවරයා පිටත්ව ගොස් තිබුණි.
” සේලයින් එකක් ගහලා තියෙන්නේ සර්.. කොල්ලාට ටිකක් ෆිට් මදි හින්දාමද කොහෙද, රිජෙක්ට් නොකර ඔහේ ඉන්නවා… මම ඇඳුම් ගලවලා ඇඟත් තෙමලා සරමක් ඇඟට දැම්මා සර් .. කොල්ලා ගේ ඇඟේ කැලැල් පාරවල් එහෙමත් තියෙනවා සර් …. ඇතුලෙදි වුන ඒවා වෙන්නත් පුලුවන් …”
චරක හිස සැලුවේය. ඉන් පසුව ඔහු සස්මිත රඳවාඋන් කාමරය වෙත ගියේය.
චරක දුටු වහාම ඔහු නොඉවසිලිමත් ලෙසින් නැගී සිටින්නට උත්සාහ කලේය. සස්මිතගේ පාදයක් ඇඳ වියලට අල්ලා බැඳ දමා තිබුණි. එනිසාම ඔහුට නැගිට ගන්නට වාරු ගැනීම පහසු වූයේ නැත.
” අනේ සර්.. චායාට එක කෝල් එකක් අරන් දෙන්න සර් … “
සස්මිත වෙහෙස පිරුණු හඬින් ඉල්ලා සිටියේය. ඔහු උන් ධෛර්‍යය සිඳී ඇති බව චරක වටහා ගත්තේය. ලයියාගේ පහරදීම් හමුවේ ඔහුගේ ගත සේම සිතද දුර්වල වීම වටහා ගත නොහැක්කක් නොවේය.
” උඹ කතා කරන්න ලෑස්ති වුනාට පස්සේ, මම උඹේ ඉල්ලීම් ඉටු කරන එක ගැන හිතන්නම් ..”
” සර් .. චායා මේ කිසි දේකට වගකියන්න ඕනි කෙනෙක් නෙවෙයි සර් .. ඒ කෙල්ලට කිසි දෙයක් හිතාගන්න බැරිව ඇත්තේ සර් … මේකෙන් චායව පැත්තකට කරන්න සර් ..”
” උඹ චායා ගැන කරදර වෙන බව මට පෙන්නන්න නම් හදන්නේ ඒක කිසි තේරුමක් නැති වැඩක් ඕයි …..”
” මට කිසි දෙයක් පෙන්නන්න ඕනි නෑ සර් .. මට චායා විඳවන්නයි ඕනි නැත්තේ …”
” අනේ පලයං බල්ලෝ යන්න … උඹට ඒකි විඳවන්න ඕනි නැත්නම්, උඹ උන්න විදියටම ඒකිගේ ජීවිතෙන් ඈත් වෙලා ඉන්නයි තිබ්බේ .. එහෙම ඉන්නයි තිබ්බේ…. තෝ කඩාගෙන බිඳගෙන ඒකිගේ ජීවිතේට නේන්නයි තිබ්බේ…”
සස්මිත හිස දෙපසට සලමින් එය එසේ නොවන බව අඟවන්නට උත්සාහ කලේය. චරක දිගින් දිගටම, සස්මිතට බැණ වැදුනේය. එහෙත් සස්මිත ඔහුගේ තීරණයෙන් මිදුනේම නැත.
චරක අමාත්‍යාංශයේ කටයුතු සඳහා පිටව ගියේද තනිවමය. එහිදී තාවකාලික රියැදුරෙකු ලෙස අයෙකු ගෙන්වා ගන්නටද චරක කටයුතු කලේය.
විහඟි කෙතරම් අස්වැසූවද, චායා සන්සුන් වූයේම නැත. එදින නියමිතව තිබූ රූගත කිරීමක් වෙනුවෙන් ඕ සවස පිටව යද්දී විහඟිද ඇය සමග යන්නට උත්සාහ කලාය. එහෙත් චායා ඕ නවතා පිටව ගියාය. විහඟි චායා පිටව ගිය බව චරකට කීවේ අන් කල හැකි දෙයක් නොවූ නිසාය.
චායාගේ මව චායාගේ යම් වෙනසක් හැඳින ඒ බව විහඟිගෙන් විමසුවාය. විහඟි කීවේ එවැන්නක්නොමැතිබවත්, ඇය අධික වැඩ කටයුතු නිසා යම් වෙහෙසක සිටිනවා විය හැකි බවත් ය. මව එය පිළිගන්නා බව පෙන්වූවද, යළි අනිවාර්‍යෙන්ම ඒ පිළිබඳව විමසන බව විහඟි වටහාගත්තාය.
චරක ගෙවුණු රාත්‍රියේ කුමක් පැවසුවා වුවද, විහඟිගේ සිතෙහි වූ තුවාල සුවපත්ව තිබුනේ නැත. යලි යලි චරක තමා හා ඔහු අතර වන පරතරය පිළිබඳව සිහිපත් කරවමින් තමා රිදවනු ඇති බව ඇයට යටි සිතෙන් නැඟෙන පණිවිඩ වලින් මිදෙන්නට ඇයට හැකි වූයේ නැත.
” දරුවාටයි ඔයාටයි මාව වටින්නේ නෑ කියලාදැනෙන පලමු වතාවෙම මම ජීවිතේ අතාරින්නම් අයියේ..”
ඕ එලෙසින් සිතුවාය.
” මොනවද දෙය්යනේ මම මේ හිතන්නේ… මම එහෙම තීරනයක් ගත්තොත් අයියා කොහොමද ඉන් පස්සේ ජීවත් වෙන්නේ…. එයාට පිස්සු හැදෙයි … හිටපු ගමන් කොහොම මොක කියෙව්වත්, අයියාට මාව නැතිව බැහැ … ඒක තමයි මම පිළිගන්න ඕනි ඇත්ත .. මම අයියා වෙනුවෙන් මේ හැමදේම දරාගන්නවා… ආයේ මම මෝඩ තීරණ ගැන හිතන්නේවත් නැහැ …”
විහඟි අවසානයේ යටි හිත සමඟින් අරගල කිරීම ඇරඹුවාය. ඇය තමා ඉක්මවා කිසිවක් සිතන්නට යටි හිතටද ඉඩ නොදෙමියි සිතුවේ කුස පිරිමදිමින් ය.
සස්මිත යහනේ වැතිරී ඔහේ බලා උන්නේ දෙවන සේලයින් බෝතලය නිසා ගතට යම් සවියක් දැනෙද්දීය. ඔවුන් තමා මරා නොදමනු ඇතැයි සස්මිතට යන්තමින් වැටහෙමින් තිබුණේය. චරක මුල් හමුවෙ තිබු ආවේගය දැන් පෙන්වන්නේ නැත. ඔහුට අවැසිව ඇත්තේ තමා කවුරුන්දැයි වන පටලැවීම ලෙහා ගැනීම බව සස්මිතට වැටහේ. එහෙත්, සත්‍ය දැනගැනීම අවසන අවුල්ව යන්නේ ඔහුගේම ජීවිතය බව විජේසිරි පැවසූ අයුරු සස්මිතට අමතක වන්නේ නැත. එය අමතක කල හැකිවා වන්නේද නැත. විජේසිරි තම ජීවිතය වෙනුවෙන් සිදු කල ආයෝජනයන් සඳහා වන වගවීම කිසිලෙසකින්වත් අත් නොහැරීමට සස්මිත සවිමත්ව උන්නේය. තමා චායා හා එක්ව ජීවත් වීමේ ප්‍රහර්ෂය කෙතරම් වුවද, එකී ප්‍රහර්ෂය වෙනුවෙන්, චරකගේ ජීවිතය කලු කුහරයක් වෙත ඇද දැමීමට හැකියාව නොමැති බව ඔහු යළි යළි සිතුවේය.
” මේ හැමදේම ඔයාට පැහැදිලි කරන්න උන්න එකම මිනිහා විජේසිරි අංකල් සර් .දැන් අංකල් ඒ රහස් අරගෙන යන්නම ගිහින් . අඩුම තරමේ විජේසිරි අංකල්ගේ ගෙදර අයවත් මේ කිසිම දෙයක් දන්නේ නෑ… ආයේ ඒ දේවල් දන්න එකම එක්කෙනා මම … මැරෙන එක අන්තිම විකල්පේ වුනත් මේ කිසිම දෙයක් ගලපගන්න සර්ට ඉඩ ලැබෙන්නේ නැහැ ….”
සස්මිත දෑස් පියාගත්තේය. අක්කාගේ සිනහව දෑස් ඉදිරියේ මැවී නැතිවුනේය. අම්මා සහ තාත්තා අක්කා හා සමගින් සිනාසෙමින් සිටිනු මවාගත්තේය. අක්කාගේ සැමියා සහ කුඩා දරුවා මවාගත්තේ යම් ආයාසයක් එක්කය.
ඒත් සමගම චායාගේ හැඬුම්බර වත ඇස් ඉදිරියේ මැවුනේය. සස්මිතගේ හිත පටලැවී ගියේය. කුමක් කල යුතුදැයි එක්වරම නොවැටහෙන තත්පර කිහිපයක් උදා වූයේය. ඔහු වේදනාවෙන් දෑස් තදින් පියාගත්තේය.
චායා නිවසට පැමිණියේ රාත්‍රී අටට පමණය. ඕ කෙලින්ම පැමිණියේ චරක හමුවන්නටය. විහඟි උන්නේ ද චරක සමගින් කාමරයේය.
” කෝ සස්මිත ?..”
චායා උස් හඬින් චරකගෙන් විමසුවේ, ඔහු අසලින්ම හිට ගනිමිනි. චරක එයයට දිය යුතු පිළිතුර කුමක්දැයි නොවැටහෙන ලෙසින් ඇය සහ විහඟි දෙස විමතිය දවටා ගත් බැල්මක් හෙලුවේය.
” චායා .. මේ මොකද ?.. අපි යං .. රූම් එකට ගිහින් කතා කරමු..”
විහඟි අයියා සහ නංගී එක්වරම පැටලී යන්නට ඇති ඉඩ වලක්වන්නට උත්සාහ කරමින් කීවාය. එහෙත්, චායාගෙන් ඇයට ලැබුනේ රැවුමකි.
” මට ආයෙ කිසි දෙයක් හංගන්න දෙයක් නෑ .. මං දන්නවා සස්මිත ඉන්නේ තමුසෙ ලඟ කියලා … මට එයාව ගෙනල්ලා දුන්නේ නැත්නම් එහෙම මම යනවා පොලිසි …”
චායා යක්ෂණියක ලෙසින් කෑ ගැසුවාය. විහඟි දෙදෙනා දෙස බැලුවේ භීතියෙන් ය


