BE SILENT – 75

0
931

” බෝලේ…!” 

” මං එළියේ මනූ…” 

” මොකද කරන්නේ ?” 

” අනේ.. පේර ගෙඩියක් තියනවා කඩලා දෙන්නකෝ..”

මනුහස් මුව සිනහවකින් සරසා ගෙනම ගෙමිදුලට බැස්සේය. ඉන් පසුව අත මායිමේ තිබූ පේර ගෙඩිය කඩා නොගෙනම ඈ පසුපසින් ගොස් ඈව අල්ලා ඉහලට එසවූයේය. 

“අනේ.. මනූ… වැටෙයි.. මනූ….!” 

නෙත්‍යා මර හඬ තැලුවාය. 

” කෑ නොගහා ඕක කඩා ගන්නවකෝ වදේ.. පේර ගෙඩි දෙකක් උස නැති උනාට මේකිගේ බර. “

නෙත්‍යා වහා පේර ගෙඩිය කඩා ගත් අතර මනුහස් ඈ සෙමින් බිම තැබුවේය. 

” මං බර නෑ හරිද ? බොරු කියන්න එන්න එපා. “

පේර ගෙඩිය අතින් පිස දමමින් නෙත්‍යා ඔහුට එරෙව්වාය. 

” OMG is this really you? So heavy.. I was wondering…why not in the  bed though.. “

ඔහු පහත් වී ඇගේ සවනට මිමිණුවේය .

” චී… පුදුම අසහනකාරයෙක් මනූ ඔයා නං…”

මුවට ආ සිනහව තද කර ගත් ඔහු විසල් කර ගත් දෑසින් ඈ දෙස බැලුවේය. 

” මොකද්ද කිව්වේ ..?” 

ඉදින් ඈ ගෙමිදුල පුරා ඔහුගෙන් බේරීමට දිව්වාය . වහා ඈ පසුපස දිව ගොස් ඈ අල්ලා ගත් ඔහු ඇගේ බඳ වටෙන් දෑත යවා ඈව කිති කැව්වේය .

” අනේ.. එපා මනූ.. එපා…!” 

සිනහව නවතා ගත නොහැකිව ඈ කෑ ගැසූ අතර ඔහුද ඈ අනුවම සිනහ නඟමින් සිටියේය. 

” ආයේ කියනවද මට එහෙම ආ..? කියනවද ආයේ ?”

” ඉතිං ඇත්තනේ මං කිව්වේ ” 

ඈ නැවතත් ඔහුගෙන් බේරීමට ගෙමිදුල වටා දිව්වාය. 

ගෙමිදුලේ ශබ්දය කුමක්ද කියා බැලීමට හිස පෙවූ වසුන්දරාගේ දෑස මනුහස්ගේත් , නෙත්‍යාගේත් සිනහව දැක කඳුළින් පිරී ගියේය. 

” මොකෝ වසූ… ?” 

” මේ ගෙදර මනූගේ හිනාව මෙච්චර සද්දෙට ඇහෙන්නේ අවුරුදු ගාණකින්.. “

ඈ එසේ පවසා දෙනෙතින් ගලන කඳුළු පිස දැමුවාය. 

” මං කොල්ලට ඊයෙත් කිව්වා පුලුවන් ඉක්මනට දෙන්නත් එක්ක කසාද බඳින්න ලෑස්ති වෙන්න කියලා. තවත් මේවා කල් දාලා තේරුමක් නෑ වසූ.. “

” හ්ම්ම්… ඒක හොඳයි.. , “

විජේවර්ධන හිමින් සීරුවේ මිදුලට බැස්සේය . මවත් පියාත් දුටු නෙත්‍යා අසීරුවෙන් මනුහස්ගෙන් මිදුණාය. 

” එනකන් ඉන්නවකෝ , අල්ල ගන්නං මං..”

මනුහස් පැවසූ දෙයට මුව ඇද කළ නෙත්‍යා වහා වසුන්දරාගේ පසුපසට දිව ගියාය. 

” අවුරුදු ගාණකට පස්සේ ඉලන්දාරියා ගේ පිරෙන්න හිනාවෙනවා ඇහුණේ ..”

මනුහස් නැවතත් වසුන්දරා දෙස බලා සිනා සී ඈට පිටුපසින් සිටිනා නෙත්‍යා දෙස බලා දිව ඇද කළේය. 

” යමුද අප්පච්චි ?” 

” යං.. “

විජේවර්ධන එසේ පවසමින් මෝටර් රථය දෙසට අඩි තැබුවේය. 

” ඉක්මණට එන්න..! ” 

වසුන්දරාගේ පසුපස සිට ඇගේ උරහිසට බරවූ නෙත්‍යා මනුහස් දෙස බලා පැවසුවාය. 

” බෑ…” 

ඔහු එසේ පවසමින්  වසුන්දරාගේ පසුපසින් ඇගේ උරහිසේ එල්ලී සිටි රුවැත්තියගේ නාසය මිරිකුවේය. ඈ වහා උවන බෙරි කර ගත්තාය. 

” ගිහින් එන්නං අම්මා.. “

එසේ පැවසූ මනුහස් වසුන්දරා වෙත ළංව ඇගේ මුහුණ සිප ගත් අතර ඉන් පසුව නෙත්‍යා ලඟට ඇද ඇගේ කොපුලක් තද කර සිප ගත්තේය. මවත් , පියාත් දෙදෙනාම ඉදිරියේ ඔහු කිසි තැකීමක්  නොකර ඈව තදින් සිප ගත් බැවින් ඇගේ උවන ලැජ්ජාවෙන් රත් පැහැ වී ගියේය. 

ගෙමිදුලින් පිටත් වූ මෝටර් රථය කොන්ක්‍රීට් මාර්ගය දිගෙහි ගොස් නොපෙනී යන තුරුම බලා සිටි වසුන්දරාත් , නෙත්‍යාත් යළි ආපසු නිවස දෙසට හැරුණහ. 

*******************************************

”  මං හිතන් හිටියේ ඉඳිඔයට ගිහිල්ලා විස්තර ටිකක් හොයාගන්න , හැබැයි මුකුත්ම නොදැන ගිහින් එහෙම විස්තර හොයන එකත් නිකන් ඇස් දෙක පියාගෙන ඇවිදිනවා වගේ වැඩක් . අප්පච්චි මේ කේස් එක ගැන මෙච්චර දෙයක් දැනගෙන ඉන්න ඇති කියලා මං හිතුවේ නෑ. “

” මේ දේවල් පිටි පස්සේ ඉන්නේ අදීශ කියලා මනූට හොඳටම ශුවර්ද ?”

” අනිවාර්‍යෙන් අප්පච්චි , වඩිවේල්ටයි , අදීරාටයි වෙච්ච දේට මේ තරම් පළි ගන්න නං ඒ මරණ දෙක ඒ මනුස්සයට සෑහෙන්න ප්‍රෙශර් එකක් කරලා තියෙන්න ඕනේ. අනික අදීශ ඇරෙන්න වඩිවේල්ටයි , අදීරටයි ලඟ වෙන කිසිම කෙනෙක් නෑනේ. ? “

විජේවර්ධන විසල් සුසුමක් අත හැරියේය. 

” කාලකණ්නි .., ලස්සනට තිබ්බ ජීවිත කීයක් නං විනාස වුණාද ? වඩිවේල්ගේ තත්වෙත් එක්ක මට අදීශ ගැන ඇත්තටම හොයන්න බැරි උනා. මිනිහත් එක පාරට අතුරුදහන් වෙලා ගියේ හිතාගන්න බැරි විදිහට. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියනවා මනූ. අදීශ මේ දේවල් කරන්නේ ඇත්තටම අදීරාගේ මරණෙට පළි ගන්නනං , ඇයි එයා මෙච්චර කල් බලන් හිටියේ . ඔය සිද්ධිය වෙලත් දැන් අවුරුදු විස්සකටත් වැඩියිනේ. ? “

” අදීශ මොන වගේ තත්වෙක හිටියද කියලා අපි දන්නෑනේ අප්පච්චි . ආදරේ කියන්නේ මාර දෙයක්. පිරිමි අපි අනිත් හැම තැනකදිම කොච්චර හයිය උනත් ඔතනදි හිතාගන්න බැරි විදිහට ෆේල් වෙනවා. මගෙ ජීවිතේ අවුරුදු දොළහක්ම නැති වෙලා ගියේ තේරෙන්නෙවත් නැතුව. අම්මා මං හිනාවෙනවා දැක්කේ අවුරුදු ගාණකින් කිව්වට , ඇත්තටම මට , මං මීට කලින් හිනා උනාද කියලවත් මතක නෑ. “

 ” ඒක නිසා තමා කිව්වේ ඔය හිටියා ඇති , දැන් කසාද බඳින්න කියලා. ඔයා පිරිමියෙක් උනාට ඒ දරුවා ගෑනු ළමයෙක්නේ බං. අර මිනිහා ගැන අපි දන්නවා උනාට රටේ ලෝකේ මිනිස්සු ඒවා දන්නෑ. ඒ දරුවට කාගෙන්වත් කතාවක් අහන්න ඉඩ තියන්න ඕනේ නෑනේ. උඹට ඒ දරුවාගේ අම්මා අප්පච්චි එක්ක කතා කරන්න ඕනේ නං කියහන් මං ගිහින් කතා කරන්නං. අපි මොන විදිහට ඒ මිනිස්සු දිහා බැලුවත් , ඒ මිනිස්සුන්ට තාම අර දරුවාව අයිතියි. කවුරු නැතත් ඒ අම්මායි , අප්පච්චියිනේ. ?” 

විජේවර්ධන එසේ පවසා අවසන් වනවාත් සමඟම මනුහස්ගේ දුරකතනය නද දුන්නේය .

” කියනකොටම කතා කරනවා. “

මනුහස් එසේ පවසා දුරකතනයට පිළිතුරු බැන්ඳේය. 

” කියන්න සුදු නෝනා..” 

” මනූ.. , ඔයාලා තාම යන ගමන්ද ?” 

” හ්ම්ම්… දැන් ලඟයි ..”

” මනූ .. , පන්සල් ගිහින් ඇවිල්ලා මං ජාන්වී එක්ක පොඩ්ඩක් එළියට ගිහින් එන්නද ?” 

ඔහුගේ මුවඟේ සිහින් සිනා රැල්ලක් නැඟුණේය. 

” ගිහින් එන්නද අහන්න ඕනේ නෑ. මං ඔයාගේ සිකියුරිටි ගාඩ් නෙමෙයිනේ පර්මිශන් ගන්න ?  ගිහින් එන්නං කිව්වම ඇති. ගිහින් එන්න , පරිස්සමට හොඳේ..”

” හා.. බුදු සරණයි..!” 

” හ්ම්ම්..” 

මනුහස් ඇමතුම විසන්ධි කොට පසෙකින් තැබුවේය. 

” ගෙදර අය එක්ක කතා කරන්න තියා මතක් කරන්නවත් නෙත්‍යා කැමති නෑ අප්පච්චි. එයයි , මායි ගැන නං කොහොමත් කතා කරන්න අකමැති වෙයි. “

” හ්ම්ම්… එහෙනං අපිම මේක කරමු. හැබැයි ඊට පස්සේ හරි මට ඒ මව්දෙමව්පියෝ එක්ක කතා කරන්න ඕනේ. ඔයාලා වැඩිහිටියෝ උනාට තාම අපේ දරුවොනේ. “

මනුහස් කිසිවක් නොපවසා මඳ සිනහවක් නැඟුවේය. 

” අදීශ ගැන බැංකුවෙන් විස්තර හොයාගන්න පුලුවන් කම තිබිලත් අපි ඇයි මේ විදිහට මේක හොයන්න ට්‍රයි කරන්නේ මනූ.. ඔයාට බෑන්ක් එකෙන් ලේසියෙන්ම විස්තර හොයාගන්න තිබ්බනේ. බැරි නම් කෝට් ඕඩර් එකක් හරි අරන් ?” 

” එහෙම උනොත් මේක එළියට යන්න තියන වැඩියි අප්පච්චි. මේ දේවල් කරන්නේ අදීශ උනාට ඒ මනුස්සයව එළියට අරගන්න මට උවමනාවක් නෑ. අදීශ ගැන දැනන් හිටියේ වඩිවේලුයි , අප්පච්චියි විතරයි. වෙන කවුරුහරි එයාට අදීරා එක්ක තිබ්බ එෆෙයාර් එක ගැන දැනගෙන හිටියානං මයනුයි , නදීලුයි දැනටමත් අදීශව ඉවරයක් කරලා. වඩිවේල්ගෙන් පස්සේ අදීශ ගැන දැනන් හිටියේ අප්පච්චි විතරක් නිසයි අප්පච්චි කියනකන්ම මං උනත් ඒ මනුස්සයා ගැන නොදැන හිටියේ. මං මේක රාජකාරි මට්ටමෙන් කරන්න ගියා නං මේක ඉක්මන්ට මයන්ට කෙසේ වෙතත් නදීල්ට ආරංචි වෙනවා. දෙන්නා මට වැඩේ භාර දුන්නට මං කරන්නේ මොනවද කියලා සෝදිසියෙන් ඇත්තේ. අදීශ ගැන හෙව්වොත් උන් අදීශ ඒ දවස්වල මෙහෙ වැඩ කරපු හැටි නිකන්ම හොයා ගනී. “

” ඊට පස්සේ අදීශගෙන් මයන්ලට කරදරයක් වෙන්න කලින් මයන්ලා අදීශව ඉවරයක් කරයි. ඊට පස්සේ ආයෙම මොකක් හරි ඩ්‍රාමා එකක් දාලා මයන්ට පුලුවන් ආපහු එළියට එන්න ?” 

” ඌට ආයේ එළි බහින්න මං ඉඩ තියන්නෑ. “

” එහෙනං ඇයි උඹ අදීශ ගැන හොයන්නේ ? අදීශට ඕනේ මයන්ව ඉවරයක් කරන්නං ඒක ඌ කර ගත්තාවේ. ඒක උඹට අදාල නෑනේ.? ” 

මනුහස් සිනහවක් නැඟුවා මිස විජේවර්ධන හට යළි පිළිතුරු බැඳීමට නොගියේය. 

” පොඩ්ඩක් හිටහන් . එතකොට උඹ මේ කරන්න හදන්නේ මොකක්ද කියපන් මට ? අදීශව හොයලා ඌට මයන්ව අල්ලලා දෙන්නද ? නැත්තන් අදීශව ඉවරයක් කරන්නද ?  නැත්‍තන් උන් දෙන්නවම ?  මනූ.. මේක පොඩි දෙයක් නෙමෙයි. අවුරුදු ගාණකට කලින් වඩිවේල්ගෙයි , අදීරාගෙයි ජීවිත දෙකම නැති උනා. දැන් ඒ හින්දම තවත් ජීවිත පහක් නැති වෙලා ඉවරයි. මොන තරම් අපරාධකාරයෙක් උනත් ඌට දඬුවම් දෙන්න පුලුවන් රටේ නීතියට විතරයි. සාමාන්‍ය මිනිහෙක්ට එහෙම කරන්න බෑ. උඹට මං රටේ නීතිය ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ ?” 

විජේවර්ධන ප්‍රශ්නකාරී දෑසකින් මනුහස් දෙස බැලුවේය. 

” රටේ නීතිය ඔච්චර පිරිසිදුයි නං , අදීරාටයි , වඩිවේල්ටයි ඔච්චර දෙයක් වෙයිද අප්පච්චි ? එතකොට අර අනුරාධපුරේදි මැරුණු ගෑනු ළමයා ? ඒ ළමයට එහෙම වෙයිද ? අපි පොලිස්කාරයෝ උනාට අපේ ඇස් ඉස්සරහම අපරාධකාරයෝ සාක්ශි නැතුව නිදහස් වෙලා ගිහින් නැද්ද ? අහිංසක , අසරණ මනුස්සයෙක් තමන්ට වෙන අසාධාරණේකට සාධාරණයක් ඉල්ලගෙන උසාවියකට ගියාම ඒ මනුස්සයගෙ පිටටම වැරදි පැටවෙනවා අපි දැකලා නැද්ද ? එහෙම බැලුවම මේවා මහ කාලකණ්නි රටවල් අප්පච්චි…”

විජේවර්ධන නිහඬවම මෝටර් රථය පදවන පුත්‍රයා දෙස බලා සිටියේය . මෙතරම් කාලයක් ඔහුගෙන් වරදක් නොවේ යැයි අප්‍රමාණ විශ්වාසයකින් සිටියද  දැන් දැන් පුත්‍රයාගෙන් පිටවන වචන සහ ඔහුගේ ක්‍රියාවන් දැක විජේවර්ධන යටිසිතින් බෙහෙවින් කලබලයට පත් වී සිටියේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here