BE SILENT – 74

0
742

නෙත්‍යා ආපසු හැරී කරාමය හැර දෑත සෝදන්නට වූවාය. මඳ වේලාවක් ඈ දෙස බලා සිටි මනුහස් නිහඬවම යළි හැරී යන්නට ගියේය. ඔහුගේ අමුත්තක් වැටහුණු නෙත්‍යා වහා දෑත පිසදා ගෙන නිදන කාමරයට යන විටත් ඔහු ඇඳ විට්ටමට හිස තබා විසල් කල්පනාවකය. යහන මත හිඳ ගත් නෙත්‍යා ඔහුගේ පපුවට බර වූවාය. 

” තරහද ?” 

ඔහු නැත ලෙස හිස සෙලෙව්වේය .

” ඔයා ප්‍රශ්නෙකද මනූ.. ?” 

ඔහු එයටද නැත ලෙස හිස දෙපසට සෙලවුවේය . 

” එහෙනං , ඔහොම ඉන්නේ ඇයි ? “

ඊටද පිළිතුරක් නුදුන් ඔහු මඳක් ඉදිරියට විත් ඇගේ අතින් අල්ලා ගත්තේය.

” දෙයක් අහන්න , ඇත්ත කියනවද ?” 

ඔහුගේ පැනය ඇගේ මුහුණ නොබලාය . නෙත්‍යාට ඔහුගේ අමුත්ත දැඩි ලෙස දැනුණාය. 

” අහන්න මනූ… , මොකද්ද ?” 

” මං ඔයාව අල්ලද්දි , ඔයාව ඉඹිද්දි ඔයාට රිදෙනවද බෝලේ ? ආ..?” 

මනුහස් ඔහුගේ මුහුණ ඇගේ කොපුලක් අසලින්ම තබා ගෙන ඇසුවේය.

” නෑ.. මනූ එහෙම නෑ..”

” ඒ දවස්වල ඔයාව හයියෙන් ඇල්ලුවත් රතු වෙනවා. තරහා ගස්සන්න විහිළුවක් කළත් මූණ රතු වෙනවා. එක පාරක් ඔයාගේ අතින් අල්ලගෙන ග්‍රවුන්ඩ් එකේ දුවද්දි  මං හයියෙන් අල්ලන් හිටපු නිසා මගෙ ඇඟිලි පාරවල් ඔයාගේ අතේ මාර්ක් කළා වගේ තිබ්බ මතකද ? “

” හ්ම්ම්.. මතකයි .. ඊට පස්සේ ඔයා හරි පරිස්සමට මාව ඇල්ලුවේ. “

නෙත්‍යා සෙමින් ඔහුගේ කොපුලක් පිරි මැද්දේය . ඔහු ඉන්නේ කුමක් හෝ හිත් පීඩාවක බව ඈට දැනුණාය. 

” ඔයාට මට කියන්න බැරි දෙයක් නෑ සුදු නෝනා.   සමහර වෙලාවට මටත් මාව කන්ට්‍රෝල් නැති වෙන වෙලාවල් තියනවා.  ඒත් . .. ගොඩක් වෙලාවට මං හරිම පරිස්සමට ඔයාව අල්ලන්නේ. නිකන් හරි මාත් එක්ක ඉද්දි , මං අල්ලද්දි ඔයාට රිදුනොත් මට ඒක කියන්න ඕනේ හරිද ?” 

නෙත්‍යා මඳක් නිහඬව උන්නාය .

” මනූ…! ” 

” හ්ම්ම්…” 

” ඔයාට මොනාහරි මගෙන් අහන්න තියනවද ?” 

මනුහස්ගේ හදවත වේගයෙන් දැවුණේය. යටි සිතේ පවතින ප්‍රශ්න සියල්ල ඇයගෙන් ඇසිය නොහැකිය. ඈ විඳි වේදනාවන් ඇගෙන් ඇසිය නොහැකිය . මතක් කරමින් සතුටු විය හැකි කාරණා මිස දුක් විය යුතු කාරණා යළි යළි හාරාවුස්සාලිය නොහැක. 

” නෑ.. බෝලේ.. මුකුත් නෑ.. “

එසේ පැවසූ ඔහු ඈ තදින් වැළඳ ගත්තේය . ඔහු සිටින්නේ කුමක් හෝ ගැටළුවක බව ඇයට විශ්වාසය. ඔහුට දැනගැනීමට අවශ්‍ය මයන් හා තමාගේ අතර ගෙවී ගිය සබඳතාවයන් ගැනද යන්න පිළිබඳව ඇගේ සිතට පැනයක් නැඟුණාය. පුදුම විය යුතු නැත . මීට පෙර ඔහුම විසඳූ අනුරාධපුර නිවාඩු නිකේතනයේ ගැහැනු දැරිවිය මිය ගොස් සිටියේ මයන්ගේ දරාගත නොහැකි වද හිංසා නිසාය . මයන්ගේත්  , තමාගේත් විවාහ දිවිය පිළිබඳව ඔහුට පැනයක් නැඟීම පුදුම සහගත නොවන්නේය. නෙත්‍යා විසල් සුසුමක් හෙළා හිස පහතට කර ගත්තාය . 

” මනූ… , ඔයා දැන් මගෙ අත් වලින් ඕන තරම් හයියෙන් අල්ලන්න . මට දැන් ඒවා රිදෙන්නෑ  , දැන් ඉස්සර වගේ මගෙ අත පය රතු වෙන්නෙත් නෑ.  මොන දේ උනත් , මගෙ අම්මා අප්පච්චි මට පොඩි කාලේ පාරක්වත් ගහලා තිබ්බෙ නෑ මනූ .  ඒගොල්ලො මගෙයි , මයන්ගෙයි කසාදේ නිසා මගෙ හිත රිද්දුවට කවදාවත් මට ගහලා , කොනිත්තලා මට රිද්දලා නෑ. ඉස්කෝලේ කාලේවත් මං කවදාවත් එක ටීචර් කෙනෙක්ගෙන්වත් ගුටියක් කාලා නෑ. ඒගොල්ලන්ගෙන් පස්සේ මට හම්බුණු ඔයා , ඔයත් මට කවදාවත් රිද්දලා නෑ මනූ. ඉස්සර ඔයා මගේ සුදු බෝලේ කිය කිය මගෙ කම්මුල් දෙක කොච්චර මිරිකනවද ? ඒත් ඒ එක පාරක්වත් රිදෙන්න ඇල්ලුවේ නෑ. කවුරුහරි කාටහරි ගහනවා කියන එක , ගුටි කනවා කියන එක මං අත් දැකලා තිබ්බේ නෑ. මනුස්සයෙක්ගෙන් ගුටියක් කද්දි මුලින්ම රිදෙන්නේ ඒ පාර වැදිච්ච තැන නෙමෙයි මනූ හිත. , මුලින්ම රිදෙන්නේ හිත. “

නෙත්‍යාගේ දෑසින් කඳුළු වැල් රූරා වැටුණේය. 

” හරි.. හරි.. දැන් ඕක ඇති හොඳේ. හොඳ ළමයා වගේ දැන් අඬන්නේ නැතුව ඉන්න. මං .. මං අනවශ්‍ය කතාවක් ඇදලා ගත්තේ . දැන් ඕක ඇති .”

එසේ පැවසූ ඔහු ඇගේ මුහුණ දෝතින්ම අල්ලා කොපුල් වල ඇති කඳුළු පිස දැමුවේය. 

” මනූ…! මං කියන දේ අහන් ඉන්න ටිකක්. “

ඇය එසේ පවසමින් ඇගේ කොපුල් මත ඇති ඔහුගේ දෑත තදින් අල්ලා ගත්තාය. 

” ඒ.. ඒක ..ඒක රිදෙනවා මනූ.. ගොඩක් රිදෙනවා. එයා .. එයා මුලින්ම කරන්නේ එයාට ඇති වෙනකන් මට ගහන එක. අතින්, පයින් ගහලා එයාගෙම අත පය රිදෙන්න ගත්තම ඉණේ තියන බෙල්ට් එක හරි , අතට අහුවෙන ඕන දෙයක් හරි අරන් මට ගැහුවා. මුලින් මුලින් මං කෑගහහා අඬපු දවස් තිබ්බා මනූ.. කාමරේ දොරේ එල්ලිලා මාව බේර ගන්න කියලා අඬ අඬා කෑගහපු දවස් තිබ්බා. ඒත් .. ඒ ගෙදර කිසි කෙනෙක් මාව බේර ගන්න ආවේ නෑ. පස්සේ පස්සේ මට ඇඬුණේ නෑ මනූ.. කොච්චර ඇඬුවත් මාව බේර ගන්න කවුරුවත් එන්නෙත් නෑ , මගෙ කඳුළු දැකලා ඒ මිනිහා දුක් වෙන්නෙත් නෑ කියන එක මට තේරුම් ගියා. ඊට පස්සේ ගුටි කන වාරයක් ගාණේ මං ප්‍රාර්ථනා කළේ එකම එක දෙයයි , අනේ මාව මැරිලා යන්න කියලා. මට ගහලා ගහලා නැඟිටගන්න බැරි වෙන්න මාව වැටුණම එයා ඊලඟට.. “

නෙත්‍යා මොහොතක් නිහඬ වූවාය.

” දැන් ඇති බෝලේ දැන් ඇති.. “

කිසිවක් නොපැවසූ ඇය ප්‍රථමව ඔහු පැවසූ දෙයට එකඟ නොවෙමින්  දෙපසට හිස සැලුවාය. 

” මං කීප පාරක්ම දැකලා තියනවා මනූ සමහර වෙලාවල් වලට මයන් සැරින් සැරේට එක එක මිනිස්සුන්ට සල්ලි ගොඩාක් දෙන වෙලාවල් . එහෙම වෙලාවල් වලදි ඒ මිනිස්සු කියන කතාත් මට ඇහිලා තියනවා. ගොඩක් උන් ගෑනු සප්ලයි කරන බ්‍රෝකර්ස්ලා. මයන් ගෙදර ඉන්න වෙලාවල් සෑහෙන අඩුයි මනූ . එහෙම එක දිගට කොහෙහරි ගිහින් ආවම ඔහොම සල්ලි ට්‍රාන්සර් කරන වෙලාවල් වැඩියි . මට ඉතිං තේරෙනවා ඒවා. එක පාරක් මට මතකයි මයන්ගේ සෙකට්‍රි රමිතට මනුස්සයෙක් බැන්නා කවුරුහරි ගෑනු කෙනෙක් හොස්පිට්ල් ඇඩ්මිඩ් කරලා කියලා. නොදන්නවා වගෙ කවුද ඒ කියලා ඇහුවම රමිත කිව්වේ ඔෆිස් එකේ කෙනෙක් හොස්පිට්ල් ඇඩ්මිඩ් කරලා ඇක්සිඩන්ට් එකක් වෙලා , ඒ නිසා සල්ලි ටිකක් දුන්නා කියලා. ඔය මොනව කිව්වත් මං ඇත්ත දැනන් හිටියේ මනූ.. මයන් ගෙදර නැති දවස් වලට මං පුදුම සන්තෝසෙකින් හිටියත් පස්සේ මට සමහර වෙලාවට කොහේ හරි වෙන ගෑනියෙක් අපා දුකක් විඳිනවා ඇති නේද කියලා මතක් වෙනවා. ඒක ලොකු වේදනාවක් මනූ .. , දවස් ගාණක් යනකන් හරියට වොශ්‍ රූම් එකට වත් යන්න බැරි තරමේ උහුලගන්න බැරි වේදනාවක් ඒක… “

” සුදු නෝනා… දැන් ඇති ඕක. මං කිව්වනේ මට අහන්න ඕන්නෑ. හරි.. දැන් ඕක නතර කරන්න. “

” අනේ.. මනූ.. “

ඔහු නැවතත් ඇගේ මුහුණ දෑතින්ම අල්ලා ඔහුගේ උවන දෙසට හරවා ගත්තේය. 

” දැන් ඇති. ආයේ ඕක එපා. මට අහන් ඉන්න බෑ දෙයියනේ .. මට ඕවා අහන් ඉන්න බෑ..”

නෙත්‍යාගේ උවන එක වර අත හැර දැමූ මනුහස් දෝතින්ම තම මුව වසා ඉකි ගසමින් හැඬුවේය. 

කලාතුරකින් ඔහුගේ දෙනෙතින් කඳුළු බිඳු පෙළක් කඩා වැටෙණු දැක තිබුණට මෙලෙස ඔහු ඉකි ගසමින් හඬන මොහොතකට ඈ මැදිව තිබුණේ නැත. 

” අනේ.. මනූ.. එපා.. අඬන්න එපා දෙයියනේ.. ආයේ කියන්නෑ.. ආයේ කිසි දෙයක් කියන්නෑ.. “

මුව වසා සිටින ඔහුගේ දෑත තදින් අල්ලා ගත් ඈ ද ඉකි ගසමින් හැඬුවාය.

” මාව සෝශල් මීඩියා ෆලෝ කළා කිව්වා නේද ? ඇයි මට මැසේජ් එකක් දැම්මේ නැත්තේ ආ..? එක පාරක් … එක පාරක් මනූ මාව කොහෙට හරි අරන් යන්න කියලා කිව්වනං මං ඒක නොකර ඉන්නවද ආ.. ? මං මහ කාලකණ්නි මිනිහෙක් සුදු නෝනා.. මගෙ පණටත් වැඩිය ආදරේ කරපු ඔයා මෙච්චර දුක් විඳිද්දිත් මං නිකන් පිස්සෙක් වගේ ඔයාටම වෛර කර කර හිටියා. “

” අනේ.. මනූ.. දැන් ඇති.. ප්ලීස්.. දැන් ඇති.. මේ බලන්න.. , මගෙ දිහා බලන්න. “

ඈ වහා ඔහුගේ කොපුල මත ඇති කඳුළු පිසදා ඒ උවන අතොරක් නොමැතිව සිප ගත්තාය. 

” මං ඔයාට ගොඩාක් ආදරෙයි මනූ.. එදාටත් වැඩිය අද ආදරෙයි.. මගෙ පණටත් වැඩිය ආදරෙයි. ආයේ කවදාවත් මේ ඇස් වලින් කඳුළු හළන්න එපා රත්තරං.. මාව පිච්චෙනවා . කවදාවත් ආයේ එහෙම කරන්නෙපා. “

ඈ නැවතත් අතොරක් නැතිව ඔහුගේ උවන සිප ගත්තාය. ඉන්පසුව සෙමින් යහන මත වැතිර ගත්තාය. හැඳ සිටි උඩු කමිසය ගලවා ඉවත් කළ ඔහුද  සෙමින් යහන මත වැතිර ඈව තුරුළු කර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here