BE SILENT – 73

0
1065

”  හැබැයි කාලෙත් එක්ක මයන් ඒ දේවල් අමතක කරාට අනිත් උන්ට එහෙම බැරි උනා. ඒත් ඒ හැම එකාවම මයන් උගෙ සල්ලි වලින් සයිලන්ස් කළා. උන්ගේ ජීවිත වලට ඕනෑවට වඩා මැදිහත් උනා. උන් වෙනුවෙන් සෑහෙන දේවල් කළා. විරුද්ධ වෙන්න ඕන කමක් ආවත් එහෙම කරන්න බැරි වෙන තරමටම උන්ට උදව් කළා. හැබැයි කවුරුහරි කෙනෙක් හිටියා අප්පච්චි. අවුරුදු විස්සකට වැඩි මේ කේස් එක ආයේ ගොඩ ගත්තු කවුරුම හරි කෙනෙක් හිටියා. අදීරාගෙයි , වඩිවේල්ගෙයි මරණ ගැන හොඳටම දන්න , ඒ දේවල් වලට වග කියන්න ඕනේ කවුද කියලා හොඳටම දන්න කෙනෙක් ඉන්නවා අප්පච්චි. එදා ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච උන්ගෙන් අද ඉන්නේ දෙන්නෙක් විතරයි. අනිත් ඔක්කොම උන් මැරිලා. නිකන් මරණ නෙමෙයි ඒ ඔක්කොම සුයිසයිඩ් කේස්. “

” ම.. මනූ.. මොනවද ඔයා මේ කියවන්නේ ?” 

” මං මේකට ඉන්වෝල් උනේ මයන්ගේ මරණෙන් පස්සේ . මයන් අතුරුදහන් වෙච්ච කේස් එක නිසා මං නයින් මවුන්ටන්ස් ගියා ඒ ගැන බලන්න. එතනදි මට තේරුණා මිනිහා හිතාමතාමයි මිසින්ග් වෙලා තියෙන්නේ කියලා. මයන්ට කලින් අදීරාගෙ සිද්ධියට සම්බන්ධ තුන්දෙනෙක් සුයිසයිඩ් කරන් තියනවා. ඒ තුන්දෙනාටම අදීරාගෙ සිද්ධිය ගැන කියලා ලියුම් වගේම ඒ නම දෙනාගේ ෆොටෝස් පවා ඇවිල්ලා තියනවා. කවුරුහරි කෙනෙක් මේ සෙට් එකේ එකා එකාව ඉමෝශනල් බ්ලැක් මේල් කරලා තියනවා. ඒක කොච්චර සාර්ථකව කරලා තියනවද කියනවනං තමන් කරපු පව් ගැන හිතලා තමන්ම තමන්ගේ ජීව්තේ නහ ගන්න තැනට හැම එකාම පත් වෙලා තියනවා. මුල ඉඳන්ම වෙන හැමදේම දැනගෙන හිටපු මයන් තමන්ටත් ෆොටෝ එකක් ආපු ගමන් තමන් මැරුණා කියලා ලෝකෙට පෙන්නලා ලොකු ඩ්‍රාමා එකක් දානවා. 

” ඌ හිතන්නේ එහෙම හැංගිලා ඉඳලා මේවා කරන්නේ කවුද කියලා හොයාගන්න. ඒත්.. ඒ වැඩේ හරියන්නෑ. ඒකෙන් පස්සේ අර අප්පච්චි කිව්ව එදා හොටෙල් එකේ හිටපු කෙල්ලො දෙන්නා. උන් දෙන්නාත් මැරෙනවා. එතනින් එක්කෙනෙක් හිටියේ කැනඩා වල. ගෑනි මැරෙන්නේ එහෙදිමයි. මේක කරන්නේ නිකන්ම නිකන් මිනිහෙක් නෙමෙයි අප්පච්චි. හොඳ මොළ කාරයෙක්. කර කියා ගන්න දෙයක් නැති උනු මයන් මල්දෙණිය අන්තිමට මේවා කරන එකා හොයලා දෙන්න කියලා පොලිස්කාරයෙක්ගෙන් උදව් ඉල්ලනවා. ඒ මං. “

මනුහස් එසේ පවසා කට කොනකින් සිනහවක් නැඟුවේය. 

” ඔයා ඒවා කරන්න අවශ්‍ය නෑ මනූ. ඔයා ලඟ සාක්ෂි තියනවනං ඔයාට පුලුවන් මයන් මල්දෙණියට විරුද්ධව ඒවා පාවිච්චි කරන්න. අනික අදීරාගේ කේස් එක කෙසේ වෙතත් ඔයා අර මෑතකදි අනුරාධපුරේ කරපු කේස් එකම ඇතිනේ මයන්ව ඇරෙස්ට් කරන්න. ?” 

” කරන්න බැරි කමක් නෑ අප්පච්චි . එහෙම කරලා ඊට පස්සේ ? මොකෝ අප්පච්චි හිතනවද මිනිහට මරණ දඬුවම ලැබෙයි කියලා ? කවදාවත් නෑ. ඌ ඒ හැමදේම ලස්සනට බැලන්ස් කරයි . ඌ බය ඌට නොපෙනෙන එකාට විතරයි අප්පච්චි. මේ දේවල් කරන එකාව එළියට ගේනකන් මයන් මල්දෙණියට ඉන්න වෙන්නේ කොහේ හරි හැංගිලා. , මුළු ලෝකෙටම හොරෙන්.. “

මනුහස් කතාව නවතා නිවස දෙස බැලුවේය.

තේ කෝප්ප ද්විත්වයක් අතැතිව නෙත්‍යා ගෙමිදුලට බසිමින් සිටියාය .

” තේ හැදුවා..”

මුහුණ පුරා මල් හසරැල්ලක් මවමින් පැමිණි නෙත්‍යා විජේවර්ධනටත් , මනුහස්ටත් තේ පිළිගැන්වූවාය. 

” කවුද හැදුවේ ඔයාද ?” 

මනුහස් අතට ගත් තේ කෝප්පය තොළ ගාමින් නෙත්‍යා දෙස යටැසින් බලා ඇසුවේය.

” නෑ අම්මා..”

මුහුණ බෙරි කරගත් නෙත්‍යා මනුහස් හට රැව්වාය .

” වෙලාවට .., නැත්තන් හෙට දානෙකුත් දෙන්න තියනවනේ.. අප්පච්චි මෙයාගේ තේ බීලා නෑනේ ..?” 

මනුහස් එසේ අසමින් විජේවර්ධන දෙස බැලූ අතර නැවත වතාවක් මුව ඇද කරමින් මනුහස්ට රැවූ නෙත්‍යා නිවස තුළට දිව ගියාය. 

” මනූ…!” 

නිවස තුළට දිව යන තෙත්‍යා දෙස බලා සිටි විජේවර්ධන යළිත් මනුහස් දෙසට හැරුණේය.

” මට උඹට කියන්න තව දෙයක් තියනවා “

” අප්පච්චි ?” 

” උඹ කී දවසක් මේ කෙල්ලව මෙහෙම තියන් ඉන්නවද ?” 

” අප්පච්චි ..?” 

” මයන් මැරිලා නෑ කියලා උඹ දන්නවා උනාට ලෝකෙට ඌ මැරිච්ච මිනිහෙක්. උගෙ නමට දැන් මරණ සහතිකේකුත් ලියවිලා ඉවරයි. එහෙම එකේ උඹ මේ කෙල්ලව මෙහෙම තියන් ඉන්නැතුව ඉක්මනට කසාද බැඳපන්. අවුරුදු ගාණකට කලින් උඹ මං ලඟ අඬ අඬා අප්පච්චි බෝලේ බඳිනවා කියලා කිව්ව එකට වඩා මං බය උනේ මේ කෙල්ල බැන්ඳේ මයන්ව කියල කියන එක දැනගත්‍තම. එදා අදීරාගෙ බොඩි එකට දීලා තිබ්බ වද ටික මට ආයේ ආයේ මතක් උනා. හැබැයි එහෙම දෙයක් කියන්න තරම් හොඳ මානසික මට්ටමක උඹ එදා හිටියෙ නෑ. මේ කෙල්ල මොන දුකක් විඳීද දන්නෑ කියන එක මගෙ ඔලුව ඇතුළේ හැමතිස්සෙම වැඩ කළා. අවුරුදු ගාණකට පස්සේ මයන් මැරිලා කියලා දැනගත්‍තම උඹටත් වැඩිය මං සතුටු වෙන්නැති. හැබැයි ඊටත් වැඩිය සතුටක් දැනුණේ එදා උඹ ආයෙම නෙත්‍යා එක්ක මෙහෙ ආපු වෙලාවේ. 

අදීරටයි , වඩිවේල්ටයි සිද්ධ වෙච්ච අපරාදෙට සම්බන්ධ වෙච්ච උන් දැනටමත් ජීවතුන් අතර නැත්තන් , මයන්ටත් ජීවිත බය නිසාම ආයේ එළියට එන්න බැරි නම් , උඹ තවත් මේ සිද්ධිය ගොඩ අරන් තේරුමක් නෑ. ඕක අතෑරලා දාලා මේ කෙල්ලව කසාද බැඳගනින්. අනික මයන් එළියට ආවත් අර අනුරාධපුරේ සිද්ධියට ඌව අහුවෙනවා. කොහෙන් ගියත් ඌට දැන් ගැලවීමක් නෑනේ. ?” 

මනුහස් අතේ තිබූ තේ කෝප්පය මේසය මත තබා පියා දෙස බැලුවේය .

” අදීරාට කරපු දේවල් වලට කවුරුහරි එකෙක් උන්ට පනිශ්මන්ට් දෙනවා. අනුරාධපුරේ සිද්ධියට මයන්ව කොහොමත් අහුවෙනවා. ඒ  ඔක්කොම ඇත්‍ත අප්පච්චි . එතකොට මේ අහිංසක කෙල්ලට ඌ කරපු දේවල් වලට කවුද අප්පච්චි ඌට පනිශ්මන්ට් එකක් දෙන්නේ ? මගෙ ජීවිතේ හොඳම කාලෙන් අවුරුදු දොළහක් විනාස කරපු එකට ඌට මොනවද කරන්නේ ? “

විජේවර්ධන නැවත වතාවක් වික්ශිප්ත දෑසින් මනුහස් දෙස බලා සිටියේය .

” උඹ මොකද්ද කරන්න හදන්නේ ? “

මනුහස් නිහඬවම හිඳ සිටි පුටුවෙන් නැඟිට්ටේය. 

” මට මුලින්ම මේ සෙට් එකට ගේම දෙන එකා මොකාද කියලා හොයාගන්න ඕනේ අප්පච්චි…”

එසේ පැවසූ ඔහු සෙමින් සෙමින් අඩි තබා නිවසට තුළට ඇවිද ගියේය .

***************************************

” ජාන්වීට හෙට උදෙන්ම එන්න කියන්න පුතේ.. “

” මං කිව්වා අම්මා. , මං හිතන් හිටියේ අද රෑට මනූ එක්ක ඒ පැත්තට ගිහින් එන්න. “

නෙත්‍යා පිරිසිදු කළ රතු ළූණු අහුරක් සෝදමින් සිටියාය. 

” ආ.. ඒක හොඳයි. ගිහිල්ලා බලලා එන්න පුතේ.  ඒ ගෙදර ලෙඩෙකුත් ඉන්නවනේ. “

” කමක් නෑ අම්මා. හෙට උදේට ජාන්වී එන්නං කිව්වනේ. මං අම්මට මෙහෙ ඉඳලා මේ වැඩ ටික කරගන්න උදව්වක් දෙන්නං අද “

” ඕවා මට කරන්න පුලුවන් දරුවෝ. එච්චර හිතන්න එපා. “

නෙත්‍යා සිනහවක් පා සේදූ රතු ළුණු අහුර තෙත බේරීමට කිරි ගොට්ටකට දැමුවාය. 

” ඔයාට මතකද අර එක පාරක් මෙහෙ ඇවිල්ලා අඹ ගහේ නැඟලා වැටිච්ච ගෑනු ළමයා ?” 

” ආ .. අදිති.. “

නෙත්‍යා එසේ පවසා මහ හඬින් සිනහවූවාය .

” අම්මට තාම මතකද ඒ සිද්ධිය ?” 

“නැත්තන් …?” 

වසුන්දරාද හඬ නඟමින් සිනහ වන්නට වූවාය .

” අදිති ඉන්නේ දැන් යූ කේ වල. ඉන්සිටියුට් එකේ අපි කට්ටියගෙ පොඩි චැට් ගෲප් එකක් තියනවා. මං මෙහෙ ආවා කියලා කිව්වම තාම අර අඹ ගහ තියනවද බං කියලා ඇහුවා.. “

” හප්පේ….” 

නෙත්‍යා සමඟ එකතු වූ වසුන්දරා හරි හරියට මුළුතැන්ගෙහි සිටි සිනහ වෙමින් සිටියාය. 

දෙදෙනාගේ සිනහව මධ්‍යයේ හදිසියේ මුළුතැන්ගෙට ඇවිද ආ මනුහස්  නෙත්‍යා පසුපසින් ගොස් ඈව එකවරම වැළඳ ගත්තේය. වසුන්දරා වහා එය නුදුටුවාක් මෙන් ඉවත බලා ගත් අතර ක්ශණිකව මනුහස් කළ දේට තිගැස්සුණු නෙත්‍යා වසුන්දරා අසල සිටීම හේතුවෙන් ලැජ්ජාවෙන් ඇඹරුණාය .

” මනූ.. , අම්මා ඉන්නවා.. “

නෙත්‍යා පැවසූයේ ඉතා සෙමින් වුවද එය ඇසුණු වසුන්දරා මුව පිරි සිනහව පිටතට ඒමට නොදී තොල් පට තද කරගෙන මුළුතැන්ගෙහි දොරින් පිටතට බැස්සාය. 

” මනූ… ! මොකද්ද කරන්නේ ? අම්මාත් ඉන්නවා අනේ.. “

වහා පසු පස හැරුණු නෙත්‍යා මුළුතැන්ගෙහි දොරෙන් වසුන්දරා ගිය දෙසට දෑස් යොමු කරමින් තරවටු බසින් මනුහස්ගෙන් ඇසුවාය .

” ඔයා මට ආදරෙයිද ..?” 

යළි මවගේ මුහුණ බැලීමට නොහැකිව ලැජ්ජාවෙන් මිරිකී යමින් සිටි නෙත්‍යාගේ උවනට බර වී මනුහස් කිසිවක්ම සිදු නොවුණු ආකාරයට ඇසුවේය. 

” නෑ..”

මනුහස්ගේ ක්‍රියාව හේතුවෙන් බොරු තරහක් මවා පෑ ඇය එසේ පවසා යළි අනෙක් පස හැරුණාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here