BE SILENT – 76

0
284

” ඒ දවස්වල මෙහෙ හිටපු මිනිස්සු කිසි කෙනෙක් දැන් නෑ විජේවර්ධන මහත්තයා. විජේවර්ධන මහත්තයා උනත් මේ දැක්කේ කොයි කාලෙකින්ද ?”

වයසක මිනිසා එසේ පවසා ලෙංගතු සිනහවක් පෑවේය. 

” මං ට්‍රාන්සර් එක හදන් ගියත් හරි ආයේ ඉඳිඔයට ආවේ නෑ රඹුක්කන මහත්තයා. “

” නෙවෙන්නං , නෙවෙන්නං . ඒ දවස් වල මෙහෙ හිටපු පිටගංකාරයෝ ඔක්කොම මෙහෙ දාලා යන්න ගියා. ඉතුරු උනේ මෙහෙන් හිර ගත්තු කෙනෙක් , දෙන්නෙක් විතරයි. “

” වත්තේ හිටපු දෙමළ මිනිස්සු ටික එතකොට රඹුක්කන මහත්තයා ?” 

” ඒ කාලේ හිටපු මිනිස්සු දැන් හරි අඩුයි විජේවර්ධන මහත්තයා. එක එක තැන් වල තේ වතු වලට , කෝපි වතු වලට බෙදිලා බෙදිලා ගිහින්. ඒ මිනිස්සු ගියත් යන්නේ පවුල් පිටින්මනේ. කීපදෙනෙක් ඇරෙන්න ඒ කාලේ හිටපු දෙමළ මිනිස්සුත් මෙහෙ නෑ දැන්. ආ..මට අමතක උනානේ.. විජේවර්ධන මහත්තයට මතකනේ අපේ ඕඅයිසී මහත්තයා. ? “

” ඔව් .. ඔව්.. මට මොකද අමතක ?” 

” මිනිහා අවුරුදු දෙකකට කලින් නැති උනානේ .”

 ” නෑ…? ඒ මොනවා වෙලාද ? ඔය කියනකන් දන්නෑ මං “

” මිනිහා දිවි නහ ගත්තනේ “

විජේවර්ධන තිගැස්සුණු දෑසින් යුතුව මනුහස් දෙස බැලුවේය.

” මොනවා කරගෙනද ? “

” දෙහිඇල්ලෙන් පැනලා “

” විජේවර්ධන මහත්තයා මෙහෙන් ගිහිල්ලා අවුරුද්දක් දෙකක් යනකොට මිනිහා සෑහෙන්න බිස්නස් ගොඩකට අත ගැහුවා. ඒ දවස්වල නං මිනිස්සු කිව්වේ මිනිහට ඒවා පටන් ගන්න උදව් කළේ හෝටලේ මල්දෙණිය මහත්තයා කියලා. කෝමහරි අවුරුදු පහක් විතර යද්දි ඇතුළෙන්ම මිනිහට කේස් ආවා. ඕඅයිසී උනත් ඒ දවස්වල අපිට පඩියක් කියලා ලැබුණේ සොච්චමක්නේ විජේවර්ධන මහත්තයා. ඉතිං එහෙම එකේ මෙහෙම බිස්නස් පටන් ගත්තේ කොහොමද කියලා ?. පස්සේ මිනිහා පොලිස් රස්සාවෙන් අයින් උනා. ඔය නැති වෙන්න කලින් අවුරුද්දෙ දෙහිඇල්ලෙ පන්සලේ කඨිනේ පවා කළේ මිනිහා. කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. එක පාරට දෙහිඇල්ලෙන් පැනලා මැරුණා. මනුස්ස ජීවිතනේ විජේවර්ධන මහත්තයා , යන්න වෙනකොට කොයි ක්‍රමේකින් හරි යන්න වෙනවා. “

විජේවර්ධන පැරණි මිතුරා පැවසූ දේට එකඟ බව පාමින් හිස දෙපසට සැලුවේය.

” ඒත්.. මට මේ ඊයේ පෙරේදා මතක් උනා අපේ හිටපු බැංකු මහත්තයාවත්. රඹුක්කන මහත්තයට මතකද ඒ දවස්වල බැංකුවේ හිටපු තරුණ හාදයව. ?” 

” හප්පා.. ඔව් මයි.. පව්.. දෙයියනේ ඒත්.. අසරණ ජීවිතයක්නේ. “

රඹුක්කන පැවසූ දේ නොවැටහුණු විජේවර්ධන හා මනුහස් දෙදෙනාම එකිනෙකාගේ මුහුණට මුහුණ බලා ගත්හ.

” මට රඹුක්කන මහත්තයා කිව්ව දේ තේරුන්නෑ..?” 

” කොහේ තේරෙන්නද ඉතිං , ඒ ආරංචිය එද්දි විජේවර්ධන මහත්තයා මෙහෙන් ගිහිල්ලනේ. විජේවර්ධන මහත්තයට මතකනේ අර වඩිවේල් ? අර ඒ දවස් වල දුව නැති උනේ. අපිට බොඩි එක හම්බුණේ මෙහෙ ඉඳන් දෙහිඇල්ලට යනකන්ම ගහගෙන ගිහිල්ලා ?” 

” ඔව්.. ඔව් ඉතිං.. ?” 

” අන්න ඒ වඩිවේල්ගේ දරුවා එක්ක ඒ බැංකු මහත්තයට සම්බන්ධයක් තිබුණයි කියනවනේ.   වඩිවේල් එක්කත් මහත්තයා කතා බස් කරගෙන කසාදෙත් කරගන්න ඉඳලා තියෙන්නේ. ඒ අතරෙදිලුනේ අර දරුවට අරහෙම අපරාධයක් වෙලා තියෙන්නේ. ඒ ළමයගෙ මිනිය දැක්ක විතරයි ඒක දරා ගන්න බැරුව ඔය බැංකු මහත්තයා දවස් තුනක් වතුර පොදක්වත් බොන්නේ නැතුව නැවතිලා හිටපු තැන කාමරේට වෙලා ඉඳලා. බැංකු මහත්තයා නැවතිලා හිටියේ අර සෝමරත්නලෑ ගෙදරනේ. විජේවර්ධන මහත්තයට මතකද ? අර දුවයි , බෑනයි දෙන්නම නැති වෙලා මුණුපුරාව විතරක් බලන් හිටපු සෝමරත්න. ? “

” ඔව්.. ඔව් .. මට මතකයි.. “

” විජේවර්ධන අතැති තේ කෝප්පයේ අවසන් උගුරත් පානය කොට ඉදිරියේ තිබූ කුඩා මේසය මතින් තැබුවේය. 

” බැංකු මහත්තයා තුන්වෙනි දවසෙත් කාමරෙන් එළියට නාපු නිසා තව දුරටත් බලා නොඉඳ සෝමරත්න බැංකු මහත්තයගෙ ගෙදරට පණිවිඩයක් යවලා තියනවා. ඒ මිනිස්සු ඇවිල්ලා තමයි බැංකු මහත්තයව බලෙන්ම කාමරෙන් එළියට අරන් ගෙදර අරන් ගිහින් තියෙන්නේ. අපිට ඒ දවස්වල ඒ සිද්ධිය එච්චර මතක නෑ. අපි හිටියේ වඩිවේල්ගේ දුවගෙ මරණේ ගැන හොය හොයනේ. ඔය බැංකු මහත්තයව අරන් යන්න කලින් දවසේ තමා වඩිවේල් එල්ලිලා මැරිලා තිබුණේ. වඩිවේල්ගේ මරණෙ නිසාම තමා සෝමරත්න බයටම අර මහත්තයගෙ පවුලේ අයට ඒක දැනුන් දීලා තිබ්බේ . ඒත්.. වැඩක් වෙලා නෑ විජේවර්ධන මහත්තයා , ගෙදර එක්කන් ගිහිල්ලා සතියක් ගිහින් නෑ බැංකු මහත්තයා තමන්ගෙම කාමරේ එල්ලිලා මැරිලා ඉඳලා. “

සියළු බලාපොරොත්තු සුන් කර ගත් මනුහස් විසල් සුසුමක් හැර විජේවර්ධන දෙස බැලුවේය. මෙතෙක් ආ ගමන් මගේ තමා තබා තිබූ සියළු විශ්වාසයන් එක වර බිඳී ගියේය. එසේ නම් ඒ අදීශ නොවේය . වට කිහිපයක් එක ලඟ කැරකී තමා නැවතත් ආරම්භක ස්ථානයටම පැමිණ ඇති බවක් මනුහස්ට දැනුණේය. 

” අප්පච්චී… කෝල් එකක් ” 

” මට විනාඩියක් දෙන්න විජේවර්ධන මහත්තයා.”

නිවස තුළින් ඇසුණු ඇමතුම නිසා විජේවර්ධන වහා නිවස තුළට ගියේය. ඔහු ගිය ඇසිල්ල ප්‍රයෝජනයට ගත් මනුහස් වහා පියා අසලට ළං වූයේය. 

” අප්පච්චි.., අර සෝමරත්නද කවුද කියන මනුස්සයා ගැන පොඩ්ඩක් අහන්න. ඒ මනුස්සයා අදීශගේ පවුලේ අය ගැන දන්නවා ඇති “

විජේවර්ධන හිස දෙපසට සලමින් මනුහස් හට එකඟ වූයේය. 

” තේ ලොරියෙන් “

එසේ පවසමින් ආ රඹුක්කන නැවතත් හිඳ සිටි අසුනෙන් හිඳ ගත්තේය. 

” සෝමරත්නගේ මුණුපුරා දැන් හොඳ ඉලන්දාරියෙක් වෙන්නැති ?” 

” හප්පේ .. ඔව්.. මේ විජේවර්ධන මහත්තයගෙ පුතාගේ වයසෙම වගේ ඇති. සෝමරත්න නැති උනාට පස්සේ කොල්ලට යන එන මං නැති උනා. එතකොටත් ඌ පොඩි එකානේ. ?” 

” මෝචරියකට ආවා වගේනේ යකෝ. අහන අහන එකා මැරිලා “

මනුහස්  තනිවම එසේ සිතමින් යළිත් විජේවර්ධන දෙස බැලුවේය. 

” සෝමරත්න නැති උනේ කොයි කාලෙද ? “

” බැංකු මහත්තයා නැති වෙලා අවුරුද්දකට දෙකකට වගේ පස්සේ. සෝමරත්නට හිටියේ මුණුපුරා විතරනේ. මං හිතන්නේ කොල්ලට ඒ වෙද්දි වයසත් දහතුනක් , දාහතරක් වගේ ඇති. ඉන්න හිටින්න තැන තිබ්බට ඌට කන්න අඳින්න දෙන්න කෙනෙක් හිටියෙ නෑ. පස්සේ ඔය බැංකු මහත්තයගෙම කවුරුහරි ඇවිත් කොල්ලව කොළඹ එක්කන් ගියා. “

මනුහස්ගේ හදවතේ නව සිතුවිල්ලක් පීදුණේය. එක පොටක් අත හැරෙද්දී තවත් පොටක් කෙසේ හෝ පාදා ගත යුතු යැයි ඔහුට සිතුණේය. 

” මීට මාස තුන හතරකට වගේ උඩදි කොල්ලා ආවා මෙහෙ. ඇවිල්ලා ඔය සෝමරත්නගෙ ඉඩං කෑල්ල විකුණන්න දාන්න ඕනේ කියලා මං එක්ක කියලා ගියේ. ඌ ආයේ මෙහෙ පදිංචියට එන්න බලාපොරොත්තුවක් නෑ. “

” අහ්.. ඒක හොඳ ආරංචියක්. අපි මේ ආවෙත් ඒ වගේ ඔත්තුවක් හොයන්. මේ අපේ පුතාට මල් පැළ තවානක් දාන්න මෙහෙන් ඉඩමක් හොයන්නත් එක්ක අපි මේ ආවේ. “

” අන්න ඒ වගේ වැඩකට නං සෝමරත්නගෙ ඉඩම හොඳයි විජේවර්ධන මහත්තයා. අක්කර තුනයි ගාණක් ඔක්කොම. “

” හ්ම්.. හ්ම්ම්… , අපි යන ගමන් ඉඩම බලන් යමු නේද පුතා ?” 

” ආ.. ඔව්.. ප්‍රශ්නයක් නෑ අප්පච්චි.. “

” මේ එතකොට කොහොමද අපි කොල්ලත් එක්ක මේක කතා කර ගන්නේ ? ” 

” පොඩ්ඩක් ඉන්නකෝ මට නොම්බරේ දීලා ගිහින් තිබ්බා. “

රඹුක්කන එසේ පවසා හිඳ සිටි තැනින් නැඟිට ගොස් පොත් පිංචක් අතැතිව පැමිණ එහි තිබූ දුරකතනය අංකයක් කොළයක සටහන් කොට විජේවර්ධන වෙතට ලබා දුන්නේය. 

” මොකද්ද කොල්ලගේ නම ?” 

” සාරංග. කතා කරලා කියන්නකෝ රඹුක්කන මහත්තයා දුන්නේ කියලා. “

” බොහෝම ස්තූතියි රඹුක්කන මහත්තයා. ආපු ගමනින් වැඩ කීපයක්ම කර ගත්තා. නැද්ද පුතා ?” 

විජේවර්ධන එසේ පවසා මනුහස් දෙස බැලූ අතර මනුහස් ඔහු දෙස බලා මඳ සිනහවක් නැඟුවේය. 

” ඔන්න ඔය වාහනේ පොඩ්ඩක් පැත්‍තකට කරලා නවත්තන්න මනූ…”

රඹුක්කනගේ නිවසින් පිටත්ව යළි පැමිණෙමින් සිටි අතර විජේවර්ධන එසේ පවසමින් මනුහස් දෙස බැලුවේය. 

” ඇයි අප්පච්චි.. ?” 

සෙවණ සහිත මාර්ගයේ පසෙක වූ බිම් කඩක මෝටර් රථය නතර කළ මනුහස් පියා දෙසට හැරුණේය. 

” අදීශ කියන්නේ කාටවත් කරදරයක් නැතුව හිටපු හොඳ කොල්ලෙක්. පව්… වඩිවේල් , අදීරා , දැන් අදීශ. ජීවිත කීයක්ද මනූ… ? මට තාමත් මේක විශ්වාස කරන්න බෑ.. “

විජේවර්ධන එසේ පවසා විසල් සුසුමක් හෙළුවේය. 

” මෙහෙට එනකන් අපි අදීශව සැක කළා. දැන් ඒකත් නෑ. ඊලඟට ඔයා මොකද්ද කරන්න හිතන් ඉන්නේ ?” 

” මට ශුවර් එකක් නෑ අප්පච්චි , ඒත් .. අපි පොඩ්ඩක් අදීශගේ පවුල ගැනත් හොයලා බලමු. වඩිවේල්ට , අදීරාට සම්බන්ධ තව කවුරුම හරි ඉන්න ඕනේ. හොයාගෙන යං. කොහෙන් හරි පොටක් පෑදෙන්න බැරි නෑ…”

එසේ පැවසූ මනුහස් නැවතත් මෝටර් රථය පණ ගන්වා ගත්තේය. 

” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here