සස්මිත නිහඬව සිටීම වැඩි වෙලා ඉවසා සිටින්නට චරක සූදානමින්ම උන්නේ නැත.
” විජේසිරි කියන්නේ මොකාද ?..”
” තාත්තාගේ යාලුවෙක් ..”
” ඉතින් .. තාත්තා වෙනුවට ඌ මොකද උඹව ෆලෝ අප් කලේ ..”
” තාත්තා, අම්මා, අක්කා ඔක්කොමලා මාව අතෑරියා සර් … අම්මාට අක්කාට කොහොම වුනත්, තාත්තාට එහෙම බැරි වෙලා… තාත්තා අංකල්ගෙන් ඉල්ලලා මාව බලාගන්න කියලා .. අපේ අම්මා, මං නිසා ලංකාවේ ඉන්නම ලැජ්ජයි කියලා , ගෙදර විකුණලා රට ගිහින් .. තාත්තාත් ගිහින් .. ඒත් තාත්තා විජේසිරි අංකල්ට යම් මුදලක් දීලා ගිහින්.. ඒ සල්ලි වලින් .. ගියාට පස්සෙත් සල්ලි එවලා .. අක්කා, අම්මා තවම මට කතා කරන්නේ නෑ සර්… තාත්තා එයාලට හොරෙන් මට කතා කරනවා.. තාත්තා දන්නවා සර් .. මං එහෙම කලේ සක්කිලි කමකට නෙවෙයි කියලා..”
” එතකොට, අම්මා අක්කා කතා කරන්නේ නෑ ?..”
” නෑ සර් .. අම්මා මං වෙනුවෙන් දහතුන් වෙනි දානෙත් දීලා ගිය මාසේ… අම්මලා එහෙමත් අතාරිනවා සර් .. එහෙම අතෑරියට පස්සෙත්, මම හිත හදාගෙන මෙච්චර කල් ජීවත් වෙනවානේ සර්.. එහෙව් එකේ මට චායාව අතෑරලා ජීවත් වෙන එක හෝ මැරෙන එකත් මහ දෙයක් නෙවෙයි සර් ..”
” විජේසිරි ගේ පවුලේ අය උඹව දන්නේ ?..”
” මං රිලීස් වුනාම එහෙ හිටියේ… ඒ මගේ දෙවෙනි පවුල සර් ..”
” උන් දැන් මිසින් .. උඹ ඒක දන්නවාද ?..”
චරක එලෙසින් විමසද්දී, සස්මිත තිගැස්සෙනු චරකද පැහැදිලිව දුටුවේය. එසේම සස්මිත කිසිවක් නොපවසා තමා දෙස විමතියෙන් බලා සිටින බවද, චරක බලා උන්නේය.
” මිසින් කියන්නේ සර් ?.. අනේ සර් .. මේ ප්‍රශ්නේට ඒ මිනිස්සු ගාවගන්නෙපා සර්… ඒ මිනිසු ඉන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවිතේ වටිනම දේ නැති කරන් සර් .. අනේ සර් …මං ඇත්තම කිව්වානේ සර් ..”
” පිස්සුද බං උඹට . මං මේ කියන්නේ උන් මිසින් කියලා මිසක්කා, මං උන්ව මිසින් කලා කියලා නෙවෙයි … මං දන්නේ නෑ මොකක්ද හේතුව කියලා .. ඒත් උන් ගෙදර නෑ..”
” අනේ සර් .. අනේ සර් .. ප්ලීස් .. හොයලා බලන්න සර්… “
” හොයලා බලනවා…”
සස්මිත එය පිළිගත් බව අඟවමින් හිස සැලුවේය. චරක හඬ නඟා පිටත උන් අයෙකු ඇමතුවේය.
” මූට ඇඳුමක් දීලා, වොශ් එකක් දාගන්න දීපං.. වාහනේට එවපං .. මම වාහනේ ඉන්නවා…”
සස්මිත එය පිළිගන්නට අකමැතිවා මෙන් බලා උන්නේය. චරක ඒ බව වගක් නැතිවාක් මෙන් නැගිට ආපස්සට හැරුනේය.
ලයියා සස්මිතව එහි වූ නාන කාමරයක් තුලට තල්ලු කර තුවායක් සහ ඇඳුම් ඔහු වෙත විසි කලේය.
” බොස් කිව්ව එක ඇහුනානේ..”
සස්මිත නාන කාමරයේ බිත්තියකට වාරු වී, ඇඳුම් පසෙක එල්ලුවේය. විලංගු මෙන් දමා එක ඉරියව්වේ තිබූ දෙපා පාලනයෙන් තොරව වන බව දැනෙන්නේය. සස්මිත කමිසය ගලවා දැම්මේය. කලිසමද ගලවා දමා, යට ඇඟලුම්ද ඉවත් කර දැම්මේය. ශවරය යට සිටගෙන කිසිඳු පැකිලීමකින් තොරවම හිසේ සිටම ගත තෙමී යන්නට දුන්නේය.
” මේ යන්නේ මැරෙන්න නම්, මං ඒක නවත්තගන්න යන්නේ නෑ.. මට හරි මහන්සියි මේ හැම රහසක්ම එක්ක ජීවත් වෙලා .. මෙච්චර කල්, විජේසිරි අංකල් මේ හැමදේම විසඳනවා කියන විශ්වාසේ මට තිබුනා.. ඒත් ඒ හැමදේම දැන් ඉවරයි …. හැමදේම … තවදුරටත් ඇත්ත එලිවෙන්න පැහැදිලි පාරක් හොය හොයා, ඒ බලාපොරොත්තුව එක්ක ජීවත් වෙන්න මට බැරි වෙයි.. අනෙක් අතට චායා කියන්නේ උමතුවක් .. ඒ උමතුව දරාගන්න මට බැරි වෙයි .. ඔයා මාව ඇතෑරලා ඉස්සරහටම යන්න ඕනි චායා .. මං එක්ක මෙතනින් ඉස්සරහට ගියොත් ඔයා අන්ධකාරේ හිර වෙනවා…. ඒ අන්ධකාරේ දරාගන්න ඔයාට බැරි වෙයි මැණිකේ…
මං ඔයාට කොච්චරක් ආදරේ කලාද කියලා,මං මගේ අක්කාට කොච්චරක් ආදරේ කලාද කියලා, අඩුම මම මගේ සිතුවිල්ලකින්වත් ඔයාලට රිදවන්න උත්සාහ කලේ නෑ කියලා, හැම වේදනාවක්ම මම දරාගත්තා කියලා, කවදාකහරි ඔයාලා දැනගනී .. එහෙම දැනගන්න එපා එක අතකට …ඔයාලා කවුරුත් ඒක දරාගන්නේ නෑ.. හැමෝගේම හිත් වල මම ද්‍රෝහියෙක් චායා ..ඔයත් එහෙමම හිතන්නෝනා මැණික … අපිට මේ ආත්මේ එකතු වීමක් නැහැ..”
සස්මිත සෑහෙන වෙලා තෙමී යන ජලයට යටව ඔහේ උන්නේය. එය පවා සුවයක් සේ දැනෙන මෙහොතේ ඒ සුවයෙන් මිදෙන්නට අවැසි වූයේ නැත.
අවසන ඔහු තෙත පිස නොදාම කෙටි කලිසම සහ ටී ශර්ට් එක ගත ලා ගත්තේය. නාන කාමරයෙන් පිටතට විත් පෙනුණ මඟ ඔස්සේ පිටතට ඇවිද ගියේය.
” බොස් වාහනේ.. “
අයෙකුගේ හඬින් මොහොතකට නැවතුණු සස්මිත යළි ඉදිරියට ඇවිද ගියේය. චරකගේ පෞද්ගලික වාහනය නවතා තිබුණි. ඔහු රියැදුරු අසුන දෙසින් ඇවිද ගොස් සිට ගත්තේය. දොර විවෘත කලේය . චරක උන්නේ ඉදිරිය බලාගෙන නිසා සස්මිත එය අවසරය සේ ගෙන රියැදුරු අසුනේ හිඳ ගත්තේය.
” මෙන්න යතුර .. ගෙදර යං ..”
සස්මිත යතුර ගත්තා වුවද, ඉන් පසුව ඇසුනේ කුමක්දයි විශ්වාස නැතිවාක් මෙන් චරක දෙස බලා උන්නේය.
” ඒ ගිහින් කරන්න ඕනි දේ උඹ තීරණය කරපං … චායා උඹ එක්ක ජීවත් වෙන්න තෝරගත්තොත් මම ඒකිව අතාරිනවා.. අපි ඒකිව අතාරිනවා… උඹට පුලුවන් ඒකිව අරගෙන යන්න .. කිසිම ප්‍රශ්නයක් නෑ… මම බාධා කරන්නේ නෑ..උඹ ඒකිගෙන් අයින් වෙලා, ඒකිට හිත හදාගන්න කල් දෙනවා නම්, අනිවාර්‍යෙන්ම චායාට ලස්සන ජීවිතය හදලා දෙන්න මම මගේ උපරිමෙන්ම දේවල් කරනවා.. ඒ වගේමයි, උඹ ඩ්‍රග් ඩීල් කරා කියනෙක, ඔය මොන දේටත් කලින් චායා දැනගෙන ඉන්න ඕනි .. ඉන් පස්සෙත් චායාගේ තේරීම උඹ නම්, මගේ තේරීම චායාව අත් හරින එක ………”
සස්මිත චරක දෙස බලාගෙනම සියල්ල අසා උන්නේය ඉන් පසුව ඉදිරිය බලා ගත්තේය.
” ඔය මොක කරන්නත්, මම එහෙ යන්න ඕනි නැහැනේ සර් .. මම මෙහෙමම යනන්ම් ..”
” බැහැ.. චායාගේ ඉස්සරහ, මට වැරදිකාරයෙක් වෙන්න බැහැ .උඹව එයා ඉස්සරහට යැව්වේ නැත්නම් ඒකි ඒකේ ඇරියස් එක මගෙන් පිරිමහන්නේ..”
” හරි සර් .. ඒකත් මමම කරන්නම් ..”
” මමම කරන්නම් කියන්නේ, උඹ කලින් මොනවාද කරලා තියෙන්නේ?..”
” නෑ සර් .. ඒක මම කටට ආවාට කිව්වේ..”
සස්මිත යමක් සඟවාගන්නට උත්සාහ කරන බව චරක සහතිකයෙන්ම තහවුරු කරගත්තේය. එහෙත් ඔහුට එය හඹා යන්නට අවැසි වූයේ නැත.


