වේගයෙන් පැමිණි පොලිස් ජීප් රථයක් නිවසක් ඉදිරිපිට නතර කළේය. වහ වහා ඉන් පිටතට බැස ගත් ඉහල නිලධාරියෙකු ඉක්මන් අඩි තබමින් නිවස තුළට දිව ගියේය. වහා වහා තරප්පු පෙළ නඟිමින් නිවසේ දෙවන මහලට ආ ඔහු එහි බැල්කනිය දෙසට හනි හනික ඇවිද ගියේය.
” සාරංග අවුලක් නෑ නේද ?”
බැල්කනියේ එක් පුටුවක් මත වාඩි වී සිටි තරුණයා දෙසට පහත් වූ ඔහු ඔහුගේ එක් උරහිසකින් අල්ලාගෙන කලබලයෙන් ප්‍රශ්න කළේය. වේගයෙන් ගැහෙන දෑසත් සමඟම පොලිස් නිලධාරියාගේ මුහුණ දෙස බියෙන් බැලූ තරුණයාගේ මුහුණ දෙස මොහොතක් බලා සිටි පොලිස් නිලධාරියා වහා පසුපස හැරී බැලුවේය.
සියල්ල අවසන් බව සහතික කරමින් බැල්කනියේ බරාඳයට බර වූ පොලිස් නිලධාරී මනුහස් විජේවර්ධන කිසිදු කලබලයකින් තොරව දුම් වැටියක් උරමින් සිටියේය.
” මනුහස් ..? “
” කොහොමද සර්..?”
අතේ තිබූ අවසන් දුම් වැටි කොටය පිටතට විසි කර දැමූ මනුහස් සෙමින් අඩි තබා පැමිණ සාරංග හිඳ සිටි පුටුව ඉදිරියෙන්ම අසුන් ගෙන අසල තිබු ටීපෝව මතට දෑඟිලි මතින් තට්ටු කරන්නට පටන් ගත්තේය. ඉන් පසුව අනෙක් අතින් තවමත් සිටගෙන සිටින තම ඉහල නිලධාරී , පොලිස් අධිකාරී දේවප්‍රිය සල්වතුරට ඔහු අසල තිබූ පුටුවේ අසුන් ගන්නා ලෙස අතින් සන් කර පෙන් වූයේය. විසල් සුසුමක් හෙළූ පොලිස් අධිකාරීවරයා තම අතේ තිබූ පොලිස් හිස් වැසුම ටීපෝව මත තබා මනුහස් පෙන්වූ අසුනින් හිඳ ගත්තේය.
” අදීශ සහස්වරට සල්වතුර කියලා සර්නේම් එකක් තියන බව මං දැනන් හිටියේ නෑ. කොටින්ම ඉඳිඔයේ ඉද්දි බැංකු මහත්තයාව ලඟින් ආස්‍රය කරපු ඉඳිඔයේ ස්ටේශන් එකේ ඒ දවස්වල වැඩ කරපු මගේ අප්පච්චිවත් අදීශගේ සර්නේම් එක දැනන් හිටියේ නෑ. ඒක හොයාගන්නත් මට අවුරුදු විසි තුනකට අයිඑන්බී එකේ වැඩ කරපු අයගේ විස්තර ආයේ ආයේ මුල ඉඳන් උඩට අදින්න උනා. ඒකත් අන් ඔෆිශීයලි. මොකෝ ඔෆීශියලි ඕක උනානං මට මේක මෙච්චර ඉක්මන්ට කරගන්න වෙන්නේ නෑනේ ?”
පොලිස් අධිකාරීවරයා දිගු සුසුමක් හෙළුවේය. ඉන් පසුව හිස හරවා තමා ඉදිරියේ අසුන් ගෙන සිටි සාරංග දෙස බැලුවේය.
” සාරංග ..”
” මහත්තයා.. ?”
” ඇල්බම් එක අරන් එන්න. “
සාරංග නැඟිට පිටව යන දෙස බලා සිටි මනුහස් නැවතත් සල්වතුර දෙසට හැරුණේය.
” අදීශ සහස්වර සල්වතුර , ඒ කියන්නේ මගේ මල්ලි. මට හිටපු එකම මල්ලි. “
” හැංගිච්ච මයනුයි , උගෙ අම්මයි එකතු වෙලා මං ලව්ව උන්ට මෙහෙම කරන එකා හොයාගන්න හැදුවා වගේම සර් කළෙත් මං ලව්ව හැංගිච්ච මයන්ව හොයාගන්න හදපු එක. බලන් ගියාම දෙපැත්තෙම උන් මාව යූස් කරන්න හදලා. ?”
” නෑ මනුහස් ඒක වැරදියි . මයන්ගේ මරණේ වෙන්න තිබ්බේ මගෙ අතින්. මගේ ක්‍රමේට. හැබැයි මට කලින් ඌ මගේ ක්‍රමේ යූස් කළා. මයන් මැරුණා කියන එක ඇස් පනාපිට තිබ්බත් මට ඒකෙන් සෑහීමකට පත් වෙන්න බැරි උනා. මොකද ඌට දෙන්න ඕන දඬුවම හරියට දීගන්න බැරි උනු නිසා. හැබැයි උඹ ඇවිල්ලා මයන් මැරිලා නෑ කියන එක මට කියපු වෙලාවේ මං උඹට ඒක කරපන් කිව්වේ ඒක කරන්න සුදුසුම කෙනා උඹ වෙච්ච නිසා. උඹ මං ගැන දන්නවා කොල්ලෝ. මං උඹට භාර දීපු වැඩ , උඹට මං දෙයක් භාර දෙන්නේ උඹ ගැන කොයි තරම් විශ්වාසයක් තියාගෙනද කියලා උඹ දන්නවා. හැබැයි මං උඹව යූස් කරන්න හැදුවේ නෑ. උඹගෙයි , මිසිස් මල්දෙණියගෙයි අතරේ තිබ්බේ මොන වගේ සම්බන්ධයක්ද කියන එක පවා මං දැනගත්‍තේ මෑතකදි බං. ඒ කිසි දෙයක් මේ දේට සම්බන්ධ නෑ. “
සල්වතුර විසල් සුසුමක් හෙළුවේය. ඉන්පසුව සාරංග රැගෙන ආ ජායාරූප ඇල්බමයක් පෙරළමින් එහි වූ ජායාරූප කිහිපයක් මනුහස් හට පෙන්වූයේය.
” මේ ඉන්නේ මගේ පොඩි එකා අදීශ. ඌ මගෙ මල්ලි නෙමෙයි බං. මගේ දරුවා වගේ. ඌ ඉපදෙද්දි මට අවුරුදු දොළහක්. අපේ තාත්‍තට කලින් ඒකාව අතට ගත්තේ මං. අපේ අම්මට වැඩිය ඒකාව බලාගත්තේ මම. උගේ නැපි මාරු කළේ මම. ඌව නිදි කරේ මම. ඉපදිච්ච දා ඉඳලා ඌ මාව දාලා යනකන්ම එච්චරයි. ඌ හිටියේ මගේ පපුව ඇතුළේ. අන්තිමට මේ ගෙදර උගේ කාමරේ ඇතුළේ උගේ බොඩි එක අතට ගත්තේත් මම .”
සල්වතුරගේ දෑසින් ඉනූ කඳුළු කැට කිහිපයක් දෙකම්මුල් දිගේ රූරා වැටුණේය. ඔහු දෑතින්ම දෑස පිස ගත් අතර තොල් පට තද කර ගත් මනුහස් රත් පැහැ ගැන්වී ඇති අහස් කුස දෙස බලාපොරොත්තු විරහිතව බලා සිටියේය.
” පොඩි කාලේ ඉඳලම මට පොලිස් උණ තිබ්බා. ඒ නිසාමයි මං පොලිසීයට ජොයින් උනේ. මගේ පොඩි එකාට ඕනේ උනේ උදේ ගෙදරින් ගිහිල්ලා හවස ගෙදර එන අට පහ ජොබ් එකක්. ඌ කවදත් වැඩි කලබලයක් නැති , දැඟලිල්ලක් නැති එකෙක්. ඔය බැංකු රස්සාව ඌ මුලින්ම කලේ අයිඑන්බී එකේ මාතර බ්‍රාන්ච් එකේ. ඊට පස්සේ තමා ඉඳිඔයට ගියේ. ඌ ඉඳිඔයේ ඉද්දි මං හිටියේ කළුතර. අම්මයි , තාත්තයි දෙන්නම කොයි වෙලෙත් අපි දෙන්නට ආඬපාලි කිව්වා කොල්ලො දෙන්නෙක් හැදුවට දෙන්නගෙන් එකෙක්වත් ගෙදර නෑ කියලා. මට ඒ දේවල් වල ගාණක් තිබ්බේ නෑ. එළියට යන වෙලාවක් , ආයේ ගෙදර එන වෙලාවක් , පවුලක් , කසාදයක් ඔය කිසි දේක ගාණක් මට තිබ්බෙ නෑ. මට ඕන උනේ ලෝකේ කොහෙ හිටියත් මගෙ අම්මයි , තාත්තයි , පොඩි එකයි හොඳින් ඉන්නවා බලන් ඉන්න . එච්චරයි.
” ඉඳිඔයට ගිහිල්ලා ලොකු කාලයක් ගියෙ නෑ ඌ එහෙන් කෙල්ලෙක් හොයා ගන්නකොට. ඒකත් ඌ මුලින්ම කිව්වේ මට. අයියේ එයා ටැමිල් ගර්ල් කෙනෙක්. තාම චූටියි. වැඩි වයසක් නෑ. අම්මවයි , තාත්තවයි කැමති කරවලා දෙන්නකෝ. ඌ ගෑනු ළමයා ගැන කියලා මුලින්ම මගෙන් ඉල්ලුවේ ඒක. ඒ ළමයා දෙමළ නිසා අම්මයි , තාත්‍තයි අකමැති වෙයි කියන බය අපේ එකාට තිබ්බා. ඒ වගේම දෙමළ උනත් මහා ලොකු සල්ලියක්වත් , වත්කමක්වත් , නම්බුනාමයක්වත් ඒ මිනිස්සුන්ට තිබ්බේ නෑ. යන්තං ජීවිතේ ගැට ගහ ගත්තු හරි අසරණ මිනිස්සු. “
සල්වතුර කතාව මඳකට නවතා ක්‍රම ක්‍රමයෙන් ඔවුන් වට කර ගන්නා අන්ධකාරය දෙස බලා සිටියේය.
” කෝමහරි අපේ එකා ඒ ගෙදට්‍ට ගිහින් ඒ ළමයගේ තාත්තව මුණ ගැහිලා තිබ්බා. ඊටත් පස්සේ අපේ අම්මටයි , තාත්‍තටයිත් මේ ගැන කියලා අපි ඔක්කොම වෙලාවක ඉඳිඔයේ යන්න හිතන් හිටියේ. අදීරා ගැන අම්මටයි , තාත්තටයි කිව්වම අම්මා මුලින්ම ටිකක් චුරු චුරු ගෑවා. ඒත් පොඩි එකා කවදාවත් අම්මටයි , තාත්තටයි විරුද්ධ නොවී ලස්සනට ජීවිතේ ගෙනියපු නිසා ඌ ඉල්ලපු එකම දේ ඌට දෙන්න බෑ කියන්න අපිට බැරි උනා. ඌ හිටියේ පුදුමාකාර සන්තෝසයකින්. කතා කරන හැම වෙලාවකම උගේ හිත තිබ්බ සතුට මට හොඳටම දැනුණා. එහෙම දවසක් දෙකක් ඉද්දි තමයි එක පාරට ඉඳිඔයේ පෝස්ට් ඔෆිස් එකෙන් අපේ ගෙදරට කෝල් එකක් ඇවිත් තිබ්බේ . ඒ කතා කරලා තිබ්බේ සාරංගගේ සීයා. පොඩි එකා නොකා නොබී දවස් දෙක තුනක් තිස්සේ කාමරේට වෙලා දොර වහගෙන ඉන්නවය කියන ආරංචියට මං පිස්සෙක් වගේ ඉඳිඔයට දිව්වේ. මං එහෙ යද්දිත් අපේ එකාට සිහියක් කටක් නෑ. ඌව ආයේ කොළඹ ගෙනල්ලා හොඳ සිහියට ගන්නම දවස් තුන හතරක් ගියා. ඒ කාලේ ඇතුළෙදි තමයි මං දැනගත්තේ අදීරා නැති වෙලා කියලා. ඊටත් පස්සෙයි දැනගත්තේ අදීරාගේ තාත්‍තත් ගේ ඇතුලේ එල්ලිලා කියලා.
සල්වතුර අපහසුවෙන් කෙළ පිඬක් ගිල්ලේය. මනුහස් සල්වතුර පවසනා සියල්ල නිහඬවම අසා සිටියා විනා බාධා කිරීමක් හෝ ප්‍රශ්න කිරීමක් හෝ සිදු නොකළේය.
අපේ එකා අර පොඩි කෙල්ලට කොච්චර ආදරෙන් හිටියද කියන්න මං දන්නවා. අදීරා ගඟට පැනලා කියලා දැනගත්‍තම මට මුලින්ම බය හිතුණේ අපේ පොඩි එකාගේ මොකක් හරි දෙයක් නිසා ඒ කෙල්ල එහෙම කරගත්තද කියලා. ඒ වයස කියන්නේ එහෙම වයසක්නේ. ඒත් .. උන් දෙන්නා අතර එහෙම කිසිම ප්‍රශ්නයක් වෙලා තිබ්බේ නෑ. ඉඳිඔයේ පොලිස් රෙකෝඩ් වල වත් කිසිම සඳහනක් තිබ්බේ නෑ. තිබ්බේ අදීරා සියදිවි නසාගෙන කියන එක විතරයි. පෝස්ට්මෝටම් රිපෝට් එකේ පවා තිබ්බේ එහෙ


