සස්මිත වෙනදා වේගයෙන් රිය පදවන්නේ නොමැති බව දැනගෙන වුවද චරක එයට හේතුවක් විමසන්නේ නැතිවම උන්නේය. ඔහුගේ සිත තුල ඇත්තේ කිනම් සිතුවිලිදැයි චරකට වැටහෙන්නේ නැතිම වූවායැයි කිව නොහැක. එහෙත් චරක ඒ පිළිබඳවද වැඩිපුර විමසන්නේ නැතිවම උන්නේය.
” සර් මං චායාව පොඩ්ඩක් එලියට එක්කගෙන යන්නද ?..”
” හ්ම් ..”
” සර්.. මේ ගැන මැඩම්ලට නොකියා ඉන්න පුලුවන්ද සර් ?… මේ හැමදේම අදින්, මෙතනින් ඉවර කරන්නම් සර් … මම .. චායා මට වෛර කරන ඉඩක් හදන්නම් මම …”
” කොහොමද මම අම්මලට මේවා කියන්නේ?…”
” කියන්නෙපා සර් .. මම චායාට විතරමයි ආදරේ කලේ… හිරේ ඉන්නකල් පවා.. සර් මගෙන් අහපු නැති නිසා කියන්න බැරි උනා.. මාස දෙක තුනකට පාරක්, මට විජේසිරි අංකල් චායාගේ පොඩි වීඩියෝ එක්ක හරි පෙන්නනවා… කට හඬ අහන්න විදියක් හදලා දෙනවා.. ජීවිතේ එකම එක වතාවක් වැරදුනා සර් … ඒක ගැන මගේ පසුතැවීමක් නැහැ .. ඒක එවෙලෙ මම කරන්න තිබුණ දෙයක් …… ඒත්, ඒ වැරදීම ආයේ මට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ කියලා මම දන්නවා..”
” උඹ කියන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ බං ..”
” සර් චායාට කතා කරලා කියන්නකෝ ලෑස්ති වෙලා ඉන්න කියලා.. මෙහෙමම ගිහින් එන්නම් සර් .. එන්නම් නෙවෙයි, මේ එක්කම සර්ත් යං.. මං එහෙමම නවතින එක තමයි හොඳ සර් … ..”
” හ්ම්ම්ම් ..”
චරකගේ ඇමතුමෙන් පසු චායා උමතුවෙන් මෙන් සූදානම් වූවාය. විහඟි සොයාගෙන ගොස් ඇයටද ඒ බව කීවාය. චායාගේ උද්‍යෝගය පිළිබඳව විහඟි උන්නේ යම් කලබලයකය. චායාට සස්මිතව සම්මුඛ කර චරක මේ සියල්ල එතරම් පහසුවෙන් අත් හරිවීයැයි සිතිය නොහැක.
” කලබල නොවී ඉන්නකෝ චායා ..ඔය එක්කගෙන ගිහින් සස්මිතව මුණ ගස්වන්නම් කිව්වාට, අයියා මේ ඉක්මනට ඒක කරාවි හිතන්න අමාරුයිනෙ .. ඒ හින්දා ඔහොම බලාපොරොත්තු හදාගන්න එපා දෙයියනේ..”
” කමක් නෑ .. අයියා කිව්වෙ පිළිවෙලකට ලෑස්ති වෙන්න, සස්මිතව හම්බෙන්න යන්න කියලා.. ඉන් එහාට තව මොනවද ?..”
චායා විහඟිගේ කාමරයේ කණ්ණාඩිය ඉදිරියේද එහෙ මෙහෙ හැරුනාය. විහඟි ඇය දෙස බලා උන්නේ යම් පීඩනයක් එක්කය. ප්‍රේමය මිනිසුන් මෙතරම අසරණ කල යුතු නැත. තමා චරක වෙනුවෙන් කෙතරම් ප්‍රාමාණික ප්‍රේමයක් දැරුවද, ඔහුට තමා වගකීමක්ම පමණක් බව විහඟි තේරුම් ගෙන උන්නාය. ඔහුගේ වගකීම් වෙනුවෙන් ඔහු බර දරනවා මිසෙක, තමා ප්‍රේමයක් කරගෙන ජීවත් වීමක් ඔහුට නැත. දරුවා ඔහුට වගකීමකි. ප්‍රේමයේ අග තැන් ලෙස දැනෙන්නේ නැත. පසුගිය සති දෙක තුල සිදුවූ සිදුවීම් වලින් චරකගේ ජීවිතය තුළ තමාට ඇති ඉඩ වගකීම් මැදි කරගත් සම්බන්ධතාවයක්ම පමණක් බව විහගි ක්‍රම ක්‍රමයෙන් තමාටම ඒත්තු ගන්වා ගනිමින් උන්නාය. එහෙව් වගකීමක් මැද තම දරුවාට අත් වන ඉරණම කිනම්දැයි යළි සිතෙද්දී විහඟිගේ හදවත රිදුම් දෙන්නට ගත්තේය.
” මං හිත හදාගන්න ඕනි .. අයියා මට යන්න කියන ඕනිම වෙලාවක එලියට බහින්න … ඒත්, මේ දරුවා එක්ක හැදෙන බැඳීමෙන් මට මිදෙන්න පුලුවන් වෙයිද .. මට අයියා ගැන දැනෙන මේ ආදරේ එක්ක මට තනියෙන් ජීවත් වෙන්න හයිය දෙන්න දෙයියනේ… අයියා තව ඉස්සරහට යනකොට, අයියාට මාව එපා වෙන්න පුලුවන්.. අයියාගේ මට්ටමට, මාව මදිවෙන්නත් පුලුවන්.. අපි දෙන්නා අතරේ තියෙන හැමදේම , දරුවා නිසා විතරක්ම කියලා ඔයා කියන දවසකුත් ඒවි කියලා මට බයයි අයියේ .. එහෙම දවසක, මගේ ජීවිතේ ඔහේ පාවෙන්න දෙන්න මම දැන්ම ඉඳන් හිත හදාගන්නම් අයියේ ………”
” මොනවද මූණ හදාගෙන කල්පනා කරන්නේ විහගි ?.. ඔච්චර කල්පනා කරන්න දෙයක් නැහැ .. මම සස්මිතව හම්බෙලා, අයියා ඉස්සරහ එයාට මම ආදරේ කරනවා කියලා හරි විශ්වාසෙන් කියලා එන්නම් .. එච්චරය් වෙන්නේ..උඹ ඔව්වා හිතලා නිකන් නිරපරාදේ ප්‍රෙශර් වැඩි කරගන්නෙපා…”
චරකගේ ඇමතුම සමග විහඟිගේ කම්මුලට හාදුවක් තැබූ චායා නිවසින් පිටතට දිව ගියාය. අයියාගේ වාහනය ගේට්ටුවෙන් ඇතුලට දමා යලි ගෙට්ටුවෙන් පිටව යන්නට හරවා ගනු මොහොතක් බලා උන් ඕ, ඉන් පසුව වාහනය වෙතට ඇවිද ගියාය.
එක්වරම රියැදුරු අසුනට අනෙක් පස දොර විවෘත විය. චායා වහා ඒ දෙසට යලි දිව ගියේ අඩි දෙක තුනටය.
” පිටිපස්සෙන් නඟින්න..”
එලෙස පැවසෙන අතරේ දොර වැසුණි. සස්මිත ඉදිරි අසුනේ සිටිනු ඕ යන්තමින් දැක්කාය. හදවත තුළ මල් පිපෙන හැඟීම ඕ යලි අත් වින්දාය. ජීවිතය ට මෙතරම් ප්‍රහර්ෂණිය නිමේෂයන් ලැබීම කෙතරම් වටින්නේද ?.. මහ වරුසාවකට පසු පායන සඳ වඩා එලියයැයි පවසන්නේ මෙනිසාද
පිටුපස අසුනේ හිඳගත් චායා මදක් හැරී සස්මිත දෙස බැලුවාය. එහෙත් සස්මිත උන්නේ ඕ වගක් නැතිවා මෙනි. චායාටද අයියා හා ගැටෙන්නට තරම් වූ දිරිය මෙවෙලෙහි අයියා හා කතාබස් කරන්නට තිබුනේ නැත,
” නිදහස් තැනක් බලලා යමං …”
චරක සස්මිතට කීවේය. සස්මිත හිස සලා එය පිළිගත් බව පෙන්වූයේය. චායා සැනසුම් සුසුමක් සමගින් අසුනට බර වූවාය. දැන් සියල්ල විසඳාගන්නට හැකි බවට සැක නැත.
සස්මිත උන්නේ ඉදිරි නාටකය බිඳෙන් බිද සැලසුම් කරමිනි. සියලු සැලැස්ම වූයේම ඔහුගේ සිත තුළ පමණි. චරක දැන උන්නේ එක් කොටසක් පමණි.
තමා ඒ සියල්ල පැවසූ පසු, චායාගේ හැසිරීම කෙලෙසින් වේවිදැයි සිතද්දී සස්මිතගේ සියොලඟ අඩපණව යන බව දැනුනි. ඔහු වහා වාහනය පාරේ පසෙකට කර නැවැත්වූයේය. චරක එයට හේතු විමසුවේ නැත. එනිසාම චායාද කිසිත් නොවිමසාම උන්නාය.
සස්මිත මද වේලාවක් සුක්කානමට දෑතින් බරව හිඳ, යලි වාහනය පණ ගන්වා ගත්තේය.
” බය වෙන්නෙපා සස්මිත … මං ඔයාව අතෑරෙන්න දෙන්නේ නැහැ.. අයියා එක්ක, අම්මා එක්ක, තාත්තා එක්ක, ඔය කා එක්ක වුනත් මම ඔයා වෙනුවෙන් කතා කරනවා.. හිටගන්නවා..ඔයා වෙනුවෙන් ඉල්ලනවා… ඔයා අදින් පස්සේ අයියාගේ ඩ්‍රයිවර් විදියට ඉන්නේ නැහැ …. ඔයා මගේ .. අපේ පවුලේ බෑණා.. ඔයාගේ ජීවිතේ තනිවෙලා ගෙව්ව කාලේ ඉවරයි .. මගේ ආදරේ පිස්සුවක් කියලා හැමෝටම හිතෙනවාඅ ඇති සස්මිත .. ඒකට කමක් නැහැ.. අපි දෙන්නම ඒ පිස්සුවෙම ගිලෙමු ..”
චායා තනිව සිතුවාය.


