අංගාර – 83

0
1266

 චායා සිදුවූයේ කුමක්දැයි විහඟිට පැවසීමටවත් උත්සුක නොවූ නිසා සියල්ල පවසන්නට සිදුවූයේ චරකටය. සස්මිත එවැන්නෙකු බව අදහා ගන්නට නොහැකිව මෙන්,  විහඟි දෑස් අයාගෙන බලා උන්නාය. චායා යහනේ ගුලිවී හඬක්වත් නොනඟා නිසොල්මනේම හිඳිද්දී විහඟි කලේ අයාගත් මුවින් ඇය දෙස බලා හිඳීමය. 

චරක සිදුවූයේ කුමක්දැයි පැවසූවද, එහි තමා වෙත කිසිඳු දෝෂාරෝපනයක් නොවීම නිසා ඕ උන්නේ එය බලාපොරොත්තුවෙනි. චායා සහ සස්මිත පිළිබඳව වන සතය් අනාවරණය වූයේ දින කිහිපයකට ඉහතය. එහිදී චරකගේ හැසිරීම විහඟිට අමතක නැත.

චායාගේ ජීවිතය විනාශ වන්නට ඉඩ හැර සියලු  දේපල සහ මිල මුදල්හී තනි අයිතිකාරිය වීමට තමා සිහින මවනවාදැයි චරක විමසු අයුරු විහඟිට කිසිදිනෙක අමතක කරගත හැකි වන්නේ නැත.  

ඒ සස්මිත  විවාහකයෙකු බව නොදැනය. දෛවය ඉතා අකාරුණික ලෙසින් චායාට සලකන අතරේ,  තමාද ඒ අහුකොන් වල දවටා ඇති බව විහඟිට වැටහේ. 

සස්මිත විවාහකයෙක් වී සිටීම විය නොහැක්කක් නොවන බව විහඟිටද වැටහේ. ඔහු පසුගිය වසර දොළහකටත් වඩා වැඩි කාලය තුළ නිසොල්මනේ  උන් පිරිමියෙකු වූවා යැයි තමා සේම චායාද විශ්වාස කලේ කෙලෙසින්දැයි ව්හඟිට දැන් වටහා ගන්නට නොහැක.

 ඔහු සිරගතව උන් සමය තුල පවා ඔහු පිළිබඳව සොයා බැලූ යමෙකු සිටින්නට ඇත.  ඒ විජේසිරි මහතාමදැයි දැන් විහඟිටත් සැකය. ඇතැම් විට සස්මිත විවාහ වී සිටින අඩු වයස් තරුණිය එම සම්බන්ධතා කොනක සිටිනවා විය හැක. 

” ඔයා ගිහින් නිදාගන්නකෝ මැණිකෙ.. මෙහෙ එන්න නැත්නම් ..”

විහඟි යහනේම හිඳගෙන චරක දෙස බැලුවාය. දෙනෙත් මත වූ තෙත පිසදා දැමුවාය. චරක ඇය දෙස බලා උන්නේ විමසිලිමත්කමිනි. 

“මෙහෙ එන්න ..”

චරක හිසින් සන් කලේය. විහඟි අතින් යහනට බර වී වෙර ගෙන චරක වෙත ඇවිද ආවේය. චරක උන්නේ යහනට දුරින්, ජනේලය අසල වූ දිගු සෙටියේය.

” අඬන්නෙපා විහඟි ..  මේ වුනේ වෙන්න තියෙන හොඳම දේ.. අමාරුවෙන් වුනත්, නංගී හිත හදා ගනි .. මේ මිනිහා නාවානම්, නංගි මැරෙනකල් වුනත් මේ මිනිහා එනකල් බලාගෙන ඉඳී … මේ මිනිහාගේ ඇත්ත අපි දැනගත්තේ නැත්නම්, නංගී අපිට විරුද්ධ වෙලා හරි මේ මිනිහා එක්ක ගිහින් දුක් විඳී .. දැන් ඒ ඔක්කොම හරි .. ඒ දෙකම විසඳුනා… චායා හිත හදාගනී .. එයා ඒ  හැමදේම ඇස් දෙකින් දැක්කා… කන් දෙකෙන් ඇහුවා…”

” මගෙත් වැරැද්දනේ අයියේ..”

විහගි ඉතා පහත් ස්වරයෙන් කීවාය. චරකද කතා කලේ යන්තමිනි.  චරක එවර වඩා  විමසිලිමත් බවින්, විහඟි දෙස බැලුවේය.

” සස්මිත මෙහෙ ආවා කියලා දැනගත්ත දවසේම මේක මම ඔයාට කිව්වා නම්, චායාගේ හිත මෙහෙම බ්ඳෙන්නේ නැහැනේ අයියේ .. ඔයා හිතනවා ඇති, මම චායගේ ජීවිතේ විනාශ කරන්න හිතාගෙන හිතා මතාම, සැලසුම් කරලාම තමයි මෙහෙම කලේ කියලා…  මං ..කාත් කවුරුවත් නැති කෙල්ලෙක් .. 

චායාගේ ජීවිතේ තියෙන දේවල් ගැන ඉරිසියාවෙන් මම එයා ගැන නොකියා හිටියා කියලා හිතනවා ඇති ..ඔයාට එහෙම හිතෙන එක වරදක් නෑ ….. මට මාව පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ අයියේ.. ඒත් දැන් මටත් හිතෙනවා, මම මහ වරදක් කලා කියලා… චායාගේ සතුට වෙනුවෙන් කියලා, මේ හැමදේම ඔයාට හංගලා, මං ඒකිව විනාශ කලා අයියේ ..”

විහඟිට හැඬුණි. ඒ විහඟි කතා කරන්නේ තම වචන බව චරක දනී. 

එනිසාම කෝප ගන්නට අයිතියක් නැත. ඇය හඬන්නිය. ඒ  කඳුලු වල බර අයිති තමාටය. එදින කිසිවක් සිතා නොබලා තම සිතෙහි වූ ආවේගය පිට කලේ ඇය මතිනි. ඇය මේ විඳවන්නේ ඒ ආවේගයෙන් හැදුණු තුවාලය. 

” නාඬා ඉන්නකෝ… අපි එලියට ගියාම කතා කරමූ ..”

” අයියා යන්න …ගිහින් වොශ් එකක් දාගන්න .. මම චායාව බලලා, ඇඳුමක් මාරු කරවලා එන්නම් ..”

” පුලුවන්ද ?..”

” පුලුවන් ..”

චරක විහඟිගේ හිස අතගාමින්ම එතැනින් ඉවතට ගියේය. විහඟි යහනේ අනෙක් පසින් ගොස් චායාගේ හිස පිරිමැද්දාය. ඇය සුසුම් ලයි. ඒ සුසුම් උණුහුම් බව විහඟිට නිකමට සිතුණි.  හඬන්නේ නැතිවාට තවම කඳුලු වියැලී නැත. ඇස් කෙවෙනි වල කඳුලු පිරී ඇත.  ඕ බලා උන්නාය. 

” චායා .. ඇගට වතුර එකක් දාගෙන එන්න රත්තරනේ …”

චායා එයට කිසිත් නොපවසා යහනේම තවත්  ගුලි වූවාය. සිදු වූයේ කුමක්දැයි කියා ඇයටවත් විශ්වාස නැත.

 ඇතැම්විට ඒ සියල්ල සිහිනයක් විය නොහැකිදැයි ඇයට සිතේ. එහෙත් එය සිහිනයක් නම්, තමාට මේ තරම් ඇඬෙන්නේත්, වේදනාවක් දැනෙන්නේත් කිනම් නිසාදැයි ඇයට නොවැටහේ. කිසිවෙකු නින්දෙන් ඇහැරවා, තමා සිහිනයක් දකිමින් සිටිනා බව පැවසිය යුතු නොවේද?

” චායා..”

විහඟි චාගේ නළල මතට අත තැබුවේ නිකමටය. නළල ගිනියමකි. ඕ ඒ සැනින්ම දෑත,  ගෙල දෙපාද අල්ලා බැලුවාය. ගිනියම්ව දැවේ. ඇගේ සුසුම් වල වූ උණුහුම මේ නිසාය. විහඟි හැකි ලෙසින් චායා යහන මැදට තල්ලු කලාය. ජංගම දුරකතනය හෝ අසලක නැත. කාමරයේ දොර අසලට ගොස් චරකව ඇමතුවාය.

” අයියේ.. අයියේ …”

චරකගෙන් ප්‍රතිචාරයක් නොවූ නිසා, යළි විත් චායාගේ දෑත් පිරිමැද්දාය. ඉන් පසුව ඇගේ ඇඟලුම් බුරුල් කරන්නට උත්සාහ කලාය. එහෙත්, චායා උන්නේ  හිතා මතාම දරඳඬු වෙමිනි. 

” ඇයි.. ඇය් ?..”

චරක එක්වරම කාමරය තුලට පැමිණියේ තෙත වැකුණු ගතිනි. විහඟිගේ බියපත්, නිහඬකම චරකව  වඩා  බියපත් කලේය. 

” ඇයි මැණිකේ?..”

” චායාට හොඳටම උණ අයියේ.. අන්කොන්ශියස් වගේ ..”

” ශිට් … ඔහොම ඉන්න .. මම එන්නම් ..”

චරක ආපසු හැරුනේය. සැනින් කලිසමක් සහ කමිසයක් දමාගෙන යළි ආවේය. චායාගේ නළලට,  ගෙලට අත තබා බැලුවේය. 

” මැණික නිදාගන්න … මෙහෙම තියන් ඉඳලා බෑ .. මම චායාව ඇඩ්මිට් කරලා එන්නම් ..”

” අනේ අයියේ මාත් එන්නම් ….”

” ඉන්නකෝ මැණික කිව්වම .. මගේ ෆෝන් එකයි, පර්ස් එකයි අරන් හෙමින් පහලට බහින්න …කී එකත් … මං චායාව අරන් එන්නම් ..”

චරක චායාව ඔසවා ගත්තේය.

” අනේ සස්මිත …ඔයා කිව්වේ..බොරු ..බොරු නේද ?.. එන්නකෝ ..”

ඇය ඉතා පහත් ස්වරයෙන් මුමුණනු ඇසුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here