මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 48

0
71

වෝර්ඩ්රෝබ් එක ඇරලා ඇඳුම් නව නව ට්‍රැවලින් බෑග් එකට දාන ගමන් උන්න මන්දස්මිතාට එකපාරටම හිනා ගියේ තමන්ගෙ ජීවිතේ මෙච්චර ලොකු පරිච්ජේදයක් සූට්කේස් දෙකකට පුරවන්න වෙච්ච එක ගැන.

අවුරුදු ගාණක්. මතක, රණ්ඩු, ආදරේ, රැවටීම් හැමදේම එක්ක අන්තිමට ඒ හැමදේම බෑග් එකක් ඇතුළට නවලා කරලා සිප් එකකින් වහලා දාන්න පුළුවන් තරම් පොඩි වෙලා තිබ්බා කියන එක තේරෙද්දි ඇත්තටම හිනායන්න ඕන තරම් හේතු කාරනා එතන තිබ්බා.

කාලයක් පුරා ආදරෙන් පිරිලා තිබුනා කියලා හිතුනා කාමරේ අද තිබ්බෙ අන්ධකාරෙන් පිරිලා ගිහින්. පොත්, අඩි උස සපත්තු, මේකප් බඩු, එක එක බ්‍රෑන්ඩ්ස් වලින් ආව PR පැකේජස් එක්කම පාස්පෝට් එක තිබ්බා සයිඩ් කබඩ් එක උඩ. ඩුබායි ෆ්ලයිට් ඩීටේල්ස් ෆෝන් එකේ ස්ක්‍රීන් එලේ ඕපන් වෙලා තිබ්බා. මන්දස්මිතා ඒ දිහා ටික වෙලාවක් බලාගෙන උන්නා.

“ඩුබායි” ඒ වචනෙ හෙමින් තොල් අස්සෙන් පිටවුණා.

හරියට ඒක තාමත් සම්පූර්න ඇත්තක් විදියට පිළිගන්න බෑ වගේ. ජනේලෙ කර්ටන් එක අස්සෙන් හවස ඉර එළිය කාමරේ අස්සට වැක්කෙරෙනවා, දූවිලි අංශු ඒ ඉර එළියෙන් පෙරිලා පේනවා. මේ ගෙදර කලින් සද්ද බද්ද වලින් පිරිලා තිබ්බේ. හිනා උනා, ඇඬුවා, රණ්ඩු උනා, කතා නොකර උන්න අවස්තා තිබුනත් අඩුම හුස්ම ගන්න සද්ද පවා ඇහුනා, සංගීතෙ ඇහුනා. රෑ වෙලා උයන ලේට් නයිට් කුකින්ස් තිබුනා, හිතුවෙවත් නැති මොහොතක ශෙයා වෙච්ච හාදු තිබ්බා.

ඒත් අද?

ඒ හැමදේම නැතිවෙලා මරණීය සයිලන්ස් එකක් මුලු ගේම සයිලන්ට් කරලා තිබ්බා. මන්දස්මිතා ඔය ඔක්කොම දේවල් ආය ආය හිතන ගමන් තමයි ඩ්‍රෙසින් ටේබල් එක ලඟට ගියේ. එයා හිමින් සැරේ ඩ්‍රෝවර් එක ඇරියා. එතන තිබුනා මතින්ද්‍රගෙයි එයාගෙයි පරණ පින්තූර. පොලරොයිඩ් කැමරා එකකින් ගත්ත පින්තූර. හනිමූන් පින්තූර, අවෝඩ් ෆන්ක්ශන්ස්, ට්‍රිප් ගියපු ඒවා, මතින්ද්‍ර පිටිපස්සෙන් හිටගෙන තමන්ව බදාගෙන හිනා වෙන පින්තූර.ඒ පින්තූර දිහා බලද්දි දුකක් දැනෙයි කියලා මන්දස්මිතා හිතුවා.

හැබැයි දුකක් දැනුනෙ නෑ. නිකන් නන්නාදුනන කෙනෙක්ගෙ ජීවිතේ දිහා බලනවා වගේ නන්නාදුනන හැඟීමක් විතරයි හිතේ තිබුණේ. මන්දස්මිතා එක ෆොටෝ එකක් දිහා සෑහෙන වෙලාවක් තිස්සෙ බලං හිටියා.ඒකේ මතින්ද්‍ර එයා දිහා බලන් හිනා වෙනවා.

තමන් එදා ඒ බැල්ම කොච්චර නම් විශ්වාස කරාද කියලා ආයෙ හිතෙද්දි ඇත්තටම මන්දස්මිතා තමන්ටම මහ සමච්චල් සහගත විදියට හිත ඇතුළෙන් හිනා උනා.

“මිනිස්සු කොච්චර ලස්සනට බොරු කරනවද…” එයා හෙමින් කියාගත්තෙ එයාටමයි.ඊටපස්සෙ ෆොටෝ ටික ආයෙ බොක්ස් එකක් ඇතුළට දැම්මා. ෆ්‍රේම් කරලා තිබ්බා එක ෆොටෝ එකක් තාම ඩ්‍රෙසින් ටේබල් එක උඩ තිබුණා.

මතින්ද්‍රගෙයි තමාගෙයි වෙඩින් ෆොටෝ එක.

සුදු ලස්සන සාරියක් ඇඳන් උන්න තමන්. බ්ලැක් සූට් එකක් ඇඳන් උන්න මතින්ද්‍ර. පර්ෆෙක්ට් කපල් එකක්. ලංකාවම බැලුව වෙඩින් එකක්. පර්ෆෙක්ට් බොරුවක්.මන්දස්මිතා ඒ ෆොටෝ එක අතට ගත්තා.එයාගේ ඇඟිලි ෆොටෝ එක උඩ හෙමින් එහෙට මෙහෙට ගියා. සම්බන්ධෙ උඩ දූවිලි වැදුනා වගේම ෆොටෝ එක උඩත් හීනි දූවිලි තට්ටුවක් බැඳිලා තිබුනා. ඇහැට නොපෙනෙන තරමෙ එකක්.

“අපි දෙන්නම ලොකු රඟපෑමක් කරලා තියෙන්නෙ,” එයා හිතුවා. “වෙනසකට තිබුණේ… මං ඒක ආදරේ කියලා හිතපු එක.”

එයා ෆ්‍රේම් එක ආයෙ ඩ්‍රෙසින් ටේබල් එක උඩින් තිබ්බෙ මූණු පහතට හිටින්න. අන්න ඒ වෙලාවෙ තමයි ෆෝන් එක වයිබ්‍රේට් උනේ. ඒ මන්දස්මිතාගෙ මැනේජර්.

“Tickets confirmed – Dubai campaign starts next week.”

එයා reply එක type කරා.

“I’ll be there.” කියලා මැසේජ් එක සෙන්ඩ් කරලා ෆෝන් එක පැත්තකින් තිබ්බා.එක තත්පරේකට කිසිම දෙයක් නොකිය නොහිත එයා ඇස් පියාගත්තා. හිතේ බයක් තිබුනා, ඇත්ත. පුරුදු රටක් බව ඇත්ත, ඒත් අලුත් ජීවිතයක්. මතින්ද්‍ර නැති ජීවිතයක්. මුලු ජීවිත කාලෙම තමන්ගෙ ළඟින්ම ඉඳීවි කියලා හිතුව මනුස්සයා නැතුව ගෙවන්න වෙන ජිවිතයක්. මිනිස්සු අහන ප්‍රශ්නවලට තමන්ගෙ කිසි වරදක් නැතුව ලැජ්ජාවක් උත්තර බඳින්න වෙන ජීවිතයක්. තනිකඩ ජීවිතයක්. ඇත්ත. හැබැයි ඒ හැමදේටම වඩා මන්දස්මිතාගෙ හිතේ හරි හයිය සිතුවිල්ලක් තිබුණා.

ඒ තමයි ගැලවෙන්න ලැබිච්ච එක. ලොකු බොරුවකින්, රැවටීමකින් නිදහස් වෙන්න ලැබිච්ච එක. මේ ප්‍රශ්න වලින් ගැලවිලා නිදහසේ හුස්ම ගන්න පුලුවන් වෙයි කියන නිදහස පිරිච්ච සිතුවිල්ල. එයා සූට්කේස් එකේ සිප් එක වහද්දි හෙමින් හුස්මක් ගත්තා.

“සමහර මිනිස්සුන්ව ආදරෙන් අතාරින්න බෑ” එයා හිතුවා.

“බේරෙන්න ඕන නිසා අතාරින්න වෙනවා.”

පිරිමින්ට බොරු කියන්න බැරි කමක් නෑ. ඇත්තටම සමහර පිරිමින් බොරු කියන්නෙ හරිම ලස්සනට. ඒක මට තේරුණේ මතින්ද්‍ර එක්ක ජීවත් වෙලා ටික කාලයක් ගියාට පස්සෙ.කවදාහරි කාලෙක මං හිතාගෙන හිටියෙ ආදරේ කියන්නෙ මනුස්සයෙක්ගේ ඇස් අස්සෙ තමන්ව හොයාගන්න එක කියලා.ඒ මනුස්සයා කියන හැම වචනෙම විශ්වාස කරලා, එයාගෙ කටහඬ අස්සෙ සැනසීමක් හොයන එක කියලා.හැබැයි දැන් මට හිතෙන්නෙ ආදරේ කියන්නෙ ඒ තරම් ලස්සන දෙයක් නෙවෙයි.ඒක සමහර වෙලාවට හරිම භයානක දෙයක්.මොකද ගෑනියෙක් ආදරේ කරනකොට, එයා බොහෝ වෙලාවට ආදරේ කරන්නෙ ඇත්තටම ඉන්න මිනිහට නෙවෙයි.එයා හිතෙන් හදාගත්ත ඒ මිනිහගෙ එක වර්ශන් එකකට.

මමත් එහෙමයි.

මං ආදරේ කරේ මතින්ද්‍ර කියන මනුස්සයාට නෙවෙයි. මං ආදරේ කරේ මාව තේරුම් ගන්නවා කියලා මං හිතාගෙන හිටපු, මං වෙනුවෙන් ඕන දෙයක් කරයි කියලා විශ්වාස කරපු, මට ආරක්ෂාවක් වගේ දැනුන මිනිහෙක්ට.හැබැයි අන්තිමට තේරුණේ ඒ හැමදේම තිබිලා තියෙන්නෙ මගේ ඔළුව ඇතුළේ විතරයි කියලා.මතින්ද්‍ර හරිම දක්ෂයි මිනිස්සුන්ගෙ හිත් අස්සෙ තමන් ගැන විශ්වාසයක් ඇති කරවන්න.එයා මට කියපු හැම බොරුවක්ම, එයා මන්දස්මිතාටත් කියලා තිබුණා කියලා මං දැනගත්ත දවසෙ මට ඇත්තටම හිනා ගියා.

“මං ඔයා නැතුව මැරෙයි.”
 “මං ජීවිතේට මෙහෙම ආදරේ කරලා නෑ.”
 “ඔයා තමයි මට ඉන්න එකම කෙනා.”

එයා ඒ වචන ටික අපි දෙන්නටම කියලා තිබුණා. සමහරවිට ඊට කලින් තවත් ගෑනුන්ටත් කියලා තියෙන්න ඇති.ඒක තේරෙද්දි මට මං ගැනම දුක හිතුණා.මොකද මං හිතාගෙන හිටියේ මං ස්පෙශල් කියලා.හැබැයි මං ස්පෙශල්l නෑ.මං නිකන් තවත් එක ගෑනු චරිතයක් විතරයි. ඒ ඇත්ත ගෑනියෙක්ට දරාගන්න හරි අමාරුයි. මොකද අපි ආදරේ කරද්දි අපේ ඊගො එකත් ඒ ආදරේ ඇතුළේ තියෙනවා. “එයා මට විතරයි මෙහෙම ආදරේ කරන්නෙ” කියලා හිතන්න අපි ආසයි. හැබයි බහුතරයක් පිරිමින්ගෙ ආදර කතා එහෙම යුනික් ඒවා නෙවෙයි. එයාල එකම දේ රිපීට් කරනවා, එකම විදියෙ පොරොන්දු, එකම බොරුව, එකම විදියෙ හාදු, එකම විදියෙ “මට ඔයා නැතුව බෑ” කියන බොරු කතන්දර.වෙනස් වෙන්නෙ ගෑනි විතරයි.

මං ඒ හැමදේම තේරුම් ගත්තෙ ටිකක් පරක්කු වෙලා.ඒත් ඇත්තම කියනවා නම් මට මතින්ද්‍ර ගැන තිබුණ ආදරේ අඩුවෙලා ගියේ එයා මාව රවට්ටපු නිසා නෙවෙයි. එයා මාව බය කරපු නිසා. ඒ දෙකේ වෙනස ලොකුයි.බොරුවක් දැනගත්තම හිත කැඩෙනවා. හැබැයි බයක් දැනෙන්න ගත්තම  ආදරේ මැරෙන්න පටන් ගන්නවා. දැන් මං මතින්ද්‍ර දිහා බලද්දි මට දැනෙන්නෙ ආදරයක් නෙවෙයි.  හරියට මං කවදාවත් හරියට අඳුරගත්තෙ නැති මනුස්සයෙක් දිහා බලනවා වගේ අමුතු හැඟීමක්. ඒත් භයානකම දේ ඒකත් නෙවෙයි.

භයානකම දේ තමයි මං තාමත් සමහර රෑවල් වලට එයා මාව බදාගෙන නිදාගත්ත විදිය මතක් කරගෙන අඬන එක.

මන්දස්මිතා ඩුබායි ගියා කියන නිව්ස් එක මං දැනගත්තෙ Instagram story එකකින්.

රුවිනි තමයි මට ස්ක්‍රීන්ශොට් එක මට එවලා තිබුණේ. ඒක එයාපෝට් එකේදි ගත්ත ෆොටෝ එකක්. ලස්සන පෑන්ට් එකකට සුදු ටොප් එකක් ඇඳලා ජැකට් එකක් දාලා උන්න මන්දස්මිතාගෙ පුදුමාකාර ලස්සනක් තමයි තිබුණෙ. එයාගෙ අතේ බෝඩින් පාස් එකකුත් තිබුනා.

“sometimes leaving is surviving.” කියන කැප්ශන් එකක් එක්ක එයා දාලා තිබ්බ ඒ ස්ටෝරි එක දිහා මම සෑහෙන වෙලා බලාගෙන හිටියා. එයා හිනා වෙලා හිටියා.ලොකු හිනාවක් නෙවෙයි. හැබැයි නිදහස් හිනාවක්.හරියට කවුරුහරි බෙල්ල වටේ තිබ්බ ඇහැට නොපෙනෙන තොණ්ඩුවක් එකක්  කපලා දාලා වගේ.

“එයා ඇත්තටම ගිහින්” මං හෙමින් මටම කියාගත්තා.ඒ තත්පරේ මට මන්දස්මිතා ගැන තරහක් දැනුණෙ නෑ. ඉරිසියාවක් දැනුණා.මොකද එයාට පුළුවන් වුණා යන්න.එයා මේ හැමදේම අතෑරලා ගිහින් තිබුණා. අලුත් ජීවිතේකට. අලුත් මිනිස්සු ඉන්න ලෝකෙකට. අලුත් ආරම්භයකට. ප්‍රශ්න කරදර නැති නිදහස් ජීවිතේකට.

හැබැයි මං?

මං තාමත් මෙතන.

බයෙන්, හිරවෙලා නතරවෙලා උන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here