මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 49

0
181

“අපි මේක බලන්න යමුද?”

මතින්ද්‍ර ෆෝන් එක මගේ මූණ ඉස්සරහට දික් කරගෙන හෙනම එක්සයිටඩ් කටහඬකින් එහෙම අහද්දි මං උන්නෙ කිචන් කවුන්ටර් එකට හේත්තු වෙලා කොෆි මග් එක අතේ තියාගෙන. මතින්ද්‍ර දික් කරපු ෆෝන් ස්ක්‍රීන් එකේ තිබුණෙ එක එක විදියෙ ගෙවල් වලින් එයා තෝරගත්ත ගෙදරක ෆොටෝ. සුදු පාට බිත්ති, බිම කට් සිමෙන්ට්, ලොකු වීදුරු ජනෙල් බිමටම දිග ඒවා, අලුත් විදියෙ ලස්සන කිචන් එකක්.

“මරු නේද?” එයා ඇහුවෙ හරියට පොඩි ළමයෙක් වගේ. “බැල්කනි එකකුත් තියෙනවා මේ බලන්න” කියලා එයා ආයෙ පාරක් ෆෝන් එක මම දිහාවට දික් කරද්දි මම ෆෝන් ස්ක්‍රීන් එක දිහා බැලුවා.

“හ්ම්.” මං කිව්වෙ එච්චරයි. එතන කැමැත්තක්ද තිබුණෙ අකමැත්තක්ද තිබුණෙ කියන එක අඩුම මමවත් දැනගෙන උන්නෙ නෑ. හැබැයි ඒක මතින්ද්‍රට ඇති. එයා ඒක භාරගන්නෙ සර්ව සම්පූර්ණ උත්තරයක් විදියට. එයා හිනාවුණා.

“මාත් හිතුව ඔයා මේ වයිබ් එකට කැමති වෙයි කියලා.”

මං කොෆි එකෙන් උගුරක් බිව්වා. ඇත්ත ඒ ගෙදර ලස්සනයි. හැබැයි මට කිසිම දෙයක් දැනුනෙ නෑ.මට කිසිම එක්සයිට්මන්ට් එකක් තිබුණෙ නෑ. මොකුත්ම. මේ දවස් ටිකේම මතින්ද්‍ර උන්නෙ පුදුමාකාර සන්තෝසෙකින්. හරියට හැම ප්‍රශ්නයක්ම ඉවර වෙලා මාරම සන්තෝසෙකින් ඉන්න මනුස්සයෙක් වගේ. ඩිවෝස් එක, ලෝයර්ස්ලා, උසාවි යන ඒවා, මන්දස්මිතා එයාව දාලා යන එක, ඔෆිස් ඩ්‍රාමා, අඬන වැලපෙන ඒවා, රණ්ඩු සරුවල් මේ ඔක්කොම ඒවයින් පස්සෙත් මතින්ද්‍ර උනෙ “fresh start එකක් ඕන අපිට.” කියන ගමන්.

එයා ඒ කතාව මේ දවස් ටිකේ කී පාරක් කිව්වද කියලා මටවත් මතක නෑ.

“අපිට හැමදාම අතීතෙම නතර වෙලා ඉන්න බෑනෙ මැණික.”

මැණික.එයා තාමත් මට එහෙම කියනවා. ඒ වචනෙ ඇහෙද්දි ඉස්සර නම් මගෙ පපුවට ඒක මාර ලොකු දෙයක් විදියට දැනුනා. ඒ උනාට දැන්? දැන් මට ඇත්තටම මුකුත්ම දැනෙන්නෙ නෑ. මං උන්නෙ හිස් වෙලා. පපුව ඇතුලෙන්ම හිස් වෙලා ගිහින්.

“මේ අපාට්මන්ට් එකෙන් එලියට ගිහින් මීට වඩා හොඳට ඉඩ කඩ තියෙන තැනක ඉද්දි ඔයාටත් අලුත් ගතියක් දැනේවි” එයා සෝෆා එක උඩ වාඩිවෙලා කියනවා. “වෙච්ච හැමදේම අමතක කරලා මට ඕන ජීවිතේ ආයෙ අලුතෙන් පටන් ගන්න මැණික”

“ම්ම්.”

“අපි හැම වීකෙන්ඩ් එකේම කොහෙහරි යමු.”

“හ්ම්.”

“ඔයාට බලු පැටියෙක්ව ඕනෙද? ඔයා මල් වවන්න ආස හන්දා මම පොඩි ගාඩ්න් එකක් තියෙන ගෙයක් තමයි බැලුවෙ. අපිට පොඩි බීගල් කෙනෙක්ව වගේ හදන්න පුලුවන්”

මං එයා දිහා බැලුවා. එයා ඉන්නෙ ඇත්තටම ට්‍රයි කරන ගමන් කියන එක මට නොතේරෙනවා නෙවෙයි. එයාට මේ හැමදේම ඇත්තටම ෆික්ස් කරන්න ඕන කියන එක මට නොතේරෙනවා නෙවෙයි. අන්න ඒකයි මටත් තිබ්බ ප්‍රශ්නෙ. මතින්ද්‍ර දැන් හැසිරෙන්නෙ හරියට එයා හැමදේම ෆික්ස් කරලා ඉවරයි වගේ. එයා හිතන් ඉන්නවා වෙච්ච ඩැමේජ් එක සහමුලින්ම රිපෙයාර් කරන්න පුලුවන් කියලා. හැබැයි සමහර දේවල් එහෙම රිපෙයාර් කරන්න බෑ. වීදුරුවක් බිඳුණම ගම් ගාලා ඒක අලවන්න පුලුවන් බව ඇත්ත හැබැයි අර ඉරිතැලිච්ච පාරවල් කවදාවත් මැකිලා යන්නෙ නෑ.

“මේඝා?”

මං ගැස්සිලා වගේ මේ ලෝකෙට ආපහු ආවෙ එයාගෙ ඒ වචන එක.

“ඇයි?”

“ඔයා කොහෙද ගියේ එකපාර?”

එයා හෙමින් හිනා වුණා.

“මේ දවස් ටිකේ ඔයා ගොඩක් සයිලන්ට්”

මං කෝප්පෙ මේසෙ උඩින් තිබ්බා.

“ටිකක් මහන්සි.”

“තව ටික දවසයි.” එයා මගේ අත අල්ලගත්තා. “හැමදේම හරියාවි.”

එයා මාව අල්ලගත්තෙ හරිම සොෆ්ට් විදියට. පරිස්සමෙන් හරියට මට රිදේවි වගේ. හැබැයි මගෙ ඇඟෙන් ඒකට කිසිම පොසිටිව් රියැක්ශන් එකක් ආවෙ නෑ.මට ඇත්තටම ඕන උනේ අත අයින් කරගන්න. හැබැයි මං එහෙම කරේ නෑ. මං නිකන් හිටියා. එයා ඒ සයිලන්ස් එක මං ඒකට කැමති වීමක් විදියට දකින්න ඇති. මං දන්නවා මතින්ද්‍රට තාම තේරිලා නෑ මං හෙමින් සැරේ මැකිලා යන ගමන් ඉන්නෙ කියලා ජීවිතෙන්. එයාගෙ ජීවිතෙන්.

ශරීරෙන් නෙවෙයි. මානසිකව.

එයා අනාගතේ ගැන කතා කරන හැම තත්පරේකම මං හිත හදාගන්නෙ කොහොමද එයාගෙන් ඈත් වෙන්නෙ කියලා හිතලා. එයා අලුතෙන් අපිට ඉන්න බලපු ගේ තිබුණෙ ටවුන් එකක් ටිකක් ඈතට වෙන්න නිස්කලංක තැනක.අපි ඒ ගේ බලන්න එයාගෙ කාර් එකේ යන ගමන් මතින්ද්‍ර උන්නෙ එයාගෙ කියවිල්ල එක තප්පරේකට නතර කරන්නෙ නැතුව. මට වෙලාවකට ඒ කියවිල්ල මහ වදයක්, කන්කරච්චලයක් වගේ ඇහුණත් මට ඒක නවත්තන්න කරන්න දෙයක් තිබුණෙ නෑ.

“මෙතන ට්‍රැෆික් අඩුයි, ගස් කොලං එහෙම තියෙනව, ඔයාට ඔෆිස් යන්න ටිකක් වෙනදට කලින් යන්න වෙන බව ඇත්ත හැබැයි මට පුලුවන් නෙ ඔයාව උදේට ඩ්‍රොප් කරන්නයි හවසට පික් කරන්නයි එන්න. සෙකියුරිටි එකත් හොඳයි නේබර්හුඩ් එකත් හොඳයි. බබාලා ඉන්න කාලෙක උනත් හොඳයිනෙ අහල පහල හොඳ මිනිස්සු ඉන්න එක නේද?

අනික ලොකුවටම කියලා ගෙවල් නැති හන්දා අපේ ප්‍රයිවසි එකටත් හොඳයි” කියලා එයා කියද්දි මට ඇත්තටම ටිකක් හිනා ගියා.

මගේ ජීවිතේ ප්‍රයිවසි කියන දේ මුලින්ම කැඩුවෙත් මතින්ද්‍රමනෙ. එහෙම මනුස්සයම දැන් ප්‍රයිවසි එකක් ගැන කතා කරද්දි ඇත්තටම මට පස්ස පැත්තෙනුත් හිනා යන්න ආවා. ඒ ගේ හරිම ලස්සනයි. හැබැයි මට ඒක දැනුනෙ ගෙයක් විදියට නෙවෙයි මාව බෙල්ලෙන්ම හිරකරන්න බලාගෙන ඉන්න තොණ්ඩුවක්, ගිරයක් වගේ. මතින්ද්‍ර උන්නෙ ඒ ගේ ඇතුලෙ අතන මෙතන ඇවිදින ගමන් එයාට හිතෙන හිතෙන දේවල් කියන ගමන්. කිසිම ලීබඩුවක් නැතුව ඔහේ බිත්ති, වහලයි, පොලොවයි විතරක් තිබ්බ ඒ ගෙදර මට දැනුනෙ මගෙ පපුව වගේම හරි හිස් කියලා. මං උන්නෙ නිකන් කාත් කවුරුවත් නැති තැනක හිරවෙලා තනිවෙලා වගේ. ඒත් මතින්ද්‍ර දිගටම මගෙ පිටිපස්සෙ ඉඳගෙන ඔහේ කියව කියව හිටියා.

“අපි බැල්කනි එකට ෆෙයරි ලයිට්ස් දාමු. ඔයා ඒවට ආසනෙ.” එයා එහෙම කියද්දි මට එකපාර මතක් උනා අතීතෙ. මං බාතෲම් එකේ බිම ඉඳන් අඬන ගමන් උන්නෙ. මතින්ද්‍ර දිගටම දිගටම කෝල් කරන ගමන් උන්නෙ.

ආයෙ ආයෙ ආයෙම එයා දිගින් දිගටම කෝල් කරනවා.

“ආන්ස්වර් කරපං මේඝා.” කියලා මට මැසේජ් එව එව එයා මට තර්ජනය කරපු විදිය මට මතක් වුනා. එහෙව් මානසික පීඩනයක් දුන්න මනුස්සයා එක්ක නේද මම මේ ගෙවල් බලන්න ඇවිත් තියෙන්නෙ කියලා හිත මට රෙඩ් සිග්නල් දෙද්දිම තමයි මතින්ද්‍ර ආයෙ වතාවක් මට කතා කරේ.

“බබා?”

මං ගැස්සිලා වගේ ආපහු මේ ලෝකෙට ආවෙ ඒ වචන එක්ක. මතින්ද්‍ර මං දිහා බලන් උන්නෙ.

“Are you okay?”

“හ්ම්.”

“ඔයාට සනීප නැද්ද? ඔයා ටිකක් සුදුමැලි වෙල ගිහින් වගේ.”

“මුකුත් නෑ.” කියලා මං කියද්දි එයා හෙමින් සැරෙ මං ගාවට ඇවිදන් ආවා.

“අන්තිමේ අපි කොහොමහරි එකතු වුණා නේද? දැන් අපිට නිදහසේ ජීවත් වෙන්න පුලුවන්” එයා ඒක කිව්වෙ හිනාවක් එක්ක. ඒක මහ අමුතු හිනාවක් විදියට මම දැක්කෙ. ඒ වචනවලට වඩා මාව බය කරේ ඒ හිනාව.

නිදහස? ඒ වචනෙත් මාව බය කරන එකක්. මොකද මතින්ද්‍ර එක්ක ඉඳලා මට දැනුණ ලොකුම දේ නිදහස නෙවෙයි.

ඒක බයක්.

මං බැල්කනි එකට ඇවිදගෙන ගියා. පල්ලෙහ පාර මෙතනට පේන්නෙ පොඩියට. කාර් එහෙම හරි පොඩියට පේන්නෙ. මිනිස්සුත් එහෙමයි. මට එවෙලෙ දැනුනා අපි නිකන් නගරෙන් සම්පූර්ණයෙන්ම මිදිලා වෙනම තැනකට ඇවිත් වගේ කියලා. අන්න ඒ වෙලාවෙ තමයි මට ඒ බය හිතෙන තේරුං ගැනීම හිතට ආවේ.

මං මේ මනුස්සයා එක්ක මේ ගෙදරට ආවොත් මගෙ මුලු ජීවිතේම මෙයාගෙ හෙවණැල්ල අස්සෙ හිරවෙනවා නේද?” කියලා.

“මේඝා.”

මතින්ද්‍රගේ කටහඬ ආයෙ වතාවක් මාව මේ ලෝකෙට ඇදලා ගත්තා. මං හැරිලා එයා දිහාව බැලුවා. එයා උන්නෙ සන්තෝසෙන් හිනා වෙන ගමන්. මං හිතන කිසිම දෙයක් නොදැන හිනා වෙන ගමන්.

“ඔයා මෙතනට කැමති නේද? අපෙ අලුත් ජිවීතේ මෙතනින් පටන් ගන්න ඔයා කැමති නේද?”

මං එයා දිහා බලන් හිටියා. ඒ තත්පරේ මට හරියටම තේරුණේ එක දෙයයි.

මතින්ද්‍ර අනාගතේ ප්ලෑන් කරද්දි මං ප්ලෑන් කරමින් උන්නෙ පැනලා යන්න විදියක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here