රෑ දෙකත් පහු වෙලා තිබුණා. මුළු අපාට්මන්ට් එකම නිහඬයි.
ඇඳේ අනිත් පැත්තෙන් ඇහෙන්නෙ මතින්ද්‍රගෙ හෙමින් හුස්ම ගන්න සද්දෙ විතරයි. ඉස්සර කාලෙක නම් ඒ සද්දෙ මට සැනසීමක්. හරියට මං තනියම නෙවෙයි කියලා මතක් කරලා දෙන උණුසුම් ෆීලින් එකක්.
හැබැයි දැන්? දැන් ඒ හුස්ම සද්දෙත් මට දැනෙන්නෙ බරක් වගේ. මං හෙමින් ඇඳෙන් බැහැලා ලැප්ටොප් එක අරගෙන බැල්කනි එකට ආවා. ස්ක්‍රීන් එකේ එළිය විතරක් මගේ මූණට වැටිලා තිබුණා. මං මුලින්ම බෑන්ක් අකවුන්ට් එක ඕපන් කරා. සේවින්ග්ස්, ෆික්ස්ඩ් ඩිපොසිට්ස්, සැලරි අකවුන්ට් එක දිහා මං එකින් එක ආයෙ ආයෙ බැලුවා.
“මේ ඇති වෙයිද?” මං හෙමින් අහගත්තෙ මගෙන්මයි. මට ඕන උනේ යන්න.කොහේ හරි දුරකට යන්න. කාටවත් නොකියා අතුරුදහන් වෙන්න. ඒ අදහස දැන් මගේ ඔළුව ඇතුළේ අලුත් එකක් නෙවෙයි. මේ දවස් ටිකේම ඒක හෙමින් හෙමින් ලොකු වෙමින් තිබුණ දෙයක්. මං මෙච්චර දවසක් තිස්සෙ මතින්ද්‍රට හොරෙන් හදාගෙන ආව ඩොකියුමන්ට්ස් ෆෝල්ඩර් එක හෙමින් සැරේ ඕපන් කරා. පාස්පෝට් කොපි, සර්ටිෆිකේට්ස්, සීවි එක, පෝට්ෆෝලියෝ එක ඔක්කොම. මං ආයෙ වතාවක් සීවි එක අප්ඩේට් කරා. ටයිප් කරන අතරෙම එක තැනක ඇස් නැවතුනේ අහම්බෙන් වගේ.
“Emergency Contact.”
එතන තාමත් තිබුණේ මතින්ද්‍රගෙ නම. මගේ පපුව ඇතුළෙන් මොකක් හරි කඩාගෙන වැටුණා වගේ දැනුණා.ප්‍රශ්නයක් කරදරයක් වුනාමත් මං call කරන්නෙ එයාට.මාව බය කරපු මනුස්සයට. මං හෙමින් සැරේ එතනට ගිහින් බැක් ස්පේස් කී එක එබුවා. එයාගෙ නම හීන් සැරේ මැකිලා යන කම්ම මම එහෙම කරා. ඉන්පස්සෙ මම ආයෙ ලැප්ටොප් එක වහලා බැල්කනි එකේ රේලින් එකට හේත්තු වුණා. පල්ලෙහා පාර සම්පූර්නයෙන්ම වගේ හිස්. පාරෙ ලයිට් විතරක් ඒ තනිකම මැකුවා.
හරි අමුතුයි.
ජීවිතේ එක තැනකදි ඔයා තේරුං ගන්නවා ඔයා ආදරේ කරලා තියෙන්නෙ ඔයාට පරිස්සමක් දැනෙන, ඔයාට සේෆ් කියලා දැනෙන කෙනෙක්ට නෙවෙයි කියලා. ඒ තේරුං ගැනීම හරිම කැතයි. වේදනාබරයි. මං ඇස් පියාගත්තා. අන්න එවෙලෙ තමයි පුංචි කාලෙ මතක ඇවිත් මගෙ ඔලුව අස්සෙ පිරෙන්න ගත්තෙ. මං පොඩි කාලෙ ඉඳන්ම මිනිස්සුන්ට නිදහසට කාරනා හදලා දුන්න මනුස්සයෙක්.
“එයා එහෙම කරේ තරහට.”
“එයාට මොනා හරි ප්‍රශ්න තියෙන්න ඇති.”
“එයා ඇත්තටම මට ආදරෙයි.”
මං හැමදාම රිද්දපු මිනිස්සුන්ව තේරුම් ගන්න ට්‍රයි කරා.හැබැයි කවුරුත් මාව තේරුම් ගන්න ට්‍රයි කරේ නෑ. එකපාරටම මට මන්දස්මිතා කියපු දෙයක් මතක් වුණා.
“සමහර මිනිස්සුන්ව අතාරින්නෙ ආදරේ නැති නිසා නෙවෙයි. බේරෙන්න ඕන නිසා.”
මගේ ඇස් වල කඳුළු පිරුණා. මං මතින්ද්‍රට ආදරේ නැද්ද? ඒක තමයි භයානකම දේ.තාමත් තියෙනවා.හැබැයි ඒ ආදරේට වඩා දැන් මගේ ඇඟ ඇතුළේ ලොකු වෙලා තියෙන්නෙ බය.
“නින්ද යන්නෙ නැද්ද මැණික?”
එයා එහෙම ඇහුවෙ හරිම නිදිබර විදියට. මං ඒකට උත්තර දුන්නෙ නිකන් “හ්ම්” කියලා. මට හැබැයි එවෙලෙ හිතුනා මීට තප්පර ගානකට කලින් මං ලැප්ටොප් එක වැහුවෙ කොච්චර හොඳද නැත්තං මතින්ද්‍ර අහන දහසක් ප්‍රශ්න වලට දෙන්න උත්තර මම කොහෙන්ද හොයාගන්නෙ කියලා.
ඉන්පස්සෙ මම නිදාගන්න ගියා. මං ඉන්පස්සෙ දවසෙ ඇහැරෙද්දිත් මතින්ද්‍ර කාමරේ උන්නෙ නෑ. එයා කොහෙ හරි ගිහින් තිබ්බා.
ජුවෙලරි ශොප් එක ඇතුළට යද්දි මට දැනුණේ මාරම අමුතු සන්තෝසයක්. මං උදේ ඇහැරෙද්දිත් මේඝා හොඳටම නිදි, එයා ඊයෙ රෑ නිදාගත්තෙ අඩුවෙන් විත්තිය මම දැක්කා. සමහරවිට එයාගෙ උනත් හිතේ අවුලක් ඇති අපි දෙන්නා තාම මැරේජ් එකක් ගැන කතා කරන්නෙ නැතුව මෙහෙම ලිවින් ටුගෙදර්, ඒකත් එයාගෙ අපාට්මන්ට් එකේ ඉන්න එක ගැන. අන්න ඒ නිසාමයි මම හිතුවෙ මෙච්චර කාලයක් මං හින්ද අනන්ත අප්‍රමාණ දුක් වින්ද කෙල්ලට අන්තිමේදි හරි සන්තෝසෙන් ඉන්න කාරණාවක් සපයන්න.
හරියට මෙච්චර කාලයක් ඇදගෙන ආපු ප්‍රශ්න ටික අන්තිමට ඉවර වෙලා යනවා වගේ ෆීලින් එකක් තමයි ඒක.
සේල්ස් ගර්ල් කෙනෙක් හිනාවෙලා මං ගාවට ආවා.
“සර් එන්ගේජ්මන්ට් රින්ග්ස් ද බලන්නෙ?”
මං ටිකක් හිනා වුණා.
“ඔව්.”
ඒ වචනෙ කියද්දිත් මගේ පපුව ඇතුළේ අමුතු කිතියක් වගේ එකක් ආවා. මේඝා ඒක දැක්කම කොහොම බලයිද? අඬයිද? ශොක් වෙයිද? එයා අන්තිමේදි තේරුං ගනීවිද මං මෙච්චර ෆයිට් කරේ, මං මේ හැමදේම කරේ එයා වෙනුවෙන් කියලා. වීදුරු කවුන්ටර් එක ඇතුලෙ ඉඳන් ලස්සන ලස්සන එන්ගේජ්මන්ට් රින්ග්ස් මං දිහා බලාගෙන හිනා වෙනවා වගේ මම දැක්කෙ. රත්තරන් ඒවා, වයිට් ගෝල්ඩ් ඒවා, මුතු අල්ලපු, ගල් අල්ලපු රින්ග්ස්.
මං එකින් එක ඒ රින්ග්ස් දිහා බලන් හිටියා.
“සර්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කැමති මොන වගේ රින්ග්ස් වලටද?” සේල්ස් ගර්ල් ඇහුවා.
මගේ ඔළුවට එකපාර ආවෙ මේඝාගෙ ලස්සන බෝපත් හැඩේ මූණ.මිනිමල් මේකප් දාන, ලා පාට ලස්සන කොට්න් ඇඳුම් අඳින, පොඩි මාල කරාබු මුදු වලලු දාන, සිම්පල් කෙල්ලෙක්.
“සිම්පල් එකක්.” මං කිව්වා. “හැබැයි ස්පෙශල් වෙන්න ඕන.”
එයා මුදු ටිකක් ට්‍රේ එකක දාලා පෙන්නුවා. මං ඒවා දිහා බලද්දි ඇත්තටම උන්නෙ පුදුමාකාර සන්තෝසෙක. අන්තිමේදි කොහොමහරි මම මේඝාව මගෙ කරගත්තා නේද කියන සන්තෝසෙ මගෙ හිතේ එවෙලෙ තිබ්බා. අලුත් ගෙයක්, අපි දෙන්නා විතරක් ඉන්න ජීවිතයක්, මේඝා උයන කෑම, එයා ඉස්සර වගේ මට ආදරෙන් කතා කරන මෝමන්ට්ස්, රෑ වෙනකම් ඇහැරගෙන තුරුල් වෙලා ඉන්න මෝමන්ට්ස් මම හිතෙන් මවාගත්තා.
එයා කුස්සියේ කොෆී හදනවා මං හෙමින් පිටිපස්සෙන් ගිහින් එයාව බදාගන්නවා. මහා ලොකු දේවල් නෙවෙයි, අපිට ඕන වුණේ අන්න ඒ වගේ සාමාන්‍ය, නිදහස් ජීවිතයක්. ඇත්තටම අපිට හිමි වෙන්න ඕනෙත් අන්න ඒ වගේ ජීවිතයක්.
ඇත්තම කිව්වොත්, මං හිතුවේ මං හැමදේම පරාද වෙලා ඉවරයි කියලා. මන්දස්මිතා මාව දාලා ගිය එක, ඩිවෝස් එක, උසාවි ගානේ රස්තියාදු වුණ ඒවා, සල්ලි නැති වුණ එක, මුළු රටක් ඉස්සරහා මං ලැජ්ජා වුණ විදිහ ඒ හැම දේකින්ම මාව සම්පූර්ණයෙන්ම වගේ කඩලා වැටිලයි හිටියේ.
හැබැයි අන්තිමට මේඝා තාම මගේ ගාව. ඒකම ඇති නේද මට ජීවිතේ ඉතුරු ටික සන්තෝසෙන් ඉන්න?
“සර් මේ ඩිසයින් එක දැන් ට්‍රෙන්ඩින්.” කියලා සේල්ස් ගර්ල් ලස්සන මුද්දක් මට පෙන්නුවෙ එවෙලෙ. හරිම චූටි එලිගන්ට් මුද්දක්. මේඝගෙ ලස්සන දිග ඇඟිලි වලට ඒ මුද්ද ලස්සනට තියේවි. මං ඒක අතට අරගෙන බලන් හිටියා.මේඝාගෙ අතේ මේක කොයි විදියට තියේවිද කියලා මම කල්පනා කරා.
මතින්ද්‍ර කොහෙද ගියේ කියලා මම ඇත්තටම දැනගෙන උන්නෙ නෑ. ඒත් එයා එනකම් මට එදා කරන්න ලොකු වැඩක් තිබුණා.
මං කාමරේ බිම ඉඳගෙන පාස්පෝට් එක, සහතික, ඩොකියුමන්ට්ස් ටික ඇඳ උඩ විසුරුවගෙන හිටියෙ. මම කෝකටත් මතින්ද්‍රට එන්න බැරිවෙන්න මේන් ඩෝ එක ඇතුලෙන් ලොක් කරලා උඩ අගුලත් දැම්මා. එතකොට එයා ඇවිල්ල දොරට තට්ටු කරාම මට මේ ඔක්කොම හංගන්න වෙලාව හොයාගන්න පුළුවන් හන්දා.
ලැප්ටොප් එකේ ඕපන් වෙලා තිබුණේ ඇප්ලිකේශන් ෆෝම් එකක්.
“Country of relocation.” මගේ ඇස් වල කඳුළු තිබුණා.හැබැයි මං සද්දෙට ඇඬුවෙ නෑ.මං මේ දවස් ටිකේ ඉගෙනගෙන තිබුණ ලොකුම දේ ඒක. සද්ද නැතුව අඬන එක.කාටවත් නොපෙනෙන්න කැඩිලා බිඳිලා කෑලි කෑලි වෙන එක. අන්න එවෙලෙ තමයි ඩෝ බෙල් එක රින්ග් උනේ. මතින්ද්‍ර ඇවිත් විත්තිය තේරිච්ච ගමන් මම ලැප්ටොප් එක ටක් ගාලා වහලා ඩොකියිමන්ට්ස් ඔක්කොම ටක් ටක් ගාලා එහෙට මෙහෙට කරලා දැම්මා.
ඉන්පස්සෙ තමයි මම දොර ඇරියෙ. හැබැයි ඇරපු දොර ඉස්සරහා මම දකින්න බලාපොරොත්තු උනේ මම දකින්න බලාගෙන උන්න මතින්ද්‍රව නෙවි.


