මතින්ද්‍ර උන්නෙ පුදුමාකාර සන්තෝසෙකින් බව මම දැක්කා. හැබැයි ඒ සන්තෝසෙට හේතුව මොකද්ද කියලා හොයන්නවත්, එක මොකද්ද කියලා දැනගන්නවත් මට උවමනාවක් තිබ්බෙ නෑ. මං බලාගෙන උන්නෙ මං කොයි වෙලාවෙද මතින්ද්‍රගෙන් ගැලවිලා යන්නෙ කියලා.
මේ දවස් ටිකේ මං ජීවත් වුණේ දවස් ගණන් කරන ගමන්. තව ටික දවසයි.තව පොඩ්ඩයි.තව ටිකක් ඉවසන්න.මං හැමදාම මටම එහෙම කියාගත්තා.
හැබැයි මතින්ද්‍ර? එයා උන්නෙ ඒකට සහමුලින්ම විරුද්ධ පුදුමාකාර සන්තෝසෙක. හරියට ජීවිතේ අන්තිමේදි එයා බලාපොරොත්තු වෙච්ච විදියටම ඉස්ට සිද්ද වෙලා වගේ තමයි එයා හැසිරෙන්න පටන් අරගෙන තිබුණා. එයා කියන කියන හැමදේම මමත් ඒ විදියටම කරා මොකද මට ඕන උනේ නෑ මෙච්චර දවසක් රුවිනිගෙත් උදව්වෙන් මතින්ද්‍රට හොරෙන් මම එයාගෙන් ගැලවිලා යන්න ගහපු ප්ලෑන් එක එක වැරදි අඩියක් නිසා විනාස වෙලා ගිහින් මට සදහටම මෙතන හිරවෙලා ඉන්න සිද්ද වෙනවට. ඒ නිසා මම ලොකුම ලොකු රඟපැමක් කරන ගමන් උන්නෙ මතින්ද්‍ර ඉස්සරහා. හැබැයි මං ඒක කරේ පුදුමාකාර බයකින්, අහුවෙයි කියන බයකින්. හරියට අතුරෙ යනවා වගේ.
“අද රෑ ෆ්‍රී තියාගන්න හරිද?” එදා උදේ මම කොෆි හදන ගමන් එයා එකපාර එහෙම කියද්දි මට ඒකට අහන්න සෑහෙන ප්‍රශ්න තිබ්බා. ඒත් මට එයාගෙන් අහන්න පුලුවන් උනේ ඇයි කියන ප්‍රශ්නෙ විතරයි.
“මොකක් වෙනුවෙන්ද?”
“නිකන් මට ඔයාව ඩිනර් එකකට එක්කරගෙන යන්න විශේෂ හේතුවක් තියෙන්නම ඕනද?” කියලා එයා පිටිපස්සෙන් ඇවිත් මාව බදාගනිද්දි මං කරේ සද්ද නැතුව උන්න එක. මං ආස නැති බව එයා එහෙම කරනවට කියන්න මට පුලුවන්කමක් තිබ්බෙ නෑ. එයා හිනා උනා. ඒ හිනාව කලින් මං ආසම කරපු හිනාවක්. දැන් ඒක දැක්කම මට දැනෙන්නෙ හරියට මං මොකක්හරි භයානක දෙයක් ඉස්සරහ ඉන්නවා වගේ හැඟිමක්.
“මට මූඩ් එකක් නෑ මතින්ද්‍ර.”
“ප්ලීස්.”
එයා ඒක කිව්වෙ නිකන් වැඳ වැටෙන්න වගේ ටෝන් එකකින්.
“අපි දෙන්නා ගොඩක් කාලෙකින් හරියට එළියට ගියෙ නෑනෙ.”
මං උත්තරයක් නොදී සින්ක් එක දිහා බලන් හිටියා. ඇත්තම කිව්වොත් මට දැන් රණ්ඩු කරන්නත් හරිම මහන්සි. දේවල් තේරුං කරන්න හරිම මහන්සි. පැනලා යන්න ප්ලෑන් එකක් හිතේ තියාගෙන මෙහෙම රඟපාන එකත් හරිම මහන්සි. අන්න ඒ නිසාම මම අන්තිම වතාවට කියල හිතලා ඒ වචන ටික කියලා දැම්මා.
“ඕකේ.”
මං අන්තිමට හෙමින් කිව්වා. ඒ වචන ටික ඇහුණට පස්සෙ තමයි මතින්ද්‍රගෙ මූන එලිය වුණේ. හරියට පොඩි ළමයෙක්ට ඕන දෙයක් හම්බුණා වගේ.
“එහෙනං ශුවර් නේද?”
මං ඔලුව වැනුවා විතරයි.එයා ඇවිත් මගේ නළලට කිස් එකක් දුන්නා. මට දැනුනෙ නිකන් සර්පයෙක් අඟේ ගෑවුනා වගේ මහ අප්පිරියා හිතෙන ෆීලින් එකක්. හැබැයි ඒක එයාට තේරුණේ නෑ.
“ලස්සනම ඇඳුමක් අඳින්න හොඳේ” එයා කිව්වෙ ආපහු සැරයක් අර අමුතු ලස්සන හිනාව දාන ගමන්.
“ඔයා ලස්සනට ඉන්නවට මං ආසයි.”
මට ඇත්තටම හිනා යන්න ආවා. මතින්ද්‍ර තාමත් හිතනවා මේ සම්බන්ධෙ එයාට තාම බේරගන්න පුළුවන් කියලා. එයා මට ආදරේ කරාම ඒක ඇති කියලා. සමහර වෙලාවට ආදරේ කියන්නෙත්, විශේෂයෙන්ම ඔය ඕනවට වඩා ආදරේ කරනවා කියන එකත් මහ වදයක් බව එයා දන්නෙ නෑ. එදා හවස මම කණ්ණාඩිය ඉස්සරහා හිටගෙන ඇඳුම් මාරු කරද්දි මං කණ්ණාඩියෙන් පෙනිච්ච මගේම රූපෙ දිහා ඔහේ බලාගෙන උන්නා. මගේ ඇස් යට කලුවෙලා, මූන කෙට්ටු වෙලා. මහන්සි පාරයි. හරියට මාස ගානකින් හරියට නිදාගත්තෙ නැති මනුස්සයෙක් වගේ වෙලා.
“මේඝා hurry up baby!” මතින්ද්‍ර සාලෙ ඉඳන් එවෙලෙ මට කතා කරා. “අපේ රිසවේශන් එක මිස් වෙයි ඔන්න” කියල එයා කියද්දි තමයි මං කරාබු දාගත්තෙ. රිසවේශන්, ඩිනර්, සප්‍රයිස්, මේවා ඉතින් ඕනම ජෝඩුවක් කරන දේවල් බව දැනගෙන උන්නත් අපි දෙන්නා නෝමල් කපල් එකක් නොවන බව අපි දෙන්නම දැනගෙන උන්න විත්තිය මම විශ්වාස කරා. එළියෙන් බලන ඕන මනුස්සයෙක් හිතාවි අපි දෙන්නා මාර ලස්සනට ජීවත් වෙනවා කියලා. කවුරුවත් සැක හිතන්නෙ නෑ මං හෑන්ඩ් බෑග් එක ඇතුලෙ පාස්පෝට් එකයි, හදිසියකට ඕන කරන සල්ලි ටිකකුයි දාගෙන ඕන වෙලාවක පැනලා දුවන්න බලාගෙනයි උන්නෙ කියලා.
ඒ රෙස්ටුරන්ට් එක ටිකක් ගණන් තැනක්. එන්ට්‍රන්ස් එකේ ඉඳලම සොෆ්ට් මියුසික් එකක් පියානෝ එකේ ප්ලේ කරනවා. ඩිම් ලයිට්ස්, තැන් තැන්වල පත්තු කරපු ඉටිපන්දම්, වයින් ග්ලාසස් වලින් පිරිච්ච ඒ රෙස්ටුරන්ට් එක ගැන මතින්ද්‍ර කාර් එක පාක් කරන කල්ම මාර ලොකුවට කියව කියව ආවෙ.
“ඔයා මෙතනට මාර ආස වෙයි. කෑම මාර රසයි. වීව් එකත් මරු” එයා ඒවා කියද්දි මං කරේ ජනේලෙන් එළිය බලාගෙන උන්නු එක විතරයි. ඇත්තම කිව්වොත් එදා එයා මාව පෙට්ටි කඩේකින් කන්න එක්කන් ගියා නම් මට ඒකවත් කිසි ගාණක් නැතිවෙන්න තිබ්බා. මොකෝ මගේ ඔලුව ඇතුලෙ වැඩ කරේ එකම එක සිතුවිල්ලක් විතරයි.
වැඩ කරන ළමයෙක් අපිව කෙළවරක තිබුණ මේසෙකට එක්කගෙන ගියා. එතන ඉඳන් මුළු ටවුන් එකේම ලයිට් පේනවා. හරිම රොමැන්ටික්, නියම තැනක්. මතින්ද්‍ර පුටුව පස්සට කරලා මට ඉඳගන්න දුන්නම මං නිකමට වගේ “තෑන්ක්ස්” කිව්වා.
එයා ටික වෙලාවක් මං දිහා බලාගෙන ඉඳලා ඇහුවා, “ඔයා අද හරි සයිලන්ට් නේ” කියලා. “ටිකක් මහන්සියි” කියලා මං ශේප් වුණාම, එයා හිතුවේ ඒක ඔෆිස් එකේ වැඩවලින් ආව මහන්සියක් වෙන්න ඇති කියලා. ඒත් ඇත්තටම මං මහන්සි වෙලා හිටියේ මේ හැම තත්පරේම හිතින් කරන සටන හින්දා. වේටර් ඇවිත් මෙනු කාඩ් දීලා ගියාට පස්සේ මතින්ද්‍ර හිනාවෙලා අපේ ෆස්ට් ඩේට් එක මතක් කරන්න ගත්තා. “අපි එදා කොෆී ෂොප් එකේ පැය තුනක් කතා කළා මතකද? එදාම මට හිතුණා ඔයා මාර ඩිෆරන්ට් කෙල්ලෙක් කියලා.” ඒක කියද්දී එයාගේ මූණ මාර විදිහට බැබළුණා.
හැබැයි මගේ පපුව ඇතුළේ මොකක්දෝ අමුතු අපහසුවක් ඇති වුණා. මට ඒ හැමදේම මතකයි. එයා මුලින්ම මගේ අත අල්ලපු හැටි, රෑ තිස්සේ ගත්ත කෝල්, මං බය වෙලා අඬද්දී මාව සනසපු හැටි.හැබැයි ඒ ලස්සන මතකයන් එක්කම දැන් බය, මාව පාලනය කරන්න හදපු හැටි, ඇඬුව ඒවා, වැඳලා ඉල්ලුව ඒවා, ෆෝන් වල පාස්වර්ඩ් උදුරගත්ත ඒවා වගේ දේවල් හොඳට එක්කහු වෙලා තිබුණා.
“මතකයි” කියලා මං අන්තිමේදී හෙමින් කිව්වා.
එයා හිනාවෙලා කිව්වා “දැක්කනේ අපි දෙන්නට මතක් කරන්න කොච්චර මතක තියෙනවද නේ? අතීතය සිහිනයක් පමණයි කිව්වට එහෙමම නෑ නේද?” කියලා.
අතීතය, මතක…
මට හිතුණේ සමහර මතක කෞතුකාගාරයක දාලා වහන්න හොඳයි මිසක්, ජීවිතේ ඉස්සරහට කර තියාගෙන යන්න හොඳ නැහැ කියලා. කෑම ඕඩර් කළාට පස්සේ එයා වයින් වීදුරුව උස්සලා “අපි දෙන්නා වෙනුවෙන්” කිව්වට මං ඒක ඇල්ලුවා විතරයි, බීවේ නැහැ. එයා දිගටම අලුත් ගෙවල්, ට්‍රැවලින්, අලුතින් ජීවිතේ පටන් ගන්න ඒවා ගැන කියවනවා. “අපි අන්තිමේදී නෝමල් මිනිස්සු වගේ ඉමු මේඝා” කියලා එයා කියද්දී මට දැනුණේ මගේ නිදහස සදහටම අහිමි වෙන්න යනවා වගේ විතරයි.
“නෝමල්.” ඒ වචනෙ ඇහෙද්දී මට හුස්ම ගන්නත් අමාරු වුණා. මොකද අපේ අතරේ දැන් කිසිම දෙයක් නෝමල් මට්ටමක තිබුණේ නැහැ. එයා එකපාරටම මේසේ උඩින් අත දාලා මගේ අත අල්ලගත්තා. මගේ ඇඟ ඉබේටම වගේ ගැස්සිලා ගියා. ඒ ප්‍රතිචාරය දැකපු තත්පරේම එයාගේ මූණේ තිබුණ හිනාව පොඩ්ඩක් වෙනස් වුනා.
“ඔයා තාම මට බයද?”
මං එකපාරටම උත්තර දෙන්න ගියේ නැහැ. ඒ නිහඬකම ඇතුළේම ඕනෑවට වඩා උත්තර තිබුණා. හැබැයි මතින්ද්‍ර ඒක නොදැක්කා වගේ ඉන්න උත්සාහ කළා. “හැමදේම හරි යයි,” එයා හරිම මෘදු විදිහට කිව්වා. “මාව විශ්වාස කරන්න.”
විශ්වාසය මට ඒ වචනය ඇහෙද්දී ඇත්තටම හිනා යන්න වගේ ආවා. මොකද එයා දැනගෙන හිටියේ නැහැ මං ඒ වෙලාවේ හිතින් හොර රහසෙම ගණන් හදමින් හිටියේ මෙතනින් පැනලා යන්න තියෙන ලේසිම ක්‍රමය මොකක්ද කියලා කියන එක ගැන කියල. ඩිනර් එකත් දැන් ඉවර වෙන්න ළඟයි. ප්ලේට් එකේ තිබුණ කෑමවලින් බාගෙකටවත් මං අත තිබ්බේ නැහැ. හැබැයි මතින්ද්‍ර ඒක දැක්කේ නැහැ, නැත්නම් දැක්කත් ගණන් ගත්තේ නැහැ. එයා හිටියේ එයාගේම ලෝකෙක. අනාගතයක් ගැන, අපි ගැන හීන දැක දැක. මම ඒ වෙලාවේ මානසිකව හිටියේ ඒ මේසෙන් ගොඩක් ඈත තැනක.
වේටර් ඇවිත් බිල් ෆෝල්ඩර් එක මේසේ උඩින් තියලා ගිය වෙලාවෙම මතින්ද්‍ර එකපාරටම දිග හුස්මක් ගත්තා. මං ඉබේටම වගේ එයා දිහා බැලුවා. එයා හිටියේ කලබල වෙලා කියලා මට පැහැදිලිවම පෙනුණා.
“මොකද?” මං හෙමින් ඇහුවා.
“මුකුත් නැහැ.”
එයා හිනාවෙන්න උත්සාහ කළා.එයා අත් දෙකෙන් වීදුරුව අල්ලගෙන තත්පර ගාණක් මුකුත් නොකියා හිටියා. රෙස්ටුරන්ට් එකේ තිබුණ සංගීතය, හැඳි ගෑරුප්පු සද්ද, මිනිස්සුන්ගේ හිනා හඬවල් ඒ හැමදේම මට ඇහුණේ හරිම ඈතින් වගේ.
“මේඝා” අන්තිමේදී එයා කතා කරා.
“හ්ම්?”
“මං දන්නවා මං අතින් වැරදි වුණා කියලා.”
මගේ පපුව ඇතුළේ මොකක්දෝ තද වෙනවා වගේ මට දැනුණා.
“ගොඩක් වැරදි වුණා.” එයාගේ ඇස් කෙළින්ම මගේ ඇස් දෙක ඇතුළටම කිඳා බැස්සා.
“හැබැයි එක දෙයක් මං කවදාවත් බොරුවට කරේ නැහැ.” මං දැනගෙන හිටියා දැන් මොකක් හරි නරක දෙයක් වෙන්නයි යන්නේ කියලා. මගේ ඇඟ ඇතුළේ තිබුණ සහජ බුද්ධිය මට කෑගහලා අනතුරු අඟවන්න පටන් ගත්තා.
“ඒ තමයි මං ඔයාට ආදරේ කරපු එක.”
එයා හෙමින් පුටුවෙන් නැගිට්ටා.
“මතින්ද්‍ර” මං හෙමින් මිමිනුවා. හැබැයි එයා දැන් හිටියේ මගේ හඬවත් ඇහෙන මානසිකත්වයක නෙවෙයි. වටපිටාවේ මේසවල හිටපු මිනිස්සුත් කුතුහලයෙන් අපි දිහා බලන්න ගත්තා.
අයියෝ…
එපා.
එපා…
එපා… මගේ හුස්ම වේගවත් වුණා.
“අපි දෙන්නා ගොඩක් දේවල් පහුකරගෙන ආවා.” එයා සාක්කුව ඇතුළට අත දැම්මා. මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා.
“මතින්ද්‍ර, නවත්තන්න”
එයා මුදු පෙට්ටිය එළියට ගත්තා. ඊටපස්සේ ඇත්තටම හැමෝම අපි දිහා බලන්න ගත්තා. කොහේ හරි මේසෙක හිටපු ගෑනු ළමයෙක් oh my god කියනවා මට ඇහුණා. මට නම් මේක හරියට භයානක හීනයක් වගේ දැනුනෙ. මතින්ද්‍ර හෙමින් දණහිස බිමට නමලා බිම ඉඳගත්තා. රෙස්ටුරන්ට් එකේ ලයිට්, සංගීතය, මිනිස්සුන්ගේ මූණවල් මේ හැමදේම මට බොඳ වෙලා පෙනුණා. එයා මුදු පෙට්ටිය ඇරියා. ඒ රිංග් එක ලයිට් එළියට දිලිසුණා.
“ඔයා නැතුව මට ජීවිතයක් නැහැ මේඝා.”
මගේ ඇස්වල කඳුළු පිරෙන්න ගත්තා. ඒ මං හැඟීම්බර වුණු නිසා නෙවෙයි. මං මේ උගුලකට අහුවෙන්න යන බව මට තේරිච්ච නිසා.
“මං වැරදි කරා. මං නපුරු වෙන්න ඇති. පිස්සෙක් වගේ හැසිරෙන්න ඇති.” එයාගේ කටහඬ වෙව්ලන්න ගත්තා. “හැබැයි ඒ හැමදේම කරේ මං ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරපු නිසා.”
මිනිස්සු හිනා වෙනවා. බලාගෙන ඉන්නවා. මග බලාගෙන ඉන්නවා. ඒත් එතන හිටපු එකම කෙනෙක්වත් තේරුම් ගත්තේ නැහැ මේක ආදර කතාවක් නෙවෙයි කියලා.
“අපි බඳිමු.” එයා මුද්ද දිහා බලලා ආයෙත් මං දිහා බැලුවා. “
අනේ… ප්ලීස්.”
මුළු රෙස්ටුරන්ට් එකම ගල් ගැහිලා වගේ බලාගෙන උන්නා.
ඒත් එක්කම මට මේ මුළු සිද්ධියම මහා අමුතු විහිළුවක් වගේ පේන්න ගත්තා. මට ඕන උනේ පැනලා දුවන්න.


