“මිස් ආකර්ෂා… පොඩ්ඩක් ධෛර්යවන්ත වෙන්න ඕන මේ වෙලාවෙ. තාත්තාගේ තත්ත්වය දැනට ෂේප්. හැබැයි තාත්තට මේක වෙලා තියෙන්නේ එකපාරටම දරාගන්න බැරි වුණු ලොකු මානසික කම්පනයක් හින්දා ආපු හදිසි පපුවේ කැක්කුමක් එක්ක. සිහිය එන්න තව ටිකක් වෙලාව යයි. දැනට ICU එකේ මැෂින් සපෝට් එකෙන් තමයි බලාගන්නේ. අපිට කරන්න තියෙන්නේ බලන් ඉන්න එක විතරයි.”
සුදු කෝට් එක දාගත්ත ඩොක්ටර්, ආකර්ෂාගේ උරහිසට අතක් තියලා බිමට බර වෙච්ච කටහඬකින් කියද්දී කෙල්ල හිටියේ හරියට පණ නැති වෙච්ච ගල් පිළිමයක් වගේ. හැමදාම තමන් එක්ක බජව් දාපු, හිත අස්සෙ, ඔලුව අස්සෙ මොන තරම් ප්‍රශ්න කන්දරාවක් තිබ්බත්, ඒ කිසිම දෙයක් තමන්ට පෙන්නන්නෙ නැතුව විහිළු තහලු කරලා හිනාවෙච්ච තමන්ට මේ ලෝකෙ ඉන්න එකම නෑයා වෙච්ච තාත්‍තා, අර සුදු පාට හොස්පිටල් බෙඩ් එකේ බටවල්, වයර් අස්සේ හුස්ම ගන්න බැරුව ගොළු වෙලා ඉන්න හැටි දකිද්දී පපුව මැදින් මොකක්දෝ මහා බරක් හිරවෙලා තියෙනවා වගේ තමයි ආකර්ශාට දැනුණෙ.
“තෑන්ක්ස් ඩොක්ටර්” ආකර්ෂා අමාරුවෙන් වචන ටික ගැටගහගෙන, වැනි වැනී හොස්පිට්ල් එකෙන් එළියට ආවෙ එතන තව චුට්ටක් වෙලා හිටගෙන උන්නොත් ඊලඟට හාට් ඇටෑක් එක එන්නෙ තමන්ට වෙන්න පුළුවන් කියලා හිතිච්ච හන්දා..
ත්‍රීවීල් එකකින් ඇවිත් බැහැලා මහගෙදර පරණ ගේට්ටුව ඇරගෙන ඇතුළට යද්දී මුළු පරිසරයම මළ ගෙයක් වගේ පාලුයි කියලා තමයි ආකර්ශාට හිතුණෙ. හැමදාම හවසට සාලේ සෝෆා එකට බර වෙලා පත්තරයක් බලන, නැත්නම් “ඉඳලා හිටලා ෂොට් එකක් දාන්න කීයක් හරි තියෙනම් දීපන් දෝණි” කියලා පස්සෙන් එන තාත්තා අද ගෙදර නැහැ. අම්මා නැති වුණ දවසේ ඉඳන් මේ අවුරුදු දහය පුරාම තමන්ව ඇස් දෙක වගේ බලාගත්ත තාත්තගේ ඒ හිනාව වෙනුවට අද ගෙදර හැම අස්සක මුල්ලකම ඉතිරි වෙලා තිබුණේ මහා මූසල, හුස්ම ගන්නත් අමාරු නිශ්ශබ්දතාවයක් විතරයි කියලා ආකර්ශාට තේරුණා
ආකර්ෂා සාලේ බිම, තාත්තා පපුව අල්ලගෙන වැටුණු තැනම දණගහලා බිම වාඩි වුණේ ඒ ෆීලින් එක දරාගන්න බැරිවෙච්ච හන්දා. බිම තවමත් තේ කෝප්පෙ කුඩු වෙච්ච වීදුරු කටු විසිරිලා තිබුණේ හරියට තමන්ගෙ ජීවිතේ වගේමයි කියලා තමයි කෙල්ලට හිතුණෙ. කෙල්ල හෙමින් සැරේ බිත්තියේ එල්ලා තිබ්බ අම්මගේ පින්තූරේ දිහා බැලුවා. අම්මා පින්තූරේ ඇතුළෙන් සුපුරුදු විදිහටම අහිංසක විදිහට හිනාවෙද්දී, ආකර්ෂාගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණේ නතර කරගන්න බැරි වැස්සක් වගේ.
“අම්මේ… මට තනියම පාලුයි වගේ අම්මෙ… තාත්තාත් මාව ඔයා වගේම දාලා ගියොත් මං කොහොමද අම්මේ ලෝකෙට මූණෙ දෙන්නෙ? ඇයි අම්මෙ අපිව මෙහෙම දාලා ඔයා යන්න ගියේ? මං කොහොමද අම්මේ මේව හැමදේම තනියෙන් උහුලන්නෙ?
මට බෑ අම්මේ… මට ඇත්තටම තනියම බෑ. හැමෝම හිතන් ඉන්නේ මං හැමදාම හිනාවෙලා, පිස්සු නට නටා ඉන්න හන්දා මට රිදෙන්නේ නෑ කියලා. මට කිසිම දේකට ස්ට්‍රෙස් එකක් නෑ කියලා. අනේ මට හරි බයයි අම්මේ. මං තනිවෙයි කියලා මට බයයි. ඒත් ඔයා දන්නවනේ අම්මේ මගේ ඒ හැම හිනාවක්ම, හැම සෙල්ලමකම පිටිපස්සේ හිටියේ මගේ තාත්තා කියලා. මං රණ්ඩු කර කර, බෙරිහන් දිදී සින්දු කියද්දී ඒ හැම පිස්සුවක්ම ඉවසගෙන මගේ දිහා ආදරෙන් බලන් උන්නේ මගේ තාත්තා විතරයි අම්මේ. ඔයත් මාව දාලා ගියයින් පස්සෙ මට මේ ලෝකෙ මගෙ කියන්න උන්නෙ තාත්තා විතරයි අම්මෙ. අද ඒ තාත්තා අර සුදු පාට ඇඳේ සිහියක් නැතුව, මැෂින් බට අස්සේ හුස්ම ගන්න දඟලනවා දකිද්දී මගේ පපුව පලාගෙන යන්න වගේ එනවා අම්මේ. මට දුවගෙන ගිහින් තාත්තාව බදාගන්න හිතුණා. ‘මිස්ටර් සෙනෙවිරත්න, අනේ නැගිටින්නකෝ මං තවදුරටත් ඔයාට වද දෙන්නේ නෑ මං ආයේ සින්දු කිය කිය කන් කරච්චල් කරන්නේ නෑ අනේ ප්ලීස් එක පාරක් කතා කරන්න’ කියලා කෑගහලා අඬන්න හිතුණා අම්මේ. ඔයා ඉන්නෙ දිව්‍ය ලෝකෙ නම් දෙයියන්ට කියන්න අම්මෙ ඔයාව ගත්තා වගේ තාත්තවත් මගෙන් උදුරගන්න එපා කියලා”
ආකර්ශා ඇත්තටම සෑහෙන වෙලාවක් එහෙම ඇඬුවා. බිම ඉහිරිච්ච තේ ටික වේලිලා ඒ වෙලිච්ච තේ පැල්ලම් උඩට කූඹි ඇවිත් කැරකි කැරකි ඉඳලා ඒ කූඹි ඇඟිලි දිගේ තමන්ගෙ ඇඟට ගොඩවෙලා විත්තිය දැනෙද්දි තමයි ආකර්ශාට ඇහැරුණේ. අඬ අඬ ඉද්දිම තමන්ට බිමම නින්ද ගිහින් කියලා ආකර්ශාට තේරුණේ එවෙලෙ. එතනින් නැගිටින්න යද්දි තමයි ආකර්ශා දැක්කෙ තාත්තා පපුව අල්ලගෙන වැටෙද්දි බිම වැටිලා දෙකඩ වෙච්ච තාත්තගෙ පරණ නොකියා බට්න් ෆෝන් එකේ පලු දෙක දෙතැනක තියෙනවා. ඒ කෑලි දෙක අහුලගෙන ෆෝන් එක එකලස් කරගත්ත ආකර්ශා පුදුම හදිස්සියකින් වගේ තමයි කෝල් ලොග් එකට ගිහින් බැලුවෙ තාත්තට හාට් ඇටෑක් එකක් එන්න තරමෙ කෝල් එකක් දුන්න මනුස්සයා කවුද කියලා දැනගන්න.
නමක් ගමක් නෑ ඒත් නම්බරයක් විතරක් වෙච්ච හන්දා තමයි ආකර්ශා කෝකටත් කියලා ඒ නම්බර් එකට ආයෙමත් වතාවක් කෝල් එකක් ගන්න කියල හිතුවෙ. හැබැයි තමන් ගන්න කලින්ම ආව ඒ කෝල් එක හන්දම මේක නම් ගන්නම කෝල් එකක් විත්තිය ආකර්ශාට ආයෙ වතාවක් තේරුං කරවලා දුන්නා.
“හෙලෝ”
“හෙලෝ සෙනෙවිරත්නට කතා කරන්න පුළුවන්ද?” කියලා එහා පැත්තෙන් ආව පිරිමි කටහඬේ කිසිම ගරුසරුවක් තිබ්බෙ නැති විත්තිය තේරුණාට මොකෝ ඒ කතා කරන්නෙ කවුද කියලා හිතාගන්න පුලුවන්කමක් කෙල්ලට තිබ්බෙ නෑ. කොහොමත් බිස්නස් නට්ටං වෙලා බීමට වැටුණයින් පස්සෙ තාත්තගෙ ළඟින්ම උන්න අතිජාත යාලු මිත්‍රයො ටික ටික ඈත් උනයින් පස්සෙ තාත්තට එහෙම කෝල් කරන්න කියල කවුරුවත් උන්නෙ නැති තරං. බැංකුවලින් ණය එහෙම මතක් කරලා කතා කරපුවා ඇරෙන්න.
“තාත්තා ගෙදර නෑනෙ.කවුද මේ කතා කරන්නෙ?”
“මම කතාකරන්නෙ මිස්ට කවීන් වික්‍රමසිංහගෙ ලෝයර්. මට විජේන්ද්‍ර සෙනෙවිරත්නට තමයි කතා කරන්න ඕන. මේ කවුද කතා කරන්නෙ?”
“මම එයාගෙ දුව. මට දැනගන්න පුලුවන්ද ඇයි අපේ තාත්තට කතා කරන්න ඕන කියලා?”
“මෙහෙමයි මිස් ඒක මිස්ට කියන්න පුලුවන් නම් මම තාත්ත ඉන්නවද කියලා අහන්නෙ නෑනෙ. කරුණාකරලා තාත්තට කියනවද අපේ කෝල් මග අරින්නෙ නැතුව කතා කරන්න කියලා. කෝල්ස් කොච්චර මග ඇරියත් ඔය ගේ සින්න වෙන්න යන එක නම් මග අරින්න පුලුවන් කියලා හිතන්න එපා කියලා ඔයාගෙ තාත්තට පොඩ්ඩක් කියලා දෙන්න. මොකෝ මේ පාර එයාට සෙල්ලම් කරන්න සිද්ද වෙලා තියෙන්නෙ එයා කලින් සෙල්ලම් දාපු ඉත්තට වඩා සෑහෙන අමාරු ඉත්තෙක් එක්ක. අපි මේක ලේසියෙන් අතාරින්නෙ නෑ”
“ගේ සින්න වෙන්න? මොන ගේද?”
ආකර්ෂාගේ කටින් ඒ වචන ටික පිටවුණේ නිකන් අසිහියෙන් වගේ. කෙල්ලගේ මුළු ඇඟම එකපාරටම හිරිවැටිලා ගියා කිව්වොත් හරි. ඇයියනේ ඉතින් ඔහොම දෙයක් එකපාර මේ කෝල් එකකින් අහන්න උනාම කාට උනත් හිතෙනවනෙ හිස් අතින් ඇස් පියන් යන්න අපි මෙච්චර දුක් විඳින්නෝනද කියලා නේද?
හැමදාම ප්‍රශ්න මඟඇරලා තමන්ගේම පාට පාට ලෝකෙක ආතල් එකේ හිටපු කෙල්ලට, මුළු මහ පොළොවම එකපාරටම දෙදරලා පය යටින් ගිලා බහිනවා වගේ දැනිච්ච එක අහන්න දෙයක්ද..
“මිස් සෙනෙවිරත්න, විහිළු නොකර ඉන්නවා. තමුසෙලා දැනට පදිංචි වෙලා ඉන්න ඔය මහගෙදර ගැන තමයි මං මේ කියන්නේ. ඔය ගේ දැන් අයිති බැංකුවට නෙවෙයි, මිස්ටර් කවීන් වික්‍රමසිංහට! ලබන සතිය වෙද්දී ඕක හිස් කරලා නොදුන්නොත් අපිට සිද්ධ වෙනවා නීතිමය පියවර ගන්න.”

