ආදර මල්වල පාට කියන්නද? – 07

0
1

“ඔයා මොකටද ඒ මනුස්සයව හම්බෙන්න ගියේ? බක පණ්ඩිත වැඩනෙ කරන්නෙ!” සෙනෙවිරත්න මහත්තයා ඇඳ විට්ටමට බර වෙන ගමන් ආපහු සැරයක් කෑගැහුවා. ඒ මනුස්සයගේ හුස්ම වැටෙන සද්දෙ පවා තිබුණේ මාරම කලබලයක්. හරියට නිකන් ආකර්ශා මොකක් හරි මහා අපරාධයක් කරලා ආවා වගේ තමයි සෙනෙවිරත්න මහත්තයා කෑගැහුවෙ.

“අනේ නිකන් ඉන්න තාත්තේ. බක පණ්ඩිතකමක් නෙවෙයි මං එතන කරලා ආවේ. ඔයා මෙතන මේ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ මැරෙන්න වැටිලා ඉද්දි, අපේ මහගෙදර සින්න කරගන්න ඒ පිස්සු යකා බලාගෙන ඉද්දි මට බකං නිලාගෙන ඉන්න කියලද ඔයා කියන්නේ? මට එහෙම ඉන්න බෑ. කෙරිලා තියෙයි පාරෙට බහින්න උනා නම්, ඉස්පිරිතාලෙ ඉඳලා එන්න වෙන්නෙ එහෙනම් මහ පාරට තමයි. අනික මං මිනිහව හොඳට බය කරා ආයෙ නෑ පස්ස පැත්තෙන් දුං දාන්න” ආකර්ෂාත් අතේ තිබ්බ සුප් දාන් ආව ජෑම් බෝතලේ මේසෙ උඩින් තියන ගමන් සද්දෙට කිව්වා.

“පස්ස පැත්තෙන් දුං දාන්න? ඇයි කෝච්චියක් කියල හිතුවද? තමුන්ට පිස්සුද ආකර්ෂා? ඔය වික්‍රමසිංහ පරම්පරාවෙ උන් ගැන උඹ දන්න මෙලෝ මගුලක් නෑ! මං කියන දේ අහලා ඔය කට වහගෙන පැත්තකට වෙලා ඉන්නවා. මං ඒ මිනිස්සුන්ගේ හැටි දන්නවා. උඹ ඔය නටන්න ලෑස්ති වෙන්නේ ගින්දරත් එක්ක. ඕකුන් එක්ක හැප්පෙන්න අපිට බෑ ළමයෝ.” සුප් භාජනේ ඇරලා ආකර්ශා සුප් පිරෙව්ව හැන්ද කට ළඟට කරාට මොකෝ මිස්ට සෙනෙවිරත්න නෙවෙයි සුප් බොන්න කට ඇරියෙ. ඩයල් එක ඉඳියෙ හොඳටම මල පන්නගෙන. තමන්ගෙන් නාහා තමන්ගෙ දෝණියැන්ද ඕන්නැති ගමනක් ගියාම ඉතින් ඕනම තාත්තෙක්ට මල පනින එක අහන්න දෙයක්ද?

“ගින්දර? අනේ මේ තාත්තේ, මං ඔය ගින්දරවලට පිච්චි පිච්චි තමයි මෙච්චර කල් හැදුණේ. මට කියන්න, ඇයි ඔයා ඔය වික්‍රමසිංහලාට මෙච්චර බය? නිකන්ම නිකන් කම්පැණියකින් අපේ ගේ ගන්නවා නම් ඔයා මෙච්චර ගැස්සෙන්නේ නෑ. කවුද ඔය කවීන් වික්‍රමසිංහ කියන්නෙ? කොහෙන්ද මිනිහට ඔච්චර හයියක් ආවෙ අපේ ගේ එහෙම මිනිහට ලියාගන්න? මොකද්ද ඔයා මේ මගෙන් හංගන මට නොකියන කතාව? ඇයි ඒ මනුස්සයා අපේ පස්සෙන්ම එන්නේ? ඒ මිනිස්සුයි ඔයයි අතරේ තියෙන පරණ ගනුදෙනුව මොකක්ද?” ආකර්ෂා එක දිගට ප්‍රශ්න වැලක් අහගෙන අහගෙන ගියේ තාත්තගේ මූණේ වෙනස් වෙන හැම ඉරියව්වක්ම දිහා බලාගෙන.

“නවත්තනවා ඔය කතාව! තමුන්ට වැඩක් නැති දේවල් මේවා. උඹ ඔය කිසිම දෙයක් හොයන්න යන්න ඕනෙ නෑ. මං කියන දේ අහලා ඔය චිත්‍ර කෑලි ඇඳගෙන, ටික්ටොක් එකට වීඩියෝ දාගෙන පැත්තකට වෙලා හිටපන්. මට ආපහු පපුවෙ අමාරුවක් හදන්නෙ නැතුව!” සෙනෙවිරත්න මහත්තයා එකපාරටම ආකර්ශගෙ අත ගසලා දාලා ඇඳෙන් වාඩි වෙන්න හැදුවා.

“ඔය තව පොඩ්ඩෙන් සුප් හැලෙනව හතරතේ. පුදුම දාංගලයක්නෙ තියෙන්නෙ” කියලා ආකර්ශා සුප් පිරිච්ච හැන්ද ආයෙ සුප් භාජනේ අස්සටම දැම්මා.

“සුප් නෙවෙයි ගෙනත් දීපං වහ ටිකක් මට. පිස්සු ගෑණි. ඕන නැති මගුල් නෙ කරන්නෙ ගෙදෙට්ට වෙලා ඉන්නෙ නැතුව”

“ගෙදෙට්ට වෙලා ඉන්න තිබ්බා තව ටික දවසකින් ඒ ගෙදරින් එළියට බහින ලෙවල් එකේ වැඩ සිද්ද වෙන්නෙ නැත්තම්”

“හරි හරි ඒවා මං බලාගන්නංකො”

“නෑ මං අහන දේට උත්තර දීලා ඉන්න. තාත්තෙ මේ අහන්න මං පොඩි කාලේ ඉඳන් දැක්කා ඔයා කොච්චර දුක් වින්දද කියන එක. ඔයා මට නොපෙනෙන්න හැමදාම රෑට අම්මගෙ ෆොටෝ එක ඉස්සරහට වෙලා මොන මොනවද මුමුණ මුමුණ අඬන විත්තිය නොදැක්ක දරුවෙක් නෙවෙයි මං. එහෙම එකේ තාත්තා මගෙන් දේවල් හංගන්න හදන්න එපා. ඔයාට ඉන්නෙ මං විතරයි මට ඉන්නෙ ඔයා විතරයි තාත්තෙ දුකට සැපට දෙකටම. එහෙමෙකේ අපි දෙන්නට දෙන්නා දේවල් දෙන්නගෙන් හංග ගන්නවා කියන්නෙම පිස්සුවක් නෙ නේද?

අම්මා නැති වුණාට පස්සේ බිස්නස් ඔක්කොම එකපාරටම කඩන් වැටුණේ කොහොමද තාත්තේ? ඔයා සේරම සින්න කරගෙන බීමට ඇබ්බැහි වුණේ නිකන්ම නෙවෙයි නේද? අර වික්‍රමසිංහලා ඒ හැමදේටම සම්බන්ධයි නේද? මට ඇත්ත කියන්න” ආකර්ෂා තාත්තගේ කැනියුලා එක ගහලා අත හෙමින් අල්ලලා අතගාන ගමන් ඇහුවේ ඇස්වල කඳුළු පුරවගෙන.

“දැන් ඇත්ත දැනගන්නද ඕන? ඔව් මං වැරදිකාරයෙක්. හැබැයි ඒ හැමදේම කරේ උඹව ජීවත් කරවන්න. ඒ හින්දා පින්සිද්ධ වෙයි, ඔය කට වහගෙන පැත්තකට වෙලා හිටපන්. මට ආපහු හාට් ඇටෑක් එකක් හදවන්නෙ නැතුව!” තාත්තා එකපාරටම හයියෙන් කෑගහලා, ඇස් දෙක පියාගෙන මූණ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හරවගෙන රෙද්ද පොරවගත්තේ ආකර්ෂාට තවත් එක වචනයක්වත් කියන්න ඉඩ නොතියා.

තාත්තා මොකක් හරි අතීතෙට සම්බන්ධ රහසක් තදින්ම තමන්ගෙන්  හංගන්න හදනවා කියලා තේරුණත්, මං වැරදිකාරයෙක් කියලා තාත්තා කියපු වචන ටික ආකර්ෂාගේ හිත පසාරු කරගෙන ගියා.

 කෙල්ල ඇඳ ළඟම ගල් වෙලා වගේ බලාගෙන උන්නෙ තාත්තා මේ නොකියා කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව.

 තාත්තා මේ හංගන මහා ලොකු අතීත රහස මොකක්ද? කවීනුයි තාත්තයි අතරේ තියෙන ඇත්තම සම්බන්ධය මොකක්ද? කවීන් කියන මනුස්සයා එකපර තමන්ගෙ ජීවිතේ මැද්දට කඩං පැන්නෙ කොහොමද? කියන ප්‍රශ්න වලට උත්තර තමන් හොයාගන්නෙ කොහෙන්ද කියන එකම ආකර්ශට ලොකුම ලොකු ප්‍රශ්නයක් වුණා.

ආකර්ෂාගේ හිත ඇතුළේ තිබ්බ කුතුහලය දැන් නිකන් ලාවා ගින්නක් වගේ ඇවිලෙන්න පටන් අරන් තිබුණෙ.

 “කොහොම හරි මං මේකේ මුල අග හොයාගන්නවා” කියලා හිත හිත තමයි කෙල්ල ඉස්පිරිතාලෙන් එලියට බැස්සෙ.

තාත්තව අමාරුවෙන් නිදි කරවලා, ඇඳ අද්දරට වෙලා සෑහෙන වෙලාවක් කල්පනා කරපු ආකර්ෂා, ඉස්පිරිතාලේ කරුවල වැටුණු කොරිඩෝව දිගේ එළියට බැස්සේ හිත ඇතුළේ ලොකු බරක් තියාගෙන. ලෙඩ්ඩු බලන වෙලාවත් පහු වෙලා තිබ්බ හන්දා වාට්ටු පේළිය දිගේ ඇහුණේ ලෙඩ්ඩුන්ගේ කෙඳිරිලි සද්දයි, සිවිලිමේ කැරකෙන පරණ ෆෑන් එකක කිරීස් කිරීස් සද්දෙයි විතරයි.

“මං වැරදිකාරයෙක්” තාත්තා අන්තිමට කියපු ඒ වචන ටික කෙල්ලගේ කන් අඩි දෙක අස්සේ රීප්ලේ වෙවී දුවන්න අරන් තිබ්බේ. තාත්තා කාට කරපු වැරැද්දක් ගැනද ඒ කිව්වේ? අර කණ්ණාඩි පොළඟාටද? නැත්නම් මුළු වික්‍රමසිංහ පරම්පරාවටමද?

කෙල්ල හිතින් දහසකුත් එකක් ප්‍රශ්න ලෙහන්න හදන ගමන් ඉස්පිරිතාලේ ප්‍රධාන දොරටුවෙන් එළියට බැහැලා තාර පාර දිගේ හෙමින් ඇවිදගෙන ආවා. හීතල හුළඟක් ඇඟේ වැදිලා වූල් වෑන්ඩ් එකෙන් ගැලවිලා මූණට වැටිච්ච කෙස් ගස් ටික අතින් අහකට කරන ගමන් කෙල්ල පාර අයිනේ තිබ්බ ත්‍රීවීල් පේළිය දිහා බැලුවේ ගෙදර යන්න වීල් එකක්වත් තියෙනවද කියලා බලන්න.

අන්න ඒ වෙලාවේ තමයි කෙල්ලගේ බෑග් එක අස්සේ තිබ්බ පරණ ෆෝන් එක එකපාරටම සින්දුවක් කියාගෙන කෑගහන්න ගත්තේ.

“කවුද මේ රෑ තිස්සේ?”

කෙල්ල හිත හිතම බෑග් එක අස්සට අත දාලා ෆෝන් එක එළියට ගත්තා. ස්ක්‍රීන් එක දිහා බලද්දී ඒකේ වැටිලා තිබුණේ කිසිම නමක් නැති, නොදන්නා අංකයක් . සාමාන්‍යයෙන් රෑ බෝ වුණාට පස්සේ නොදන්න නම්බර්ස් ආන්සර් නොකරන එක ආකර්ෂාගේ සිරිත වුණත්, මොකක්දෝ අමුතු හැඟීමක් හන්දා කෙල්ල ස්ක්‍රීන් එක උඩින් ඇඟිල්ල යවලා කෝල් එක කනේ තියාගත්තා.

“හෙලෝ කවුද මේ?” ආකර්ෂා ටිකක් සද්දෙන් ඇහුවේ පාරේ යන වාහන සද්දෙ කපාගෙන එහා පැත්තේ එකාට ඇහෙන්නයි.

හැබැයි එහා පැත්තෙන් එකපාරටම කිසිම සද්දයක් ආවේ නෑ. නිකන් හුස්ම වැටෙන සද්දයක් විතරයි තත්පර කිහිපයකට ඇහුණේ.

“හෙලෝ කතා කරන්නේ නැත්නම් මං තියනවා” කෙල්ලට මල පැනලා ෆෝන් එක කනෙන් අහකට ගන්න හදද්දීම තමයි එහා පැත්තෙන් ඒ කටහඬ ඇහුණේ.

“අඳුරන්න පුලුවන්ද කවුද කතාකරන්නෙ කියලා?”

“කටහඬෙන් අඳුරන්න ඇයි තමුසෙ අර්ජිත් සිං ද?”

“මං කිව්වා නේද තමුසෙට වචන පාවිච්චි කරන්නේ පරිස්සමෙන් කියලා?”

කටහඬ ඇහිච්ච සැනින් ආකර්ෂාගේ මුළු ඇඟම එකපාරටම හීතල වුණා. ඒ හැඟීමක් නැති රොබෝ කටහඬ කාගේද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතින්.

කවීන් ආදිත්‍ය වික්‍රමසිංහ!

“ඔ… ඔහේ? ඔහේට කොහෙන්ද මගේ නම්බර් එක?” ආකර්ෂා පුදුමෙ වහගන්න කට සද්ද කරලා ඇහුවත්, හිත ඇතුළෙන් කෙල්ල හොඳටම ගැස්සිලයි උන්නේ.

“තමුසෙ හිතුවද තමුසෙ වගේ අඩි පහක්වත් නැති පිස්සු කෙල්ලෙක්ගේ විස්තර හොයන එක මට මහ ලොකු කේස් එකක් කියලා? මගේ ඔෆිස් එකට කඩන් පැනලා, සද්දයක් දාලා, ප්‍රෙග්නන්ට් ඩ්‍රාමා එකක් රඟපාලා, මගේ නමත් කැත කරලා ගියාට පස්සෙ තමුසෙ හිතුවද මං නිකන් ඉඳියි කියලා?

තමුසෙ පේන්ට් බාස් වැඩද කරන්නෙ?”

“ඔව් ඇයි අහන්නේ?”

“බාස්ගෙ පින්සල මෙහෙ දාලා ගිහින්. ඒක ඕනෙ නම් හෙට උදේ අට වෙද්දී මගේ ඔෆිස් එකට එනවා. හැබැයි මේ පාර බොරු බඩවල්  උස්සගෙන නෙවෙයි වැදගත් විදියට කතා කරන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here