වෛද්‍යවරයා හමුවට යාමට අවැසි ලියකියැවිලි වේලාසනින්ම සකස් කර තැබූ නුලාරා මුළුතැන් ගෙයවෙත ඇවිද ගියේ සිහින් කුසගින්නක් දැනෙන්දීය.
“චූටි නෝනා….”
ඇයව දුටු හැටියේම කලබලයෙන් ඉදිරියට ආ සෝමා ඇසුවේ බයාදු ස්වරූපයක් මවාගෙනය.
“ඇයි චූටි නෝනා..මේ…මොනවද ඕනේ..කතා කලානම් මම එනවනේ”
“ඇයි කියලා අහන්නේ…මට මේ පැත්තට එන්න තහනම්ද?”
නුලාරා එසේ ඇසුවේ මුවගට සිනහවක් නඟා ගන්නා ගමන්ය.
“අනේ නෑ… මහත්තයා කියලා තියෙන්නේ නෝනා කුස්සිය පැත්තට ආවොත් කෑම ටික හරියකට කන්න අදිමදි කරයි කියලා. සමහර අයට බබාලා හම්බවෙන්න ඉන්නකොට බත ඉදෙන සුවඳ ආවත් කෑම කන්න අප්පිරිය වෙනවලුනේ. ඒ නිසා මේ දවස්වල කිසිම දේකට නෝනව කුස්සියට ගෙන්නන්න එපා කියලා මහත්තයා මගින් මඟටම කියනවා.”
“ආ..මහත්තය එහෙම කිව්වද….දැන්නම් සෝමා ඇත්තටම ආවෙ මට බඩගින්නක් දැනිලා. බත්නං කන්න බෑ. හවසට කන්න පුළුවන් දෙයක් මොනවද තියෙන්නේ?…”
“ප්‍රිජ් එකේ පැණි රස කෑම ජාතිනම් ඕන තරම් තියෙනවා. හැබැයි නෝන ඒවා කන්න කැමති නෑ නේ. මං ඉක්මනට කට්ලට් එකක් හදලා දෙන්නද?”
“අනේ පුළුවන් නම් ලොකු දෙයක් සෝමා. ටිකක් සැර උනාට කමක් නෑ. තක්කාලි සෝස් එක්ක අරගෙන එන්න.”
එසේ පවසමින් ආපසු හැරුණු නුලාරා ශීතකරණය ඇරියාය. කොළපැහැති ඇපල් ගෙඩියක් ඉන් පිටතටට ගත් තරුණිය එය තීරුවලට කපා ගම්මිරිස් කුඩුත් ලුණු කුඩු දමා ගත්තේ සෝමාට කරදර නොකරමය. උදෑසන බාගයට නරඹා නතර කළ ඉන්දියානු චිත්‍රපටියේ ඉතිරි කොටස නැරඹීමේ අරමුණින් සුවපහසු පුටුවක අසුන්ගත් ඈ සුදු පැහැති බිත්තියේ එක් කොටසක්ම තමාගේ කරගෙන උන් මදක් විසල් වූ රූපවාහිනිය ක්‍රියාත්මක කළාය.
නුලාරා පහන්දි අබේසූරිය, අබේසූරිය පවුලේ එකම දියණිය විය. මවත් පියාත් දෙදෙනාම බැංකු නිලධාරීන් වූ නිසා කුඩා කලවත් ඇයට මේයැයි පවසන්නට අඩු පාඩුවක් සිය ජීවිතය තුළ වූයේ නැත. කුඩා කල සිටම සේවිකාවන් සමඟ හැදී වැඩුණු නිසා අතපය සොළවා වැඩක් කරන්නට වුවමනාවක් නුලාරාට වූයේ ද නැත. නිතර නිවසේ නොවූවත් අම්මා තාත්තාත් වද වූයේ ඇගේ සුවපහසුව ගැනය. එනිසාම නුලාරා ජීවත් වූයේ සුරංගනා ලෝකයකය.
ඇයට චාරුක හමු වූයේ මිතුරියකගේ උපන්දින සාදයකදීය. නුලාරාට වඩා වසර හතක් වැඩිමහලු වූ තරුණයා ඒ වනවිටත් මෙරට වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයෙහි සන්නාමයක් දැරූ වර්ණ ඇඩ්වට්‍රයිසින්හි හිමිකරුවා වී සිටියේය. උසට සරිලන මහතකින් හෙබි දේහධාරී තරුණයා දුටු වනම නුලාරාගේ සිත සසල වූ බව විශ්වාසය. මිතුරන් සමඟ සිටි ඔහුගේ දෑස් වරින් වර නුලාරා වෙත යොමුවද්දී ඈ ඒ සෑම වතාවකම වටපිට බැලුවේ කෝල කමක් දරාගෙනය.
“දුව පාටි එක ඉවරයිද….තාත්ති තව පැයකින් එනවා කිව්වා ඔයාව ගන්න..”
දුරකථනයෙන් අමතා අම්මා එසේ පවසද්දී නුලාරාගේ සිතෙහි උපන්නේ ලෝබකමකි. මේ රාත්‍රිය දිගුවන්න යැයි ඈ පැතුවේ අහේතුකව නොවේ. එවේලෙහි තමා තුළ උපන් ඒ ලෝබකම චාරුක නිසා උපන්නක් බව යුවතියට එවේලෙහි වැටහුම් වූයේ නැත. වැඩි හරියක්ම නිවසටම වී කාලය ගතකරන යුවතිය මෙවන් නිදහසක් ලැබුණු පසුව එය අත්හැර ගන්නට ලෝබය.
අවසන ඔහු ඇය වෙත පැමිණ ‘මම ඔයාව හඳුනා ගන්න කැමතියි…’ යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් පැවසූයේ තාත්තා පැමිණෙන්නට විනාඩි කිහිපයක් තබා ය. දෙදෙනා අතර දුරකථන අංක හුවමාරුව සිදු වූයේත් එවේලෙහිය. ආදරේ යන විෂයෙහි ආගන්තුක වුවත් ඉන් දින දෙකකට පෙර තමා නැරඹූ හින්දි චිත්‍රපටියේ ප්‍රධාන භූමිකාව රඟපෑ නළුවාගේ රූපයට සම වූ තරුණයා අමතක කළ හැකිකමක් ඇයට වූයේ නැත. සැබවින්ම චාරුකට වූයේ රිතික් රෝෂන්ගේ රූපයය. නිරූපන ක්ෂේත්‍රයෙහි නමක් තබාගෙන උන් ඔහු වෙළද දැන්වීම් කිහිපයකම රඟපෑවා ඇයට මතකය.
ව්‍යාපාරිකයෙකු ලෙස පමණක් නොව නිරූපණ ශිල්පියෙකු ලෙසත් ප්‍රසිද්ධියට පත්ව සිටි චාරුක රඹුක්වැල්ල අවසන ඇගේ සැමියා වූයේ එදින ඇති වූ දැන හැදුනුම්කමින් පසුවය. චාරුකට අකමැති වෙන්නට හේතු කාරණා නුලාරාගේ දෙමව්පියන්ට වූයේ නැත. දෙදෙනා යුග දිවිය ඇරඹූයේ සියල්ලන්ගේම ආශිර්වාදය මැදය. නුලාරා ගැබිනියක වූයේ විවාහයෙන් වසරකට පසුවය.
රූපවාහිනිය විකාශනය වෙමින් තිබුනේ හින්දි චිත්‍රපටියකි. කට්ලට් බෝල කීපයක් දැමූ කුඩා දීසියත් තක්කාලි සොස් බෝතලයත් රැගෙන ආ සෝමා එහාට මෙහාට ගෙන යා හැකි කුඩා මේසය නුලාරා ඉදිරිපසින් තැබුවාය.
ඒ හින්දි චිත්‍රපටිය ග්‍රාමීය පරිසරයක් අලලා සැකසුණු එකකි. ප්‍රධාන භූමිකාවන් රඟපෑවේ නුලාරා ප්‍රිය කරන තරුණ නළු නිළි යුවලකි. කතාවට අනුව තරුණයා ගොවියෙකි. ඔහු වෙහෙස වී නිවසට පැමිණෙද්දී තරුණිය රාත්‍රී කෑම වේල සකසා තිබිණ. තරුණයා රස කරමින් ඇයව අගයමින් ආහාර ගනිමින් සිටියේය.
‘දෙන්නෙක් අතර තියෙන ආදරයයි, බැඳීමයි වැඩි වෙන්න රස කෑමත් එක හේතුවක් බව ඔයා දන්නවද..මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට හැම වෙලාවෙම බලන්නේ රස දෙයක් කන්න. ඉස්සර අපේ අම්මල තාත්තලා කියනවා ගෙදර කෑම හොඳ නං මිනිස්සු පිටින් කන්න යන්නෙ නෑ කියලා. හවස් වෙනකොට කුඹුරෙ ඉඳලා මමත් දුවගෙන එන්නෙ බඩගින්නේ. මං දන්නවනේ ඔයා මං වෙනුවෙන් විශේෂ දෙයක් හදල තියෙනවා කියලා. ඒක මට හැමදාම සප්‍රයිස් එකක්. දන්නවද මේ කෑම කන හැම තත්පරයකම මගේ හිතේ ඔයා ගැන කොච්චර ආදරයක් අළුතින් උපදිනවද කියලා…’
ප්‍රධාන භූමිකාව රඟපෑ නළුවා එසේ පැවසූයේ චපාති රොටි කැබැල්ලක් හොදිත් සමඟ තවරා තමාගේ බිරිඳට කවමින්ය. රූපවාහිනිය දෙස බලා උන් නුලාරා තවත් කට්ලට් බෝලයක් අතට ගත්තේ සෝස් බිඳක් තවරාගෙනය.
“සෝමා..සෝමා…”
ඉන්පසු ඇය මෙහෙකාරියට කෑ ගැසුවේ හදිසියේ ඇති වූ සිතුවිල්ලකට අනුවය.
“ඇයි නෝනා… තේ ද, කෝපි ද, ජූස් මොනවා හරිද ගේන්න ඕනේ.”
“මට මැංගෝ ජූස් එකක් හදන්න. ඒක නෙමෙයි සෝමා. හෙට මහත්තයට ඩිනර් එක මම ලෑස්ති කරන්නම්. මම මෙනු එක කිව්වට පස්සේ සෝමා මට උදව් කරන්න. අද කොහොමත් අපි එද්දි රෑ වෙයිනේ ඩොක්ටර් ළඟට ගිහිල්ලා කොහොමත් අපි ඩිනර් එකට එළියට යනවා. ගොඩ දවසකින් අපි දෙන්නට කොහෙවත් යන්නත් බැරි වුණා නේ.”
සෝමා හිස වැනුවේ සිනහසෙමින්ය. හිතටත් ගතටත් වදයක් නොවන මෙවන් මිනිසුන් ළඟ වැඩ කරන්නට ලැබීම සතුටකි. ගෙහිමියා වන චාරුක රඹුක්වැල්ල නිතරම වද වෙන්නේ තම බිරිඳ ගැනය. ඔහු උදෑසනම නිවසින් පිටව යන්නේ උපදෙස් රැසක් සෝමාට ලබා දෙමින්ය. ඉඳිහිට වේලාවක සුකුරුත්තං කෑමක් සොයනවා මිසක ස්වාමි දියණියගෙන්ද වදයක් නොවේ. ඇගේ දවස ගතව යන්නේ හින්දි, ඉංග්‍රීසි චිත්‍රපටි නැරඹීමටත් ටෙලි නාට්‍ය නැරඹීමටත්, නවකතා කියවීමටත්ය. මසකට තුන් හතර වතාවක්ම නිවසේ සාද පැවැත්වුවත් ඒවාට අවශ්‍ය කරන කෑම බීම ගෙන එන්නේ පිටතින්ය. ඒ හැර අමුත්තන් කියා නිවසට පැමිණෙන්නේත් ස්වාමි දියණියගේ මවත් පියාත්ය. චාරුක රඹුක්වැල්ලගේ අම්මාත් තාත්තාත් දැන් සිටින්නේ ඕස්ට්‍රේලියාවේ සිටින ඔවුන්ගේ දියණිය සමඟය.
චාරුකගෙන් දුරකථන ඇමතුමක් පැමිණියේ නුලාරා අඹ යුෂ පානය බී නිමවනවාත් සමගමය.
“මයි බේබි…මොනාද කරන්නේ…..”
“දැන්නම් නිකන් ඉන්නේ. ඔයා කීයටද එන්නේ…”
“අනේ සොරි බබා මං මේ ඒක කියන්න තමයි ඔයාට හදිස්සියේම ගත්තේ. මට චැනල් එකක් එක්ක මීටින් එකක් තියෙනවා. ඒක මොනම හේතුවක් නිසාවත් මග අරින්න බැරි එකක් බබා. අද ඔයාට පුළුවන්ද අම්මි එක්ක ඩොක්ටර් ගාවට යන්න. මං අම්මිට කෝල් කලා. තව පැය භාගෙකින් විතර වාහනයක් යවන්නම්.”
“අනේ මොනවද චාරුක..”
“ප්ලීස් බබා මාව තේරුම් ගන්න. මම අද මේ මීටින් එක මග ඇරියොත් කෝටි ගානක ඩීල් එකක් මිස් වෙන්න පුළුවන්. ඔයාට ඕන කරන අනිත් හැම වෙලාවකම මං ඔයාගේ ළඟ ඉන්නවනේ. මම ඩොක්ටර්ට කතා කරන්නම්.”
“ඉතිං අපි වෙන දවසක යමුකෝ…”
“එහෙම බෑනේ බබා. තේරුම් ගන්නකෝ. තව මාස තුනයි. මේ කාලේ තමයි ඔයාගේ වෙනස්කම් ඩොක්ටර්ට හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ප්ලීස් අදට අම්මි එක්ක යන්න. මං පුළුවන් තරම් ඉක්මනට ගෙදර එනවා.”
චාරුක දුරකථනය විසන්ධි කළේ එසේ පවසමින්ය. දිගු සුසුමක් මුදාහල නුලාරා රූපවාහිනිය ක්‍රියා විරහිතකර දැමුවාය. ඇය සිතා සිටියේ වෛද්‍යවරයා වෙත ගොස් ආපසු එන ගමනේදී රාත්‍රී ආහාරය ගෙන චාරුකගේ අතෙහි එල්ලී කොහේ හෝ නිදහසේ ඇවිදින්නටය. එවන් ගමනක් ගිය කාලයක් මතකයේ නොවේ. ඉඳ හිට හෝ ඔහු ඇයව රැගෙන යන්නේ තරු පන්තියේ හෝටලයක කෑම වේලකටය. එසේත් නොමැතිනම් සුපෝපභෝගී සිනමා ශාලාවක චිත්‍රපටියක් නරඹන්නටය. එසේ නොවීනම් සතියකට වරක් දෙකක් නිදහස් චතුරස්‍රයේ ඇවිදින මං තීරුවටය.
නුලාරා මවට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ සිය සිතුවිලි වසාගත් කෝපයට ඉඩ දෙමින්ය.
“පුතා කතා කළා දුව. මම මේ ලෑස්ති වෙලා ඉන්නේ. පුතා කිව්වා වාහනයක් එවන්නම් කියලා.
“අම්මි එන්න ඕන නෑ… මට තනියම යන්න පුළුවන්.”
“එහෙම හොඳ නෑනෙ දුව. ඔයා හෙමිහිට ලෑස්ති වෙන්නකෝ..අන්න වාහනේ ආවද කොහේද…?”
මුලින්ම ජංගම දුරකථනය විසන්ධි වී ගියේ එහා පසින්ය.
“නෝනා මං අර දම්පාට ගවුම අයන් කළා. නෝනා ආස ඒකටනේ..”
ඉන්පසු ඇසුණේ සෝමාගේ හඬය. කෝපයෙන් කුඩා මේසය පසෙකට තල්ලු කල නුලාරා නාන කාමරයට වැදුනාය. සෝමා විසින් ඇඳ මත තබා තිබූ දම්පැහැ ගවුම පොඩි කර පසෙකට විසි කළ ඈ අල්මාරියෙහි වූ සුදු පැහැ ගවුමක් අතට ගත්තාය. නුලාරා මේ පිට කරමින් උන්නේ සිහින බිඳී ගිය කෝපයයි.
“එයාට මට වඩා මීටින් එක ලොකු උනා…”
අවසන ඈ තමාටම මුමුණා ගත්තේ කන්නාඩි මේසය ඉදිරිපසින් අසුන් ගනිමින්ය. කොටට කපා නවීන විලාසිතාවකට අනුව සකසා තිබූ කෙටි කොණ්ඩය ඕනෑවට එපාවට පීරාගත් නුලාරා දෑස් වල උපන් කඳුලක් පිස දා ගත්තේ කණ්ණාඩිය මේසය මතම වූ ටිෂූ එකකින්ය.
වාහනයක් පැමිණෙන හඬත්, ගේට්ටු විවර වෙන හඬත් ඇසුණේ එවේලෙහි. ආරක්ෂක නිලධාරියා උස් හඬින් යමක් පවසන හඬ ඇසුණත් ඒ කීවේ කුමක්දැයි නුලාරාට පැහැදිලි වූයේ නැත.
“සිතාරා කාමරයට පැමිණියේ ඔයා ලෑස්තිද දුව”යැයි අසාගෙනය.
“ඉන්න අම්මට හදිසිය තිබුණට ඒ හදිසියට ඩොක්ටර් එන්නේ නෑ. අපරාදෙනේ මෙච්චර හදිස්සියෙන් මොකටද අම්ම ආවේ?.”
චාරුක වෙනුවෙන් සිතෙහි උපන් කෝපය පිටව ගියේ අම්මා මතින්ය. අවසන යළිත් වරක් කන්ණාඩියට එබුණු ඈ ‘අම්මත් එක්ක ක්ලිනික් යන්න ඕනෙනම් මොකටද මං කසාදයක් බැන්දේ…’
යනුවෙන් පවසා ගත්තේ තමාටමය.
( හෙටත් හමුවෙමු ආදරයෙන්)

