මලක් වී යළි පිපෙන්නම් – 02

0
258

වෛද්‍යවරයා උන් දෙසිය විසි එක කාමරයට යාමට තිබුණේ ප්‍රධාන පෙළේ ඇස් කණ්ණාඩි සපයන ආයතනයක් පසු කරගෙනය. ඒ කාමරයෙහි වූ ඝනකම් වීදුරුව ආවරණය වී තිබුණේ චාරුක  රඹුක්වැල්ල අව් කණ්නාඩියක්  ඵලදාගෙන උන් දැවැන්ත රූපයකින්ය. ඒ ලෙවල් විභාගය සඳහා අධ්‍යාපනය ලබන සමයේ නිතර සෑදෙන ඔළුවේ කැක්කුමට වෛද්‍යවරයා හමුවට පැමිණේදීත් ඒ සේයාරුව එහෙමම තිබුණා නුලාරාට මතකය. චාරුකගේ  තාත්තා විසින් වෙළඳ දැන්වීම් නිෂ්පාදන ආයතනය පවත්වාගෙන යන කාලයේ චාරුක එහි නිල නිරූපණ ශිල්පියා ලෙස සේවය කර තිබිණ. 

වහ වහා පෝස්ටරයෙන් දෑස් ඉවතට ගත් නුලාරා ඉස්සර වූයේ සිතාරාවත් පසු කරගෙන. 

“මොකද ළමයෝ මේ හදිස්සියක් ඔයා වැටෙයි..”

අඩියට දෙකට ගොස් අපහසුවෙන් තම දියණියට ළං වූ සිතාරා පැවසූයේ මද හඬකින්ය. වෙනදා සේ  මොනවා හෝ කියවමින් දියණිය දොඩමළු නොවීම ඇගේ සිතටත් එක්කර තිබුණේ ප්‍රශ්නයකි.. 

“කොහොමද මිසිස් රඹුක්වැල්ල…”

නුලාරාත් සිතාරාත් වෛද්‍යවරයා උන් කාමරයට ඇතුළු වූ හැටියේම ඔහු ඇසුවේ සිනහ මුසුවය. 

“හොඳයි ඩොක්ටර්…”

“චුට්ටකට කලින් මට මිස්ටර් රඹුක්වැල්ල  කතා කළා.“

“එයා ඩොක්ටර්ටත් කතා කලාද…”

“ඔව්…. අද මීටින් එකක් කියලා කිව්වා නේද…?”

“හ්ම්….”

නුලාරා පිළිතුරු දුන්නේ ඕනෑවට එපාවටය. ‘එයාට අද මමත් එක්ක එන්න බැරි වෙච්ච එකේ වරද වහගන්න වෙන්න ඇති ඩොක්ටර්ටත් කතා කරන්න ඇත්තේ’ එසේ සිතුවත් ඈ ඒ හඬ පිට නොකළාය. වෛද්‍ය වාර්තා දෙස විමසිල්ලෙහි බලා උන්  වෛද්‍යවරයා ‘ඇඳට නඟින්න’ යැයි නුලාරාට පැවසූයේ පෙර වූ සිනහවම මුවෙහි තබාගෙනය. ඉන්පසු නුලාරාව යොමු කෙරුනේ ස්කෑන් පරීක්ෂාවකටය. 

“බබත් හොඳටම හොදින්…”

වෛද්‍යවරයා යලිත් පැවසූයේ නුලාරාට ඇඳෙන් නැගී සිටින්නට අවශ්‍ය සහාය ලබා දෙමින්ය. ඔහු  චාරුක රඹුක්වැල්ල අධ්‍යාපනය ලැබූ පාසලේම ආදි ශිෂ්‍යයෙකි. එනිසාම වෛද්‍ය සොහාන් ගුණවර්ධන නුලාරා ගැන උවමනාවෙන්ම සොයා බැලුවේය. අවසන ඔහු නුලාරාට සමුදුන්නේ ආගිය තොරතුරුත් විනාඩි කිහිපයක් කතා කරමින් සිටියාට පසුවය. 

“අම්මා මේ බෙහෙත් ටික ෆාමසි එකෙන්  අරන් එන්න මං මෙතනට වෙලා ඉන්නම්.”

නුලාරා එසේ පැවසූයේ විටමින් වර්ග කිහිපයක් ලියූ කොළය සිතාරා වෙත දිගු කරමින්ය. ගතට වෙහෙසක් නැති වුවත් ඒ සිතට වූයේ වෙහෙසකි. වෛද්‍යවරයා හමුවට බලාපොරොත්තුවෙන් තවත් යුවළවල් කිහිපයක්ම රෝහල් කාමරයෙන් පිටත රැඳී සිටියේය. ඔවුන් සියල්ලෝම පැමිණ සිටියේ ස්වාමිපුරුෂයන් සමගින්ය. පසුගිය කාලයෙත් කිහිප දිනක්ම ඔහුට මෙම වෛද්‍ය හමුව මඟ හැරී ගියත් නුලාරාට මෙතරම් දුකක්, වේදනාවක් දැනී තිබුණේ නැත. තම සැමියාගේ අතෙහි එල්ලීගත් තරුණියක් රෝහල් කාමරය තුළින් පිටතට පැමිණියේ එවේලෙහිය. බැලූ බැල්මට වත්පොහොසත් කමක් නොවුනත් ඔවුන් තමාට වඩා සතුටින් සිටිනවායයි  නුලාරා සිතුවේ දිගු සුසුමක් ඒ මුවින් පිට කරමින්ය. එදත් අදත් ඇයට වුවමනා වී  තිබුණේ චලක හා ගැවසෙමින් ජීවත් වන්නටය. ඔහුගේ කාලයෙන් වඩා වැඩි ඉඩක් තමා වෙත වෙන්කර ගන්නටය. ඔහුගේ ජීවිතයේ සියල්ල තමා වනු දකින්නටය.

“ඇයි දුව ඔයාට අපහසුවක් දැනෙනවද….?”

අත් බෑගය එක් උරයකට දමාගත් සිතාරා ඇසුවේ මදක් පහත් වෙමින්ය. ‘නැතැයි’ පවසමින් හිස වැනූ නුලාරා නැගී සිටියාය. චාරුකගෙන්  දුරකථන ඇමතුමක් පැමිණෙද්දී ඕ හිතා මතාම දුරකථනය නිහඬ කර දැමුවාය. 

“අපි මොනවා හරි බීලා යනවද දුව…”

අවසන සිතාර  ඇසුවේ කැෆටේරියා පසුකරද්දීය. නුලාරා එවරත් හිස වැනුවේ එපායැයි පවසමින්ය. කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලේ සිට ආපසු එන ගමනේදී වාහනය බොරලැස්ගමුවෙන් පිළියන්දල දෙසට හරවන්නයැයි නුලාරා පැවසූයේ හදිසියේ ඇති වූ සිතුවිල්ලකට අනුවය. චාරුක  රඹුක්වැල්ලගේ නිවස පිහිටා තිබුනේ බොරලැස්ගමුව මං සන්ධිය පෙනෙන නොපෙනෙන දුරකින්ය. 

“ඇයි දුව…”

“මට ගෙදර යන්න ඕන අම්මා…”

“මේ හදිසියේම…”

“ඇයි මං ගෙදර එන්න එපා කියලද කියන්නේ. මම යන්නේ මගේ ගෙදරට. හදිසිය වුණත් නැති උනත් මට හිතෙන වෙලාවක මගේ ගෙදර එන්න මට අයිතියක් තියෙනවා අම්මා.” 

යළිත් දුලාරා කඩා පැන්නේ සිතාරාව පුදුමයට පත් කරමින්ය. ඕ කිසිත් නොකියා නිහඬ වූයේ මෙවේලෙහි ඇගෙන් යමක් අසන්නට සුදුසු නැතැයි සිතුනු නිසාය. 

තමාට දියණිය සමඟ වෛද්‍යවරයා හමුවට යාමට හැකිදැයි අසද්දී චාරුකගේ  වදන්වල  තරහක් කෝපයක් හෝ අපැහැදීමක් නොතිබූ බව විශ්වාසය. සිතාරා සන්සුන් වූයේ එනිසාය.

“අතෑර ගන්නම බැරි මීටින් එකක් අම්මා.”

ඔහු පැවසූයේත් වෙනදා තරමටම ලෙන්ගතු කමින්ය. එනිසාම දෙන්න දෙමහල්ලන් අතරේ ගැටුමක් ඇතිවී ඇතැයි සිතන්නට සාධක නොවීය. නුලාරාගේ  මහ ගෙදර දැන උන් රියදුරා ගෙදර මිදුලේම වාහනය නවතන තුරු යමක් නෑසුවේය. 

සාකච්ඡාවට සහභාගී වී උන් අනෙක් ආයතන කිහිපයේම ප්‍රධානීන්ගේ සුභ පැතුම් වලින් පසුව චාරුක තමාගේ කාර්යාලයට පැමිණියේ මිතුරා ද සමගින්ය. ප්‍රසිද්ධ රූපවාහිනී සමාගමේ  වසර තුනක් පුරාවට අඛණ්ඩව විකාශනය වන මේ දැන්වීම් කිහිපය තම ආයතනයට ලැබීම එක්තරා ආකාරයක ජයග්‍රහණයකි. ඉන් ලැබෙන ආදායමද සුළු පටු එකක් වූයේ නැත. කාර්යාලය ඉදිරිපස වූ ප්‍රසිද්ධ අවන්හලෙන් කෝපි කෝප්ප දෙකක්ද රැගෙන තේජන ආපසු පැමිණෙද්දී මිතුරා උන්නේ කල්පනා බරවය. 

“මොකක්ද ප්‍රශ්නේ චාරුක…”

“මම දැන් පැය දෙකක විතර ඉඳලා නුලාරගේ ෆෝන් එකට ගන්න ට්‍රයි කරනවා. රිං වෙනවා විතරයි ආන්සර් කරන්නේ නෑ. අම්මගේ ෆෝන් එකටත් එකපාරක් ට්‍රයි කළා අම්මා ආන්සර් කරන්නෙත් නෑ. ගෙදරට කෝල් කලහම  සෝම කිව්වා තවම ආවෙත් නෑ කියලා.”

“ඉතින් උඹ නිහල්ට කෝල් කරේ නැද්ද නිහාල් එක්ක නේද යැව්වේ…”

“ෂිහ්…මට අමතක උනා බං ඒක. මං එයාට කිව්වේ නුලාරව ගෙදරට බස්සවලා එහෙමම යන්න කියලා. මේ කෙල්ල ෆෝන් එක ගන්නේ නැතුව මොනම කරනවද මන්දා.”

චාරුක රියදුරාට ඇමතුමක් ලබාගත්තේ මිතුරා ඉදිරිපිටදීමය. 

“නෝනට නෝනගේ අම්මලගෙ ගෙදර යන්න ඕනෙ කිව්ව මහත්තයා. එහාට ඇරළුවට පස්සේ මට කිව්වා වාහනේ දාලා යන්න. උවමනාවක් වුණොත් කතා කරන්නම් කියලා.” 

“ආ…නෝනගේ ෆෝන් එක ආන්සර්  කළේ නෑ. ඒකයි මං බැලුවේ.”

චාරුක  දුරකථන ඇමතුම නිමා කළේ කලබලයෙන්ය. ඒ කලබලයෙන්ම ඔහු යළිත් වරක් නුලාරාට ඇමතුමක් ලබාගැනීමට උත්සාහ කළේය.

“එයා සාමාන්‍යයෙන් මට එහෙම නොකියා යන කෙනෙකුත් නෙමෙයි බං. නිහල්ට කිව්වලු ගෙදරට දාන්න කියලා. අම්ම් ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තෙත් ඇයි දන්නේ නෑ. තාත්තට අරන් බලමු.”

තේජන දිගු කළ කෝපි කෝප්පය පසෙකින් තැබූ චාරුක  ඇමතුමක් ලබාගත්තේ නුලාරාගේ නිවසේ දුරකථන අංකයට. සිතූ පරිදිම ඊට පිළිතුරු සැපයූවේ තාත්තාය.

“තාත්තා බබා ෆෝන් එක ගන්නෙ නෑ.”

“ඔය ඉන්නේ අම්මයි දුවයි එක්ක කුස්සියට වෙලා කයිය ගගහා. දෙන්නත් එක්ක  කියවන්න ගියහම ඉතින් ලෝකෙ පෙරලුනත්  දන්නෙ නෑනේ පුතේ. දෙන්නගෙම ෆෝන් දෙක කොහේ හරි තියලා ඇති.”

ඔහු පැවසූයේ සැහැල්ලුවෙන්ය. 

“මං එන්නම් තාත්තා..”

අවසන එසේ පවසමින් චාරුක දුරකථනය විසන්ධි කළේය. 

“හැම පොඩි දේම මට කිය කිය කෝල් කරන කෙල්ල ඇයි බං එහෙම එකපාරටම ගෙදර ගියේ කියලා මට හිතාගන්න බෑ. මොකක් හරි අවුලක් උනාද..”

“ඕක බීලා හිටහන්කෝ.”

“ඔච්චර මූඩ් ගහන්න දෙයක් නෑ බං ඒකිට  හිතෙන්න ඇති.ඒ පිට තැනක නෙමෙයිනේ ගිහිල්ලා තියෙන්නේ තමන්ගේ අම්මා තාත්තා ළඟට නේ.”

තේජන එසේ පැවසූයේ කෝපි කෝප්පය පානය කරමින් මිතුරා කල්පනා බර වද්දීය.

“මට වෙලාවකට හිතෙනවා බං නුලා මමත් එක්ක ඉන්නේ සතුටින් නෙමෙයි කියලා.” 

“ඇයි උඹට එහෙම හිතෙන්නේ.”

“අනේ මන්දා…”

“පිස්සුනෙ බං එහෙම වෙන්න විදිහක් නෑනේ. මොකද මේක ප්‍රපෝසල් එකක් නෙමෙයිනේ. එයාගේ ෆස්ට් ලව් එක උඹ..  උඹේ ෆස්ට් ලව් එක එයා. කවුරුවත් බල කරලා මැරි කලා නෙමෙයිනේ. අනිත් එක ජීවිතේ විඳින්න, සතුටින් ඉන්න බැරි වෙන්න තරම් කිසිම අඩුපාඩුවක් එයාට නෑ.”

“බලමු…”

චාරුක  රඹුක්වැල්ල නැගී සිටියේ එසේ පවසමින්ය. සුවපහසු අසුන මත දමා තිබූ කළු පැහැති කෝට් එක සිය වමතට දමාගත් තරුණයා වාහනයේ  යතුර දකුණු අතින් අල්ලා ගත්තේය. 

“උඹ මමත් එක්ක යනවද උඹේ වෙහිකල් එකේ යනවද…”

“උඹ පලයන්..මට හෙට ෂූට් එකේ ෂෙඩූල් එක හදන්න තියෙනවා. කොහොමත් තව පැය එකහමාරක් විතර මං ඔෆිස් එකේ ඉන්නව බං.”

තේජන, චාරුක රඹුක්වැල්ලගේ මිතුරෙකු වූයේ  නිරූපණ ශිල්පියෙකු ලෙස තාත්තාගේ ව්‍යාපාර වලට සම්බන්ධව සිටි කාලයේය. ඒ වසර ගණනාවක් තිස්සේ ඔවුනොවුන් තේරුම් ගනිමින් ඔවුනොවුන්ට සහාය දෙමින් ඉදිරියට පවත්වාගෙන ආ මිතුදමකි. අද මේ දැවැන්ත ව්‍යාපාරය තුළ තීරණ ගැනීමෙහි පවා බලයක් තේජන සතු වූයේය. මිතුරා පඩිපෙළ බැස පහත මාලයට යන අයුරු බලා උන්  තේජන ආපසු හැරුණේ නොසන්සුන්වය. ඔහු ලඟදී කිසිවක් නොපැවසුවාට දවසට විසි තිස් වතාවක් චාරුකට කතා කරන නුලාරා ඒ අයුරින් නිහඬ වූයේ මන්දැයි තේජන ද සිතුවේය. ව්‍යාපාරික සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාවේ පවා චාරුක  කිහිප වරක්ම නොසන්සුන් අයුරින් තම ජංගම දුරකථනය දෙස බලන අයුරු ඔහු දුටුවේය. 

                                 **********

“මට මහන්සියි අම්මා මං චුට්ටක් නිදාගන්නවා…”

නුලාරා එසේ පැවසූයේ තාත්තා මුළුතැන් ගෙයට එබී ‘දැං ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් මෙහේ ආපු විත්තියක් චාරුක පුතාට කිව්වේ නැද්ද. ඇයි සුදු දුව ඒ වගේ වගකීමක් නැති වැඩ කරන්නේ. ඒ ළමයා සුළු පටු රාජකාරියක් කරන ළමයෙක්ද. ෆෝන් එකවත් ළඟ තියාගන්න බැරි උනාද..?

යනුවෙන් තාත්තා අසද්දීය. නුලාරා මුලින්ම කළේ අම්මා දෑස් විසල් කරගෙන තමා දෙස බැලූ බැල්ම මගහැරීමය. 

චාරුක නිවසේ තරම් සුව පහසු නොවූවත් විවාහ වී නිවසින් පිටව යන්නට ප්‍රථමව ඈ පරිහරණය කළ කාමරයට පැමිණියාට පසුව දැනෙන්නට වූයේ නිදහසකි. දෑත් දිගු කරගෙන කාමරය මැද වටයක් කරකැවුණු නුලාරා ඇඳට පැන්නේ විදුලි බල්බත් නිවා දමමින්ය. ඇයට වුවමනා වී තිබුණේ චලක පැමිණෙන්නට පෙර නිදි දෙව්දුව  වැළඳ ගන්නටය. 

( හෙටත් හමුවෙමු ආදරයෙන්..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here