ආදර මල්වල පාට කියන්නද? – 14

0
604

වලව්වට යන්න කලින් කවීන් කෙල්ලව සැලුන් එකකට එක්කරගෙන ගිහින් ලයිට් මේකප් එකක් දාලා අලුතෙන් ගත්ත ඇඳුමක් අන්දවල කවීන්ලගෙ ලෝකෙට ගැලපෙන්න හදවලා අරගෙන තිබ්බට ඒ කිසිම දේකට පුලුවන් උනේ නෑ ආකර්ශගෙ මූණෙ තිබ්බ බය අයින් කරලා දාන්න.

ආකර්ෂා උන්නෙ පුදුම බයෙන්.

ඒ මහ විසාල ගෙදර, විසාලම විසාල සාලෙ මැද්දට ඕපන් වෙන තේක්ක ලී පඩිපෙල දිහා බලාගෙන හිටගෙන උන්න ආකර්ෂා හිතුවෙ බයටම දැන් තමන්ට චූ යාවි කියලා. අනික දාගෙන උන්න නුපුරුදු හීල්ස් දෙක හන්දා කකුල් දෙකත් රිදෙන ගමන් උන්නෙ .

 “නොකල වැරදි මගෙ ගිණුමට බැර වුණ වාර අනන්ත” හන්දා ආච්චි අම්මා කියන ස්ත්‍රී පරාණෙ තමන්ගෙ මොන වරදක් අල්ලගනීවිද කියලා ආකර්ෂා පණ බයෙන් උන්නෙ.

කෙල්ල පඩිපෙළ මුල නිකන් දර කොටයක් වගේ ගල් ගැහිලා වගේ හිටගෙන ඉද්දී, උඩ තට්ටුවේ ඉඳන් හෙමින් සැරේ පල්ලෙහාට බැහැගෙන ආපු හේමලතා මේරි කුමාරිහාමි, තමන්ගේ රිදී කැටයම් දාපු හැරමිටිය පඩියෙන් පඩියට තියලා “ටොක්… ටොක්…” ගාන සද්දෙට ආකර්ෂාගේ හාට් එක නිකන් දඩං දඩං ගගා තමයි බීට් වෙන්න ගත්තෙ.. කෝපි පාට වටින හෑන්ඩ්ලූම් ඔසරියකින් සැරසිලා, රත්තරන් මාල වළලු දාලා, කොණ්ඩ ගෙඩිය ගහලා උන්නු ඒ තේජවන්ත පෙනුම දැක්කම ආකර්ෂාට හිතුණා බඩු පැකට් තමයි කියලා.

කුමාරිහාමි පඩිපෙළ බැහැලා ඉවර වෙලා කෙළින්ම ඇවිත් නතර වුණේ ආකර්ෂා ඉස්සරහා. ඒ මනුස්සයා තමන්ගේ රැලි වැටිච්ච, හැබැයි මාරම ශාප් ඇස් දෙක කණ්ණාඩි කුට්ටමට උඩින් ආකර්ෂා දිහා උඩ ඉඳන් පල්ලෙහාට බැලුවේ හරියට පොලිසියෙන් කුඩු කේස් එකකට අල්ලගත්ත විත්තිකාරියක් දිහා බලනවා වගේ මාරම සැක විදියට. නිකන් හරියට “තමුසෙ හංගන්න හැදුවට මම තමුසෙ ගැන ඔක්කොම දේවල් දන්නවා” කියලා කියන්න වගේ.

“කවීන් කවුද මේ ළමයා? මෙයාද මේ  තමුන් මම අරගෙන ආව ඔක්කොම ප්‍රපෝසල්ස් වලට පයින් ගහලා මේ වික්‍රමසිංහ පවුලේ ලේලි කරගන්න එක්කන් ආපු කෙනා?” කුමාරිහාමි ඇහුවේ ආකර්ෂාව සම්පූර්ණයෙන්ම තඹ සතේකට ගණන් ගන්නෙ නැතුව, කෙළින්ම කවීන් දිහා බලාගෙන මාරම තද, ආඩම්බර කටහඬකින්.

කුමාරිහාමි තමන්ව සතෙකේටවත් මායිම් නොකරපු විදිහට ආකර්ෂාගේ හිතට බය අස්සෙන් මහා ලොකු ලැජ්ජාවක් ආවත්.ඒ එක්කම කවීන් එක්ක තමන් ව මෙහෙම නෝණ්ඩි කරලා දැම්ම එකට මල පැන්නත් එක්ක. කකුල් දෙක අඩි උස සපත්තු දෙකට හිරවෙලා රිදෙන පාරටයි, මේ නාකි බිසවුන් වහන්සේගේ ලොකු ලයින් එකටයි කෙල්ලට හිතුණේ “දැන් ඉතින් ඕන මඟුලක් වෙච්චාවේ” කියලා වෙනදා වගේම කට වහගෙන ඉන්නෙ නැතුව දෙකක් අමතන්න.

හැබැයි ඊට කලින් කවීන් ඉක්මනට මැදට පැනලා ආකර්ෂාගේ උරහිස වටේට අතක් දාලා තමන්ගේ පැත්තට ඩිංගක් කිට්ටු කරගත්තා. කවීන්ගේ අතේ උණුසුම දැනෙද්දී ආකර්ෂා බිම බලාගෙන හිටපු ඔළුව උස්සලා කවීන් දිහා බැලුවා. “ඇඟට අත තියන්න එපා” කියලා දාගත්ත රූල් එක මතක් උනාට මේ වෙලාවෙ කවීන්ට වගේම තමන්ටත් වෙන කරන්න දෙයක් නෑ කියලා තේරිච්ච හන්දා ආකර්ෂාට ඒ හැමදේම ඉවසගෙන බොරු හිනාවක් දාගෙන ආච්චි අම්මා දිහා බලාගෙන ඉන්න උනා.

“ඔව් ආච්චි අම්මි මෙයා තමයි ආකර්ෂා. මං කිව්වේ මගේ ෆියන්සේ. මෙයාගේ පවුලේ අය කොළඹින් පිට ඉන්නේ. මං හිතුවා ආච්චි අම්මි මෙයාව ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න. ආකර්ෂා හරිම හොඳයි ආච්චි අම්මි. ආච්චි අම්මි ආකර්ෂාට කොහොමත් කැමති වෙයි. ආච්චි අම්මි ආසම විදියෙ කොලිටීස් තමයි ආච්චි අම්මි ආකර්ෂාට තියෙන්නෙ.” කියලා කවීන් කියද්දි ආකර්ෂා කවීන් දිහා බලාගෙන හිටියෙ “හෑ” කියන වචනෙන් කටෙන් එළියට මේ දැන් එළියට පනීවිද කියලා බයෙන් වගේ. ඒ තරං තමන් ඉස්සරහා උන්න කවීනුයි ආච්චි ඉස්සරහා උන්න කවීනුයි දෙන්නා දෙන්නෙක් විත්තිය ආකර්ෂාට තේරුණා. වෙන වෙලාවට දුටු ඔබමද මේ කියලා ආකර්ෂා හිතෙන් හිතුවෙ කවීන්ගෙ තිබ්බ හැදියාව දැක්කම. අන්න ඒ නිසාමයි කවීන් හොරැහින් තමන් දිහා බලද්දි කවීන් දිහා කටකොනකින් හිනාවුණේ, “තමුසෙගේ හැදියාව මං දන්නවනේ” කියන්න වගේ.

කුමාරිහාමි ආයෙත් සැරයක් ආකර්ෂා දිහා බැලුවා. එහෙම බලද්දි ඒ මනුස්සයගෙ ඇස් නැවතුණේ ආකර්ෂාගේ වෙව්ලන අත් උඩයි නුපුරුදු හීල්ස් සෙරෙප්පු දෙක උඩ අමාරුවෙන් බර තියාගෙන ඉන්න කකුල් දෙක උඩයි.

“ම්හ්… හැදියාව… ඒක ඉතින් ජීවත්වෙලාම තමයි බලන්න වෙන්නෙ. බලමුකෝ… වික්‍රමසිංහ පවුලට ගැලපෙන ලේලි කෙනෙක් වෙන්න නම් රූපේ විතරක් මදි, කුල මල වගේම තැනට ගැලපෙන හික්මීමක් තියෙන්නත් ඕනේ. අපි දන්නෙ නෑ කොයි කොයි හැටියට, කොහොම කොහොම ජීවත්වෙච්ච ඈයොද කියලා”

 කුමාරිහාමි හැරමිට්ට බිම ඇනලා සාලේ තිබ්බ ලොකු හාන්සි පුටුවෙන් වාඩි වෙන ගමන් කිව්වා.

“ළමයා… ඔතන බකන් නිලාගෙන වගේ හිටගෙන ඉන්නේ නැතුව මෙහාට ඇවිත් වාඩි වෙනවා. මට තමුන්ගෙන් අහන්න ප්‍රශ්න වගයක් තියෙනවා.”

“ප්‍රශ්න අහන්න ඇයි මේක ඉන්ටර්විව් එකක්ද” කියලා අහන්න කොච්චර ඕන උනත්, කවීන් කෙල්ලගේ උරහිස හෙමින් මිරිකලා යමු කියන්න වගේ සන් කරපු හන්දා කෙල්ල අමාරුවෙන් අඩි තිය තිය කුමාරිහාමි ඉස්සරහා තිබ්බ පුටුව දිහාවට ඇදුණා. හැබැයි ඒ යද්දීත් ආකර්ෂා හිතින් දිවුරාගත්තේ, මේ නාකි කුමාරිහාමි තමන්ගේ දුප්පත්කමට හරි තාත්තට හරි වචනයකින් හරි කිණ්ඩියක් දැම්මොත්, කවීන්ගේ සල්ලිත් එපා, ඩීල් එකත් එපා කියලා වලව්ව දෙවනත් වෙන්න දෙකක් කියලා මෙතනින් යනවා කියලා විතරමයි.

ඇයි යකෝ එහෙම එක එකාගෙන් කයි කතන්දර අහන්න ඕන නෑනෙ.

කරන්නෙ හරි දේ නම් වටේ ඉන්න උන්ගෙ බණ අදාලම නෑ එච්චරයි!

“තමුන් හිතුවද ළමයා මගේ මුණුපුරා සල්ලිකාරයෙක් හින්දා, වික්‍රමසිංහ වලව්වේ දේපළවලට කෑදරකමේ මෙහාට රිංගලා කවීන්ව ලේසියෙන්ම අල්ලගන්න? වස්තු සම්භාරයක් එක්ක මෙහෙම මිනිහෙක් අල්ලගත්තම පරම්පරා හතක් ගොඩ කියලා දන්න හන්දා නේද තමුන් මේ වලව්වට රිංගන්න හදන්නේ? අපේ සල්ලිවලට මාන බලලා එන තමුන් වගේ කෙල්ලෝ ගැන මං හොඳට දන්නවා”

කුමාරිහාමි තමන්ගේ රැලි වැටිච්ච මූණට මහා අපහාසාත්මක, උපහාසාත්මක හිනාවක් අරන්, කටකොනකින් හිනාවෙවී කිව්වේ ආකර්ෂාව සතෙකේටවත් මායිම් නොකරන ගාණට. ඒ වචනවල තිබ්බේ මහා ලොකු හෑල්ලු කිරීමක්. ආච්චි අම්මා එහෙම කියද්දි කවීන් ඇත්තටම බය වුණා. ආකර්ෂා මොන වගේ ගිනි බෝම්බයක්ද කියලා දැනගෙන උන්න හන්දම ආච්චි අම්මාගෙ මේ වචන ඉස්සරහා ඒ ගිනි බෝම්බෙ කොයි වෙලේ පත්තු වේවිද කියන බය තිබිච්ච හන්දම තමයි කවීන් ආකර්ෂා දිහා බලලා සන් කරන්න හැදුවෙ “දෙයියන්ගේ නාමයට මල පන්නගන්නැතුව කට වහගෙන ඉන්න” කියලා. ඒත් ආකර්ෂා උන්නෙ කවීන් දිහා එක තප්පරේකටවත් බලන්නෙ නැතුව ආච්චි අම්මා දිහා කෙලින්ම බලාගෙන හරිම ආඩම්බර විදියට. හැබැයි ඒ ඇස් අස්සෙ තිබ්බෙ මහ කිණ්ඩියක් විත්තිය කවීන් ඇඳිනුවෙ නැත්තෙ නෑ.

කවීන් එකපාරටම කලබල වෙලා, “නෑ ආච්චි අම්මි… මෙයා එහෙම…” කියලා මැදට පනින්න හැදුවත්, ආකර්ෂා කවීන්ගේ අත හෙමින් සැරේ මිරිකලා එයාව පස්සට කළා.

කුමාරිහාමිගේ ඒ අපහාසාත්මක බැල්මටයි වචනවලටයි කෙල්ලගේ හිත ඇතුළෙන් ලේ රත් වීගෙන, මල පැනගෙන ආවත්, මේ වෙලාවේ වෙනදා වගේ කෑගහලා වලියක් දාගත්තොත් තමන් ඇත්තටම “නොහික්මිච්ච, සංවරයක් නැති කෙල්ලෙක්” කියලා ඔප්පු වෙලා, මේ නාකිච්චිගෙ ඔක්කොම කතන්දර ඇත්ත වෙනවා ඇරෙන්න වෙන වැඩක් වෙන්නේ නැති බව ආකර්ෂාගේ මොළයට එකපාරටම මීටර් වුණා. මේ වගේ සල්ලිකාර ගෑනු ඉස්සරහා තමන්ගේ ආත්මගරුත්වය බේරගන්න නම් කෑගහලා හරියන්නේ නෑ, ගේම දෙන්න ඕනේ මීට වඩා මීටරෙන් විත්තිය ආකර්ෂට මතක් වුණේ අන්න එවෙලෙ.

“ආච්චි අම්මා හිතන්නේ ආච්චි අම්මාගේ මුණුපුරා කියන්නේ එහෙම කෙල්ලෙක්ට ලේසියෙන් අල්ලගන්න පුළුවන් ජාතියේ, කොණ්ද පණ නැති කොල්ලෙක් කියලද?”

කුමාරිහාමිගේ මූණේ තිබ්බ අර අපහාසාත්මක හිනාව එකපාරටම නැති වෙලා ගෑනි ගැස්සුණා. හැරමිට්ට තද කරලා අල්ලගෙන, කණ්ණාඩි කුට්ටමට උඩින් ආකර්ෂා දිහා බලන් උන්නේ තමන්ගේ කනට ඇහුණු දේ අදහාගන්න බෑ වගේ. වලව්වේ සේවකයෝ තබා කවීන්වත් තමන්ගේ මූණට මෙහෙම තර්ක කරලා තිබුණේ නෑ උපන්තේකට කවදාවත්.

“එහෙම වික්‍රමසිංහ පරම්පරාවේ කොල්ලෙක්ව, මේ වලව්වේ ඊළඟ උරුමක්කාරයව මං වගේ තාම මේ පවුලට සම්බන්ධ වෙලාවත් නැති, පිට කෙල්ලෙක් ඉස්සරහා ආච්චි අම්මාම මෙහෙම හෑල්ලු කරන එක පොඩ්ඩක් හරි නෑ නේද?”

ආකර්ෂා මූණේ තිබ්බ ඒ තැන්පත් හිනාව පොඩ්ඩක්වත් අඩු කරන්නෙ නැතුව ඇහුවා.

“මට නම් හිතෙන්නේ කවීන් කියන්නේ වස්තු සම්භාරෙට විතරක් රැවටෙන කෙල්ලෙක්ව වලව්වට කැන්දන් එන්න තරම් මෝඩයෙක් නෙවෙයි කියලා තමයි ආච්චි අම්මේ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here