ඔලියැන්ඩර් – 21

0
885
oleander Flower

” හෙලෝ.. !” 

” කොහෙද බං ඉන්නේ ?” 

” ආර්ට් එකේ ඕපන් එකේ. “

” අද උදේ වැඩ නැද්ද ?” 

සැඳැස්විය සොයා ආ විමර්ෂා බෑගය අසල තිබූ බංකුවක් මතට අත හරිමින් ඇසුවාය.

” තියනවා. මට නෑ.. “

” ඒ කිව්වේ ?” 

” මේහ්…”

සඳැස්වි තමාට ලැබුණු නව රැකියාවේ ලිපිය විමර්ෂා වෙත දිගු කළ අතර ඈ වහා එය දිග හරිමින් වේගයෙන් කියෙව්වාය.

“අනේ.. බං.. congratulations බං. අනේ මට පට්ට සතුටුයි…”

විමර්ෂා වහා හිඳ සිටි බංකුවෙන් නැඟිට විත් සඳැස්විය වැළඳ ගත්තාය. 

” බේසික් එකම හැත්ත පහක් බං. “

” හ්ම්ම්… ඊට අමතරව තව තව ඒවා ඇඩ් වෙයි කිව්වා. “

” අනේ.. මට ඇත්තටම සතුටුයි බං. ඒත් පාට් ටයිම් කරන එක අවුලක් නැද්ද ?”

ඇය මිතුරිය දෙස බලා නැත යැයි හිස සැලුවාය. 

” උඹට හරියනවා බං. එකෙන්ම උඹට හරි යනවා. “

විමර්ෂා සඳැස්විගේ දෑතම අල්ලා ගනිමින් පැවසුවාය .

” විමූ… ! “

සඳැස්විගේත් , විමර්ෂාගේත් සිව් දෑස් වහා මාරගස් පෙළ දෙසට විතැන් වූයේය. ගල් පඩි පෙළ බසිමින් ආ තරුණයෙකු ඔවුන් දෙදෙනා දෙසට ඉක්මන් ගමනින් ඇවිද ආවේය. 

” එන්න සඳරු..”

” මේ මළ ගෙදර යනවද ? “

” දෙයියනේ.. ! මට අමතක උනා. කවදද අන්තිම දවස. ?”

විමර්ෂා එසේ පවසා සඳැස්වි දෙස බැලූ අතර කාගේ කුමන මළ ගෙදරක්දැයි නොදැත් ඇය ප්‍රශ්නාර්ථ බැල්මකින් විමර්ෂා දෙසත් , සඳරු දෙසත් බැලුවාය. 

” කාගෙද විමූ මළ ගේ ?”

” සයුල්ගේ අයියගේ..”

” දෙයියනේ..! ඒ මක් වෙලාද ?” 

” මර්ඩර් එකක් සඳා.. තාම කරපු උන් කවුද කියලා හොයාගෙන නෑ. “

” මගේ දෙයියනේ…!” 

සඳරුගේ පිළිතුරත් හමුවේ සඳැස්වි දෑතම පපුව මත තබා ගනිමින් වික්ශිප්තව උන්නාය. 

” ඔයා පාට් ටයිම් කරන්නේ RD foods එකේ නේද ? “

” ඔව් “

” ඒකේ තමයි සයුල්ගේ අයියා වැඩ කරලා තියෙන්නේ. ඒකේ ෆැක්ට්‍රි එකේ. මළ ගෙදර ඔක්කොම වියදම් RD එකෙන් දරනවලු. මං හිතන්නේ සයුල්ලටත් සෑහෙන ගාණක් වෙනමම දීලා. මොනා උනත් මරු කම්පැණි එක ඈ..”

සඳරුගේ අගය කිරීම් හමුවේ සඳැස්විගේ සිතෙහි මාන්නක්කාරයාගේ රුව ඇඳී පෙනී නොපෙනී ගියේය. 

” කවද්ද ඉවර කරන්නේ ?” 

” හෙට.. “

” හෙට රෙස්ටුරන්ට් එකේ ඕපන් එකනේ. ? අපි අද යමුද විමූ ?” 

සඳැස්වි නැවතත් විමර්ෂා දෙසට හැරුණාය.

” ප්‍රශ්නයක් නෑ “

” එහෙනං හතරට ලෙක්චර්ස් ඉවර වෙලා යං. “

” හරි එහෙනං. උඹලා දෙන්නා අද වරෙන්. දවසක් හරි පෙනිලා ඉන්න ඕනනේ බං. අපි එක්කම එකට ඉගෙනගන්න එකානේ. “

“සඳරුලා අදත් යනවා නේද ?” 

” මේ ටිකේම එහෙ තමයි සඳෝ .. හරි.. එහෙනං. මං ගියා. “

ඔහු ආපසු හැරී අඩි දෙක තුනක් ඉදිරියට තබා නැවතත් හැරී තරුණියන් දෙදෙනා වෙතට පැමිණියේය. 

” මේහ්.. සඳෝ… තර්ඩ් එකේ ශාන් කියලා එකෙක්ව දන්නවද ?” 

” ශාන් ..? නෑ.. ඇයි ?” 

” දවස් දෙක තුනක් අපේ උන්ගෙන් උඹ ගැන අහලා තිබ්බා. අහුවෙන්නනං  එපා බං ඈ. ඌ ලෝක මරාලයක්. කොහෙන්වත් සෙට් වෙන්නැති එකෙක්. “

” අනේ බං..!” 

තිගැස්සුණු සඳැස්වි වහා විමර්ෂාගේ අතින් අල්ලා ගත්තාය. 

” ආයේ පාරක් ඇහුවොත් මේකිට කොල්ලෙක් ඉන්නවා කියහන් බං. “

” බලමු…”

එසේ පැවසූ සඳරු වහා ඔවුන්ගෙන් මිදී යළි දිව ගිය අතර විමර්ෂා කල්පනාකාරී දෙනෙතින් සඳැස්වි දෙස බැලුවාය. 

” මේ සඳෝ… “

” ම්ම්ම්?” 

” දෙයක් අහන්න ඇත්තම කියනවද ? “

” මොකද්ද ?” 

” ගිය අඟහරුවාදා හවස ලෙක්චර්ස් ඉවර වෙලා උඹව ගන්න planetarium එක ලඟට කාර් එකක් ආවද ?” 

සඳැස්වි යළි තිගැස්සුණු දෙනෙතින් විමර්ෂා දෙස බැලුවාය. 

“හරි හරි… ගැස්සෙන්න ඕනේ නෑ. නිම්නායි , සකුණියි කිව්වේ. උඹ එතනින් නැඟලා යනවා දැක්කා කියලා. “

සඳැස්වි මොහොතක් දෑස බිමට බර කරමින් හිඳ අපහසුවෙන් හිස ඔසවා යළි මිතුරිය දෙස බැලුවාය. 

” වැඩ කරන වෙලාවට ඔෆිස් එකෙන් කෑම ගන්න පුලුවන් බං. එදා මං ඔෆිස් එකේ ඉඳන් ලෙක්චර් එකට ආවෙත් පරක්කු වෙලා. දවල්ට කන්න උනේ නෑ. ඒ නිසා.. එයා මේ.. ඇවිල්ලා මාව කන්න එක්කන් ගියා.. “

ඈ ගොත ගසමින් මිතුරිය හමුවේ සත්‍යය පවසමින් උන්නාය. 

” එයා.. ? කවුද එයා ?” 

සඳැස්වි දෙසට ළං වූ විමර්ෂා කුඩා දරුවෙකුගෙන් යමක් අසන්නාක් මෙන් රහසින් කොඳුරමින් ඇසුවාය. සඳැස්වි තොල් පට සපා ගත් අතර පිළිතුරක් නොදීම විමර්ෂාගේ උවන දෙස ලැජ්ජාවෙන් බැලුවාය. මඳ වේලාවක් මිතුරියගේ උවන කියැවූ විමර්ෂා තරවටු බැල්මක් හෙළා ඉවත බලා ගත්තාය. 

” කැත වැඩ කරන්නෙපා බං. “

” අනේ.. ඇයි ඉතිං ?” 

” මෙච්චර උඹේ ලඟම යාලුවා වෙච්ච මටවත් නොකියා උඹ එහෙනං කොල්ලෙකුත් හොයාගත්තා නේද ?  හරි හරි කමක් නෑ.. කමක් නෑ.. “

” අයියෝ.. එහෙම එකක් නෑ විමූ. .. එයා ආවේ මට කන්න අරන් දෙන්න විතරයි “

” හරි දැන් කවුද එයා ?” 

” මේ.. අපේ සර්..”

ඇසෙන නෑසෙන හඬින් හිස බිමට බර කර ගත් සඳැස්වි ගැලවිය නොහැකි මිතුරියගේ ප්‍රශ්නාවලිය හමුවේ අපහසුවෙන් පිළිතුරු බැන්ඳාය. 

” සර් කිව්වේ අර ලෝයර්ද ? මහීල් අමරවංශ ? “

” නෑ.. එයාට සර්ගේ සෙකට්‍රි  ශාක්‍යා අක්කා එක්ක එෆෙයා එකක් තියනවා. “

“හ්ම්ම්.. “

එසේ පවසමින් විමර්ෂා මඳ කල්පනාවකට වැටුණු අතර නැවතත් තිගැස්සුණු ඈ වහා මිතුරිය දෙසට හැරී ඇගේ උරහිසකින් අල්ලා ගත්තාය. 

” ඒ ඒ.. කියන්නේ  ? සර් කියන්නේ අර…? යකෝ….!” 

අවසාන වචනය පමණට වඩා ශබ්දයෙන් පැවසූ විමර්ෂා වහා දෑතින්ම තම මුව වසා ගත්තාය. ඉන්පසු දෙදෙනාම වටපිට බලා යළි මුහුණට මුහුණ බලා ගත්තහ. 

” උඹ කියන්නේ ? රන්දෙණිගල  ? අර RD එකේ අයිතිකාරයගේ පුතා ? “

නොදැනුවත්වම උස් වූ හඬ හේතුවෙන් සමාව යදින්නාක් මෙන් ඈ නැවතත් කොඳුරමින් සඳැස්වියගෙන් ඇසුවාය.

” නෙද්දකින් තෝ නං. හද්ද ඩොටේ ඉඳන් කොළඹ ඇවිල්ලා ලංකාවේ බිලියනර් කෙනෙක්ටම කොක්ක ගැහුවා නේද ? කොට උන් කපටියි කියන්නේ ඕකනේ.. දොඩං ගෙඩි දෙකක් තරම් උස නෑ , ඒ උනාට වැඩ . කපටි හෙර..”

” අනේ…!” 

සඳැස්වි මිතුරියගේ වචන වල තැවරුණු විහිළුව හොඳින් තේරුම් ගත්තද ඈ ඉදිරියේ තවත් ළතැවෙමින් සිටියාය. 

” බලන් ගියාම අපේ අම්මා තාත්තලා අපිට මල් තියලා වඳින්න ඕනේ කොළඹ හතේ අල්ලපු වැටේ වෙලත් අපිට ඔය කපටිකං නොතේරෙනවට. “

” අනේ.. මේ.. එහෙම දෙයක් නෑ හරිද ? එයා නිකන් ආවේ. එච්චරයි. අනික.. මට කවදාවත් එහෙම දෙයක් කියලත් නෑ. අහලත් නෑ..”

සඳැස්වි මිතුරියගේ උවන දෙස බලා සිටීමට නොහැකිව ඉවත බලා ගත්තාය. 

” හ්ම්ම්.. එතකොට අතින් වත් අල්ලලා නෑ ? අඩුම කිස් එකක්වත් ? “

සඳැස්වි තිගැස්සී විමර්ෂා දෙස බැලූ අතර ඇගේ උවන පිරී ඇති බිය දුටු විමර්ෂා මහ හඬින් සිනහ සෙන්නට පටන් ගත්තාය. 

” උඹ මට බොරු කියනවනේ. හරි හරි. කමක් නෑ. කාට උනත් හරියනවනං අපි උදැල්ල දාන්නේ මොකටද ? “

” අනේ.. බං..”

” මේ.. ඒක නෙමෙයි.. පොර හැන්ඩියලු නේද ? “

දෑස ඔසවා මිතුරිය දෙස බැලූ සඳැස්වි ලැජ්ජාවෙන් රතු වූ ගිය උවන යළි බිමට හරවා ගත්තාය. වචනයෙන් නොකියනා බොහෝමයක් හැඟුම් තැවරී තිබූ මිතුරියගේ වත ඈ සඟවන සියලු රහස් විමර්ෂා ඉදිරියේ දිග හරිමින් තිබුණේය. 

” ඉතිං කියපන්කෝ.. සිරාවට ලව් ද ?” 

” නෑ බං …”

” නෑ කියන්නේ ? “

” එ.. එහෙම එකක් මට තාම කියලා නෑ..”

” කියලා නෑ ?” 

මිතුරියගේ පැනය හමුවේ ඈ නැත යැයි සන් කරමින් හිස දෙපසට සැලුවාය. 

” උඹ කිව්වෙත් නැද්ද ?” 

” පිස්සුද ?” 

” ආදරේ කියලවත් කිව්වෙ නැත්තං උඹලා දෙන්නා අතරෙ තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද බං ?” 

සඳැස්වි නැවතත් මිතුරියගේ පැනය හමුවේ ගොළු වූවාය. 

” මේ බං…” 

” ම්ම්ම් ?” 

” උඹට මං දෙයක් කියන්නද ? හැබැයි උඹ වැරදියට හිතන්නෙපා. “

විමර්ෂා හිමින් සීරුවේ සඳැස්විගේ අතින් අල්ලා ගත්තාය. 

 ” අහපන්කෝ.. මේ කොළඹ බං . උඹලා වගේ ගොඩාක් දුර ඉඳන් එන අහිංසක කෙල්ලෝ බුරුතු පිටින් බිලි ගන්න තැනක් මේක. මොනා උනත් පරිස්සමින් . සල්ලිකාරයෝ බහුතරයක් තමන් යටතේ වැඩ කරන ගොඩාක් ගෑනුන්ව තියාගන්නේ ඒ ඒ වෙලාවට ඕන කරන අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න විතරයි. සමහර මිනිස්සු ගැන තේරුම් ගන්න අපිට එක ජීවිතයක් මදි බං. රස්සාවලට කියලා ඇවිල්ලා අන්තිමේ එක එකාගේ අතින් අතට යන්න උනු වගේම ළමයි එක්ක තනිවෙච්ච ගෑනු ඕන තරම් මේ කොළඹ ඉන්නවා. ඒ නිසා පරිස්සමින්…”

සඳැස්වි බර සුසුමක් ගෙන එය පහත දමා යළි විමර්ෂාගේ අතින් අල්ලා ගත්තාය. 

” එයා එහෙම කෙනෙක් නෙමෙයි විමූ. මට විශ්වාසයි. “

” එහෙනං එච්චරයි. උඹට හරියන්නෝනේ බං. නිකන් නෙමෙයි උතුරන්නම “

විමර්ෂා සඳැස්විගේ කොපුලකට අත තබා එසේ පැවසුවාය .

” කල් කිරි දෙකක් අරන් එන්නං. “

ඈ නැඟිට යන දෙස බලා සිටි සඳැස්විගේ කල්පනාව නාද දෙන ජංගම දුරකතනය විසින් බිඳ දැමුවේය. ඉදින් ඒ ඔහුය. හදවත පුරා වසා පැතිර තිබූ දුක් දෝමනස්සයන් සේම චකිතයන්ද ඒ නම දුටු පමණින් අතුරුදන් වී ගියේය. 

“හෙලෝ !” 

” කොහෙද ඉන්නේ ?” 

” කැම්පස් එකේ “

” අද දවසටම දැක්කේ නෑ. “

ඇගේ මුව මත සිනහවකින්  පිරී ගියාය. 

” ඉතිං සර්නේ නිවාඩු දුන්නේ”

” හවසටත් ලෙක්චර්ස්ද ?” 

” හතර වෙනකන්. ඊට පස්සේ යාලුවෙක්ගේ අයියා කෙනෙක් නැති වෙලා . ඒ මළ ගෙදර යන්න ඕනේ. “

” ඒ කියන්නේ අද මට බලන්න විදිහක් නැද්ද ? “

යුවතිය සිනහවක් නැඟුවා විනා කිසිවක් නොපැවසුවාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here